තීරණ.

“මේ සින්දුව බලන්නකො..මාරම ලස්සනක්..”

පාරමී පෙන්නන වීඩියෝ එක දිහා නඳුනි බැලුවේ කට ඇද කරලා.සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන ගීතයක ලස්සන පාරමීට පේනකොට නඳුනිට ඒ ගැන කියන්න තිබුණේ වෙනම කතාවක්.

“මොන විකාරයක්ද අනේ.හොර ගෑනු හොර මිනිස්සුන්ගෙ මල විකාර.මට නම් ඕවා පේන්න බෑ..”

කලා රසය සහ යථාව ගැන පාරමී තර්ක කරනකොට නඳුනි ඒ ගැන එයාගේ අදහස කියන්න ගත්තා.සින්දුව දිහා සද්දේ අතරින්ම බලාගෙන හිටපු බිනරි ගිහින් පුටුවට වැටුණේ සුදුමැලි වුණු මූහුණකින්.

තමන්ට තමන් අමතක වෙමින් තිබුණු කාලයක ඒ රූප රචනාවේ ඉන්න තරුණිය වගේම අපිළිවෙල පාටට ඔෆිස් ගිය බිනරිව බිනරිට මතක් වෙන්න ගත්තේ ඊගහක වේගයෙන්.

“කසුන්, ඔයාට මාත් එක්ක කතා කරන්නවත් වෙලාවක් නැද්ද?”

රැකියාවෙන් පස්සේ ගෙදර ඇවිත් තව අමතර දේවල් කරලා කීයක්ම හරි හොයාගන්න පරිගණකයේ මුහුණ ඔබා ගන්න කසුන්ගෙන් එහෙම අහන බැගෑපත් මුහුණක් සහිත බිනරි ඒ දවස්වල ජීවත් වුණේ මොනතරම් හිත් කරදරයකින්ද කියලා බිනරිට මතකයි.

“කතා කර කර ඉන්න පුලුවන්.ලෝන් ගෙවාගන්න සල්ලි නැති වෙයි..”

කසුන් එහෙම කියන ගමන් ආයෙම වැඩට නාහේ ඔබා ගන්නවා.කොළඹින් ගෙයක් ගන්න හීනේ ඉෂ්ට වුණේ කසුන්ව තමන්ගෙන් ඈතට තල්ලු කරලා කියලා මොනතරම් විස්සෝප වුණත් මොනවා කරන්නද කියලා බිනරි ඒ කාලේ නොහිතපු වෙලාවක් නැති තරම්.

19270870 – portrait of unhappy young heterosexual couple in bedroom

“තුන්පත් රෑන වේදෝ කෙදින අප දෙදෙන..
රන් කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන…”

කියලා නිරෝෂා විරාජිනී ගයන හැටි අහන ගමන් ඉකි ගහපු වාර හිසේ කෙස් ගාණටත් වැඩි ඇති.ඒත් කසුන්‍ රෑ නිදා ගන්න එන්නේ පාන්දරට ළං වෙනකොට.එතකොට බිනරිට නින්ද ගිහින් ඉවරයි.ප්‍රශ්නවලින් පිරුණු හිත්වල ආදරයවත් රාගයවත් ඇති නොවෙන හින්දා රන්කැටි පුතා හිටියේ බිනරිගේ හීනවල විතරමයි.

“බත් එක අතගාන්න එපා අනේ.ඔක්කොම කන්නකො..”

විදුලි කොටන ඇස්!! සිතිජගේ ඇස් විදුලි කොටමින් තියෙන බව බිනරිට තේරෙන්න ගත්තේ එක්තරා මොහොතක.බිනරිගේ පාළු වුණු මුහුණට හිනා හොයන්න ඊටපස්සේ සිතිජ හැම තත්පරේකදිම උත්සාහ කළා.පරිස්සමින් ගෙදර ගියාද කියලා ඔෆිස් එකේ කෙනෙක් අහන්නේ නිකමට නොවන බව බිනරි දන්නවා.නමුත් ඇය ඔහු එහෙම අහනතුරු බලාගෙන හිටියා.අතින් අත නොඅල්ලා හිතින් බැඳෙමින් තිබුණේ අසම්මත බැඳීමක්.

“පිට පිරිමින්ට කෑම ඔතාගෙන එන ගෑනුන්ගෙ මොන සෞන්දර්යාත්මක රසයක්ද අනේ..”

මතක ඇතුළෙන් බිනරිට නඳුනිගේ වාදය ඇහෙනවා.ඇය ඒ වචන දිගේ ආයෙම අතීතයට ඉගිලුණා.

“බෝඩිමේ ඉන්න නිසා හරියට කන්නෙ බොන්නෙත් නෑනෙ.මං කෑම ගේන්නම්..”

බිනරි එහෙම අහපු දවසක සිතිජගේ උත්තරය හදවත් සලකුණක් විතරයි.ඒත් බිනරි ඊටපස්සේ කෑම හැදුවේ සිතිජගේ හොඳ අහන්නමයි.රස වුණත් කන නැතත් කන කසුන් කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ කෑම කන ගාණට එද්දී සිතිජ බිනරි අගය කරමින් හිටියා.

යන්තමින් අතක් ස්පර්ශ වුණත් හදවත අමුතු නැටුම් නටද්දී ඇස්වලට ඇස් ළං වෙනකොට පවා හදවත තදින් ගැහෙද්දී සිතිජ තවත් අඩියක් ඉදිරියට තියන්න උත්සාහ කරන බව බිනරිට තේරුම් ගියා.

“කසුන්,මට කතා කරන්න ඕන..”

එදා බිනරි කසුන්ගේ ලැප්ටොප් එක වහලා දැම්මේ බලහත්කාරයෙන්.ඕනෑවට වඩා බර ඔලුවට පුරවා නොගෙන ගමේ ගිහින් සාමාන්‍ය ජීවිතයකට හුරු වෙන්න බිනරි ඉල්ලා හිටිද්දී කසුන් බිනරි දිහා බලා හිටියේ පුදුමයෙන්.

“ඇයි මේ?

කසුන් අහනකොට බිනරි අඬාගෙන කසුන්ව බදා ගත්තා.

“මගේ හිතේ ඔයා ඉන්න තැනට තව කෙනෙක් එනව කියල මට හිතෙනව කසුන්.මට බයයි.මම වැරදි කරන්න බය නෑ.ඒත් මං නැති වුණොත් ඔයාට දරා ගන්න බැරි වෙයි.”

ඉක්මනින් හැමදෙයක්ම වෙනස් වුණා.ණය වෙලා හදපු ගෙදරට නිසි වටිනාකමක් ලැබුණු නිසා ඒ මුදල කසුන්ගේ සිහින මෝටර් රථයට වගේම ඉතිරියකටත් සෑහුණා.නැන්දම්මා එක්ක ජීවිතේ රෑ තනිකමින් අඬන ජීවිතේට වඩා දාහෙන් සම්පතක් කියලා බිනරිට හිතෙන්න ගත්තා.සිතිජ ආයෙම කතා කළේ නෑ.බිනරි ඔහුට ඇමතිය හැකි හැම මාවතක්ම වසා දැම්මා.

තාමත් බිනරිට නිරෝෂාගේ සින්දුවලට ඇඬෙනවා.”සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්” ඇහෙනකොට විදුලි කොටන ඇස් දෙකක් හීන් කඳුලක් අරන් එනවා.බිනරි එතකොට “සුදු ඇත් පැටියෙක්”අහන්න පටන් ගන්නවා.

“මහ පුදුම වාද අනේ ඔයාලටත් තියෙන්නේ.”

පාරමීගෙයි නඳුනිගෙයි වාදෙ අහගෙන ඉඳලා දිල්ෂා හිනා උතුරමින් එහෙම කියනකොට බිනරි ආයෙම පියවි ලෝකයට ආවා.ඒ අතීතයක්.නමුත් වාදයට හේතු වුණු සින්දුව දිහා බලාගෙන ඉන්නකොට ජීවිතය අතහැරෙමින් තවත් තැනක රැඳවෙන්න ගිය මොහොතක මතකය බිනරිට වද දෙනවා.

දුරකථනය නාද වෙන්න ගත්තේ බිනරිගේ කල්පනාව බිම හලන ගමන්.

“කෑවද බිනූ..පැංචා වද දෙන්නේ නෑනෙ.”

කසුන්ගේ ආදරේ පිරුණු කටහඬට ඇහුම්කන් දෙන ගමන් බිනරි කුසට අත තියා ගත්තා.පුංචි මාළුවෙකුගේ පීනා යාම ඇයට දැනෙනවා.

ගෑනියෙක්ගේ ජීවිතේ තනිකමකින් අත් හැරෙන තැන් මොනතරම්ද? ඒ වෙලාවට දෝත පාලා අල්ලා ගන්න හදන තැනක නැවතීම ඇත්තටම පාපයක්ද?බිනරි හිතන්න පටන් ගත්ත.ඒත් ඇය වගේ ආපහු හැරිලා දුවන්න හැමෝටම බෑ.ගිලිහෙන්න වෙන තැනක පැළවෙන්න අයිතියක් තියෙන්නෙත් වේදනාව අයිති මනුස්සයට.

බිනරි හිතුවේ වාදය නෑහෙන්න නැගිටලා සේදුම් කාමරයට යන ගමන්.

More Stories

Don't Miss


Latest Articles