මන්දාරම් හැන්දෑවක – 6

මේඝාට මේ නුපුරුදු තරුණයා සමඟ කතාවට වැටෙන සිතක් නොතිබිණි.නමුත් ඔහු තමන් වෙනුවෙන් ගමනක නිරතව පැමිණි කෙනෙකි.එනිසා ඈ ඔහු වෙත ප්‍රවේසම් සහගත සිනාවක් පා කළා ය.

“වැව් හුළඟනෙ එන්නේ මේ වෙලාවට.සනීප ගතියයි තමා. ඒත් සෙම ඇවිස්සෙයි.. ගේ ඇතුළට ගියානං හරි..”

ඔහු මේඝාට එසේ පැවසී ය. දින දෙකකට ආසන්න කාලයක් නොනවත්වා හැඬීම නිසා මේඝා හුන්නේ නාසය බර කරගෙන ය.ඉකි ගැසීම පාලනය කරගත් නිසාම උගුර ද ලෙඩ වෙන්නට අර අඳිමින් තිබිණ.එනිසා මේඝා බිනරට අවනත වෙමින් බරාදය වෙත ආවා ය.

“ඩොක්ට මාව බලලා නෙවෙයිනෙ බේත් දුන්නෙ…”

කටකාර මේඝාට හදිසියේ පණ ඉපැදුණේ ඇයටත් නොදැනීම ය.නමුත් බිනර සිනාවතින් බලා හුන්නේ ය.

“මදූ අක්කා ලෙඩ ටික කිව්වෙ..පොඩි උණකට ඉතිං එච්චර ලෙඩ බලන්න දෙයක් නෑනෙ..”

ඔහු ඇයට නොපරදින පිළිතුරක් ලබා දුන්නේ ය. වෙද මහතා ද වරුණ ද සාලයේ රූපවාහිනිය අසලට වී ප්‍රවෘත්ති නරඹයි.ගෙතුළට ගොඩ නොවී මේඝා හා කියවමින් හිඳින්නට බිනරට හදිසි ආශාවක් හට ගත්තේ ය.නමුත් මේඝා ඔහුට පිළිවදන් නොදී බෙහෙත් කවර පරීක්ෂා කරමින් හුන්නා ය.

“දිනිඳු අයියා කොහොමත් ආවට ගියාට බේත් දෙන මනුස්සයෙක් නෙවෙයි..එයා කොච්චර හොඳ මනුස්සයෙක් ද කියල ඔයාටත් පස්සෙ තේරෙයි..”

මේඝා කතාවකට නොඑළඹෙන තැන බිනර නැඟී සිටියේ එසේ කියමිනි.මේ තරුණයා සහ වෛද්‍යවරයා නෑදෑයන් විය හැකි බව මේඝාට සිතිණ.මේ ඒ නෑදෑ කැක්කුමට උපදින වචන විය හැකි බව ඇය සැක කළා ය.

“ඒ ඔයාගෙ අයිය ද?”

ඇය ඇසුවේ කුහුලිනි.බිනර හිනැහිණි.

“නෑ…මගෙ අයියා වරුණ අයිය. මං එයාගෙ බාප්පගෙ පුතානෙ.ඔයාට නම් මතක නැතුව ඇති..”

එසේ කියවා යද්දී ඈ ඇසුවේ තමා ගැන නොව දිනිඳු ගැන වග ඔහුට සිහියට නැගිණි.

“දිනිඳු අයියා කොළඹ කෙනෙක්. වැඩ කරන්නෙ මෙහෙ හොස්පිටල් එකේ..දැන් නම් අපේ නෑදෑයො ගාණයි තමා..”

ඔහු අනතුරුව නැගිට ගත්තේ ගෙතුළට ගොස් ලොකු අම්මා, වෙද හාමිනේගේ උයමනකට ඇස් පොවන්නට සිතමින් ය.මේඝා බෙහෙත් කවර ද උකුලේ තබාගෙන කල්පනාවකට වැටුණා ය.ඒ කවරවල ඇගේ නම ද වයස ද ලියා ඇත. අක්කා ඒ වගක් වෛද්‍යවරයාට කී බවක් ඇයට මතකයේ නොතිබිණි. සමහරවිට බිනරට ඒ ගැන මතකයේ තිබෙන්නට ඇත.හිස කැක්කුම පහව යන්නට මොනවා හෝ ආහාරයට ගෙන බෙහෙත් බොන්නට ඇයට හදිසි ඉක්මනක් හට ගත්තේ ය.නමුත් අක්කා තවම දෙදරුවන් සමඟ කාමරයේ ය.බිනර කෙලින්ම මුළුතැන්ගෙයට ගිය නිසා ඒ වෙත යන්නට මැලිකමක් මේඝාට දැනිණ.ඇය මාධවී වෙත ගියේ එනිසා ය.

කුඩා පුතු තොටිල්ලේ තබා සෙනුරි අසල හුන් මාධවී මේඝා පිළිගත්තේ සිනාවකිනි.මේඝා ප්‍රවේසම් සහිතව ඇඳ මත හිඳ ගත්තා ය.කුඩා ශබ්දයක් පවා සෙනුරිට අවදි වන්නට ප්‍රමාණවත් ය.

“බෙහෙත් ටික හම්බුණාද පොඩ්ඩි..”

මාධවී මේඝාගේ අත් ගොබය පිරිමදින අතර ඇසුවා ය.මේඝා හිස වනමින් පිළිතුරු දුන්නා ය.

“කාලා බේත් බොන්න..හොඳ නින්දක් දැම්මම හිත නිදහස් වෙයි..”

මේඝාට එයට දෙන්නට පිළිතුරක් නොතිබිණ.හොඳ නින්දකට කෙලෙසකවත් ඈ සොයා එන්නට ඉඩක් නැත.හදවත වෙළාගත් පීඩාව සහ වේදනාව නින්ද ද ආහාර රුචිය ද ඇගෙන් දුරස් කර හමාර ය.මාධවී ද ඇගේ නැන්දණිය ද පිසින ආහාර මේඝාගේ ප්‍රියතම ආහාර ලැයිස්තුවේ ඉහළම ඇති ආහාර ය.නමුත් අද දවාලට ද කෑමක් ගන්නට රුචි නොවූ මේඝා මේ මොහොතේ ද හුන්නේ රෑ කෑමෙන් කට්ටි පනින හදිසි සිතුවිල්ලකට එළඹෙමින් ය.අක්කා වෙත එද්දී මොනවා හෝ ගිලදමා බෙහෙත් බී ඇඳේ ගුලි වෙන්නට සිතුණ ද දැන් ඇයට එයට ද සිත් නැත.

“කන්න බෑ අක්කේ..අප්පිරියයි..”

මේඝා පැවසුවේ සුසුමක් හෙළන අතර ය.විවාහ වී සය වසක් ද ඉක්ම යමින් තිබූ මාධවී මේඝා වෙත හෙළුවේ සැකමුසු බැල්මකි.

“නංගි.. ඔයාට ඇඟට මොකුත් වෙනසක් එහෙම දැනෙනවද.. මට ඇත්ත කියන්න එහෙමනම්..”

අක්කාගේ වේදනාබර සවනෙහි හැපෙද්දී මේඝා කිසිත් නොකියා තොටිල්ල මත සුවසේ නිදන පුතු දෙස බලා හුන්නා ය.ඒ බොහෝ දුර සිහිනයකි.ආදර හමුවීම් යැයි ජනිඳු පැවසූ හැම හමුවකම අවසානයේ ගිල දැමූ බෙහෙත් පෙති ගැන සිහි කරමින් මේඝා විනාඩි කිහිපයක්ම නිහඬව සිටියා ය.

“එහෙම වෙන් නෑ අක්කෙ.. මට විස්වාසයි..”

බෙහෙත් පෙති ගිල දැමූ හැටි අක්කාට කියන්නට තරම් සිතක් නැති බැවින් ඈ එහෙම සරල පිළිතුරක් දී නිහඬ වූවා ය.මාධවී කම්පිතව බලා හුන්නා ය. නැගණිය බොහෝ දේ විඳගෙන අවසන් ය.ඇයගේ හිත හැදීමත් සාමාන්‍ය තත්ත්වයට ගැනීමත් පහසු වන්නේ නැත.

“අක්කේ, මට ෆෝන් එක ටිකකට දෙනවද?”

මේඝා ඇසුවේ හදිසියේ යමක් සිහි වී ය.

“අරූට කතා කරන්නද? තේරුමක් තියනවයැ එහෙනම් හැංගිලා..”

මාධවීගේ හඬ නොපහන් විය.මේඝා ඇගේ උරහිස මත හිස තබා ගත්තා ය.

“අක්කේ,මට ඒ මිනිහා එක්ක කතා කරන්න දෙයක් නෑනෙ.. මට මතක් උනේ දැන්..මං තාරුට මෙහෙ ආවා කියලවත් කිව්වෙ නෑ. ඒක හරි නරකයි..”

මාධවී ඇගේ ජංගම දුරකථනය මේඝා අත තැබුවා ය.මේඝා ලබා ගත්තේ විනාඩියකටත් අඩු ඇමතුමකි.මිතුරියට පවසන්නට දේ අපමණ වූව ද ඇයට ඒවා අසන්නට උවමනාවක් නොවන හැඩ මාධවී බලා හුන්නා ය. මේඝා ඇමතුම අවසන් කර ඇඳ විට්ටමට හිස තබා නිසොල්මනේ හිඳින ආකාරය මාධවී බලා සිටියේ නොදැරිය හැකි ශෝකයෙනි.

“පව් අක්කේ තාරුයි අම්මයි.. මං පුංචිගෙන් ගුටි කාගෙන එහෙට ගියේ…තාරු වතුර උණු කරලා මගෙ අතයි ඔලුවයි තැව්වත් එක්ක.ඒ අම්ම මට වෙච්ච දේ දන් නෑ..ඒත් පුංචි එක්ක රණ්ඩුවක් කියල දන්නවනෙ.. රෑට කැව්වෙත් එයා.තාරු අද දවසම මට කෝල් කරන්න ට්‍රයි කරල. මං මොනවහරි කරගෙනවත්ද කියල හොඳටම බයේ ඉඳල තියෙන්නෙ..මට අක්කගෙ නම්බර් එකවත් දීලා එන්න සිහියක් තිබ්බෙ නෑනෙ..”

මාධවී තාරුකාගේ ඉදිමුණු අත් දඬුව අල්ලා බැලුවා ය.නැගණිය බොහෝ වේදනා විඳි හැඩකි.

“පුංචිට කවුරුහරි වට්සැප් කරල අක්කෙ..මම ගෙට ගොඩ වෙනකොටම යකා ආවේස උනා.කොච්චර ගුටි කෑවද කියලවත් මට මතක නෑ..හැබැයි සෑහෙන්න ගැහුවා..පහුගිය අවුරුදු දහයටම ගහගන්න බැරි උනු ගුටි ටික ගහගත්තද මන්දා.තාත්තා හවස් වෙනකන්ම ගෙදර ආවේ නෑ.. මං තාත්තට ලියුමක් ලියල තියලයි ආවේ.. මල්ලි ඉන්න නිසා තාත්තා හිත හදා ගනී නේද පොඩි අක්කේ..”

සිර කරන්නට තැත් දැරූ වේදනාව පිටාර යන්නට විය. මේඝා ඉකිලමින් වැලපෙන්නට ගත්තා ය.මේඝා හඬන අන්දම බලා හිඳීම මාධවීට ඉතා අසීරු ය.ඇය හැඬුම අසීරුවෙන් පාලනය කරගනිමින් මේඝාගේ හිස අත ගෑවා ය.

“අඬන්න එපා පොඩි රත්තරං..ඔයා මෙහෙ හොඳින් ඉන්නව කියලා වරුණ ගාමිණි බාප්පට කියල තිබ්බා..එයා හිත හැදුණම එයි මැණිකේ.දැන් ඉන්නේ කේන්තියෙන්නෙ..අපි ඔහොම ඉන්න අරිමු..”

මේඝා නොනවත්වා වැළපෙන්නට ගත්තා ය.ඇය සැනසීම අසීරු නිසා මාධවී ඇයට ඇති තරම් හඬන්නට ඉඩ දී හිස අත ගෑවා ය.ලොකු අම්මාගේ රාත්‍රී උයමනේ හොඳම හරියට වගකියා මුළුතැන්ගෙයින් පිටතට ආ බිනරට ඒ හැඬුම සිහින් ස්වරයෙන් ඇසුණේ සාලය දෙසට එන ගමනේ දී ය.

“ඒ වීඩියෝ එකේ හිටපු සුනකයා දැන් කාලා බීලා හොඳට නිදි ඇති. හොඳ සනීපෙට නින්ද යනව ඇති පාහරයට..” ඔහු කෝපයෙන් සිතුවේ ය.ෆේස්බුක් තුළ මේඝාගේ ඡායාරූප වලට පහළින් කෙළවරක් නැතිව මෙන්ෂන් වන මිනිසාගේ ෆේස්බුක් ගිණුමට රිංගා බැලීමේ හදිසි උවමනාවක් හට ගත් බිනර සාලයේ කොනක පුටුවකට වී ඒ අදහස ක්‍රියාත්මක කරන්නට සිතුවේ ය.

“ජනිඳු තත්සර” ලෑන්ඩ් රෝවර් රථයකට පිට දී කෙළිලොල් ලීලාවෙන් බලා හිඳින අන්දම බිනර බලා හුන්නේ කෝපයෙනි.දන්නා සියලුම අසභ්‍ය වචන සහිත පණිවිඩයක් ඔහුට යැවීමේ උවමනාවක් බිනරට හට ගත්තේ ය.මේඝා මේ මොහොතේ හිඳින කම්පනය සහ වේදනාව ඒ හා සමානව ජනිඳුට ද නොදැනීම ද මේඝාට ගණිකා පට්ටමක් වැදෙද්දී ජනිඳු වීරයෙකු වීම ද ගැන බිනරට පාලනය කර ගත නොහැකි තරම් කෝපයක් දැනෙන්නට විය.ජනිඳුගේ ඡායාරූප පරීක්ෂා කරද්දී දැනෙන හුරුව ගැන බිනර මඳක් නැවතිල්ලේ සිතුවේ ය.

“එහෙම වෙන්නෙ කොහොමද.. ” ඒ සිතුවිල්ලට උපදින්නට ඉඩ නොතබාම එය විනාශ කර දැමූ බිනර නිවසට යන්නට නැගී සිටියේ මේඝා ගැන පහව නොගිය ශෝකය සිත දරා ගෙන ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles