සුළං සීනු – 24

විවාහයෙන් පසු ආදරය කරන්නට හැකි පාඩම සංකල්ප මට ඉගැන්වූයේ ආදරයෙනි.ඔහුගේ අනතුර හද කම්පනය කළ සිදුවීමක් පමණක් ම නොවේ. ජීවිතය ගැන අලුතින් ඉගැන්වූ පාඩමකි.ප්‍රීතිය උතුරා යන නිවහනක් වෙනුවෙන් සෑම මොහොතකම මම ජීවිතය උගනමින් සිටියෙමි.

“නීතා දැන් මාර විදියට රසට උයනවනෙ. නැත්තං මට නීතාගෙ කෑම රසට දැනෙන්න පටන් අරන්..”

චානක ට අත්‍යවශ්‍ය ගමනක් යෙදුණු සති අන්තයක අප සමඟ හිඳින්නට ආ ලෝචනා පැවසුවේ කෑම මේසයේ සුවඳට ඉව අල්ලමිනි.

“ඉව්වෙ මං නෙවෙයි හින්ද වෙන්නැති ලෝචනා මිස්..”

නීතාගේ මුහුණ දිලිහෙමින් තිබිණ.බුම්බා ගත් ස්වාමි දුව පවුලට ලැදි තැනැත්තියක කරන්නැයි ඉල්ලමින් ඈ දේවාල සහ පන්සල් ගාණේ ගිය වග මට රහසක් නොවේ.”රත්තරං මහත්තයෙක් ඉද්දී ඇයි රත්තරනෙ වැරදිම දකින්නෙ..”ඈ මගෙන් අනන්ත වාරයක් අසා තිබිණ. මා ඒ හැම මොහොතකම කළේ අතිශය සමච්චල් බැල්මක් හෙළීම ය.

“මෙයා ඉව්වද.. මගෙ දරු පැටියා කයිද දන් නෑ මේවා..”

ලෝචනා යටැසින් මදෙස බැලුවා ය. මම මඳක් වැඩුණු ඇගේ කුසට අතක් තැබූයේ ආදරයෙනි. අනුන්ගේ ජීවිත වලට පවා වසන්තය රැගෙන පමා වී පායන තාරකා දුලබ ය. මේ දරුවා ද එවැන්නෙකු බව මට සිතිණ.ලෝචනා මඟ බලමින් හැඬූ වසර ගණනාවකට පසු සතුටු මලක් පිපී ඇත.ඒ මලේ පෙති දිග ඇරෙන්නේ මගේ හිතට ද නව බලාපොරොත්තු කෝටියක් රැගෙන ය.

“කුස්සිය පැත්තට ආවේ නැති පවී නැන්දි උයන්නත් පටන් ගත්තා කියන්නෙ ලොකු වෙනසක් වෙලා තමයි..”

ලෝචනා ආහාර ගනිමින් කීවා ය.

“ඔයාගේ ඩොක්ට විසිට් විස්තරම කිව්ව මිස පහුගිය කාලෙ මං ගැන නිකංවත් ඇහුවයැ ඉතිං.. කමක් නෑ මට අලුත් බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවත්නෙ දැන්..”

මගේ කෙළිලොල් ස්වරය අසා හුන් ලෝචනා අතට ගත් බත් පිඬ සහිතව ම මදෙස බැලුවේ වේදනාත්මක ව ය.

“මං ඔයාව මිස් කරගත්තනං තමා. ඒත් ඔය නිසල් එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එකට නම් මං විරුද්ධයි පවී. මොකක්දෝ විනාසයක් අත ළඟම කියල හිතෙනවා…”

ලෝචනා හිඳින තත්ත්වය අනුව ඈ කම්පාවට හෝ භීතියට පත් කරන්නට මට නුවුමනා ය.අතීතයේ නම් ඇය මඳක් මඩවන්නට තිබිණ.

“ඒ මිනිහා නෙවෙයි අනේ. මං කියන්නෙ චාරු ගැන. චාරු මට හුඟක් ක්ලෝස්.. ඔයා තරම්ම..”

ලෝචනාගේ මුහුණේ සැනසුම් රේඛාවක් ඇඳිණ.

“මට මොකක්ද තනියක් පාලුවක් තිබ්බ ලෝචි. මට හිත හදා ගන්න කාලයක් නොදීම අම්මලා මාව සංකට මැරි කරවපු එකෙන් අපි දෙන්නටම අසාධාරණයක් උනා. මම එයාට වෛර කරා මිසක් ආදරේ කරේම නෑනෙ..ඒත් මං එහෙම කරේ හේතුවක් නැතුව.මට ඒ ගැන දැන් හරිම දුකයි..”

මගේ හඬ බිඳී යන්නට පටන් ගත්තේ ය.ලෝචනා මගේ උරහිසට අතක් තබා සෙමින් පිරිමැද්දා ය.

“ඔයා තාම පරක්කු නෑ පවී..” ඇය අනතුරුව වඩා ආදරණීය ස්වරයකින් පැවසුවා ය

“මං නිසල්ට කිට්ටු වෙනකොට මටම බය හිතෙන්න ගත්තා ලෝචි. එයාට මට ආදරෙයි කියන්න ඕන තරම් අවස්ථා තිබ්බා. ඒත් ආදරෙයිත් නොකියා ඒ වගේ හැසිරෙන එක ගැන මට සැක තැන් ආවා. නිසල් හොඳද නැද්ද මං දන් නෑ.. ඒත් මට එයා ගැන බය හිතෙනවා..එයා මේ ඊයේ පෙරේදා තිසුරි ගැන කියන්න පටන් ගත්තු දේවල් මගේ සැකයට තවත් පෝර දැම්මා..”

ලෝචනාට අතුරුපස ගෙනෙන්නට නැගී සිටින අතර මට කියන්නට තවත් දේවල් විය.

“සංකට අවස්ථාවක් දෙන්න ඕන ලෝචි. එයා ආදරේ කරන්න නොදන්න මනුස්සයෙක් නෙවෙයි කියල මට චාරු කියන දේවල්වලින් හිතෙනවා. මට ආයේ ඒ පරණ සංක හොයා ගන්න ඕන. මටත් ආයේ පරණ මම වෙන්න ඕන.. ඔයා මට ප්‍රමෝෂන් එකකුත් දීලනෙ ඔෆිස් එකෙන් අයින් උනේ.. ඒ අස්සෙ මට හිතෙනවා ඔයාට හම්බෙලා තියන ඔය ප්‍රමෝෂන් එකත් මට ලැබුණොත් හොඳයි කියල.. සීනුටයි ඔයාගෙ බබාටයි දෙන්නටම මල්ලියෙක් ඉන්නවා නම් කොච්චර ශෝක් ද?”

ලෝචනා මා වැලඳ ගත්තා ය. මම ඈ දෙස බලා හුන්නේ ආදරයෙනි.මගේ නංගි මගෙන් ඈත් වී ගොස් හමාර ය.ඒ බිඳුණු බැඳීම යළි පෑහීම අසීරු වග මම දනිමි. ජීවිතය ඉතා අසීරුවෙන් ගත කළ කාලයක ඈ මා තනි කළ බව මට අමතක වන්නේම නැත.

එහෙත් ලෝචනා මේ පුරවන්නේ ඒ සහෝදර හිස්තැන ය.

“ඔයාට සංක නොගැලපෙනව නම් මට ඔයා කියන දේවල් අහන් ඉන්න තිබ්බ.ඒත් ඔයා හිටිය වැරදි වැටහීම නිසයි මං සයිලන්ට් වුණේ. ඒත් පවී මටත් තිබ්බා ඔයාට උදව් කරන්න. නිසල් කොහෙන්දෝ මතු වෙලා ඔයාව බ්‍රේන් වොෂ් කරනකොට මට ඔයයි සංකයි ගැන නෙවෙයි සීනු ගැනයි බය හිතුණෙ.. “

ලෝචනා නැවතිල්ලේ කියවා යයි. නිසල් සැබෑවටම මවෙත සමීප වූ කාරණාව මට සොයා ගන්නට ඕනෑ විය. ඇත්තටම මා එයට පිළිතුරක් සොයා ගත යුතුම ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles