සීත මාරුතේ -47

රිය අනතුර නිසා හානි සිදු වී තිබුණේ මුණිවර ගේ මෑත කාලීන මතකයට ය. ඔහු ට රිය අනතුර සිහි කර ගත හැකි වූයේත් නැත. ඒ ගැන ඔහු දැනුවත් කළේ ලොකු තාත්තා ඇතුළු ව පවුලේ අය ය. රෝහලෙන් නිදහස් වීමෙන් පසු ඔහු ව විශේෂඥ වෛද්‍යවරුන් ලවා පරීක්ෂා කරවන ලදී. මොළයට තරමක් බරපතල හානි සිදු වී ඇති නිසා, තවත් ටික කලක් යන තුරු ඔහු ට මතකය පිළිබඳ ගැටළු අති විය හැකි බව වෛද්‍ය අදහස විය. පවුලේ අය සහ ආයතන මට්ටමින් ඔහු වටා සිටිනා අය සිය කටයුතු කරගෙන යාමේ ලා විශාල සහයෝගයක් දිය යුතු ව ඇති බව පැවසිණ. මතකය ශක්තිමත් කිරීමේ ලා ඖෂධ ප්‍රතිකාර ද කරගෙන යන්නට නියම විය.

මම අන්තර්ජාලය පීරමින් ඔහු ගේ තත්වය ගැන විමසිලිමත් වීමි. මෙය වූ කලී සුළුවෙන් තැකිය හැකි ව්‍යසනයක් නොවේ. මුණිවර අභිෂේක් බණ්ඩාර ව යළි ඉපදවීම සඳහා දැඩි කැපවීමකින් වෙහෙසිය යුතු ව තිබිණ. ගෑනු කමට කඳුළු සලමින් ද හැඟීම්බර වෙමින් ද එවන් භාරදූර කටයුත්තක් කළ නො හැකි බව වටහා ගත් පසු මා දැඩි වූයේ එක් අරමුණකිනි. 

“මතකයෙ එක කොටසක් නැති වෙලා ගිය කෙනෙක් කියන්නෙ ලොකු තාත්තෙ…ඒක මට කියන්න තේරෙන්නෑ. හරියට අපි කම්පියුටර් එකේ ලොකු වැඩක් සෑහෙන දුරකට කරගෙන ගියාට පස්සෙ ඒ සේරම ඩිලීට් වෙලා ගියා කියල හිතන්න. එතකොට ඒ වෙනකල් කරපු කිසි දෙයක් කම්පියුටර් එකට මතක නෑ. මෙමරි එකේ ස්ටෝ වෙලා නෑ. අපිට එතකොට කොහොම හැඟීමක්ද දැනෙන්නෙ…ඒක මාර දුකක්. හිස් කමක්. ඒත් අපි මහන්සි වෙලා ඒක ආයෙ කරන්නම වෙනව. මෙතනදි අපිටත් ඒ කැප කිරීම කරන්න වෙනව. ලොකු තාත්ත කියන්නෙ එයාගෙ මතකයෙ ඉන්න කෙනෙක්. ඒත් මං එයාගෙ මතකයෙ නෑ. එයාගෙ මතකය බ්ලෑන්ක් වෙලා තියෙන කාලෙ වෙච්් දේවල් ගැන ලොකු තාත්ත එයා එක්ක කතා කරන්න. ඒ කියන්නෙ…අපි හෑන්ඩ්ලූම් පැරඩයිස් පටන් ගත්ත එක..අපේ ඔන්ලයින් ෆ්ලවර් ශොප් එක…ඒව දැන් එයා දන්නෙ නෑ. අපි ඒව කළා කියල එයාට අලුතෙන් කියල දෙන්න ඕනෙ. ඒව අපි ආයෙ ආයෙ කියද්දි එයාට ඒව එයාගෙ කියල පිළිගන්න වෙනව. ඒ කාලෙ අපි ඇනුවල් ට්‍රිප් එක ගියා කියල…පිරිත් කිව්ව කියල.. කොලේජ් එකේ ඒජීඑම් එක තිබුණ කියල අපි එයාට කියන්න වෙනව. ඒ අතීත මතකය අපි කියල අලුතෙන් හදල දෙමු. හරියට අපි නොදැකපු ඉතිහාසයක් පොත් වලින් ඉගෙන ගන්නව වගේ එතකොට එයා ඒව ඉගෙන ගනී. මට මේක කරන්න අමාරුයි…මං එයාගෙ ලෝකෙ මතක තියන කෙනෙක් නෙවෙයි නිසා. කොහොමත් දැන් එයා මං දිහා සැකෙන් බලනව. එයාව මං මැරි කරන්න හිටියෙ කියල කිව්ව නිසා. මොකද එයාට මතක තියෙන කොටසෙදි ධාරා ගැන යෝජනාවට එයා කැමති වෙලා හිටිය. මං මිස්ට් ෆීල්ඩ් වල වැඩ කරන කෙනෙක් කියල ධාරා කියපු එක හොඳයි මං හිතන්නෙ. දැනට එයා දැනගත්තහම ඇති මං මිස්ට් ෆීල්ඩ් එකේ වැඩ කරනව කියල. එයාට අමතක කාලෙ මෙතන කරපු වැඩ ටික ගැන ලොකු තාත්ත නිතර එයා එක්ක කතා කරන්නකො. මං අනිත් ටික බලා ගන්නං”

ලොකු තාත්තා ව මගේ මේසය ඉදිරියේ හිඳුවා ගෙන මම ලොකු දේශනයක් කළෙමි. මට තිබුණ ලොකු ම හයිය ලොකු තාත්තා ය. විදුනි ලා ට ද ඕනෑ වී තිබුණේ මුණිවර ගේ මතකය යළි ලැබෙනවා දකින්නට වී ද ඔහු ට බලපෑමක් කළ හැකි තත්වයක ඔවුන් සිටියේ නැත. මතකය අහිමි වී ගිය අවසාන කාලය වන විට ඔහු නංගිලා කෙරේ හැසිරුණ මෘදු බව වෙනුවට දැන් තිබුණේ මුලදී ඔහු ඔවුන් වෙත දැක්වූ ‘පොලිස් පාට්’ ය. මා ගැන ඔහු දැක්වූ නොසැලකිලිමත් බවත් එදා කෝපි හලෙහි දී පැවති සේ ම ය. නමුත් ලොකු තාත්තා කියන දෙයක් පිළිගන්නට ඔහු අකමැත්තෙන් හෝ එකඟ වූ සෙයකි.

“මං ටිකක් තදින් ඉන්නං. දුවවයි එයා බඳින්න ඕන කියල”

“එපා එපා ලොකු තාත්ත”

මම විගස ඔහු ට විරුද්ධ වීමි.

“මට එහෙම එයාව බැඳගන්න ඕන නෑ. මට ඕනෙ මට ආදරේ කරපු මුණිවරව. එයා මට ආදරේ කරපු බවවත් මතක නැතුව…වටේ පිටේ අය කියන නිසා එයා මාව බඳින්න ඕන නෑ”

ලොකු තාත්තා ඉනික්බිති සිය වගකීම මැනවින් ඉටු කරන්නට පටන් ගත්තේ ය. ධාරා ද නිතර මුණිවර ගේ ගෙදර යන්නට ද මා හමු වනු වස් මිස්ට් ෆීල්ඩ් වෙත එන්නට ද පුරුදු වූවා ය.

“මං පුළුවන් තරං අභීට මතක් කරන්න ට්‍රයි කළා…ඔයා මිස්ට් ෆීල්ඩ් එකේ සුපර්වයිසර් විදිහට වැඩට ආපු එක…පස්සෙ ඔයා එයාට ආදරේ කළා කියලත් මාව රිජෙක්ට් කළා කියලත් මං එයාට කිව්ව. ඕනනං මට තිබුණා මන්දි එහෙම නොකර එයාට මතක විදිහට මං එයාව මැරි කරන්න හිටිය කෙනා කියල අඟවගෙන ඉන්න. ඒත් ඔයා නිසා මට එහෙම කරන්න බෑ. අනිත් එක අනුන්ට අයිති දෙයක් එහෙම හොරකං කරං වැඩක් නෑ කියල මං දන්නව. බලමු. අපි ට්‍රයි කරමු එයාට හැම දේම මතක් කරල දෙන්න”

ඇය මවා පෑමක් කරනවායි කෙනෙකු සිතන්නට පුළුවන. මගේ ම නංගී හා අම්මා පවා එය එසේයි පුන පුනා පැවසූහ. නමුත් මා ඇගේ ඇස් වල දුටුවේ අවංක බවකි.

“ඔය ගෑනි රහත් වෙලා නෑනෙ එච්චර පරිත්‍යාගයක් කරන්න. මං කියන්නෙ එහෙමනං එයා මුණිවර අයියව බලන්න යන්න ඕන නෑ. අපි කවුරුත් දන්නවනෙ එයා අයියට කොච්චර කැමැත්තෙන්ද හිටියෙ කියල”

නංගී ධාරා ව එක හෙලා ප්‍රතික්ශේප කළා ය. නමුත් මට එසේ කළ හැකි වූයේ නැත.

“ඔයා හිතන්නෙ අක්කෙ හැමෝම ඔයා වගේ කියල. ඒත් එහෙම නෑ. අයියගෙ ජීවිතේට ඔයා ආපු පීරියඩ් එක එයාට අමතක වෙලා තියෙද්දි…බලනවකො ඔය ධාරා ගාණට එයාගෙ ජීවිතේට ලං වෙන්න හදන්නෙ නැද්ද කියල”

මගේ හදවතට සමීප ම අය ළඟ දී ඇස් තෙත් වෙන්නට බැලුවේ ය. හඬන්නට හිතෙනා වෙලාවට ඇති තරම් හඬා මම හිත එකලස් කර ගතිමි. කවුරුන් කෙසේ කීව ද ධාරා ගැන වරදක් හිතන්නට තවමත් මට සැබෑ හේතුවක් පෙනෙන්නට තිබුණේ ද නැත. නමුත් ගැහැනු කමට මගේ හිත යට ද ඇතැම් වෙලාවට ඉසිහින් බියක සෙවනැලි හොල්මන් නොකළා ම නොවේ.

අනකුරෙන් සිදු වූ ශාරීරික තුවාල මුළුමනින් සුව වීමෙන් පස්සේ මුණිවර යළි මිස්ට් ෆීල්ඩ් වලට එන්න පටන් ගත්තේ ය. වෙන මොනවා නැතත් මට එය සතුටක් විය. එහි වගකිව යුතු සේවකයෙකු ට සේ ඔහු මට ගෞරවයෙන් කතා බහ කළේ ය. මිස්ට් ෆීල්ඩ් හි කටයුතු ගැන මා සමග සාකච්ඡා කළේ ය. නමුත් ඒ අර පරණ ආඩම්බරකාරයා ය. ජූජක බමුණා ය. ඔහු මා හැඳිනුවේ මිස්ට් ෆීල්ඩ් හි සුපර්වයිසර් ලෙස ය. දිසානායක මහතා සේවයෙන් සමු ගන්නට සූදානම් ව සිටි බව ඔහු ගේ මතකයේ වූවා ට සේවයෙන් සමු ගත් බවක් ඔහු ට මතක තිබුණේ නැත. එසේ නම් ඒ රික්තකය ඇරඹෙන්නේ ඒ අතරිනි. අවාසනාවට මා හිටියේ ද ඒ අතරේ ය.

“දිසානායක මහත්තය අස් වුණාට පස්සෙ මේ මන්දාකිණී දුව තමයි හැම දේම බලා කියා ගත්තෙ”

ලොකු තාත්තා ආඩම්බරයෙන් කීවේ මා ඉදිරියේ දී ම ය.

“ගර්ල් කෙනෙක්ට පුළුවන් ද ලොකු තාත්තෙ මේ වැඩ කරන්න…”

ඔහු අඩ සිනහවක් පෑවේ ය. මුලදී සේ ම මම ඒ සිනහව තුළ වසඟ වන්නට වීමි.

“එයා හොඳට කළා රජ්ජුරුවො. එයා මැදිහත් වෙලා තමයි හෑන්ඩ්ලූම් ශොප් එකක් පටං ගත්තෙ නුවර. මතක නැද්ද…මන්දාකිණී මෝස්තර නිර්මාණය ගැන උපාධියක් තියන ළමයෙක්. රජ්ජුරුවො අරුංගෙ ලොරියෙ හැප්පිලා තිබුණෙත් අලුත් ශොප් එකේ වැඩකට මාත් එක්කම බණ්ඩාරවෙල ගිහිං ඒ එන ගමං පුහුල්පොල මහ ගෙදරට මාව බස්සල යන ගමං. මන්දාකිණී ඒ ශොප් එකටත් බඩු ලෑස්ති කර කර හිටියෙ”

“හරි කමක් නෑ. මන්දාකිණී වැඩ කරං යන්නකො. අපි ඉස්සරහට බලමුකො ඔයා වැඩ කරන්නෙ කොහොමද කියල”

මතක අතීතයකින් කොටසක් අතුරුදන් ව යනවා කියන්නේ මොන තරම් අපරාධයක් ද කියා හරියට ම දැනෙන්නේ එසේ වූ තැනැත්තා ගේ සමීපතමයන් ට ය. ඒ අතුරුදන් වූ මතකය තුළ මුළුමනින් ම කෙනෙකු අතුරුදන් ව යාම වචන වලින් පැහැදිලි කළ නො හැකි තරම් බරපතල ඛේදවාචකයකි. සැබවින් එය ඔහු ගේ ලෝකය තුළ මිය ගියා වැනි තත්වයකි. මම මුණිවර ගේ ලොවෙහි මිය ගොස් සිටියෙමි. මා ඔහු ගේ පෙම්වතිය ය කියා තහවුරු කරන්නට යාම, පෙර භවයක නෑ කමක් තහවුරු කරන්නට යාම වාගේ ම තත්වයකි. එය හදවතට බරකි. වදයකි. රිදුමකි. 

අපේ කුටි දෙක අතරේ වීදුරු බිත්තියෙන් නැවත ද මම ඔහු දෙස බලා ගෙන සිහින මාළිගා හදන්නට පටන් ගතිමි. මා මිස්ට් ෆීල්ඩ් වෙත මුලින් පැමිණි දින වල සේ ම මුණිවර අභිශේක් බණ්ඩාර අහංකාර කමින් මා දුටුවොත් ඉවත බලා ගනී. ඔහු ගෙන් මට එක සිනහ පොදක් හෝ ලැබුණේ නැත. බොරුවටත් හේතු හදා ගෙන මම ‘මිස්ට මුණිවර’ නියමින් ඔහු වෙත යමි. ආඩම්බරකාරයා විශය ගැන පමණක් කතා කොට මා හරවා එවයි. මිස්ට් ෆීල්ඩ් පිරිතේ හා විනෝද චාරිකාවේ ඡායාරූප වල මා සිටීම මත පමණක් ඔහු මා සැබෑ චරිතයක් ලෙස විශ්වාස කළේ ය. එදා ගාල්ලේ සමුද්‍රාසන්න හෝටලයක සඳැල්ලේ ගෙවුණු රාත්‍රිය පමණක් ඔහු ට සිහිපත් කර දෙන්නයි මම දෙවියන් ගෙන් ඉල්ලා සිටියෙමි. ඒ මොහොත තුළ අප දෙදෙනා ම එකදු ඡායාරූපයක් හෝ ගෙන තිබුණේ නැත. දැන් ඔහුට ද ඒවා මතක නැත. මතකය ඇත්තේ මා ළඟ විතර ය. ඒ බව සිහි වත්දී පපුව පැලෙන්නට යයි.

කෙසේ වෙතත් ඔහු මට අකාරුණික වූයේ නැත. එසේ ම දිනකට වරක් හෝ මිස්ට් ෆීල්ඩ් වෙත පැමිණෙන ධාරා ට විශේෂ ළෙංගතු කමක් පෑවේ ද නැත. ඇය සමග කතා බහ කරනා ආචාරශීලී බව, මම මගේ කුටියේ සිටියොත් දකිමි. නමුත් මා සමග සේ නොව ඔහු ඇය සමග සිනහ වී කතා කළේ ය. මට තරම් පිටස්තර බවකින් ඇය ට සැලකූයේ නැත.

“එයාට මං ගැන තියෙන්නෙත් ප්‍රපෝස් කරපු ගෑනු ළමයා කියන මතකය විතරයි. එතකොට එයා මාව මුලින් ම දකින්නෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ. මුලිං මාව රිජෙක්ට් කළා කියල මතක නැති නිසා විතරයි මෙහෙම කතා කරන්නෙත්. ඔයා ඒ ගැන හිත රිද්දගන්න එපා”

ධාරා මවෙත විත් කීවා ය. මා දෙතොල් තෙරපා සිනහ වී ද ඒ සිනහව යට ඇති වේදනාව ඇය දකින්නට ඇත. ඇස් පුච්චාගෙන පැමිණි ගිනියම් කඳුළේ උණුහුම ඇය ට දැනුණා කියා නම් සිතිය නො හැකි ය. 

“එයාට කවදාවත් මාව මතක් වෙන එකක් නැද්ද…”

“අපි උත්සාහ කරමු. ඒත් ඒක උත්සාහ කරල කරන්න පුළුවන් දෙයක්ද කියල මං දන්නෑ”

“මං කොහොමද එයාට තේරුං කරල දෙන්නෙ..අඩු ගානෙ එයා හිනා වෙලා මාත් එක්ක කතා කරන්නෙවත් නැති එකේ…එයාටනං මතකයෙ මං හිටිය කොටස බ්ලෑන්ක් වෙලා. ඒත් මං ඒ මතක ගොඩත් එක්ක පිච්චි පිච්චි ඉන්න ඕනනෙ අක්ක. මේක ලේසි නෑ. මං පුළුවං කමකට දරාගෙන ඉන්නව නෙවෙයි. සමහර විට මං අසාර්ථක වෙයි. මට කිසිම වෙනසක් කර ගන්න බැරි වෙයි. එහෙම වුණොත්…එහෙම වුණොත් මට වෙන්නෙ මැරෙන්න”

ධාරා මගේ අතක් තද කොට අල්ලා ගත්තා ය. ඇගේ මව ගේ අරමුණ වී තිබුණේ මුණිවර හා ධාරා අතරේ විවාහය ඉක්මනින් සිදු කරවීමට සේ දැනෙන බව විදුනි මට කීවා ය. නමුත් මුණිවර ගේ මව ඒ ගැන එකඟතාවයක් පෙන්වා නැත. මුණිවර ගේ අමතක වී ගිය මතකය යළි ලැබේ දැයි ටික කලක් ඉවසීමෙන් බලා සිටිය යුතු බව ඇය පවසා තිබේ. නමුත් ඇය දිගට ම නිහඬ ව නො සිටිනු ඇතැයි විදුනි සිතුවා ය. කෙසේ වෙතත් ධාරා මා තේරුම් ගෙන සිටියා ය. 

“ඔය දෙන්න එකට ගිය තැන් වලට අපි යමු. මං කොහොමහරි අභී ව එක්කං එන්න බලන්නං. මට පුළුවන් දෙයක් මං කරන්නං”

ධාරා මට පොරොන්දුවක් වූවා ය. ඒ වචනය ගැන මා දිවි හිමියෙන් ඇය ට ණය ගැති ය. මේ පසුබිම තුළ පවුලේ අයටත් වඩා මුණිවර ධාරා ව විශ්වාස කළ හැකි බැවිනි. ඔහු හා විවාහ වීමට යෝජනා වී සිටි යුවතිය, ඔහු ට වෙනත් පෙම්වතියක සිහිපත් කරන්නට තැත් කරතැයි ඔහු නොසිතනු ඇත.

බණ්ඩාරවෙල හෑන්ඩ්ලූම් සාප්පුවේ ඉදිකිරීම් කටයුතු විමසන්නට යන වෙලාවක මුණිවර  සමග යන්නට ධාරා ද ඔහු ගෙන් අවසර ඉල්ලා සිටියා ය. වැඩි කැමැත්තක් නො පෙන්වී ද ඔහු විරුද්ධ වූයේ නැත.  මට රියෙහි පසුපස දොර විවර කරමින් ධාරා ඉදිරි අසුනට ගොඩ වෙත්දී නම් ඔහු ‘මන්දාකිණී ඇයි’ වාගේ බැල්මකින් පිටුපස බැලුවේ ය.ධාරා ඒ වගකට ගත්තේ නැත.

“බොරලන්දෙ කොෆී ශොප් එකට ගිහින් යමුද…”

ඒ ආසන්න වෙත්දී ධාරා ඉල්ලීමක් කළා ය. මුණිවර කිසිදු වෙනසකින් තොර ව අවන්හල ඉදිරියේ රිය නතර කළේ ය.

ඒ ආරම්භක ස්ථානයයි. අපේ මතක ඉතිහාසය පටන් ගන්නේ එතැනිනි. මුලින් අප අප ව දුටුවේ එතැන්හිදී බව මුණිවරට හොඳට මතක තිබිණ. ඔහු දෙතුන් වතාවක් ඒ හමු වීම සිහිපත් කරමින් කතා කොට තිබේ.

ඔහු අසුන් ගත්තේ එදා මා මුලින් ම දකිත්දී තනිව හිඳ කෝපි බොමින් සිටි මේසය ළඟ ඒ අසුනේ ම ය. මගෙන් ලොකු සුසුමක් ගිලිහී ගියේ ය. ධාරා මගේ අතක් තද කොට ඇල්ලුවා ය.

මුණිවර කෝපි ඇනවුම් කළේ ය. ඔහු ඒ තොල ගෑවේ කතා බහකින් තොර ව  හුදෙකලාවේ ය. මම ඒ මේසයෙන් නැගිට එදා අප හතර දෙනා අසුන් ගෙන සිටි මේසය වෙත ගියෙමි. මට නංගිගේ, කසුනි ගේ හා හංසිකා ගේ සිනා කතා හඬ ඇසෙන්නා සේ විය. ඒ සිනහ හඬට රවමින් එදා ඔහු බැලූ බැල්ම මට මේ දැනුත් පෙනෙන්නා සේ ය. මම කෝපි කෝප්පයට මත්තෙන් දෑස් විදා මුණිවර දෙස බලා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...