අම්මාත් අක්කාත් චිරායු පැමිණ දවස් කිහිපයක් යන තුරුත් නිවසේ නතර වී උන්හ. ඒ දින කිහිපයම තාරා ගෙව්වේ අපහසුවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කුමක්දෝ නොතේරෙන ආගන්තුක කමකිනුත් ආත්මානුකම්පාවකිනුත් තාරා පෙලෙමින් උන්නාය. තමන්ගේම නිවසේ චිරායු විසිනුත් චිරායුගේ මව සහ සහෝදරියවිසිනුත් තමාව දෙවන තැනකට ඇද දමා ඇති බව තාරා පෙලන්නට හේතු වූ කරුණකි.
චිරායු ආවේ බ්‍රහස්පතින්දා රාත්‍රියේය. නොඑසේනම් සිකුරාදා උදෑසන පාන්දරය. චිරායු එදා දවසේම නිදාගත් නිසාවෙන් තාරා රැකියාවට යන්නට තීරණා කරාය.අනෙක් අතට නොවේ නිවාඩු දමන්නට නොහැකි තරම් වැඩ රාජකාරි කිහිපයකුත් මීටින් කිහිපයකුත් තිබීම නිසා තාරා රැකියාවට යාම අත්‍යවශ්‍ය අංගයක් විය.
මාධනී නම් උන්නේ ඒ පිලිබඳව එච්චර පැහැදීමක නොවේ.
“අනේ මන්ද තමන්ගෙ හස්බන්ඩ් රට ඉඳල මහන්සි වෙලා ආ දවසකවත් ගෙදර ඉන්න නිවාඩුවක් ගන්න බැරි මහ අරුම පුදුම රස්සාවල් නෙ ලමයො ඕව”
තාරා උදෑසනම පිබිදී අම්මාටත් අක්කාටත් කන්නට කෑම සකසා තබා කාර්‍යාලයට යනු පිණිසහැඳ පැලඳගෙන පහලට ආ තාරාගේ උඩ සිට පහලට අමුතුවට බලමිනි.
“අද මිටින්ග්ස් වගයක් තියෙනව අම්මෙ අනිවාර්‍යෙන් යන්න ඕන. ඒකයි” තාරා පැවසුවේ මදක් පැකිලෙමිනි. මේ ප්‍රශ්නවලට තමා නිදහසට කාරණා කියනට අවශ්‍ය නොවන බව තාරා දන්නා මුත් මොවුන් මෙහි නවාතැන්ගෙන සිටින දවසකට දෙකකට හිත් අමනාප කරගත යුතු නොවන බව තාරා සිතුවාය.
කාරයේ නැගී තාරා නිවසින් පිටව යද්දි පවා මාධනීගේ මුහුණේ ඇඳී තිබුන නොරිස්සුම මදකටවත් ඉවත් වූයේ නැත.
“කාර්වල නැගල යනව.රෑ වෙලා එනව. කොහෙ යනවද මොනව කරනවද කියල කවුද දන්නෙ? මොකෝ අපි පස්සෙන් ගිහින් හොයන්න කියලද? මේ දරුව මේ රටවල් ගානෙ රස්තියාදු වෙවී සල්ලි හොයාගෙන. මෙයා ඉතින් මෙහෙ විනෝදෙ”
මාධනී ඒ වදන් කියාගත්තේ තමන්ටමය. තමන්ගෙ හොඳම යෙහෙලියක බව භානුමතීගෙ දුව වන කසුනිව චිරායුට බන්දවා දෙන්නට බොහෝ බලාපොරොත්තු තබාගෙන උන්නද චිරායු තෝරාගත්තෙ තාරාවය. උගත්කමත් රූමත්කමත් අතින් මිට මොලවාගෙන ආ තාරාට විරුද්ධ වන්නට එදා තමන්ට නොසිතුන බව මාධනී උවමනාවෙන් අමතක කලාය. එහෙත් අද තමන් හැසිරෙන්නේ එදා ගත් තීරණ ගැන වගක් නැතුව මෙන් බව මොහොතකටවත් සිතන්නට මාධනි වේලව වැය කලේ නැත.
“දැන් හෙට ඒ කියන්නෙ චිරායුගෙ සනුහරේම ගෙදරඑනව නේද?”
අමන්දා කතාවට ආවේ සුපුරුදු පරිදි දහවල් ආහාරය ගන්න අතරවාරයේය.තාරා සෙමින් කෑම වලට ගෑරැප්පුවෙන් අනිමින් එයට පිලිතුරු දුන්නේ හූමිටියකින් පමණි. අනෙක් අතට කියන්නට කියා එහෙමකට දෙයක් තාරාට තිබුනේ නැත. අමන්දා යනු කුලතුංග නිවසේ කාන්තාවන් ගැනනොදන්නා අයෙකු නොවේ.
“උඹට හෙට එන්න බැරිද?”
තාරා ඇසුවේ හදිසියේම වාගේය.
“කොහෙද?”
“ලන්ච් එකට අපෙ ගෙදර”
“ඒ මොකටද?”
“උඹ ඉඳියොත් උන් මට දේවල් අනං මනං කියන එක පොඩ්ඩක් හරි අඩු වෙයි”
“ඉතින් උඹ කරන්න හදන්නෙ මට හෙට එන්න කියල බොරුවට උඹේ හිත හදාගන්නද?”
අමන්දා ඇසු දෙයට දෙන්නට පිලිතුරක් තාරාට නැත. චිරායු ඉදිරිපිට චිරායුගේ නෑයන් සමග හොඳ නරක ගැන හෙට්ටු කරන්නට යෑම මේ විවාහය තව තවත් ආගාදයකට ඇද දමන්නක් නොවේද?
“මං නං කියන්නෙ චිරායු තමන්ගෙ ගෑණිට් තමන්ගෙ නෑයො එක එක දේවල් කියද්දි ඇස් කන් පියාගෙන ඉන්න් මිනිහෙක්නම් උඹවත් උඹ වෙනුවෙන් කතා කරහං. නැත්තම් වෙන්නෙ හැමදාම ඉබ්බ වගේ උඹට කට්ට අස්සට වෙලා ඉන්න තමයි. මං උනානං මට කියන ඒවට කියනව හොඳට ලුණු ඇඹුල් එක්කම, ඇයි අනේ පුදුම මිනිස්සුනෙ”
“එහෙම කියන්න බැරිකමක් නෑ. ඒ උනාට ඒකෙන් චිරායුගෙ හිත රිදෙනවට මම කැමති නෑ”
“උඹ චිරායුගෙ හිත රිදෙන එකක් හිතනව. චිරායු නිකමටවත් උඹේ හිත රිදෙන එකක් ගැන හිතනවද?”
අමන්දා කියූ වදන් කිසිවක් සිතෙන් ඉවත් කරන්නට හැකියාවක් තාරාට තිබුනේ නැත. ඇය කියූ සියල්ල ඇත්තකි. තමා තමන්ගේ වේදනාවන් තමන්ගේ අම්ම සමග කියනවා මිසක කිසිම දිනක ඒ වේදනාවටහේතුවක් වන පාර්ශ්වය සමග කතා කර නැත.
තාරා ගෙදර යන අතරවාරයේම හෙට දහවල් ආහාරයට සකසන්නට ඕනකරන බඩු බාහිරාදිය රැගෙන ගියාය. දහවල් ආහාරයට ආරධනාව ලැබුනාට නෑය උදේ දහයේ සිටවත් ගෙදරට එන බව දන්නා නිසා තේ සමග පිලිගන්වන්නට අවශ්‍ය කරන කෝල්ඩ් කට්ස් සහ ෆ්‍රීස් කර තිබූ මිනි කීව්ස් පැකට්ටුවක්ද තාරා අරගත්තාය.
කාරය නිවස තුල නවතා තාරා ඇතුලට යද්දීත් නිවසේ කිසිත් හැලහොල්මනක් තිබුනේ නැත. වෙනදා මෙන් ටොක් ටොක් ගා පඩිපෙල නගිනු වෙනුවට තමන් හෙමින් සැරේ පඩිපෙල නැග්ගේ ඇයිද කියා සිතන්නටවත් තාරා ට වෙලාවක් තිබුනේ නැත. සෙමෙන් කතාබහ කරන කොඳුරන හඬ ඇසෙන්නෙ තමන්ගේත් චිරායුගේත් නිදන කාමරයෙනි. තිගැස්සුනේ නැතැයි කියන්නට නොහැක.
නිදන කාමරයෙනි.
තාරා සෙමෙන් පියවරක් ඉදිරියට තැබුවාය.
“හෙට මදාරල එන්නෙ ඒ ගැනත් කතා කරන්න පුතේ. මං නං කිව්ව පුතාගෙන් අහන්න ඕන නෑ කියලත්. ඒ ලමයගෙ රෙජිස්ට්‍රේශන් එක ගන්නෙ බඳින ලමය රට යන හන්දලු. ආයෙ අවුරුද්දකින් විතර ඇවිත් වෙඩින් එක ගන්න නිසා බොරුවට රෙජිස්ට්‍රේශන් එකට හොටෙල් එකකට වියදම් කරන්න ඕන නෑ කියල කියන්නෙ. අනික හදිසියෙ දාගත්ත එකක් හන්ද හොටෙල් එකක් ඉක්මනට බුක් කරගන්න විදියකුත් නෑලු”
කතා කරන්නේ අම්මාය. කියන්නේ මොකද්ද විය යුත්තේ කුමක්ද කියා හරියාකාර අදහසක් නොමැති බැවින්ම තාරා තවත් මොහොතක් එහි රැඳුණාය.
“මේක මගෙ ගෙදර විතරක් නෙවෙයිනෙ අම්මෙ. තාරාගෙනුත් අහන්න ඕන”
චිරායුගේ ඒ වදන්ආදරයත් විවාහයත් ගැන කාන්තාරගත සිතුවිල්ලක රැඳී හුන් තාරාව සිහිල් මද පවනින් නහවන්නක් විය. චිරායු තවමත් තමාව සහමුලින්ම අමතක කර නැති බව ඒ වචන වලින් ඔප්පු වේ. එය හිතට සැනසුමකි.
“එයාගෙන් මොනව අහන්නද අනේ. මල්ලිගෙ ගෙදරනෙ මේ. මල්ලි කැමතිනම් ආය එයා එක්ක මොනව කතා කරන්නද?”
ඒ අක්කාය. කාමරය තුලට ගොස් සියල්ල ඇසුණ බව පවසා මේ ගැහැනුන් දෙදෙනාව බෙල්ලෙන් අල්ලා එලියට ඇද දමන්නට තිබුනා නම් මොන තරම් අපූරුද කියා තාරාට සිතුනි. එහෙත් හැඟීම් එලෙසින්ම ක්‍රියාත්මක කරන්නට නොහැක.
විවාහය යනු ඉවසිය යුතුම තැනකි.
තව දුරටත් තමන්ගේ නිවසේ සෙරක මෙන් ඔවුන් කතා බස් කරන ආකාරය අහන් ඉන්නට නොහැකි තැනම තාරා නේ දැන් ආවාක් මෙන් කාමරය තුලට ගියාය. තාරාගේ අඩි උස සෙරෙප්පු වලින් ආ ටොක් ටොක් හඬට චිරායුත් අම්මාත් අක්කාත් තිගැස්සුන බව තාරා දුටුවාය.
චිරායු සමග ඇඳ මත වාඩි වී කතා බස් කරමින් අම්මා හිඳිද්දී අක්කා උන්නේ කාමරයේ එක් පැත්තක සම්පූර්ණ බිත්තියක් අල්ලා සකසා තිබූ අල්මාරියේ තාරාගේ ඇඳුම් පැලඳුම් ඇති පැත්ත ඇර බලමිනි.
තාරා කාමරයට එද්දීත් ඒ ඇඳුම් අල්ලාගෙන උන් අක්කාගේ දෙනෙත් වල වූ ලැජ්ජාව නොදුටුවාක් මෙන් තාරා මද සිනාවක් දෙතොලේ රඳවාගෙන හෑන්ඩ් බෑගය ඇඳ මත තැබුවාය.
“හෙට උයන්න මම බඩු ගෙනාවා. ඩෙසර්ට් එක අපි මොනව හරි ඕඩර් කරල ගමු නේද චිරායු ස්වීට් කැබින් එකෙන් වගේ?”
අම්මාත් අක්කාත් එහි හිඳින බවක් නුදුටුවාක් මෙන් තාරා චිරායු දස බලාගෙන එසේ අසන අතරම කරාබුත් අත් ඔරලෝසුවත් ගැලෙව්වය.
“අපෝ අපෝ ඒක නම් හරියන්නෙ නෑ. මේ නෑයො එන වෙලාවක එහෙම පිටින් ගෙනත් කෑම හදල හරියනවද?”
“වෙලාව මදි අම්මෙ කෑම රෙඩි කරල ඩෙසට් එකක් හදන්න. අම්මට පුලුවන් නම් අක්ක එක්ක එකතුවෙල ඩෙසර්ට් එක්ක හදන්න. නැත්තම් අම්මල කෑම උයන්න මම ඩෙසට් මොනාහරි හදන්නම්”
කිසිදිනක තාරාගෙන් එවන් හඬක් ඇසී නැති නිසාවෙන්දෝ චිරායු පුදුමයට පත් උනේය. තාරා හැමදාමත් සියල්ල ඉවසීමෙන් දරා ගත්තා මිසක මෙවන් හඬකින් කිසි දිනක කතා කර නොමැති බව චිරායුට මතක් වූවේය.
එහෙත් තාරා ඒ කිසිවක් ගැන වගක් නැතුව මෙන් කියන්නට කියන දේ කියා නාන කාමරය තුලට වැදුනාය.
එවන් හඬකින් චිරායු ඉදිරිපිට ඔහුගේ මවට සහ සහෝදරියට කතා කරන්න හැකි වූ සිතුවිල්ල ගැන තාරා පසුතැවුණාය.
නාන කාමරය පිටතින් විමතිය මුසු වූ බැල්මකින් එකිනෙකාගේ මුහුණු දෙස බලමින් උන් මාදනීත් චිරස්තිත් ඒ පසුතැවිල්ල දැන උන්නේ නැත.