මන්දාරම් හැන්දෑවක -16

මේඝා රජරට ට නික්ම ගොස් තෙමසක් ද ගෙවුණු වග තාරුකාට සිහිපත් වූයේ පෙර පාසලේ වර්ෂාවසාන උත්සවයේ වැඩකටයුතු වලට කාර්යබහුල වෙද්දී ය.ඇය පෙර පාසලෙන් පිට වූයේ ද මේඝා ගැන සිතුවිලිවල පැටලෙන අතරේ ය. මේඝා මේ දිනවල සිටියේ නම් මොනතරම් උදව්වක්දැයි සිතමින් තාරුකා ඇවිද ආවේ බස් රථයට ගොඩ වෙන්නට ය. අතීතයේ මේඝා සමඟ මේ මාර්ගයේ කියවමින් හිනැහෙමින් ඇවිද ආ හැටි ඇයට සිහිපත් විණි.

“මට ඇත්තටම ඒ බෝයිට ආදරේ කරන්න බයයි තාරු.. එයා හංගන්න ට්‍රයි කරාට සල්ලි කාරයෙක්. මම ඒකට බයයි. මට සාමාන්‍ය කොල්ලෙක්ව ඇති..අනික මට හිතෙන්නෙම ජනිඳු අයියා ටිකක් සෙල්ලකාරයි කියල.”

ජනිඳුගේ ආදර යෝජනාව පැමිණෙද්දී ඔහු ගැන සොයා බලා මේඝා ජනිඳුට ආදරය කරන්නට මැලි වෙද්දී ඇයට ඒ වෙනුවෙන් පෙළඹවීම් කළ අල්පයක් පිරිස අතර තමා ද හුන් බව සිහි වෙද්දී තාරුකාට දැනෙන්නේ වේදනාවකි.මේඝා මෙවැනි උගුලක හසු වේයැයි සිහිනයකින්වත් සිතුවා නම් කිසිදා ජනිඳු වැනි මිනිසෙකුට ආලය කරන්නට ඇයට උල්පන්දම් දෙන්නට තමා ක්‍රියා නොකරන වග සිතමින් තාරුකා ඇවිද ආවේ බර කර ගත් හදිනි.

“එක්ස්කියුස් මී.. මේ මිස් තාරුකා නේද?” ජනාකීර්ණ නොවූ මාවතේ තාරුකාගේ මඟ හරස් වූයේ රූමත් තරුණ ගැහැනියක අතිනි.දැක පුරුදු රූපය පෙරපාසල් මවකගේ විය හැකි බව සිතමින් තාරුකා නැවතුණා ය. සුදු කොට්න් සාරියකින් සැරසී සකස් කළ කෙටි කොණ්ඩය උරහිසට මුදා හැර හුන් ආගන්තුක ගැහැනිය අව් කන්නාඩි දෑසින් මුදා හරිද්දී තාරුකාට ඇය කවුදැයි සිහියට නැඟුණි.මැය තමන් හමුවට එන්නට ඇති කාරණාව ගැන වැටහෙද්දී තාරුකාගේ හදවත පිරී ගියේ නොතේරෙන හැඟුම් රැසකිනි.ඇය අර්ධ සතුටකින් සහ අර්ධ බියකින් පිරී ගියා ය.

“තාරුකා, මම නිමාෂා සල්වතුර.ඔයා මාව දැකලා අහල ඇති කියල මං විශ්වාස කරනව..”

තාරුකා හිස වැනුවා ය.කාන්තාවන් සහ කුඩා දරුවන් සම්බන්ධයෙන් හඬ නඟන තරුණ නීතිවේදිනියක ලෙස නිමාෂා ප්‍රසිද්ධියට පත් ව සිටින්නියකි.ඇය ෆේස්බුක් සහ පුවත්පත් හරහා ද ඒ ගැන බොහෝ සටහන් තබන්නියකි. රූපවාහිනී සංවාද වල ද නිතර දකින්නට ලැබෙන නිමාෂා තමන් හමු වීමට පැමිණි කාරණාව ගැන දළ අදහසක් තාරුකාට තිබිණ.ඇය මෙතරම් කැළඹීමට පත්ව සිටියේ එනිසා ය.පසුගිය දිනවල ඇයට අමතන්නට තාරුකා ද නොයෙක්වර කල්පනා කළා ය.

“තාරුකා, මට ඔයාගේ යාළුවා මේඝාව හොයා ගන්න ඕන..මට ඒකට ඔයාගෙ උදව් ඕන.. මේඝා කොහෙද ඉන්නෙ? දන්න කිසිම දෙයක් හංගන්න එපා දරුවෝ..”

නීතිවේදිනිය අසන පැනයට තමන් කිසිත් නොදන්නා බව කියන්නට තාරුකාට සිත් වූයේ හදිසියේ ය. ඒ තීරණය අගනා වග ඇයට සිතුණේ මෝටර් රථයේ රියදුරු අසුනින් බැස ගත් ජනිඳුගේ රුව දරන තරුණයා දුටු විට ය.ඔහු පැමිණ ඇත්තේ යහපත වෙනුවෙන් නොවන බව තාරුකා සිතී ය. ඇයට බියක් දැනිණ. වීරසේකර පවුල සුළුපටු පුද්ගලයන් නොවේ යැයි සෙව්වන්දි අද ද කියවූ අයුරු තාරුකාට යළි සිහි විණි.

“මේ තරිඳු, ජනිඳු වීරසේකරගෙ පොඩි අයියා..”නීතිවේදිනිය හඳුන්වා දුන් තරුණයා දෙස තාරුකා ඇස් කොනින් බැලුවා ය.

“ජනිඳු කරපු වැඩේ හරිම වැරදියි තාරුකා. හැබැයි ඒ වගේ බොරු දෙයක් නිසා සම්පූර්ණ වැරැද්ද තමන්ට පටවගෙන මේඝා හැංගිලා ඉඳීමත් වරදක්.මේඝා ජනිඳුට විරුද්ධව සටන් කරන්න ඕන.. මං විතරක් නෙවෙයි, තරිඳුත් මේ වෙලාවෙ ඉන්නේ මේඝාගෙ පැත්තේ. අපි ලෑස්ති ජනිඳුට විරුද්ධව නඩු කියන්න..”

තාරුකා අදහා ගත නොහැකිව බලා සිටියා ය.නිමාෂා වීරසේකර පවුලට විකිණී ඇතැයි පැහැදිලි සැකයක් ඇය තුළ හදිසියේ හට ගත්තා ය.ඔවුන්ට අවශ්‍ය මේඝා සොයාගෙන ඇයව බිය ගැන්වීමට විය නොහැකි දැයි ඈ සිතුවේ ගැහෙන හදකිනි.අයියා මල්ලීට එරෙහිව ක්‍රියා කරතැයි කෙසේ විශ්වාසයට ගන්නදැයි සිතමින් තාරුකා නිහඬ වෘතය පිරුවා ය.

“ඔයා දන්නව නම් අපිට මේඝා ඉන්න තැනක් දැනගන්න පුලුවන්ද?”

තරිඳු ඇසුවේ ඉතා ආචාරශීලී ව ය.තාරුකා වචන සොයා ගන්නට උත්සාහ කළා ය.නමුත් උගුර කට වියළී ගොස් අවසන් ය.

“අනේ ඔයා දන්නවද තාරු,ජනිඳුගෙ ලොකු අයිය අවුරුදු පහකට විතර කලින් නැති වෙලාලු.පොඩි අයිය නම් ඉන්නෙ ඇමරිකාවල කිව්ව.ඒ අයියත් බිස්නස්වලට ආස නෑලු.පොඩි අයියා හිතන් ඉන්නෙ ලොකු අයියගෙ මරණෙට තාත්තා වග කියන්න ඕන කියල හින්දා ගෙදරවත් එන් නෑලු..”

අතීතයේ දිනෙක මේඝා පැවසූ හැටි විදුලි සැරයක වේගයෙන් තාරුකා සිහි කළා ය.ඇතැම්විට මොහු හිඳින්නේ ඒ පලිගැනීම වෙනුවෙන් මඟක් සොයමින් විය හැකි බව තාරුකා සිතුවා ය.එහෙත් එක්වරම මේඝා ගැන තොරතුරු නොපවසා හිඳින්නට ඇය තීරණය කළා ය.නොදුටු මිතුරා බිනර සමඟ මේ ගැන සාකච්ඡා කළ යුතු බවත් කළ යුතු දේ ඔහුට තීරණය කරන්නට දිය යුතු බවත් තාරුකා සිතුවේ රත්ව බබළන මහා මාර්ගය දෙසට නෙත් යොමාගෙන ය.

“සමාවෙන්න මැඩම්. මේඝා අන්තිමට මට කිව්වෙ එයා ආරාමෙකට යනව කියල.එයාගේ අක්කා කෙනෙක් ඉටැලි ඉන්නවා. සමහරවිට එහෙ යනකම් එහෙම තැනක ඉන්නව වෙන්නත් පුළුවන්..ඒත් දැන් එයාගෙ ෆෝන් එක වැඩ නෑ…මම ඇත්තටම මොකුත්ම දන් නෑ…”

තාරුකා අසීරුවෙන් කියා ගත්තා ය. මේ යුවතිය පවසන්නේ සත්‍යයක්‍ බව තරිඳුට සිතිණ.

“ඔයාට මේඝා කතා කළොත් මට දන්වන්න තාරුකා..”නිමාෂා ඇගේ කාඩ්පතක් තාරුකා අත තැබුවා ය.එය අතට ගත් තාරුකා පසු නොබලා වේගයෙන් යන අන්දම බලා සිටි නිමාෂා තරිඳු වෙත හැරුණා ය.

“මේ කෙල්ල මේඝා ඉන්න තැනක් දන්නව පොඩි අයියෙ.ඒත් අපිව විශ්වාස කරන්නෙ නෑ..”

තරිඳු කාරයට ගොඩ වූයේ බර කරගත් සිතිනි.ඒ අහිංසක යුවතියට සාධාරණයක් ඉටු කළ යුතුම බව සිතමින් ඔහු දැවෙන්නට විය.

“නඩු නම් නැතත් කමක් නෑ..ඒ ළමය හොයාගත්තොත් මේ බූරුවට රිදෙන්න මං එයාව මැරි කරනව නංගි..”

තරිඳුගේ කතාවට නිමාෂා දෑස් නළලට ගත්තා ය. අනුකම්පාව සහ ආදරය පටලවා ගන්නා මිනිසුන් කසාදයේ නැවතීම පතා තමන් හමුවට එන ආකාරය ඇගේ සිතෙහි ඇඳී මැකී ගියේ ය.නමුත් ඇය තරිඳුගේ ආවේගයට එරෙහි වූයේ නැත.ඔහුට සුවිසාල සිතක් ඇති වග ඇය කුඩා වියේ පටන්ම දැන සිටියා ය.

“මං ජෙනිෆර්ටත් කිව්වා මේ සීන් එක.. ඇත්තටම මේඝා හොයා ගත්තොත් මැරි කරනව කියල කිව්වම එයා කිව්ව එහෙම කරන්නම ඕන නම් අපි සෙපරේට් වෙමු කියල.. මිනිහෙක්ට මෙච්චර සතෙක් වෙන්න පුලුවං ද කියල එයත් ෂොක් වෙලා ඉන්නෙ.. ඇත්තටම මං මේඝා මැරි කරල එයා එක්ක ආපහු ගියත් ජෙනිෆර් අපිට යාලුකමෙන් සලකයි..”

තරිඳු ඔහුගේ ඇමරිකානු පෙම්වතිය ගැන එසේ පවසද්දී නිමාෂා කිසිත් නොදොඩා වාහන තදබදයට නෙත් යොමු කරමින් හුන්නා ය. මේ හදිසි තීරණවලට අනුබල දෙන්නට ඇගේ කැමැත්තක් නැත.

“මට ලොකු අයියව හොයා ගන්නත් ඕන නිමා.. අයියා මොන ලෝකෙන් හරි හොයා ගන්න ඕන..මට අයියා මිස් කරගත්තා ඇති..එයා හැංගිලා හිටියත් ඇති.එයාටයි සමාධි අක්කටයිත් අපිව ඕන..බබාලත් ඇති නේද දැං..”

වේදනාත්මක ස්වරයෙන් එසේ කියවන තරිඳුගේ වේදනාව තුනී කරන්නට නිමාෂාට උවමනා විය.ඇය පොරොන්දුවක් කඩ කරන්නට දෙවරක් නොසිතුවා ය.සමාධිගේ අසනීපය උග්‍ර වූ කාලයේ දිනිඳු තමන්ට ඇමතුවේ ඔවුන් සිටින්නේ කොහේදැයි නිවසේ කිසිවෙකුටත් නොකියන්නට ගිවිස්වාගෙන ය.නමුත් දිනිඳු අසාධාරණයට ලක් වූ කාලය අවසන් විය යුතු බව නිමාෂා සිතුවා ය.

“ලොක්කයියා ඉන්නේ කොහෙද කියල මං දන්නව.. මං එයාට කතාත් කරනවා.එයාගෙ රික්වෙස්ට් එක නිසා කවදාවත් එයා බලන්න නොගියත් එයා ඉන්න තැන මං දන්නව පොඩි අයියේ..සෑහෙන කාලයක් තිස්සෙ දන්නවා.නොකියා හිටියේ හේතු ඇතුව..මං කරන ඕනම දේකට හේතුවක් තියනව කියල ඔයා දන්නවනෙ..”

තරිඳු වහා වාහනයේ තිරිංග තද කළේ ය.ඔහුට වාහනය පැදවීමට නොහැකි තරමට දෑත් වෙවුලමින් තිබිණ.අයියා සිටින තැනකට වහා ඉගිලෙන්නට ඔහුට ආසාවක් හට ගත්තේ ය.

“කොහෙද අයියල ඉන්නෙ..”

“අනුරාධපුරේ..අයියයි බබයි ඉන්නෙ එහෙ..”

සමාධි ගැන තොරතුරු ඇසීමේ අයිතිය තරිඳුට ඉතිරි කර නිමාෂා කෙටි පිළිතුරක් ලබා දුන්නා ය.රජරට බලා ඉගිල ගොස් සහෝදරයා වැලඳ ගැන්මේ උවමනාවකින් තරිඳු පෙළෙන්නට විණි.අයියා සමඟ එක් වී නොහික්මුණු බාල සහෝදරයා දමනය කරන්නටත් ඔහුගේ අසාධාරණ ක්‍රියා වලට යුක්තිය ඉෂ්ට කරන්නටත් තරිඳුට ඕනෑ විණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles