මන්දාරම් හැන්දෑවක – 2

“නංගි.. මං ඔයාව අඬවන්න නෙවෙයි ඇහුවෙ.හැමදෙයක් ගැනම ඇත්ත අක්කයි මායි දැන ගන්න ඕන.. ඔයාව බලා ගන්න අපිට ලේසි එතකොටනෙ..”

වරුණගේ සන්සුන් කටහඬ ගලා ආවේ ය.මහා මාර්ගය අසල විසල් ගසක් අසල වාහනය නවතා ගත් වරුණ යළිත් මේඝාගේ හිස අත ගෑවේ ය.මෙවැනි මොහොතක යුවතියකට වඩා අවශ්‍ය වන්නේ පිය සෙනෙහස ය.ලෝකයම ගරහන මොහොතක පවා පැමිණ සැඟව ගන්නට කන්දක් වන් තාත්තා කෙනෙකු හිඳින්නේ නම් ලෝකයම සමඟ සටනේ යෙදෙන්නට දියණියක බිය වන්නේ නැත.පාලනය කරන්නට අපහසු තරමට දඟ මල්ලක් ව හිඳින තම දියණිය වරුණට සිහිපත් විණි.සිවු හැවිරිදි දියණියකගේ තාත්තා වීම තරම් විසි දෙහැවිරිදි වැඩුණු දැරියකට පියෙකු වීමට පහසු නොවන බව ඔහු සිතුවේ ය.නමුත් මේඝාට මේ මොහොතේ අවශ්‍ය සහෝදරයෙකුට ද වඩා තාත්තා කෙනෙකි.මාධවී කොහොමටත් දැන් වසර ගණනාවක් පුරා මේඝාට මවක් වූ වග ඔහුට මතක ය.මේ තමන්ගේ වාරය වග ඔහු සිතුවේ හඬන මේඝාට හඬන්නට ඉඩ දී බලා ඉන්නා අතර ය.

“ජනිඳු දන්නව.අක්කල ගාවට මං යයි කියල කොහොමත් හිතයි. ඒත් අයියෙ මං එයාට මැසේජ් කරේ මං ජීවිතේ නැති කරගන්නව කියලනෙ…ඒනිසා එහෙම හිතන්නත් පුලුවං..”

මේඝා ඉකි ගැසීම පාලනය කරගත් වහා පහත් හඬින් පැවසුවා ය.ඉතා මෑත දවසක අක්කා බලන්නට අනුරාධපුර යන්නට ජනිඳුට යෝජනා කළ හැටි පවා ඇයට සිහි විණි.ඉරණම යාන්තමට හෝ යහපත් වූ තැන් ඇති නිසා ඔහු අක්කාගේ ගෙදර කැන්දාගෙන ඒමට හැකි නොවීම ම සැනසීමකි.

“මෙහෙ ඇවිල්ල පාට් දාන්න බෑනෙ. මේවා අපේ මුල් ගම්..ආවොත් අපි බලා ගමු..දැන් ඕවා අමතක කරන්න..”

වරුණ රිය පණ ගැන්වූයේ එසේ කියමිනි.තද නිල්පැහැති වළාකුළු රහිත අහස දෙස ඇස අලවා ගනිමින් මේඝා සන්සුන් වන්නට තැත් කළා ය.

“මොරීන් ඇන්‍ටි හදිසියේ ඔයාට මනමාලයෝ හොයන්න අරන්..ඔයා වලියක් දාගෙන මෙහෙ ආවා කියලයි අම්මලට අපි කිව්වෙ. කොහොමත් අපේ අම්මලා මදූට පණ ඇරලා නිසා ඔයාටත් ඒ වගේම ආදරෙයිනෙ. පොඩ්ඩිට හිතන්න දෙයක් ඇත්තෙම නෑ ඒ ගැන..”

වරුණ පවසන්නේ ගෙවත්ත වෙත රිය හරවන අතර ය.තාප්පයකින් වත්තේ හතර මායිම ලකුණු නොවූ විශාල ඉඩම දෙස මේඝා බලා හුන්නා ය.සුවිසල් වැලි මිදුලේ හරිමැද පිහිටි පැරණි නිවස වේදනා සඟවා ගනිමින් සැඟව ගන්නට ඇයට ආරාධනා කරන්නාක් මෙනි.කලබල කොළඹ නගරයේ ජීවිතය හති වැටෙද්දී දිව ආ තැන අද ජීවිතය හති වැටෙද්දී ද ඈ පිළි ගන්නට බලා හිඳින්නේ ආදරයෙනි.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 8

“පුංචියා ඇවිල්ලා..”පොඩි අක්කාගේ දියණිය මිදුලේ කොනක සිට දිව ආවා ය.වැලි තවරා ගත් සිඟිති අත් වලින් කිටිකිටියේ වැලඳ ගනිද්දී මේඝාට අහේතුකව හැඬුම් ආයේ ය.

“පුංචි ගාව සල්ලි තිබ්බේ නෑනෙ රත්තරං ඔයාට මොකුත් ගේන්න..” මේඝා ලතැවුලෙන් පැවසුවා ය.සුපිරි වෙළඳ සැලක කරක් ගසා වෙනදා මිලට ගන්නා සෙල්ලම් බෝනික්කන් තබා දුම්රියේ විකුණන කහ දොඩමක් තරමේ දෙයක්වත් අද ඈ වෙනුවෙන් රැගෙන විත් නැත.සෙනුරි කුඩා දෑස් සිහින් කරමින් බැල්මක් හෙලා පුංචීට සමාව දෙන්නට තීරණය කළා ය.

“අර ඉනුලි බලන් හිටියා අපේ පුංචි මොනවහරි ගේනකම්..”

ඇය අත දිගු කර සෙල්ලම් ගෙය පෙන්වූවා ය.මේඝා එදිශාවට නෙත් යොමු කරද්දී සෙනුරි තරමේ කුඩා දියණියක එහි තනිව කෝම්පිට්ටු හදමින් හුන්නා ය.දින කිහිපයකට පසු හිනාවක් මවා ගන්නට යාන්තම් හැකි වීම ගැන සතුටට පත් මේඝා ඒ හිනාව එලෙසම තබා ගනිමින් වරුණගේ අම්මාට සිනාවක් පා කළා ය.

“මහන්සි ඇතිනෙ පොඩි දූ.. ඔය කිරි අම්මට පස්සෙ කතා කරන්න පුලුවං..ගෙට ආවානං හරි..”

ඇගේ සුහද බව දරා ගනිමින් මේඝා ගෙට ගොඩ වූවා ය.උළු සෙවිලි කළ නිවසත් රතු සිමෙන්ති ඇතිරූ බිමත් හිත නිවාලන වග ඇයට දැනිණ.එහෙත් හද දවනා ගිනි ජාලාව මෙවැනි සනීපදායක බිමකදීවත් නිවී යා යැයි විශ්වාස කළ හැකි නොවේ.

වරුණගේ අම්මා කොතෙක් ඇවිටිලි කළත් මේඝාට කන්නට පිරියක් වූයේ නැත. නාන කාමරය දෙසවත් නොබලා වෙනදා වත්ත කෙළවර ඇති ළිඳට ගොස් පැය ගණනක් නෑවද අද එවැනි ආසාවන් පහළ නොවන බව ඈ දැන සිටියා ය.යාන්තම් මුහුණ කට සෝදාගෙන බත් කටක් දෙකක් කුසට දමා ගත් මේඝා කාමරයට පැමිණ ඇඳේ වැතිර ගත්තා ය.සිම්පතක් නැති බැවින් ඇමතුම් නොඑන දුරකථනයේ සමාජ ජාලා සියල්ලම අක්‍රීය ය.එහෙත් මේඝා බාලසූරියව ඒ හැමතැනකම නොනවත්වා තලුමරන මස් කටුවක් වී ඇති වග ඇයට සහතික ය.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -13

ජනිඳු එවැනි පහත් මිනිසෙකු වග ඇය සිහිනයකින්වත් නොසිතුවා ය.මාස කිහිපයකට කලින් දවසක ෆේස්බුක් මිතුරු ඇරයුමක් වී පැමිණි දඟකාරයා ජීවිතයට සිදු වූ හොඳම අහම්බය යැයි ඇය දැඩිව විශ්වාස කළා ය.මීට සතියකට පෙර එවැනි අඳුරු දිනයක් එළඹෙන තුරුම විශ්වාස කළා ය.ආදරය එතරම්ම සොඳුරු මල් වැස්සක් ව ඇය මතට ඇද හැලෙමින් තිබිණ.එහෙත් ඒ ආදර මල් වැස්සක් නොව කුණාටුවකට පෙර වැටෙන සියුම් වැහි පොදයක් වග ඇයට වැටහෙන්නේ දැන් ය.

මේඝා කලබලකාරී ආදරවන්තියක වූයේ නැත.ඈ ඉවසිලිවන්ත ලෙස ජනිඳු දරා ගත්තේ ය.ඔහු සීමා මායිම් ඉක්ම යමින් ඇගේ ජීවිතයට වේගයෙන් පිවිසෙද්දී පවා සියල්ල සිදු වන්නේ ආදරය නිසා වග ඇය විශ්වාස කළා ය.ඔහුව පාලනය කරන්නට නොයා ඔහුගේ පාලනයට නතු වෙමින් ඇය ආදරය විඳ ගත්තා ය.
ඔහුගේ අලුත් පෙම්වතියකගෙන් ඇයට ඇමතුමක් එනතුරුම මේඝා ඉතා සන්සුන් යුවතියක් වූවා ය.

ජනිඳුගේ කෙළවරක් නැති පෙම් සබඳතා ගැන හොයන්නට ෂර්ලොක් හෝම්ස් න්‍යායන් අනුගමනය කළ මේඝා ඔහු සම්බන්ධයෙන් දැඩි පිළිවෙත්වලට එළඹුණා ය.ඔහු එක්වරක් ද දෙවරක් ද තර්ජනය කළේ ය.

“සද්ද වහලා අයින් වෙයං මේඝා.. නැත්තං උඹට රෙද්දක් ඇඳන් පාරට බහින්න බැරි වෙයි..”

ඔහු සතුව ඇති ආයුධ ගැන ඇය දැන හුන්නේ නැත. “ඕන මඟුලක් කරනවා..” තරමේ අභියෝගයක් ඔහුට දෙන්නට ඈ නොපැකිළිණ.එහෙත් මඟුලක් වෙනුවට සිදු වූයේ අවමඟුලකට හේතු වන දේවල් ය.ජනිඳු ඒ වෙනුවෙන් ඔහුගේ ආත්ම ගරුත්වය පවා බිලි දී තිබිණ.

හිස දෑතින් තද කරගත් මේඝා ඒ අමිහිරි දිනය සිහි කළා ය.රාත්‍රියක් පුරා දුරකථන ඇමතුම් ද කෙටි පණිවිඩ ද ගෙවී ගියේ ජනිඳු හා දබර කර ගන්නට ය.මේඝා ඈ සේවය කරන පෙර පාසල වෙත ආවේ බර කරගත් හිසිනි.පුපුරන තරමට රිදුම් දෙන හිසේ වේදනාව කුඩා මල් පෙති ඇසුරේ දී මැකී යා යැයි ඇයට විශ්වාසයක් විය.

නමුත් අද පරිසරය අමුතු ය.පෙර පාසල් ගේට්ටුව අසල හුන් අම්මලා ඈ දුටුවනම ඉවතට හැරුණේ නොදන්නා ජීවියෙකු දුටු ගාණට ය.ඈ පසුකර යන සමහර පියෙකුගේ මුහුණේ සෝපහාසයට බර සිනාවක් විණි.මේඝා පෙර පාසලට පිවිසුණේ ගැහෙන හදැතිව ය.

3.3 3 votes
Article Rating
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
Madhushika Vitharana
11 days ago

Ehema deyak unama parshawa 2k innawane. Ai e dennagen ganu lamayata witharak samajaya apahasa karanne? Ganu lamayata witharak marenna wenne ai? Kolla.weerayek widwidiyata ganan ganne ai?