සුළං සීනු -27

“මේ කෙල්ල අද හවස් වරුවම මට කෝල්ස් ගන්නව සංක.ඔෆිස් එකේ ප්‍රශ්න ගෙදර ගේන පුරුද්දක් නැති නිසා මං ආන්සර් කරේම නෑ..”

තිසුරිගේ ඇමතුම දෙස බලා ගත් වනම මම සංකල්පට පැවසුවෙමි. ඔහු ද මා දෙස බලා හුන්නේ විමසුම් නෙතකිනි.

“මං නිසල්ව හවස මීට් වෙලා එන වෙලාවේ ඉඳලාම මේ ළමයා කෝල් කරනව. මං ආන්සර් කරේ නෑ..ගෙදර ආපු වෙලාවේ ඉඳන් මිස් කෝල්ස් කීයක්ද. මැසේජස් කීපෙකුත් තිබ්බ..මං බැලුවෙ නෑ..”

සංකල්ප මවෙත පැමිණ මගේ උරහිසකින් අල්ලා ගත්තේ ය.කාර්යලයේ කිසිම විස්තරයක් මා මින් පෙර ඔහු හා බෙදාගෙන නැත. අප එතරම් ඈත් ව විසූවන් ය.නමුත් ඔහු මෙවෙලෙහි හුන්නේ මා මොනතරම් කරදරයක පැටලුණ ද එය ලෙහා ගන්නට උදව් දෙන ලීලාවකිනි.

“ඔය ඔෆිස් ප්‍රශ්නයක් වෙන්න බෑ පවී…ඔය ළමයගෙ පර්සනල් ප්‍රොබ්ලම් එකක්. නිසල් ඒ දැලට ඔයාවත් පටලවල ඉවරයි මං හිතන්නෙ. පොලිසි උසාවි ගාණෙ යන්න හරි මං ඉන්නවා…කෝල් බැක් කරන්න..”

මම මොහොතක් කල්පනාවට වැටුණෙමි. මේ මා ගත යුතුම ඇමතුමකි. දුරකථනය නාද වද්දීම තිසුරි මට ඇමතූ අතර කිසිදු වදනක් නොදොඩාම ඈ හඬමින් සිටියා ය.

“පවී අක්කි.. අනේ ප්ලීස්.. මෙහෙම කරන්න එපා.. මට නිසල්ව ඕන…”

මිනිත්තු හත අටක් පුරා වචනයක්වත් නොකියා හැඬීමෙන් පසු ඈ පැවසුවා ය. මා ඇගේ ප්‍රධානියා බව හිතට ගෙන ඈට දොස් කීමත් මේ සියල්ල සංකල්පට ද ඇසෙන නිසා තිසුරිට බැන වැදීමත් පසෙකලා මගේ ගැහැනුකම ඉස්මතුව ආවේ ය. ඇය හිඳින්නේ හඬමිනි.මා ඇගේ ඇමතුම් නොසලකා හැර දැන් බොහෝ වෙලා ගෙවී ගොස් ය.නිවසින් ඈත් ව බෝඩිමක වෙසෙන්නිය මේ මුළු වෙලාවම හඬමින් ගෙවා දමන්නට ඇත.

“තිසුරි, ඔයයි නිසලුයි අතරේ ප්‍රශ්නයක් ද? අපි ඒක විසඳ ගමු.. මුලින්ම සන්සුන් වෙන්න..”

කියවන්න :  සුළං සීනු -13

ඇය නැවත වේගයෙන් හඬන්නට ගත්තා ය.

“ඔයාට පවුලක් තියනවනෙ අක්කි. බබෙක් ඉන්නව. ලස්සන හස්බන්ඩ් කෙනෙක් ඉන්නව. අනේ මගෙ නිසල් මට දෙන්න..”

ප්‍රහේලිකාවේ අවසන් කොටු විසඳී ගියේ ය.ලයිෆ් ලයින් එකක්වත් නොගෙන ලක්ෂපති වැඩසටහනක අවසන් ප්‍රශ්නයට පිළිතුරු දෙන තරඟකරුවෙකු නගන අන්දමේ සිනාවකින් සංකල්පගේ තොල් මත සටහන් විය.ඔහු පැවසුවේ සැබැවකි. මේ පෞද්ගලික ගැටලුවකි.නිසල් රට පැටලවීම නිසා සිදු වූවකි.

“නංගි,ඔව් ඔයා කියන්නේ ඇත්ත. මට පවුලක් තියනවනෙ… ඇත්තටම නිසල්ව මට ඕන නෑ..යාලුවෙක් හැටියටවත් ඕන නෑ. මට හොඳ යාලුවෝ සෑහෙන්න ඉන්නව.මං නිසල්ව අයිති කරගන්න හිතලත් නෑ. එහෙම අදහසක් ඔයාගෙ ඔලුවට ආවේ කොහොමද මට තේරෙන්නෙත් නෑ. මං හිතන්නෙ නිසල්මයි කියන්න ඇත්තෙ. එයා එහෙම කියන්න හේතුව මොකක්ද කියල මට අයිඩියා එකක් නැතත් මට හිතෙන්නෙ එයා ඔයාව මඟ අරින්න මාව ඉත්තෙක් කරගෙන..”

ඉතා ඉවසීමෙන් එය පවසා ගැනීමට හැකි වීම ගැන මට සැනසීමක් බඳු හැඟීමක් දැනිණ. නමුත් එය සැබෑ සැනසීමක් නොවේ. නිසල් තිසුරි ප්‍රතික්ෂේප කරන කාරණාව මට දැන ගැනීමට උවමනා නැත. එය ඔවුන්ගේ පෞද්ගලික කාරණාවකි. නමුත් ඔහු මේ කුණුගොඩට මා පටලා ගැනීම ගැන මා කෝපයෙන් පිපිරී යන්නට ආසන්න ය. තිසුරිට බොහෝ දේ පවසා ඈ තුළ වූ වැරදි අවබෝධය නැති කර දමන්නට මම වෙහෙසුණෙමි. ඇය මට එකඟ වන්නට ඇත. ඒ ඇමතුම අවසන් කළ වහා මම නිසල්ට ඇමතුමක් ගන්නට සූදානම් වූයෙමි.

“දැන් ඔය වැඩේ කරන්න එපා පවී. ඔය මිනිහා මොනවම හරි කියල මඟ අරියිනෙ.. තේරුමක් වෙන් නෑ. ඔයා මොකුත් නොදන්නව වගේ ඉන්න. මං හෙට ඔය යකාව මීට් වෙන්නං.. තේරුමක් නැති කතා ප්‍රසිද්ධ කරාම වෙන දේ ගැන පාඩමක් මිනිහා ඉගෙන ගනීවී..”

සංකල්ප පැවසුවේ මගේ හිස අත ගාමිනි.ටිමී සමඟ රණ්ඩුවක පැටලී සිටි සීනු දිවගෙන විත් සංකල්පගේ පිටුපස සැඟව ගත්තා ය. බලු කෙලි වලිය විඳින්නට ගත් මම සියලු හිත් පීඩා අමතක කර දැමීමි.

කියවන්න :  සුළං සීනු -29

සංකල්ප පසුදා නිසල් මුණ ගැසෙන්නට බලා සිටිය ද ඔහු එනතුරු තිසුරි ඇස් අලවා මඟ බලා හුන්න ද නිසල් කාර්යාලයට ආවේ නැත.සවස් යාමය වෙද්දී ඔහු මානව සම්පත් කළමනාකරණ අංශයට යොමු කළ ඊමේල් පණිවිඩයක පිටපතක් මට ලැබිණි. ඔහු සති දෙකක පෞද්ගලික නිවාඩු ඉල්ලා ඇත.මම කාර්යාලය අවසන් වූ පසු තිසුරි ඇමතීමි.

“මම නිසල් කියපු දේ කීවේ අක්කි. මටත් එහෙම හිතුණා. සොරි.”

ඇය මගේ මුහුණ මඟ හරිමින් කීවා ය.මට ඈ ගැන අනුකම්පාවක් දැනිණ. ඒ නිසාම නිසල් දෙසතියක නිවාඩුවක් ඉල්ලා ඇති බව මා ඇයට හෙළි කළෙමි.තිසුරි ගල් ගැසුණු බැල්මකින් බලා සිටියා ය.ඈ පිටව ගියේ පවා සිහිනයෙන් ඇවිදින්නාක් බඳු බැල්මකිනි.

තිසුරි ඉන්පසු රාජකාරියක් හරිහැටි ඉටු කළේම නැත. ඇය තම අසුනේ හිඳගෙන වෙනත චක්‍රාවාට වල පවා සංචාරයේ යෙදෙන බව කියමින් සෙසු සගයන් සරදම් කරන්නට පටන් ගෙන තිබිණ.නිසල්ගේ දුරකථන අංකය ක්‍රියාවිරහිත අතර ෆේස්බුක් ගිණුම පවා අක්‍රීය ව පැවතිණ.

“මං ඊමේල්ස් යැව්වා.. රිප්ලයි නම් නෑ…”

තිසුරි වේදනාත්මකව හෙළි කළා ය. නමුත් වේදනාත්මක කාලය අවසන් නොවූ අතර තිසුරි හදිසියේ අසනීප වූවා ය.ඇය ප්‍රතිකාර ගන්නට රැගෙන යන්නැයි මම ඇගේ අසුනට යාබදව හුන් ඉමාලිගෙන් ඉල්ලා සිටියෙමි.දැඩි මානසික කම්පනයකින් නොකා නොබී හිඳින තිසුරි රෝගීව ඇතැයි මා සිතුවේ මගේ ගැහැනු හිත වෙන යමක් ගැන සැක කරද්දී ය. ඉමාලි මගේ ඉල්ලීම පිළිගෙන නැගිටිද්දී තිසුරි හඬමින් මවෙත ආවා ය.

“මට ඩොක්ට ගාවට යන්න බෑ.. ඒක ඩොක්ටගෙනුත් අහන්න මට ඕන නෑ..”

3.6 5 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments