fbpx

ඔබට ඇහෙනවනම්- 19

මගේ ඇස් ඉදිමී තිබෙනවා මම කැඩපතින් දුටිමි. ඒ බව දැක අම්මා මගේ වත විනිවිද බැලුවත් කිසිත් ප්‍රශ්න නො කළා ය. මඳ හිසරදයක් දැනෙමින් තිබුණේ රාත්‍රියේ නින්ද අඩු වීම නිසා යයි මම නිගමනය කළෙමි. හිසරදය මත පිහිටා නිවාඩු දමා ගෙදර නවතින්නට නො සිතුණා ද නොවේ. නමුත්, කවර ගිලන් බවක් වූවත් ගෙදර නැවතිය නො හැකි හැඟීම් ප්‍රවාහයක් විසින් මා ව කාර්යාලයට ම ඇදගෙන යන ලදී.

“මොකද වුණේ…”

මගේ ඉදිමුණ ඇස් දැක අශිකා ප්‍රශ්න කළා ය.

“ඊයෙ මං යනකොට කසුන් අපේ ගෙදර ඇවිත්. අම්මලත් එයාගෙ යෝජනාවට කැමතියි වගේ”

කුලාන් එදා වේලාසන ම කාර්යාලය වෙත පැමිණ තිබිණි. මා අශිකා සමග කතා කරත්දීත් ඔහු ගේ ඇස් මගේ කුටිය වෙත පායා තිබුණේ ය. නමුත් ඒ බවක් නොදුටුවා සේ ඉන්නට මම උත්සාහ කළෙමි. අන්තිමට ඔහු සරත් අතේ මා කැඳවා තිබිණි.

අභ්‍යන්තර දුරකතන මාර්ගය තිබියදී ඔහු එහෙම කළ එක ගැන මම හිත යටින් සිනාසුණෙමි.

“ඊයෙ මං කතා කරල ඉවර වෙනකොට මං හිතන්නෙ නිම්නාට නින්ද ගිහිං”

මම බිම බලා ගෙන සිනාසුණෙමි. නමුත් මගේ දෑස් දුටු විට ඔහු සිය ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නට සිතනා බැල්මකින් බලා සිටියේ ය.

“ඔයා අසනීපෙන්ද…”

“ටිකක් සර්…ඔළුවෙ කැක්කුමක් තියෙනව”
“ඉතිං ළමයො…එහෙනං ගෙදර ඉඳල රෙස්ට් කරන්න තිබුණනෙ”

“බැහැනෙ සර්. මාසෙකට දවස් දෙකක් මං ලීව් ගන්නවනෙ. අම්මගෙයි තාත්තගෙයි ක්ලිනික් දවස් දෙකේදි. තව නිවාඩු අරගන්න බෑනෙ ඉතිං…”

මගේ නිවාඩු ගැනීම ගැන ඔහු මට බැණ වැදුන දිනය කුලාන් ගේ සිතේ මැවෙන්නට ඇත. ඔහු හඬ නැගෙන සේ සුසුමක් හෙළමින් අසුනෙහි හරි බරි ගැහුණේ ය.

“ගෑනු කියන්නෙනං පුදුම ජාතියක් තමයි ඇත්තට. හරියට ලේ මාපිල්ලු වගේ”

මට ඒ යෙදුමෙහි අරුත හරි හැටි වැටහුණේ නැත. මගේ බැල්මෙන් ඔහු ඒ නො තේරුම්කම හැඳින ගන්නට ඇත.

“එකෙක් මැරුවොත් හත් දෙනෙක්වත් පස්සෙං එනවලු ලේ බොන්න. උංගෙ වර්ගෙ එකෙක්ට කරපු වරදට පළි ගන්න”

මට සිනහ ගියේ ය. අතින් මුහුණ වසා ගෙන මා සිනා සී නිම වන තෙක් ඔහු පිරුණු දෑසකින් මදෙස බලා හිඳ තිබිණි. සිනා සී අහවර මා හිස ඔසවා බලත්දී අපේ සිව් නෙත් එකට ගැටිණි.

“මගෙ වර්ගෙ කාටවත් සර් වරදක් කරල නෑනෙ”

ඒ බැල්මේ දරා ගත නො හැකි කැල්ම මගහරිනු වස් යමක් කිව යුතු නිසා කීවා මිස, මගේ හඬෙහි වූයේ දියාරු වී දුර්වල වී යන ස්වභාවයකි.

“ඇයි අර එදා කිව්වෙ…කුවේණි කෙනෙක් ගැන…”

බිඳකුදු හඬ පිට නො වෙන නිහඬ සුසුමකින් මම පපුව පුරවා ගතිමි. සත්තකට මම ද කුවේණි පරපුරේ පුරුකක් නොවෙම් ද? විජය නම් ඈ පලවා හැරියේ දරු දෙදෙනා ද සමගිනි. කසුන් මගෙන් දරුවා උදුරා ගන්නට තරම් සැහැසි වූයේ ය.

“දුකෙන් නේද…”

ඇස් වලින් ඔහු මගේ ආත්මයේ කිමිදෙන උත්සාහයක් දැරුවේ ය. තවත් වසැංගෙන්නට මම තැත් කළෙමි. කුලාන් වාගේ පිරිමියෙකු හා හදවතින් බැඳෙන ගැහැණියකට ආත්ම ගණනකට ඒ බැඳීමෙන් මිදිය නො හැකි ය. නමුත් ඔහු ගේ ආත්මීය සහකාරිය ඔහු සොයා ගෙන සත් සමුදුරු තරණය කොට පැමිණෙමින් සිටින්නී ය. රහසින් හෝ ඔහු වෙත බැඳෙන්නට මට වන අවකාශ අවුරා දමමින්, පැමිණෙමින් සිටින්නී ය.

“දැං මොකද්ද වෙලා තියෙන්නෙ කියල කියන්න බැරිද…”

මා තිගැස්සී ගියයුරු ඔහු ද මැනවින් දකින්නට ඇත. කුලාන් කෑගැහුවේ බරපතල වරදක් මගෙන් සිදු වූ කලෙක මෙනි. ඇස් කෙවෙනි අගට ගලා ආවේ කොහේ කොතැනක තිබි කඳුළක් දැයි මම නො දනිමි.

“ස්..සර්…”

“මොන මගුලක්ද…කී සැරයක් ඇහුවද දැං”

“ඒක…කම්පනි එකට අදාල දෙයක් නෙවෙයි සර්”

පුටුව කෙතරම් තදින් තල්ලු කරමින් ඔහු නැගිට ගත්තේ ද යත් එය පසුපසට ඇදී ගියේ ය. වේගවත් ගමනින් අඩි කිහිපයක් පෙරට තබා ඔහු ඇවිද ගියේ කුටියෙන් පිට වෙන්නට ය. ඒ කෝපය නිවා ඔහු නතර කරන්නට මට උවමනා විය.

“සර්”

දොරට අත තබා උන් කුලාන් එය අත්හැරියේ ය.

“කසුන් අපේ ගෙදර ඇවිත් ආයෙත් මාව මැරි කරන්න තාත්තගෙං ඇහුව සර්”

එහෙවු හිස් වීමක්! සැනෙන් හුළං බැසි බැලුමක් සේ ඔහු මළානික වූයේ ය. ගිය වේගයෙන් හරි අඩකට වැඩිය සිඳී ගිය ජවයෙන් යුතු ව යළි අසුන වෙත පැමිණි හෙතෙම ඒ මතට වැටිණ.

“ඉතිං…”.

“අම්මල කියන්නෙ ඒක තමයි හොඳම විසඳුම කියල. ඒත් මට ආයෙ ඒක කරන්න බෑ සර්. මං ඒක කරන්නෙ නෑ”

ලොකු හුස්මක් ගෙන එසැනෙන් ඔහු එය මුදා හළේ ය. අත් දෙක මේසයට බර කර ගත් කුලාන් හිස වඩාත් පහළට හරවා ගෙන, විසල් මේසය මත ඇතිරූ දැවැන්ත වීදුරු තලාව දෙස ටික වෙලාවක් බලා ගෙන සිටියේ ය. ඒ අතරේ මම නිවී සැනසිල්ලේ ඔහු දෙස බලා උන්නෙමි. මෙතෙක් දවස් ඔහු බලා උන් විද්‍යුත් පණිවිඩය ඔහු වෙත ඇවිත් තිබේ. මෙතෙක් දවස් ඔහු පතා උන් පෙම්බරිය සයුරු තරණය කොට ඔහු වෙත පැමිණෙමින් සිටී!

කුලාන් මා බලාපොරොත්තු නොවූ මොහොතක හිස නගා බැලුවේ ය. තාරකා දෙකක් එකට හැපුණා බඳු ඝට්ටනයක් අපේ ඇස් අතර සිදු විය.

“කොහොමද දරා ගන්නෙ මෙච්චර දේවල්…ම්…”

මගෙන් ඇසුවා නොවේ. ඔහු ඒ බවක් අසා ගත්තේ ඔහු ගෙන් ම ය. ඇස් කෙවෙනි අස්සේ මෙතෙක් හිර වී දුක් විඳි කඳුළ මගේ අවසරයකින් තොරව ම කොපුල් තලා දිග ඉහිර ගියේ ය. මම ඇසිල්ලකින් ඒ කඳුළු කම්මුල් මත චප්ප කොට දැමුවෙමි.

හඬා දොඩා දුර්වල ගැහැනියක ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටින්නට මට උවමනා නැත. නමුත් තව දුරටත් කඳුළු හිර කර ගත නො හැකි අවස්ථා අපේ ජීවිත වලට උදා වන්නේ ය. කුලාන් ඉදිරියේ කඳුළු පෙන්වීමෙන් ඔහු ගේ විශේෂ අනුකම්පාවක් දිනා ගන්නට මට උවමනා නොවූ වග ද කිව යුතු ය. කවර තරාතිරමක ගැහැනියක වුව ආදරයට ලෝභී බැව් සැබවි. නමුත් අනුකම්පාව විෂ තුඩක් සේ ය.
කඳුළු පැල්ලම් අතරින් මා සිනහවක් නගා ගන්නා උත්සාහයක් දැරුවේ එබැවිනි.

“දරාගන්නනං පුළුවන් සර්. මං දන්නව මට ඔයිට වැඩිය දේවල් වුණත් දරා ගන්න වෙයි. හැබැයි ආයෙ කසුන් එක්ක ජීවත් වෙනව කියන විහිළුව මං මට ම කර ගන්නෙනං නෑ”

ඒ මොහොතේත් විෂ නිය තුඩකින් හදවත සූරා දමන වේදනාවක් දැනෙමින් තිබිණි. මීටත් වඩා දරා ගන්නට, මීටත් වඩා අහිමි වන්නට මට ඇත්තේ මොනවා දැයි මම සිතන්නට වීමි. කුලාන් වෙත බැඳි සිත මට හමු වූයේ එවිට ය. හදවත ඇතුළේ විදුලි කෙටීමක් සිදු විය. මට ඔහු හමු වෙන විටත් අහිමි වී ඉවර ය. වෙන කෙනෙකුට හිමි වී අවසාන ය. හිමි වීම හා අහිමි වීම අතරේ වන බෙදුම් රේඛාව වනාහි කවරක් ද? සමහරක් අහිමි වීම් සිදු වන්නේ හිමි කර ගන්නට යාම නිසා ය. හිමි නොවී තිබුණා නම් අහිමි වීමක් ඇත්තේත් නැත.

කුලාන් සම්බන්ධයෙන් මගේ හදවත දරන්නා වූ මතය තවම මටත් පැහැදිළි නැති තරමි. ඔහු වාගේ සිටු කුමාරයෙක් ව භෞතික වශයෙන් හිමි කර ගැනීමක් ගැන සිතීමත් විහිළුවක් වග මම හොඳාකාර ව දනිමි. ශ්‍රීනාත් ගල්හේන මහතා ට දෙවන විවාහයේ දරුවන් දෙදෙනෙකු සිටියා ට, පළමු විනාහයේ දරුවා වන කුලාන් ව කොහෙත් ම මග හැරෙන්නට නොදුන් බව වතාවක් ඔහු මට කියා තිබේ. ඉදින් කුලාන් වන් තරුණයෙකුට ඉහළ සමාජ තලයට අයත් පවුලකින් කුමාරියක් සරණ පාවා දීමට ශ්‍රීනාත් මහතා සිතා සිටීම සාමාන්‍ය කාරණාවකි. මා වගේ සාමාන්‍ය පවුලක, දික්කසාද වූ, දරුවෙකු ද සිටිනා එකියක එතනට ඈඳා සිතන්නට වෙනකෙකුට නොව මට වුව නො හැකි ය. එසේ සිතන්නට මට අවැසි ද නැත. එසේ සිතන්නට තරම් මා ප්‍රායෝගික නො වන්නියක ද නොවේ.

මා සිතන්නේ චෛතසික බැඳීමක් ගැන ය. භෞතික වශයෙන් දුරින් හිඳියත් හදවත් වලට දැනෙන්නා වූ සමීප බව ගැන ය. එවන් සමීප බැඳීමක් අප අතර ඇති වෙමින් තිබුණා යි නො කිව හැකි ද? විශ්වය ඔස්සේ චිත්ත තරංග රැහැන් විසින් අපේ සිත් අතර යා වීමක් සිදු කරන ලද බව, මගේ පංචේන්ද්‍රිය ඉක්ම වූ සවිඥානයකට සංවේදනය වේ. නමුත් ඒ සිතිවිලි රැහැන් බිඳ දමමින් දැන් ඒ හරහා ඇය එමින් හිඳී.

කුෂ්ලානි!

ඊයේ රෑ ඔහු කියූ ඒ නම මට මේ දැන් හදිසියේ ම සිහිපත් විය.

“කුෂ්ලානි මිස් අද ද එන්නෙ සර්…”

මගේ ම හදවත මට්ටු කරනු වස් මම ඇසුවෙමි. කුලාන් කිසි වෙනසක් නො හඟවා කතා කළේ ය.

“අද රෑ මං හිතන්නෙ”

“ඒක හොඳයි”

හිතේ එකක් තියා ගෙන මුවින් වෙනකක් කතා කිරීම පහසු කටයුත්තක් නොවේ. ඔහු ඒ රටේ දී එක් ව ජීවත් වූයේ ඈ සමග ය. දිගු ම කාලයක් බැඳී සිටියේ ඇය සමග ය. විද්‍යුත් තැපැල් ලිපිනය පවා වෙනස් නොකර මෙතෙක් ඔහු බලා සිටියේ යළි ඇය පිලිගන්නට ය.

කුලාන් එක්ක කතා කිරීමෙන් පස්සේ මගේ හදවත සැහැල්ලු වූවා ද වඩාත් බර වූවාද කියා මම නො දනිමි. එහි වන තුවාලය නම් සුව නොවී එලෙස ම පැවතිණ. කුලාන් ගේ පෙම්බරිය ඔහු සොයා පැමිණෙමින් හිඳින පුවත මම සිනහ වෙවී අශිකා ට පැවසීමි. ඇගේ මුහුණට නම් සිනහ පොදකුදු පැමිණියේ නැත. ටික වෙලාවකට පස්සේ ඇය සුසුමකින් කතා කළා ය.

“ඔයාගෙ හිනාව ඇතුලෙ තියෙන කඳුළු මට පේනව”

හඬන්නට සිටි මිනිසා ගේ ඇහැට ඇඟිලි පහරක් වැදුණාවත්ද? මගේ සිනහව වඩාත් අසරණ ව වියැකී යනයුරු මට දැනිණ.

“පිස්සු”

ඒ අතරේ මම අමාරුවෙන් කියා ගතිමි.

“ඒක එහෙමනං කුලාන් හැසිරිච්ච විදිහ වැරදියි”

“මොකද්ද වැරැද්ද…”

“ඔයා දන්න හැම දෙයක්ම මාත් දන්නවනෙ නිම්නා. ඔයා කුලාන් ට බැඳෙන්න අරං හිටියෙ. ඒ නිකංම නෙවෙයිනෙ. එයා ඒකට ඕනවටත් වඩා අනුබල දීපු නිසානෙ”

“අනුබල…”

මම සාවඥ සිනහවක් හෙළුවෙමි.

“හිතකට කොතනක හරි බැඳෙන්න ඕනනං ඒකට කාගෙවත් අනුබලයක් ඕන නෑ අශී. හැබැයි ඉතිං අපිට ඕන ඕන තැං වලට බැඳුනයි කියල ඒකෙ වගකීම කාටවත් ගන්නත් බෑ. වැදගත් ම දේ අපිට බැඳෙන්න උවමනාවක් තියෙනවනං ඒකට කාගෙවත් අවසරයක් ඕනත් නෑ. ඒ කෙනා බැඳිල ඉන්න අය ගැන අපිට කිසිම අදාල කමක් නෑ. මොකද ඒ බැඳීමෙ බරයි වේදනා මල්ලයි වගකීමුයි ඔක්කොම අපිට අයිති දේවල්. හැබැයි ඒව ශෙයා කර ගන්න කියල අපි බැඳෙන කෙනාට කියන්න අපිට කිසිම අයිතියක් නෑ”

“නිම්නා”

අශිකා මගේ අතක් තද කොට අල්ලා ගත්තා ය. මා තුළ ගින්දරක් මට දැනිණ. එගින්නෙන් දැවී හළු වී ගියත් කුලාන් ට එරෙහි ව වචනයක් කියන්නට මට හදවතින් අවසර නොවන බව ද මම දැන සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x