ඔහු ඇසූ දේ ගැන මට මහත් ශෝකයක් හට ගත්තේ ය. මට උවමනා කාලයේ ඔහු මා දරා ගත් බව අමතක කළායැයි නිසල් චෝදනා නගන බවක් මට හැඟී ගියේ ය.නමුත් ඒ ප්‍රශ්නයට මැදිහත් විය යුතු තැනක් මට තේරුම් ගියේ ම නැත. ඔහු මා සම්බන්ධයෙන් තිබුණේ අසා හිඳින්නට ය.නමුත් මට ඔහු සම්බන්ධයෙන් කළ හැකි දේ ගැන සරල අදහසක් හෝ තිබුණේ ම නැත.
අනුන්ගේ ප්‍රශ්න ගෙදරට ගොඩ වෙද්දී අමතක කළ යුතු යැයි මා කියවා තිබුණේ ෆේස්බුක් අඩවියේ තැනකින් බව මතක ය. එය පිළි පදින්නට සිතා ගත් මා නිවසට ගොඩ වුණේ නිසල්ව අමතක කරමිනි.
සීනු සෙල්ලම් ගෙයක් ගෙමැද සාදා තිබූ අතර මගේ අල්මාරියෙන් හොරකම් කරගත් සාරි කිහිපයකින් එය සෑදූ නිර්මාණ ශිල්පියා ඈ අසල අසුනකට වී හිනැහෙමින් සිටියේ ය.
“සාරි වල පාඩුව නම් අය කර ගන්න වෙනව හැබැයි..”
මම සංකල්ප අසලින් හිඳ ගත්තේ එහෙම කියමිනි. සීනු සෙල්ලම් ගේතුළින් හිස එළියට දමා සුරතල් සිනාවක් පා කළා ය. අනතුරුව මා තුරුලට පැන මට හාදු කිහිපයක් දුන්නා ය. ඒ ඈ තාත්තාටත් අම්මාටත් ගාස්තු ගෙවන ක්‍රමය ය.මගේ තුරුලේ හුරතල් වන සීනු දෙස බලා සිටි සංකල්ප මා ඇමතුවේ සිනා සහිතව ය.
“නර්සරි එකේදී බබෙක් ලෙඩ වෙලා ටීච කෝල් කරානෙ ගෙදරට අද.අම්මි දන්නෙත් නෑ..”
මා කිසිම දිනක සීනුගේ වැඩ පැහැර හැරියේ නැත. කාර්යාලයේ අප්‍රමාණ රාජකාරි අතරේ පවා ඇගේ වැඩකටයුතු වෙනුවෙන් දිවූ දවස් බොහෝ ය. නමුත් අද සීනු අසනීප වූ බවක් මා දන්නේ දැන් ය. මට කෝපයක් දැනුණ ද එවගක් නොපෙන්වා හිඳින්නට මට ඕනෑ විය.
සංකල්ප මා පසුපසින් කාමරයට ආවේ අසනීපයක ආරංචියක් කියන මුහුණකින් නොවේ.ඔහුගේ මුහුණේ පහව නොගිය සිනාවක් විය.දේවකගේ මන්මත් වන සුළු සිනාව හිතේ රඳවා ගෙන සංකල්පගේ ලස්සන අවලසන්න ගැන නිකමටවත් නොසිතූ මට ඔහු සැබෑවටම කඩවසම් බව හදිසියේ සිතෙන්නට පටන් ගත්තේ ය.චාරුනී වැනි රූමත් තරුණියක ඔහුගේ අතීත පෙම්වතිය වූයේ එනිසා විය හැකි බවත් නංගීට වඩා මා හැඩවැඩ වග කියන නෑදෑයන්ගේ කතා ද මට එකපිට එක සිහියට නැගිණ. වසර පහකටත් වඩා කාලයක් මගෙන් අනේක වාරයක් ප්‍රතික්ෂේප වෙද්දී පවා සංකල්ප වෙනත් සම්බන්ධයක පැටලී නැත.ඒ සීනුට ඇති ආදරය ද මට තිබෙන ආදරය දැයි දැන ගැනීමේ ආශාවක් ද මට පැන නැගිණ.
“ඊයේ හවස මං සීනුට කිව්වා අපි අද සෙල්ලං ගෙයක් හදමු කියල. මේ කට්ට කෙල්ල ඒක මතක තියන් ඉඳලා බඩ රිදෙනව කියල කෝල් කෙරෙව්වනෙ ටීච ලවා…”
සංකල්ප හිනැහෙන්නට ගත්තේ ය.
“බොරුවක් කියල මට එළියට එද්දිම තේරුණා. බඩ රිදෙනවා කියල අඬපු කෙල්ල වාහනේට ආව ගමන් අයිස් ක්‍රීමුයි දාහක් ජාති ඉල්ලනවා..”
සීනු බොරුවක් කිරීම ගැන මට බියක් හට ගත් නමුත් ඈ කුඩා දැරියකි.
“ගෙදර එක්කන් ඇවිත් චුට්ටක් හුරතල් කරලා ඇහුවම කියනව ඉක්මනට සෙල්ලං ගේ ඕන උනාලු.. ඒ උනාට ලෙඩක් කිව්ව නිසා බේත් බොන්න ඕන කියලා නීතා ලව්වා කොත්තමල්ලිත් හදලා දීලා ආයේ බොරු කියන්නේ නෑ කියලා ප්‍රොමිස් කරගත්තා. පව් කියලත් හිතෙනව පවී..”
සංකල්ප නැවතිල්ලේ කියවාගෙන යයි.තාත්තා කෙනෙකුගේ ආදරය අම්මාගේ ආදරයට වඩා සුන්දර ද නැතහොත් ගැඹුරු දැයි මම සිතන්නට ගත්තේ බොරුව අහු වූ පසු තොල නොපිටට පෙරලා ගන්නා සීනුගේ සුරතල් මුහුණ මවා ගන්නා අතර ය.
“කෙල්ල පව් පවී.. මං ගෙදර එද්දී එයා නිදාගෙනනෙ වෙනදට. කකුලක් කඩාගෙන හරි මං මේ ගෙදර ඉන්නෙක එයාට සෑහෙන්න වටිනවා..”
සංකල්පගේ හඬ සංවේදී විය.
“අපිට ඔයාව සෑහෙන්න මිස් උනා තමයි..”
මම ඌණපූර්ණය එක් කළෙමි.මට ඔහු අතපසු වූ තැන්වල පාළුවක් දැනුණු බවත් අපට සමීප වන්නට තිබූ බවත් සංකල්පට හෙළි කරන්නට පවා මට සිත් විය.
“නර්සරි ඉන්න වෙලාව ඇරුණම සීනු දවසම ඉන්නෙ පාළුවෙන්.නීතා හොඳට බලා ගත්තට ඉතිං එයාගේ ලෝකෙට හරියනවද දන් නෑනෙ.අපිට එයාට නංගියෙක් මල්ලියෙක් ගේන්නත් බැරි උනානෙ..”
සංකල්ප පවසන දේ සම්බන්ධයෙන් වරද මගේ ය.සීනුට සහෝදරයෙක් ගෙන ඒම තබා විවාහයක් ශක්තිමත් වන්නට තිබිය යුතු බොහෝ කාරණා අමතක කළ මගේ ය.නමුත් මා තවදුරටත් ප්‍රමාද නැති බව සිතන්නට මට ඕනෑ විය.
“පවුලට එක දරුවෙක් හිටියම ඇති කියල මගෙ ඔලුවට නම් ආවේ මගෙම අම්මල නිසා සංක. එයාලට නංගි එක විදියක්. මං තව විදියක්. පුංචිම කාලෙ ඉඳන් දේවක ළං උනු නිසා මිසක් නැත්නම් මාත් තනි උනු ළමයෙක්.ගෙදර ඉන්න වෙලාව පවා අම්මලා නංගි හුරතල් කරා මිසක් මට ආදරේ කළේම නෑනෙ..”
සංකල්ප මා තුරුලට ගත්තේ මුදු ලෙස ය.අකමැත්තෙන් ඔහුගේ ග්‍රහණය සහ ආදරය විඳගත් අතීත පවනිට නියවා මම ඔහුට අසලට වී හුන්නේ සැනසීමෙනි.
“අම්මල නිසා ඔයා මොකක් හරි වේදනාවක ඉන්නව කියල මං හොඳටම දන්නව. ඇහුවට නොකියන නිසා මං අහලත් නෑ. පුතාල දෙන්නත් ලොකු නිසා අම්මල තවත් එහෙට වෙලා ඉන්නෙක ගැන මටත් ප්‍රශ්න තිබ්බ.ඒත් ඉතිං ලංකාවට වඩා ඕක්ලන්ඩ් කියන්නෙ ජීවත් වෙන්න හොඳ තැනක් නිසා ඇයි එහෙ ඉන්නේ අහන්න බෑනෙ..”
“කියන්න නම් මොනතරම් දේවල් තියද සංක..ඔයා අහන් ඉන්නව නම් මං දැන් වුණත් කියන්නං..”
සංකල්ප මගේ මුහුණට එබී බැලුවේ ආදරයෙනි.
“මං ඔයාව ඕන වෙලාවක අහන් ඉන්නවනෙ.. අර චූටි නෝනා නිදාගත්තට පස්සෙ අපි කතා කරමුකො..බැඳලා අවුරුදු පහකට පස්සෙත් මිනිස්සුන්ට ආයේ මුල ඉඳන් ලව් කරන්න බැරිකමක් නෑ පවී…”