මල් තුහින – 06

“තුහින?”

එතැනින් එහා කිසිවක්ම පැවසීම පලක් නොවේ. නමුත් කාටවත්ම නොකියන කාරණාවක් හිතේ දරාගෙන හිඳින රුවිනිට මේ ආරංචිය නරක එකක් නොවී ය. ඒ හන්දාම ඇය මලිතිගෙන් එක් දෙයක් අසන්නට ප්‍රවේසම් වූවා ය.

“ඔයාට හිතෙනවද මලී, දවසක තුහින ඔයාට ආදරේ කරාවි කියලා.”

මලිති කිසිවක්ම නොකියා සිනා මුහුණක් යවන්නට සිතුවා ය. ඒ ප්‍රමාණවත් ය. සමහර කාරණා ඕනෑවට වඩා කියන්නට ඕනෑ නැත.

“ඔයා කාලද දරුවෝ.”

සුදු අම්මාගෙන් ඒ ඇමතුම එනතුරුම මලිති සිටියේ අඩක් නින්දේ ය. අඩක් සිහින දකිමිනි. සුදු අම්මා මේ ඇමතීම මඟ හැර ගන්නේ නැත. වසර විසි පහකට පෙර අතීත දවසක මලිති මඟ හැර නොගත්තා වාගේම සුදු අම්මා තවමත් ඇය දරා ගනියි.

“නවීන් රෑට කන්න ගත්තු දේවල් කන්න මට බෑ සුදු අම්මේ. මං බිස්කට් කෑවා.”

එසේ කියන්නට සිතුණත් ඇය එසේ නොකීවා ය.

“රඟපාන එක නවත්තනව.තමුසෙ දිගටම රඟපාන්න ගත්තොත් මැරෙනකම්ම රඟපාන්න වෙයි.”

ඒ තර්ජනය රුවිනි කර ඇත්තේ වරක් දෙවරක් නොවේ. වතාවක් දෙවතාවක් එය හුරුපුරුදු වුණත් මලිති දිගින් දිගටම කරන්නේ රඟපෑම ය.

“අද ඉව්වේ නෑ සුදු අම්මා. අපි ආප්ප කෑවා.”

ඉටු නොවූ දේවල් ඉටු වූ බව පැවසීම මානසික රෝගයක කොටසක් බව මලිතිට පැවසුවේ ඇගේ වෛද්‍යවරිය ය. නමුත් සුදු අම්මාගේ අධි රුධිර පීඩනය වැඩි කරන්නට ඇයට සිත් නොදේ.සුදු අම්මා කියන්නේ පස් හැවිරිදි දැරියක කාලයේ ඇයට ලැබුණු හොඳම තෑග්ග ය.

අම්මා!

ඇගේ ඡායාවක්වත් මලිතිට මතක නැත.සමහර බබාලා අම්මා නැතිව උපදින බව ඇය අම්මම්මාටත් තාත්තම්මාටත් කියන්නට ගත්තේ පෙර පාසල් ගුරුවරියගේ ඉගැන්වීම් බසට පින් සිදු වන්නට ය. තාත්තාගේ කුමක් හෝ කතාවක් හන්දා අම්මම්මා තදින් කෝපත් වූ දිනක් මලිතිගේ මතකයේ යාන්තමට සඳහන් වී තිබේ. එදා අම්මම්මා ඇය තුරුලට ගෙන ඇයට සින්ඩරෙල්ලා කතාව කියා දුන්නා ය.

“කුඩම්මලා කියන්නෙ මහ විසකුරු ජාතියක්. කුඩම්මෙකුට කිසි දවසක අම්මෙක් වෙන්න බෑ. කුඩම්මෙක් කවදාවත් අම්මෙක් වෙන්නෙත් නෑ.”

අම්මම්මා යමක් කමක් නොතේරෙන දැරියකට එසේ පැවසුවේ මලිතිට කුඩම්මා කෙනෙකු ලැබෙන්නට යන හන්දා ය. නමුත් ඇය කුඩම්මා වූයේ නැත. ඒ මලිතිගේ සුදු අම්මා ය. සුදු අම්මා ඇගේ දරුවෙකුට උපත දීම ප්‍රමාද කරද්දී ඇය මලිති වෙනුවෙන්ම ඇප කැප වී ඇතැයි නෑදැයන් අප්‍රමාණ සැනසීමට පත් වූවත් එය බිඳී ගියේ මලිති පහේ පන්තියේ සිටි කාලයේ ය.සරසි ඈ අක්කා කෙනෙකු බවට පත් කරමින් ලෝකය දකින්නට ආවාය.එහෙත් කිසිවක්ම වෙනස් වී නැත. මලිති තවමත් සුදු අම්මාගේ ලොකු දූ ය. සරසිගේ අම්මා වී මලිතිගේ සුදු අම්මා වන්නට සිදු වුණත් ජානකී වැඩියෙන්ම ආදරය කරන්නේ මලිතිට ය.එහෙව් ආදරයක් දරා හිඳින්නිය ලොකු දූ හිඳින්නේ වියළි කාන්තාරයක බව දැනගෙන පපුවේ අමාරු හදා ගන්නට ඉඩ තිබේ. වෛද්‍ය පීඨයට ගොස් පළමු වසර නාහෙන් අඬමින් ගෙවා දමන සරසි දන්නා බෙහෙතක් ද නොවේ. ඒ හන්දා නවීන් සම්බන්ධ කෝපය රජය පිටින් යවන්නට මලිති තීරණය කළාය.මලිතිගේ දේශපාලනික විවාද අසා හිඳීම ඇති වූ සුදු අම්මා ඇමතුම අහවර කරන්නට තීරණය කළාය.

“මං සෑහෙන්න හිතුව.”

ඇමතුම නිමා කර බලද්දී රුවිනිගෙන් තවත් පණිවිඩයක් ලැබී තිබිණ.මලිති එය කියවා බැලුවා ය.

“ඔයා තුහිනට ආදරෙයි නම් මට මොකුත්ම කියන්න බෑ.ඒ ඔයාගෙ අයිතියනෙ.ඒත් මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියනව.”

රුවිනි දිගින් දිගටම ලියා එවයි.මලිති එය කියවන්නට තීරණය කළාය.

“ඔයා ඉන්නේ ලොකු අන්දකාරෙක.අපි මුලින්ම ඔය අන්දකාරේ එක සහන් එළියක් හරි හොයා ගන්න ඕන.අපි ගෑනු මලී, අපිට ඒවා මුණ නොගැහි තියෙන් නෑ. ඔයා වගේ ගෑනියෙක්ට කොහොමත් ඕක මුණ ගැහෙනව. ඒත් ඒ සහන් එළිය තියෙන්න ඕන තුහිනගෙ ඇස් දෙකේ නෙවෙයි.”

මලිති ඒ පණිවිඩය වෙනුවෙන් හදවත් සළකුණක් යෙදුවා ය. රුවිනිට කතා කරන්නට ඉඩ දිය යුතු වේ.

“මුලින්ම ඔය වේදනාවෙන් මිදෙන පාර හොයා ගන්න.මට ආයේ ආයෙ කියන්න තියන දේ තමයි, ඔයා නවීන්ට තවම ආදරෙයිද කියන එක පැහැදිලි කරගන්නේ නැතුව ඉස්සරහට යාමක් නෑ. ඔයා දන්නවද ඔයාට ඔය ඉන්න වේදනාවෙන් මිදෙන එක නවීන්ගෙන් ඈත් නොවී කරන්නත් පුලුවන්. ඈත් වෙලා කරන්නත් පුලුවන්. ඔයා හරිම පරිස්සම් වෙන්න ඕන. වැඩිපුර ඉවසන්නත් ඕන.”

වේදනාවේ ඇලී ගැලී සිටීම කිසිවක්ම ලබා දෙන්නේ නැත. තීරණයක් ගැනීමට අඩියක් පෙරට හෝ පසුපසට තබන්නට කාලය පැමිණ තිබේ. එය මලිති තේරුම් ගත යුතුම වේ. ගෘහ නිර්මාණ ශිල්පය ගැන හදාරා වෘත්තියවේදිනියක වූවාට ජීවිතය ගෘහයක් තරමට නිර්මාණය කර ගැනීම පහසු නොවේ. ජීවිතය ඉතා ප්‍රවේසමෙන් පිරියම් කළ යුතු තැනකි.

“මට ඇත්තටම හිතෙන දේ තමයි ඔයා දුකේ ගැලි ගැලී හිටියොත්නම් ගොඩ ඒමක් නෑ.”

රුවිනි එසේ පැවසුවේ කරුණාවෙන් ය. කොහොමටත් දුක්බර ජීවිත කතා දෙස බලා සිටින්නටවත් කියවන්නටවත් අසා හිඳින්නටවත් කිසිවෙකුගේ කැමැත්තක් නැත. අඩුම තරමේ නවකතාවක් ටෙලි නාට්‍යයක් වුවත් රසිකයන් වැළඳ ගන්නේ එහි ආදරය සහ ප්‍රීතිය පිරී ඇති තරමට ය.

“උඹ ඔහොම නොකර විඳෙව්වොත් මොකද දන්නවද වෙන්නේ?”

රුවිනි කතාවේ බර සැහැල්ලු කරන්නට සිතුවා ය.

“බලපං අපේ ප්‍රේමණීය රංගනී. වයස අවුරුදු පනස් පහයි. දැන් හරිනම් බණක් භාවනාවක් කරන් ඉන්න ඕන කාලෙ. ඒත් අඩුම තරමේ පාරමීගේ හෙයා ස්ටයිල් එකට හරි ලේ රත් කරගන්නව. ඊටපස්සෙ ඩොක්ට වරුසවිතාන පෝසත් කරනව. අන්න එහෙම ඇරියස් ලෝක වෙලා වයසට යන්නෙ දුකටම ඇලිලා ජීවත් වෙන ගෑනු. උඹට එහෙම වෙනව දකින්න මං ආස නෑ.තව අවුරුදු විස්සක් තිහක්වත් ඉන්න එපැයි.”

රුවිනිගේ සරදමට හිනාවක් ඉපදෙද්දී මලිතිද සරදමක් ලියා යැව්වාය.

“පුතාවත් කසාද බැන්දුව.රංගනී තව අවුරුද්දක් දෙකක් අල්ලන් ඉඳී නේද බං.කොයි වෙලාවෙ හරි හොහ් ගාලා තියෙයි.”

ජීවිතය සහ මේ ගැටළු රංගනී තරම් සරදමක් නොවේ. නමුත් රුවිනි කියන අන්දමට සහන් එළියක් සොයා ගත යුතුම වේ.

(මල් තුහින ඉවසීමෙන් කියවන ඔබට ස්තූතියි. මේ කතාව ඔබ සමඟ සංවාද කරමින් ගොඩ නඟන්නට රිසි වූයේ මේ බහුතර විවාහක ගැහැනුන් සඟවන කතාවක් නිසා ය. මලිතිගේ සහන් එළිය ඇත්තේ කොතැනද? සුදු අම්මාට සත්‍යය පැවසීම, නවීන් සමඟ මනෝ උපදේශකවරයෙකු මුණ ගැසීම, රුවිනි සමඟ දීර්ඝව සාකච්ඡා කිරීම, තුහිනට ඇගේ ආදරය ප්‍රකාශ කිරීම. ඔබ සිතන දේ හේතු සහිතව SmartLady Facebook පිටුවේ කමෙන්ට් එකකින් තබා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles