ඔබට ඇහෙනවනම් – 3

0
787

උදේ පාන්දර පිබිද මම කිරි බතක් පිසුවෙමි. ඒ පුතා කිරි බත් කන්නට වඩාත් ප්‍රිය බව දන්නා නිසාවෙනි. ඔහු ව ළඟින් තියා ගෙන වෙනත් අම්මලා ට සෙයින් රිසි රිසි දේ තනා කවන වාසනාවක් මට නැත. දස මසක් කුස දරා හිඳ මා බිහි කළ දරුවා වුව මට දැකිය හැකි වන්නේ සතියකට එක් දිනක් පමණකි. එය කෙබඳු දඩුවමක් දැයි පහදා කියන්නට මා දන්නේ නැත. මා දන්නේ එහෙවු දඬුවමක් ලබන්නට මා වරදක් කර නැති බව පමණකි.

“වෙන කිසි දෙයක් එපා කසුන්. වන්දි නඩත්තු ඒ මොනවත් ම එපා. මට පුතා විතරක් දෙන්න”

ඔහු ඉදිරියේ මම කෙතරම් නම් බැගෑපත් වූයෙම් ද? නමුත් අළුයම ලූ කෙළ පිඬක් සේ හෙතෙම මගේ කඳුළු නො කතා හැරියේ ය. රැකියාවක් නොමැති මට දරුවෙකු නඩත්තු කළ නො හැකි බව පෙන්වා, ඔහු ගේ නීතීඥයා අම්මෙකු ගේ තුරුලෙන් දරුවෙකු උදුරා ගත්තේ ය.

රැකියාවක් කියන දේ ගැහැනියකට කෙතරම් අවශ්‍ය දැයි මා වටහා ගත්තේ ඉනික්බිති ය. ආදායම් මාර්ගයක් නැති ගැහැනියක කියන්නේ අවලංගු කාසියක් මෙනි. ගෘහ සේවිකාවකට වුව වැටුපක් ලැබේ. රැකියාවක් නැති බිරිඳක් වූ කලී වහල් සේවයේ යෙදවෙන කාන්තාවක් පමණකි.

පුතා කැටුව මා ගෙදර එත්දී, රම්පේ දමා පිසින බතේ සුවඳ ගේට්ටුව ළඟට ම දැනිණ. අම්මා බැරි බැරි ගානේ වුව තාත්තා ගේ උදවු ඇති ව රයිස් කුකර් එක ගසා තිබිණි. අම්මා ගේ බතින් හමන ඔය සුවඳ වෙනත් කිසිදු තැනකදී මට දැනී නැත්තේ ය.

“අම්ම ඇයි උයන්න ගත්තෙ…මං ඇවිත් මොනා හරි හදල ගන්නවනෙ”

“බත විතරයි පුතේ. එතකොට අපිට මේ සංකැටි බෝලෙත් එක්ක සෙල්ලං කරන්න පුළුවන් නෙ දවස පුරාම”

අම්මා පුතු ව තුරුලට ගත්තේ, ඔවුන් ට අහිමි කර දමන ලද අයිතියක් ගැන වේදනාත්මක හැඟීමෙන් බව මම දනිමි. රෝද පුටුවකට සීමා වු අම්මා ගේ ලෝකය දැන් අතිශය සීමිත ය. ගේ මිදුල් පුරා දුව පැන ඇවිදිමින් අපරිමාණ වැඩ කන්දරාවක් කළ අම්මා කෙනෙකු ට රෝද පුටුවක් කියන්නේ දඬුවමක් වන්නට පුළුවන. නමුත් අපේ හිත් වලට දුක් දෙන්නට බැරි කමට ඕ කඳුළක් හෝ නො පෙන්වා ඉන්නවා ඇත. එහෙවු ඇය ට ගේ පුරා දුව පනින මුණුපුරෙකු ගේ හුරතලය හෝ අහන්නට දකින්නට තියෙනවා නම් බොහෝ තැවුල් අමතක කළ හැකි වන්නේ ය. නමුත් අම්මා හා තාත්තා වෙනුවෙන් මට ඒ යුතුකම හෝ කළ නො හැකි වූයේ ය.

සෙනසුරාදා ට අපේ පාළු ගේ පුතු ගේ සුරතල් සිනා කතා හඬින් පිරී යයි. සීයාත් ආච්චිත් සතුටෙන් මුණුපුරු පස්සේ වැටී සිටිති. මම ඔහු ට කන්න දෙන්නට ලෝකයේ ඇති රසවත් ම කෑම ගැන හිතමි. සති අන්තය ගෙවෙන්නේ දෙහෝරාවක් තරම් වේගයෙනි.

සඳුදා සිට නැවතත් යන්ත්‍රාණුසාරයෙන් වැඩ කළ යුතු ව තියේ. 

අලුත් සර් ආවාට පස්සේ කාර්යාලයේ සේවකයන් ගේ හැසිරීමෙහි මඳ වෙනසක් වෙනවා මට දැනිණ. ඒ හරියට ඔහු ව අධ්‍යයනය කරනු පිණිස ලබා ගත් කෙටි කාල සීමාවක් විය හැක.  කට්ටිය වෙලාවට කාර්යාලයට විත් ඇඟිලි සලකුණු තියනවාත්, කෑම පැය දෙපැයක් දක්වා දීර්ඝ කිරීමේ පුරුද්ද සංස්කරණය කරනවාත්, කලමණාකාර අධ්‍යක්ෂක ශ්‍රීනාත් ගල්හේන මහතා සන්ධ්‍යාවේ කාර්යාලයෙන් නික්ම ගිය පසු හිතු මනාපේ වට මේස දමාගෙන හිඳීම් අඩු වෙනවා ත් මම නිරීක්ෂණය කළෙමි.

“නිම්නා හිතන්නෙ මේ කම්පනි එකේ මොනවද තියන ප්‍රශ්න…”

සඳුදා දිවා ආහාරයෙන් පස්සේ කුලාන් මාව සිය කුටියට කැඳවා ප්‍රශ්න කළේ ය. සාමාන්‍යයෙන් මා සහෝදර සේවකයන් කරනා වැරදි ගැන අධ්‍යක්ෂවරයා සමග වුව කතා නොකරමි. ඔවුන් මා කේලාම් කාරියක ලෙස සිතා ගෙන සිටියාට, හැම විට ම මා පෙන්වා දී තිබෙන්නේ ආයතනයේ යහපත් ගමන වෙනුවෙන් කළ හැකි වෙනස්කම් ය.

මම අර කුලාන් ළඟ විතරක් විඳ ඇති විලවුන් සුවඳින් පපුව පුරවා ගතිමි.

“ප්‍රශ්නනං කීපයක් ම තියෙනව සර්. සර්කියුලේෂන් එකේ අඩුපාඩු තියනව. පත්තර වල කන්ටෙන්ට් එක ගැන එඩිටෝරියල් එකෙං හැදෙන්න ඕන දේවල් තියෙනව. තව එතකොට…මාකටිං ප්‍රශ්නත් නැතුව නෙවෙයි. ඔය කොයි දේත් හැදෙන්න කලිං සේවකයනුයි කම්පනි එකයි අතරෙ බැඳීම ශක්තිමත් වෙන්න ඕන කියල මට හිතෙනව සර්. ඒ කිව්වෙ…මේක තමයි අපිව ජීවත් කරවන තැන කියන ආකල්පය මිසක්…මේක තමයි අපිට හොරා කන්න තියන තැන කියන ආකල්පය නෙවෙයි අපේ හිත් වල තියෙන්න ඕනෙ. වැරදිච්ච යම් යම් තැන් ඇති. අන්න ඒ තැන් හොයල නිවැරදි කරන්න පටන් ගත්තොත් අපි සාර්ථක වෙයි සර්”

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 7

මවෙත විදා ගත් දෑසින් කුලාන් මදෙස ම බලා උන්නේ ය. ඒ බැල්ම දරා ගැනීමේ යම් අපහසුවක් දැනුණත්, ඔහු මගේ ප්‍රධානියා ය යන අදහසින් මම ඒ ගැන අමතක කළෙමි.

“දැං ඕව තාත්තට කියල නැද්ද…”

“සමහර දේවල් කියල තියනව. ඒත් එම් ඩී සර් ලොකුවට දේවල් වෙනස් කරන්න ලෑස්ති කෙනෙක් නෙවෙයි කියලයි මේ ටික කාලෙට මට දැනිල තියෙන්නෙ. මේ ෆ්ලෝ එකේ ම යන්නයි සර්ට ඕනෙ. මගෙ බලේට වගේ කරපු දේවල් කීපයක් නිසා කට්ටිය මාත් එක්ක එච්චර හොඳකුත් නෑ වගේ”

“මොනාද ඔයාගෙ බලේට කළේ…”

“මට දැනුණා සර්…ප්‍රින්ට් ඕඩර්සුයි රිටර්න්සුයි සේල්සුයි කම්පෙයා කළහම කොතනක හරි ෂෝට් එකක් තියෙනව කියල. ඒ ගමන මං රිටර්න්ස් ගණං කරන්න පටං ගත්ත”

“වෙරි ගුඩ්”

“පළවෙනි වතාවෙ එහෙම කරද්දි…අපිට දීල තියෙන ඩීටේල්ස් වල තරමට රිටර්න්ස් තිබුණෙ නෑ. කට්ටිය ඉතිං එක එක හේතු කිව්ව. වැඩියම මාත් එක්ක කේන්තියෙං ඉන්නෙ ඒ ගැන”

“ඒකට නිම්නා එක්ක තරහ ගන්න හේතුවක් නෑනෙ. නිම්නාත් මෙතන වැඩ කරන කෙනෙක් විතරනෙ”

“කට්ටිය හිතන්නෙ මං මට අයිති නැති දේවල් වලට අත දානව කියල. ඇත්තටම මට එම් ඩී සර් ගැන දුකයි. සර් මට තාත්ත කෙනෙක් වගේ. ඒකයි මං ඩියුටි එක විතරක් කරල පැත්තකට වුණේ නැත්තෙ…”

කුලාන් ගේ ඇස් මදෙස බලා උන් විදිහේ බැල්මක් ශ්‍රීනාත් සර් වෙතින් මම කිසි දා දැක නැත්තෙමි. සල්ලිකාර පුතුන් ගේ සෙල්ලක්කාර පැවතුම් ගැන මා අසා නැතිවා නොවේ. එදා මුල් ම දිනයේ ඔහු මගේ ඇඟට මඩ වතුර විසි වන්නට සැලැස්වූයේත් හිතා මතා ම ය කියන සිතිවිල්ලෙන් මිදෙන්නට තවමත් මට අපහසු වී තියේ. ඒ නිසා ම කුලාන් සම්බන්ධයෙන් ප්‍රවේසම් සහගත ව හැසිරිය යුතු යයි මම මගේ සිතට ම අවවාද කළෙමි.

“මට ඊ….රිසියයි”

හැන්දෑවේ තේ එකත් ගෙන මගේ කියුබිකල් එකට පැමිණි අශී අසුන් ගත්තේ එහෙම කියමිනි. මේ ආයතනයෙහි මිත්‍රත්වයෙන් මා ඇසුරු කරන්නේ ඇය පමණකි. ඊට ප්‍රධාන ම හේතුව අප දෙදෙනා ගේ වයස් අතර වූ සමානකම වන්නට ඇත. හැඳින ගත් දා දිවා ආහාර සඳහා කෑම ශාලාවට යාමට පෙර ඕ කියුබිකල් එකට විත් “ලන්ච් ගන්න යමුද” කියා මගෙන් ඇසුවා ය. එදා සිට අද වන තුරුත් අප දෙදෙනා කෑමට ගියේ එකට ය. ආයතනයට මට වඩා පරණ වූ ඇයගෙන් මම බොහෝ කාරණා දැන අවබෝධ කර ගතිමි. අපේ පුද්ගලික ජීවිත පිළිබඳව ද අප කතා කළේ අප සමග පමණ ය.

“ඒ මොකද ඊරිසියා…”

මම දෑස් කුඩා කොට ඇසුවෙමි.

“වෙන මොකටද ඉතිං…කුලාන් සර් පැය ගාණක් ඔයා එක්ක කියෝ කියෝ හිටියට”

මම සිනහව ගිලගෙන තේ උගුරක් බීවෙමි.

“මොනාද එයා ඇහුවෙ…”

“එයාව බඳින්න කැමතිද කියල”

තේ කෝප්පය පසෙකින් තබා මම හොඳට ම සිනාසුණෙමි. අශී මට රැවුවා ය.

“පිස්සි…කම්පනි එකේ තියෙන ප්‍රශ්න ගැනයි කතා කළේ. මං හිතන්නෙ කුලාන් සර් ඇප්‍රොච් වෙන විදිහ හොඳයි”

එවර ඇගේ මුහුණේ ඇඳුණේ මනමාල පාට සිනහවකි.

“පේනව එයා ඇප්‍රොච් වෙන විදිහ හොඳයි කියල”

“මේකිට මොන මනමාල කමක් ගහලද ඒ ගමන…”

“මං එයා ගැන ක්‍රෂ් අප්පා”

“විකාර”

වීදුරු දොර ඇරුණේ අපේ කතාව අතරේ මා දකින්නේ ම නැතිව ය. 

“ඕ සොරි”

කුලාන් කලබලකාරී ස්වභාවයකින් කීවේ ය. මම වහා අසුනෙන් නැගිට ගතිමි. අශී ගේ ඇස් වල වන්නේ කුලාන් ව ගිලින බැලමකැයි ඒ අස්සේත් මට සිතිණි. නමුත් ඒ සිතිවිල්ලට නතු ව සිනහ වෙන අවසරයක් වූයේ නැත.

“නිම්නා අපි ප්‍රෙස් එක පැත්තට ගිහින් එමුද…”

“ඕකේ සර්”

මගේ පිළිතුර ප්‍රශ්නය ගැන සිතන්නට හෝ එය වටහා ගන්නටත් පෙර ලබා දුන්නකි. වීදුරු දොර අත්හැරී කුලාන් නො පෙනී ගියේ ය.

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 14

“අනේ නිම්නා මාව ඔය හෑන්ඩ් බෑග් එක ඇතුලටවත් දාගෙන යනවකො”

අශී පුටුව උඩට වැටුණා ය. මම හොඳට ම සිනහ වුණෙමි.

මුද්‍රණාලය වෙත යාම මට අමුතු දෙයක් නොවේ. එය වන්නේ කාර්යාල පරිශ්‍රයෙන් කිලෝ මීටර කිහිපයක් ඈතින්, මහරගම ය. ආයතනයේ රියක එහි ගොස් පැමිණීම මසකට දෙතුන් වරක් සිදු කිරීම මගේ රාජකාරියේ කොටසක් වී තියේ. නමුත් අද වෑන් රථය සූදානම් ව මා වෙනුවෙන් බලා නො සිටියේ ය.

“නිම්නා මිස්ට එන්නලු අපේ අලුත් සර්”

 සරත් දිවැවිත් මට පණිවිඩය කීවේ මා වෑන් රිය වෙනුවෙන් මග බලමින් සිටියදී, කුලාන් ගේ රිය දෙස බලමිනි. මම එදෙසට පිය තබන්නට පටන් ගතිමි. නමුත් හදවත ඇතුළේ සුළි සුළඟක කැළඹීම විය. සුළි සුළං වලට වුව පවුරු බඳින්නට ඕනෑ නම් පුළුවන.

මා යන විට ම ඔහු වම් පසට නැඹුරු වූ ඉදිරි දොර හැරියේ ය. නැගුණාට මට එහි සුව පහසුවක් දැනුණේ නැත.

“ඇයි…මගෙ කා එකේ යන්න කැමති නැද්ද…”

“අනේ නෑ සර්. මං හිතුවෙ ඉතිං පුරුදු විදිහට වෑන් එකේ යනව ඇති කියල”

රිය කවුළුවෙන් වම් පස බලා ගෙන ම හිටියත් මා කිසිත් නො දුටු බව සහතික ය. පන්සල පාර දිගේ රිය ඇදී යත්දීත් මසිත් හි ඇඳෙමින් මැකෙමින් තිබුණේ මේ රිය ළඟ හිඳ මා කුලාන් ට බැණ වැදුණ දර්ශනය ම ය. මා පියවි සිහියට එළඹියේ ඔහු රිය දොර හැර ගෙන මුද්‍රණාලය ඉදිරියේ බැස ගත්දී ය.

මුද්‍රණ කලමණාකාර නීල් මහතා සමග කුලාන් දිගු සාකච්ඡාවක් කළේ ය. වෙනදා සේ ඒවාට මැදිහත් නොවී මම පසෙකට වී සිටියෙමි. කුලාන් කියන්නේ ශ්‍රීනාත් ගල්හේන නොවේ. මා ආයතනයේ පරිපාලනයට අනවශ්‍ය ලෙස අත පොවනවායි කුලාන් සිතිය යුතු නැත.

“සෙන්ටර් පේජ් එකේ කලර් බැලන්සින් වල පොඩි වෙනසක් තියෙනව වගේ නේද මිස්ට නීල්…”

අනතිමට මා පත්තරයක මැද පිටුව අතට ගෙන එසේ ඇසුවේ, නො අසා සිටීම මගේ ම හදවතට විරුද්ධ වීමක් සේ දැනුණ නිසාවෙනි. කුලාන් ඇස් කුඩා කොට මදෙස බැලුවේ ය.

“ඔව් නිම්නා. පොඩ්ඩක් යෙලෝ වැඩි වෙලා තමයි”

නීල් තරමක පහළ ස්වරයකින් කීවේ ඒ ගැන කුලාන් ගේ අවධානය යොමු නොවනු වස් විය හැක.

“ප්‍රින්ට් ඕඩර් එක ගහල ඉවරද…”

“ඔව්”

“චුට්ටක් බලන්න තිබුණා නේද මිස්ට නීල්…කම්පටිටිව් මාකට් එකේදි අවාසියක් වෙන්න මේව බලපානව. පුංචි දේවල් වගේ අපිට පෙනුණට කොලිටි එක කියන්නෙ මිනිස්සුන්ට දැනෙන දෙයක්නෙ”

නීල් ගේ මූණ වෙනස් වනු මට පෙනිණ. කුලාන් ඉදිරියේ ඔහු ගේ අතපසුවීමක් හෙළි දරවු කිරීම ගැන ඔහු කෝප ගන්නට ඇත. මට අවැසි වූයේ කුලාන් ඉදිරියේ රඟපාන්නට නොව ආයතනය වෙනුවෙන් ඒ වෙලාවේ මා කළ යුතු වූ දේ කරන්නට ය.

අප ආපසු එන ගමනේ දී කුලාන් හිටියේ කල්පනාවක ය.  මටත් කල්පනා කරන්නට දේවල් ඕනෑ තරම් දේවල්  තිබිණි. ලබන සතියේ තාත්තා ගේ හෘද රෝග සායනය ය. පාන්දරින් ම ඒ දිනයට ඔහු සමගින් ක්ලිනික් යන්නේ මා ය. හෙට නිවාඩු පෝරමයක්  පුරවා භාර දෙන්නට අමතක නො කළ යුතු ය.

අප යළි කාර්යාලය වෙත පැමිණෙත්දී කාර්ය මණ්ඩලය වැඩ නිමා කරමින් සිටියහ. අශී ද නික්ම ගොස් තිබුණ අතර මම ලිපි ගොනු සකසා තබා ඉක්මන් ගමනෙන් කාර්යාලයෙන් නික්මුණෙමි. කුලාන් බෙදා හැරීමේ කලමණාකාර වරයා සමග කතාවක සිටිනවා අඩැසට දුටුවත්, මම උවමනාවෙන් එදෙස බලන්නට නො ගියෙමි. විජේරාම දෙසට ඉක්මන් අඩි තබමින් සිටියදී කුලාන් ගේ රිය මා සමීපයේ නතර වූයේ ය. 

“කොහෙද ගෙවල් තියෙන්නෙ…”

පැති වීදුරුව පහත් කරමින් ඔහු විමසුවේ ය.

“මත්තෙගොඩ සර්”

“නගින්න”

“ඕන්නෑ සර්. මට මෙතනිං බස් එක ගන්න පුළුවන්. තෑන්ක් යූ”

“මාත් යන්නෙ කොට්ටාවට. නගින්න”

“කොට්ටාවෙං බස් එකට නගින්න අමාරුයි සර්. සෙනග වැඩියි. මෙතනිං නගින එක ලේසියි. මං යන්නං සර්”

“සැරයක් දෙකක් කිව්වහම අහල නගිනවද…”

එවර ඔහු ගේ ස්වරය මා බලාපොරොත්තු නොවූ තරමට දැඩි වූයේ ය. කුමක් කරන්න දැයි නො දැන මා බලා සිටිය දී ඉදිරි දොර ද විවර වූයේ ය.

4.3 7 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments