ඔබට ඇහෙනවනම් -16

රිය පෙළ කෙතෙක් දිගු වී ද යත් ඈතින් වන වාහන පෙනුණේ ගිනි පෙට්ටි වලටත් වඩා කුඩාවට ය. ඒ වාහන ඇතුළේ වන මිනිස් හදවත් වල කෙතරම් කලබලකාරී විෂාධ ලක්ෂණ තිබිය හැකි වුණත්, වාහන තදබදය ඉතා සාමකාමී ස්වභාවයක් දැරුවේ ය. උණුසුම් ලේ ගමනාගමනයක් සහිත පොපියන හදවතකින් හෙබි මගේ බාහිරයත් අතිශය සන්සුන් ව පැවතිණි. කාබන් මොනොක්සයිඩ් දුමක, දුහුවිලි පොදක අපවිත්‍ර වීමක් නැති වායු සමීකරණිත රිය තුළ කුලාන් හා මා හුස්ම ගන්නා හඬ පවා ඇසුණේ ය. අලුත් ගොඩනැගිල්ල මිල දී ගැනීම වෙනුවෙන් කඩිනමින් ඉල්ලුම් කරන ලද බැංකු ණය මුදල පිළිබඳව බැංකුවෙන් ලද සතුටුදායක ප්‍රතිචාරය නිසා කුලාන් ප්‍රීතිමත් සැහැල්ලුවකට පත් ව හිඳි බවට සැකයක් නැත. ඔහු අතැඟිල්ලකින් ස්ටියරින් වීල් එකට යන්තම් තට්ටු කරමින්, ගුවන් විදුලි නාලිකාවක ගුවන් ගත වෙමින් පැවති ජනප්‍රිය ඉංග්‍රීසි ගීතයකට තාල ඇල්ලුවේ ය.

“කෝ මට අර කොලිෆිකේෂන්ස් ටික කිව්වෙ නෑනෙ…හිනා වෙලා මාරු වෙලා ගියා මිසක්”

මගේ හිතත් එක්ක මා බෝ දුරක් ගොස් සිටියදී ඔහු එහෙම කීවේ ය. අර ක්ෂණික සිනහව යළිත් මා මුවට පිවිසිණි.

“හිනා වෙන්නෙ…පොල්කිච්චි වගේ…”

“ගෑනු ළමේක්ගෙ හිතක පිරිමි ඉමේජ් එකක් ඇඳෙන්න ගන්නෙ හුඟක් පුංචි වයසකදි සර්. සර් අහල තියනවද කතාවක්…ගෑනු ළමයි පොඩි කාලෙදි බෝනික්කන්ට ආසයිලු. පිරිමි ළමයි වීරයන්ට ආසයිලු. ලොකු වෙනකොට පිරිමි ළමයි බෝනික්කො වගේ ගෑනු ළමයින්ට ආසයිලු. ගෑනු ළමයි වීරයො වගේ කොල්ලන්ට ආසයිලු. ඒ වීරයා කියන වචනෙ ඇතුළෙ හුඟක් දේවල් තියෙනව සර්. සමහර විට හුඟක් ගෑනු ළමයින්ට එයාලගෙ ජීවිතේ කිසිම දවසක ලබා ගන්න තියා ලං වෙන්නවත් බැරි හීන ගොඩක් ඒ වචනෙ ඇතුළෙ තියෙනව”

මගෙන් සුසුමක් ගිළිහුණේ ය.

“මං හිතන්නෑ ආයෙ සැරයක් ඒ වගේ හීනයක් දකින්න මට ඕනෙ කියල. ගොඩක් ගෑනු අය සැරයක් දෙකක් නෙවෙයි ඊට වැඩිය වාර ගාණක් ඒ හීනෙ දකින්න උත්සාහ කරලයි හෙම්බත් වෙන්නෙ. ඒත් මං හිතං ඉන්නෙ මගෙ ජීවිතේදි ආයෙ ඒ වගේ වීර චරිත හොයන්නෙ නෑ කියලයි”

එවර සුසුමක් හෙළුවේ ඔහු ය. මම නෙතගින් කුලාන් දෙස බැලුවෙමි. ඔහු ගේ සිත්හි වන කිසිදු හැඟීමක් කියවා ගන්නට ඒ මොහොතේ මා සමත් නොවූයේ, ඒ වත මත වන දහස් ගණනක් හැඟීම් ලියැවෙන රේඛා සීතලට මිදී ගොස් තිබුණ බැවිනි.

“සර්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉන්නෙ එහෙද මෙහෙද…”

“ආ…”

මගේ හදිසි පැණයෙන් ඔහු යම් තරමක කැළඹීමකට ලක් වූ බව පෙනිණ. මගේ මුවග නිරායාස සිනහවක් පිපිණ.

“නෑ මං ඇහුවෙ සර්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එහෙ ඉන්න කෙනෙක්ද කියල”

කුලාන් ගේ දෙතොල් පෙති ලිහී සිනහවක් එළියට පැන්නේ ය. ඒ සිනහව ඇතුළේ කාටවත් නොකී රහස් සිය සිය දහසක් විය හැකැයි මට හිතුණේ මන්දැයි නො දනිමි.

“ඒ හිනාව යට නං කතන්දර කෝටි ගාණක් තියෙනව වගෙයි”

“හ්ම්…කෝටි ගාණක්…”

ප්‍රශ්නයට උත්තර ලැබුණේ තත්පර කිහිපයක පමාවෙනි. මගේ හදවතේ ඈත ම කොනක කොනිති ගැසීමක් සිදු විය. සුක්කානම අල්ලා ගෙන රියෙන් ඉදිරිය බලා සිටින ඔහු ගේ ඇස් වල තාරකා දීප්තියක් මට දකිත හැකි විය. නමුත් ඒ ආලෝක වර්ෂ ගණනකට පෙර මිය ගිය තාරකාවක දීප්තියද? 

“ජීවිතේ කියන්නෙ දිග ගමනක් නිම්නා. දිග ම දිග ගමනක්. ඒ ගමනෙ අතර මගදි මොන මොන දේවල් දකින්න වෙයිද විඳින්න වෙයිද කියල අපි කොහොමවත් දන්නෑ. ඒක තමයි ඒ ගමනෙ තියෙන අබිරහස. ඒ අබිරහස තමයි ඒ ගමන විචිත්‍ර කරන්නෙ”

මා නවකතාවක් කියවමින් සිටින සෙයක් දනවන තරමට ඒ කට හඬ නිවුණේ වී ය. ඔහු ගේ පෙනුමෙහි නොවන පරිනතියක් ඒ ආත්මයෙහි වන බවට ඒ කටහඬ සාක්ෂි දරයි. ජීවිතය නමැති තෙරක් නො පෙනෙන වනාන්තරයෙහි අවතැන් ව සිටිනා සැරිසරන්නියක වන මම, අංජලීකරණීය ව ඒ මුණිවර හඬ අසා ගෙන සිටියෙමි.

“නිම්නා ඇහුවෙ මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එහෙද ඉන්නෙ මෙහෙද කියලනෙ. හැම තැන ම…”

ඒ සිනහව හිතුවක්කාර ය. නමුත් ඒ වචන වල වූයේ ගමන නිම කළ මුණිවර භාෂිතයක නැවතීමයි.

“ගෑනු ළමයි කී දෙනෙක්ව ආශ්‍රය කළාද කියල මංවත් නො දන්න තරමයි. මෙහෙ ඉද්දිත් එහෙ ගියාට පස්සෙත්…”

මම පුදුම නොවෙමි. ඔහු ඒ තරම් ස්ත්‍රීන් ඇසුරු කොට ඇති එක ගැන මම පුදුම නො වෙමි. පුදුම වන්නේ ඔහු ඒ බව කී එක ගැන ය. මා දන්නා තරමින් සිටින්නේ, ගැහැනු ඇසුරට ආගන්තුක පිරිමින් ය. ගැහැනියකගේ හුස්ම පොදක් නො වැදුණ පිරිමින් ය. එහෙම පිරිමි අතරේ කුලාන් වගේ විවෘත ව කතා කරන අය විරල ය.

කියවන්න :  ඔබට ඇහෙනවනම් -34

“ඇත්තටම මං හැම තත්පරේකම ජීවත් වුණ මිනිහෙක් නිම්නා. කොතනකදි හරි ජීවත් වෙන බවක් දැනෙන්නැති වුණොත් මං ඉක්මනට එතනින් ගමන වෙනස් කරපු එකයි කළේ”

වගකීමකින් තොර ව ගැහැනු ආත්ම මතින් පැන යන පිරිමින් ගැන මසිතේ වූයේ පිළිකුලකි. කුලාන් ඒ බව නො සඟවා කියා සිටියදීත් ඔහු ගැන එහෙව් පිළිකුලක් මා තුළ වර්ධනය නොවූයේ ඇයි දැයි මා වුව දන්නේ නැත. ඒ වෙනුවට ඒ අසීමිත පිරිමිකම මා ආශක්ත කොට ගෙන තිබුණේ ය. මම ඔහු කෙරේ භක්තිමත් ව එකත් පස් වී අසා ගෙන ද බලා ගෙන ද සිටියෙමි.

“ලෝකෙ ඉන්න ගෑනු අය මේ අතේ තියෙන ඇඟිලි වගේ තමයි නිම්නා. එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස්. කිසිම දෙන්නෙක් එක වගේ වෙන්නෙ නෑ. සමහර ගෑනු ළමයි මොන්ටිසෝරි වගේ. සමහරු පිරිමින්ට තමංගෙ ජීවිතේ ඉස්කෝලයක් කරල දෙද්දි බොහොම පොඩ්ඩක් ගෑනු අය විශ්ව විද්‍යාල වෙනව. ලියනවනං පොතක් ලියන්න කාරණා මට හම්බවුණ මං ආශ්‍රය කරපු ගෑනු කට්ටිය ගැන තියෙනව”

“මොන්ටිසෝරියෙ ඉඳල විශ්ව විද්‍යාලෙට යන ගමනෙදි සර්ට අති විශේෂ කෙනෙක් මුණ ගැහිල නැති වෙන්න බෑනෙ. ජීවිතේ සහකාරිය කරගන්න හිතුණ…”

“මුණගැහෙද්දි මොකක්හරි විශේෂයක් දකිනව තමයි. ඒත් සදාකාලික නවාතැන්පොලක් ඒ තැන් වල මුණගැහුණයි කියල මට දැනුණෙ නෑ”

ගෑනු ළමයින්ගේ ජීවිත වූ කලී සංචාරක පිරිමින්ට ගිමන් නිවන්නට වන තාවකාලික ලැගුම් හල් යයි සිතීම පිරිමි ගතියක් ද? නැත කියා මම විශ්වාස කරමි. කෙසේ වෙතත් කුලාන් වෙතින් ඒ ගතානුගතික පිරිමියා දකින්නට මගේ හිතේ රුචියක් නො වන්නට ඇත.

“ඇයි නිම්නා නිකං පල් එකට වගේ හිනා වුණේ…”

ඔහු එහෙම ඇසුවේ රියෙහි ඉදිරි කැඩපතින් මදෙස බලමිනි. මගේ රුව වඩා හොඳින් පෙනෙන්නට දෝ හෙතෙම කැඩපත අලුතෙන් සීරු මාරු කළේ ය.

“නෑ සර්”

“මුකුත් නැති වෙන්නනං බෑ. ඔයාගෙ හිනාවෙ ලොකු කතාවක් තිබුණා”

“අනේ මන්දා සර්”

මගෙන් සුසුමක් ගිළිහුණේ ඉබේට ම ය.

“ඇවිත් යන පිරිමින්ට නවාතැන් දෙන ගෑනු ආත්ම ගැන හැමදාමත් මගෙ හිතේ මහ මොකද්ද වේදනාවක් තිබුණා. කුවේණිගෙ ඉඳලම ගෑනුන්ට මොකක් හරි වැරදීමක් වුණා සර්. කොතනක හරි වැරදුණා. මනමේ කුමාරයා දිනුවත් වැද්දා දිනුවත් මනමේ කුමාරි පරාදයි කියලමයි මට හිතෙන්නෙ. සමහර විට ඒක මගෙ පසුගාමී ගෑනු හිත වෙන්න ඇති”

සීගිරි අප්සරා රූප දකිත්දී අපට පෙනෙන්නේ ඔවුන් සැරසී සිටින කුසුම් කැන් ය.ඔවුන් ගල්වන ලද කුංකුම චන්දන අංජන ය. ඔවුන් ගේ සිනා වත ය. රජු සනහනු වස් එසේ පෙනෙන්නට සිටියා වී ද ඔවුන් ගේ හදවත් ඇතුළේ මොන විදිහේ කතා නිදන් ගත වී තිබෙන්නට ඇත්ද? මොන තරම් කඳුළු ගල් වී තියෙන්නට ඇත්ද? මොන තරම් සුසුම් අහසට මුහු කරන්නට ඇත්ද? නමුත් එකී කුංකුම චන්දන අංජන මිස ඔවුන් ගේ ස්ත්‍රී හදවත රජු දුටුවා යි සිතිය යැකි ද? එසේ දුටුවේ වී නම් අන්තඃපුරයක් ස්ත්‍රීන් සමග පෙමින් වෙළෙන්නට රජු පෙළඹේවිද? 

නිමක් නැති සිතිවිලි වලින් මසිත පිරී පැවතිණි. ඕනෑම කෙනෙකු තුළ දෙදෙනෙක් ජීවත් වෙති. පිටතින් පෙනෙන කෙනා හා ක්‍රියාවන්ට මූලික වන සිතිවිලි පාලනය කරන අනිත් කෙනා වශයෙනි. මා වන දෙදෙනා දෙපැත්තකින් බලමින් කුලාන් පිළිබඳව විවිධ අර්ථකථන දෙන්නට වූහ. නමුත් ඒ තර්ක විතර්ක හමුවේ මා වෙහෙසට නො පත් බව නම් කිව යුතු ය. අනිත් අතට අම්මා ගේ දණහිස් බද්ධ කිරීමේ සැත්කම  පෞද්ගලික රෝහලකදී කර ගන්නට අප සිහිනයෙන් හෝ සිතා නො තිබි එකේ, හදිසියේ ම ඈ දෙපයින් නැගිටුවා ගන්නට ලැබෙනවා කියන බලාපොරොත්තුව ජීවිතය ට නව පණක් දුන්නේ ය.

“ඒ වුණාට අනේ මන්දා. කෙනෙකු ගෙන් අපි අද ගන්න උදව්වක් දවසකදි ආපහු කැරකිලා එන්න පුළුවන්…අනේ අපි එදා මොකට ඒ උදව්ව ගත්තද කියල හිතෙන විදිහට.මොනා වුණත් දුරට දිගට හිතද්දි ඉස්පිරිතාල පෝලිම සැනසීමයි කියල හිතෙනව නිම්නා”

තාත්තා හිටියේ දෙගිඩියාවෙනි. තාත්තා ගේ ජාන සංයුතිය ඇති දුවක නිසා ද මන්දා මා තුළත් ඔය අදහස නොවූවා නොවේ. නමුත් කුලාන් ගැන එහෙම හිතීම පව් කියා හිතෙන විදිහේ භක්තියක් මේ වෙත්දී මගේ හදේ ලියලා වැඩෙමින් තිබිණි.

කියවන්න :  ඔබට ඇහෙනවනම් -28

“මේක පුද්ගලිකව කෙනෙක් කරන දෙයක් නෙවෙයි තාත්තෙ. ආයතනයක් සේවකයන්ට සලස්සන පහසුකමක්. ඒක හෙමිහිට ටික ටික මගෙ සැලරි එකෙං කපා ගනී”

ඒ අන්තිම වාක්‍යය මවිසින් එකතු කරන ලද්දේ තාත්තා සනසනු වස් ය. නමුත් එහෙම වන එක වඩාත් හොඳයි කියා මට සිතිණි. කුලාන් ට එසේ කරන්නැයි කිව යුතුයි සිතෙත්දී ම ඔහු සිය අම්මා ගැන කී කතාව මට සිහි විය.

“එහෙමනං කමක් නෑ ඉතිං. අපි එහෙනං ඩොක්ටව චැනල් කරල කාරිය කතා කර ගමු නේද පුතේ…”

ඉතිරි කර ගත් මුදලක් ඕනෑ ම මිනිසෙකු සතුව පැවතිය යුතු යයි මට සිතුණේ අම්මා ගේ සැත්කම සඳහා වූ දිගු කාලීන පෝලිම නිසා ය. දුව පැන ඇවිදිමින් ගෙදරක වැඩ කර ගත් අම්මා රෝද පුටුවකට සීමා වීම යනු මුළු ගෙදර ම අංශභාග තත්වයට ඇද වැටීම හා සම විය. නමුත් ඉස්පිරිතාල පෝලිම දෙස බලා හිඳිනු මිස වෙනත් විකල්පයක් පෙනෙන තෙක් මානයක වූවා නොවේ. කුලාන් ව දිව්‍යමය වේශයකින් දකින්නට මගේ ඇස් දින දින පෙළඹෙන හේතු උදා කර දුන්නේ ඔහු ද නැත්නම් වෙනත් යම් කිසි අදෘශ්‍යමාන බලවේගයක් දැයි නො දනිමි.

රැකියාව සහ වැටුප විසින් කෙනෙකු ගේ මනසෙහි නගා සිටුවීමක් කරයි. මම යොවුන් වියේ සිට රැකියාවක් කළ කෙනෙක් නො වෙමි. පෞද්ගලික ජීවිතය මුළුමනින් බිඳ වැටුණ ඉක්බිති ඒ සුන් බුන් හා නටඹුන් මතින් හිස ඔසවා නැගිට ගන්නට මේ කුඩා රැකියාව මට මහත් පිටිවහලක් වූයේ ය. කලමණාකාර අධ්‍යක්ෂක ශ්‍රීනාත් ගල්හේන මහතා මා සිය ලේකම්වරිය ලෙස බඳවා ගත්තේ කිසිදු වෘත්තීය පලපුරුද්දක් නැති මැටි පිඬක් ලෙසට ය. ඔහු ට මා ගැන එහෙවු විශ්වාසයක් ඇති වූයේ මන්දැයි මා දන්නේ නැත. මට ලබා දෙන්නට එකඟ වූ වැටුප සුළු එකකි. 

“පඩිය ගැන හිතන්නැතුව නිම්නා ඒ රස්සාවට යන්න. ඔයා ඉස්සෙල්ලම ඔය වැටුණ තැනින් නැගිටගන්නයි ඕනෙ”

මාස කිහිපයක් මා ගෙට වැදීගෙන එක ම දෙයක් ගැන කල්පනා කිරීමට ජීවිතය දිය කරමින් සිටින බව දුටු තාත්තා, ඒ රැකියාව කෙරේ මා පොළඹවාලූවේ ය. වැටුප ගැන නො හිතා මා වැඩ කළේ පෞද්ගලික ප්‍රශ්න අමතක කිරීමේ මූලික අරමුණෙනි. ඊට අමතර ව එතැන සිදු වෙන දේවල් ඉක්මනින් ඉගෙන ගැනීමේ උවමනාව මට විය. හැම අංශයකට ම දුව පැන ඇවිදිමින් ඒ ඒ තැන් වල වැඩ සිදු වෙන ආකාරය ගැන අවබෝධයක් ඇති කර ගත්තේ මගේ උවමනාවට ම ය. සන් පබ්ලිකේෂන්ස් වෙතට බඳවා ගැනුණ මැටි පිඬ හැඩැති පිළිමයක් බවට කෙටි කාලයකදී පරිනාමය වී තිබිණි. ශ්‍රීනාත් ගල්හේන මහතා සිය පුතු අතට පත් කොට ගියේ එකී ප්‍රතිමාවයි. හෙතෙම එහි ආනුභාවයෙන් සිය කටයුතු වල කාර්යක්ෂමතාව හා හුරුබුහුටි බව වැඩි දියුණු කර ගන්නට ඇත.

කසුන් ට මා මැටි පිඬක් පමණක් විය. ඉන් ප්‍රතිමා තනන්නට කිසි දා ඔහු ට ඕනෑ නොවුණි. එහෙම කළ හැකි බවක් ඔහු නො දැන ඉන්නට ද ඇත. කෙසේ වෙතත් දැන් මා සිටින තත්වය ගැන තොරතුරු ඔහු ට ලැබෙන්නට ඇත. සෙනසුරාදා පුතා භාර ගන්නට ගිය විට ඔහු මට කතා කළේ ය.

“නිම්නාත් එක්ක මං ටිකක් කතා කරන්නයි හිටියෙ”

ඔහු ත් එක්ක කතා කරන්නට තබා ඔහු ගේ මුහුණ දකින්නට හෝ දැන් මා රිසි නොවෙතත්, මම මඳක් පමා වීමි.

“ඇයි…ඔයාට කතා කරන්න තියෙන්නෙ මං බොස්ගෙ කාර් එකේ ගමං යන එක ගැනනං…වැඩක් නෑ ඒ ගැන මුකුත් කතා කරල”

ඔහු ඉදිරියේ  කවදාවත් දැනී නැති විදිහේ ගර්වයකින් හා ආත්ම අභිමානයකින් යුතුව මම කතා කළෙමි. කසුන් සමච්චල් සිනහවක් නගා ගත්තේ ය.

“දැං මාර සයිස් එකකිං නේ ඉන්නෙ…”

“මාරද මන්දා. හැබැයි දැං මං මගෙ සයිස් එක දැනගෙනයි මිනිස්සු ආශ්‍රය කරන්නෙ”

“නිම්නා. බොරුවට රණ්ඩු වෙන්න ඕන නෑ. මං හිතන්නෙ අපි ඉන්මන් වුණා වැඩියි”

“මොකද්ද…”

“අපිට ඩිවෝස් නොවී ඉන්නයි තිබුණෙ”

“ඒ මොකද ඒ…”

එවර සමච්චල් සිනහව නැගුණේ මගේ මුහුණේ ය.

“ඩිවෝස් වෙච්ච එකෙං මටනං වුණේ හොඳක්. මං මාව හොයා ගත්තෙ ඒ නිසා”

ඔහු ගේ මූණ ඇද වී හැකිළී යනු මම දුටිමි. ඒ ගැන සියුම් හෝ පසුතැවීමක් මසිත් හි ජනිත වූවා නොවේ.

5 1 vote
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
1 month ago

ඇයි අනේ කුලාන්වත් එහෙම කෙනෙක් කළේ?