ඔබට ඇහෙනවනම් -25

 පුතා ට හුරු වෙන්නට කුලාන් ට කිසියම් කාලයක් ගත වූවා කියා සිතමි. ඔවුන් දෙදෙනා මිතුරු වීමෙන් පස්සේ පුතා ඔහු ගේ පස්සෙන් ම වැටී සිටියේ ය. ඔහු ව වඩා ගෙන කුලාන් පුතු ට සතුන් පෙන්වූයේ ය. මගේ හිතේ මුලින් වූ බර ගතිය මඳින් මඳ ලිහිල් වෙනවා මට දැනිණ.

දිවා ආහාර සඳහා කුලාන් අප ව සුඛෝපභෝගී අවන්හලකට කැටි ව  ගියේ ය. ඔහු පුතා ව උකුලේ හිඳුවා ගෙන රිය පදවන හැටි කියා දුන්නේ ය. ඒ දවස ගෙවී ගියේ විනෝදකාමී ව ය.

“පුතා අද සතුටෙන් හිටිය”

මම අශිකා ට කීවෙමි.

“පුතා විතරක් නෙවෙයි…අම්මත්…”

ඇයට එකඟ නො වනු වස් කිව හැකි යමක් මගේ මුවට ආවේ නැත.

කෙසේ වෙතත් ඒ සතුට හිතේ රඳවා ගත හැකි වූයේ රාත්‍රිය උදා වන තුරු පමණකි. මා නින්දට වැටෙත්දී දුරකතනය හැඬවෙන්නට ගත් අතර, ඒ කුලාන් ද කියන සිතිවිල්ල මත සීතල වූ හිත කඩා වැටුණේ කසුන් ගේ නම දුටු විට ය.

“මොකද්ද මේ කරල තියෙන්නෙ…ආ…මගෙ ළමයවත් අරං එක එක එවුං එක්ක තමුසෙ රස්තියාදුවෙ ගියාද…”

මේ චෝදනාව කොයි මොහොතක හෝ එල්ල විය හැකි බව මම අනුමාන කළෙමි. පුතා දැන්ම ම ඒ ගමන ගැන කසුන් ට කියා තිබේ. ඇතැම් විට කසුන් පුතා ගෙන් ප්‍රශ්න කර ඔහු ට අවශ්‍ය දේ දැන ගන්නට ඇත.

“පුතාව සූ එකට එක්කං ගියා. ඒ ගමනට අහම්බෙං වගේ කුලාන් සර් ආව තමයි. හැබැයි ඒක ප්ලෑන් කරල කරපු වැඩක් නෙවෙයි කසුන්”

“ඔව් ඔව් ඔව්. අහම්බෙං තමයි තමුසෙට ඔය බොස් කාරයව හම්බ වෙන්නෙ. බලනව අන්තිමට තමුසෙට වෙන දේ”

“අනේ කසුන් මට වෙන දේ ගැනනං ඔයා කලබල වෙන්න ඕන නෑ”

“මං තමුසෙට එක දවසකටවත් ළමයව දෙන්නෑ. උසාවි ගිහිං මං කියනව තමුසෙ ළමයවත් අරං එක එක මිනිස්සු එක්ක දඩාවතේ යනව කියල”

මම වහා ම දුරකතන සම්බන්ධය බිඳ දැමුවෙමි. ජංගමය පසෙකට විසි කොට දමා කොට්ටයේ මූණ ඔබා ගතිමි. විනාඩි ගණනාවක් යන තෙක් හුස්ම ගත්තා ද කියා හෝ මා දන්නේ නැත. අන්තිමට හිස ඔසවා මම දෑස් අත ගා බැලුවෙමි. කඳුළක තෙතකුදු නෙතෙහි වූයේ නැත!

නැවතත් දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. මම එදෙස බලන්නේවත් නැති ව සිටියෙමි. හිතකට වුව මේ හැටි රිදෙන්නට ඉඩක් නැත. කසුන් මා එපා කියමින් අත්හැර දැමුවේ ය. අයාලේ යන බැල්ලියක සේ මා සිය සෙවනෙන් පන්නා දැම්මේ ය. දැන් නැවතත් මගේ ජීවිතයට අත පොවමින් ඔහු කරන්නට හදන සෙල්ලම කුමක් ද? 

ටික වෙලාවක් හැඬවුණ දුරකතනය නිසල වී යළිත් හැඬවිණි. මම ඒත් නෑසූ කන් ඇති ව සිටියෙමි. තෙවන වතාවේ හැඬවෙත්දී මා එය අතට ගත්තේ ක්‍රියා විරහිත කර දමන්නට සිතා ගෙන ය. නමුත් තිරය මත වූයේ අශිකා ගේ නමයි.

“මොකද්ද කරන්නෙ ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැතුව…නිදිද…”

ඇය නො රිස්සුමෙන් ඇසුවා ය.

“නෑ. නින්ද යාගෙන ආවෙ”

“යකාගෙ නින්දක් තමයි ඒක. හදිස්සියකට ගත්තත් ඔය ටිකනෙ”

“හරි හරි ඉතිං මොකටද මේ වෙලාවෙ කතා කළේ…”

“කුලාන් දැන් ටිකකට කලින් මට කෝල් කළා”

ඇතුළු හද ගැබ සුළි සුළඟ හමා ගියේ ය.

“හ්ම්…”

“අර අක්කගෙ ෆෝන් නම්බර් එක ඉල්ලුව”

“මොන අක්කගෙද…”

“අර ලෝයර් අනේ. පුතාගෙ වැඩේට කතා කරන්න හිටියෙ”

“ඇයි ඒ…”

“ඇයි කියල මන් දන්නෑ. ඔයා කිව්වද එයාටයි කේස් එක දෙන්න ඉන්නෙ කියල”

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 12

“කියල ඇති”

“මං හිතන්නෙ ඒ නිසා වෙන්නැති”

එක ම ගැහැනු හිතක් මත එක එක පිරිමින් එක එක විදිහට ක්‍රියා කරන්නේ කෙසේ දැයි වටහා ගත නො හැකි ය.

සඳුදා කාර්යාලයේ දී, රාජකාරී කතා බහකින් පසු කුලාන් මට ඒ ගැන කීවේ ය.

“මං ලෝයර් එක්ක කතා කළා. එයා ඔයාට ඕන දේ කරල දෙයි නිම්නා”

“මට අශී කිව්ව. අනේ…ඒත් ඇයි සර්…”

ඔහු මේසයට බර ව අසුනේ හොඳට හරි බරි ගැහී මදෙස බලා ගත්තේ ය. තත්පර කිහිපයක් එක එල්ලේ ඒ බැල්ම විඳ ගන්නට මට සිදු විය.

“ඔයා සතුටෙන් ඉන්න ඕන නිසා”

මට බිම බැලිණ.

“මං දැක්කනෙ සැටර්ඩේ…ඔයාගෙ සතුට පුතා. ඔයා සම්පූර්ණ වෙන්නෙ එයා ළඟ ඉන්නකොට…”

නාස් පුඬු දවා ගෙන ඇස් දිය වෙමින් එනවා මට දැනිණ. නමුත් කාර්යාලයේ දී, කුලාන් ළඟ දී හඬන එක කොහෙත් ම යහපත් ප්‍රතිඵල උදා නො කරන බව මට වහා වැටහිණ. ඉක්මන් ඇසිපිය සලා මම ඒ කඳුළ පලවා හැරියෙමි. 

“අපි ඉතිං පුතාව ගමු. ම්…”

හදවතේ ඈත කොනක් ගැස්සිණි. ඔහු එතැනට අපි කියන වචනය යොදා ගත්තේ අරමුණක් ඇතිව ද? ඇතැම් විට එහෙම නො වන්නට පුළුවන. නිකමට ව්‍යවහාරික වචනයක් වශයෙන් එය කීවා වන්නටත් පුළුවන. වචන ඔස්සේ දුරට දිගට පන්නා ගෙන යාම අනුවණ ක්‍රියාවක් බව යටි හිත මට මතක් කර දුන්නේ ය. නමුත් මේ මොහොත තුළ හදවත ස්නේහයෙන් ද ප්‍රීතියෙන් ද පුරවා ගන්නට මට ඒ වචනය මහත් පිටිවහලක් විය.

වීදුරු දොර ඇරුණේ කිසිදු සංඥා කිරීමකින් තොර ව ය. මම වහා හැරී බැලුවෙමි. කුෂ්ලානි ඇතුළට එමින් සිටියා ය.

“හායි ගයිස්. හොඳයි නිම්නාත් මෙතන හිටපු එක”

කුෂ්ලානි මට යාබද අසුනේ හිඳ ගත්තේ එසේ කියමිනි. මේ මොහොතේ, වෙනදා සේ කේන්තියෙන් හෝ නො රිස්සුමෙන් නොව ඇය මදෙස බැලුවේ සිනහවකිනි. නමුත් එය වෙනකෙකුට දිය හැකි හෘදයාංගම සිනහවක් නොව අනෙකා පරාජයට පත් කිරීම ඔස්සේ නැගෙන ජයග්‍රාහී  සිනහවකි.

“මාත් හිතුව මෙහෙ වැඩට එන්න”

මගේ ඇතුළාන්තයේ වන සුළි සුළඟ ලොකු පෙරළියක් කරමින් පැවතිණ. නමුත් මම පිටතින් බොහෝ ශාන්ත ව බිම බලා සිටියෙමි.

“කොහොමත් දැං මට ඕනෙ කුලාන් ඉන්න තැනක සෙට්ල් වෙන්න. ඉතින් මෙතන වැඩ ගැන මාත් ටික ටික හරි ඉගෙන ගන්න ඕනනෙ. ඉතිං…කුලාන්ගෙ සෙකට්‍රි විදිහට මීට පස්සෙ මට වැඩ කරන්න පුළුවන් නිම්නා. යූ ගොට් ඉට්…”

මම විසල් කර ගත් දෑසින් ඇදෙස බැලුවෙමි. මා මේ රැකියාව සොයා ගත්තේ අමාරුවෙනි. මා එහි ස්ථාවරත්වයකට පැමිණියේ ඊටත් වඩා අමාරුවෙනි. හැම දේකින් ම පැරදී ජීවිතය මත්තේ වැටි වැටී හිටි මට දෙපයින් නැගිට ගන්නට ද හිස කෙළින් තබා ගෙන ලෝකය දෙස බලන්නට ද හැකි වූයේ මේ රැකියාව නිසා ය. කුෂ්ලානි මේ ඇවිත් ඉන්නේ ජීවත් වන්නට මට තිබෙන ඒ අයිතියත් උදුරා ගන්න ද?

“මැඩම්…මේ ජොබ් එක මට හුඟක් වටිනව. සර්…”

මගේ හඬ බිඳී ගියේ ය. මහත් ආත්ම අසරණ කමක් මා වෙලා ගත්තේ ය. නමුත් නො හඬා ඉන්නයි එසැනෙන් මගේ ඇතුල් හද ගැබ මට පණිවිඩයක් එව්වේ ය. රැකියාවක් නැති වුණාට තව එකක් හොයා ගන්නට පුළුවන. නමුත් ආත්ම අභිමානය වූ කලී එවැන්නක් නොවේ. වරක් හෝ එය නො බිඳෙනු වස් රැක ගත යුතු බව දැන් මම දනිමි. 

“ඒ වුණාට කමක් නෑ මැඩම්”

“කුෂ්ලානි. මොනාද මේ කියවන්නෙ…ඔයාට පිස්සුද…මේක සෙල්ලං ගෙයක් නෙවෙයි ඔයාට ඕන ඕන දේවල් කරන්න. මේක ඔෆිස් එකක්”

කියවන්න :  ඔබට ඇහෙනවනම් -16

කුලාන්, ගැහැනියක වසඟ කර ගත හැකි පිරිමිකම් වලින් අනූන ව නැගී සිටියේ ය. නමුත් කුෂ්ලානි මල් වෙඩිල්ලක් සේ තමන්ව ම දවාලමින් වුව බැබළෙමින් සිටියා ය.

“කුලාන්. අපි ඉක්මනට මැරි කරනව. ඊට පස්සෙ කොහොමත් මමයි ඒ පෝස්ට් එකට එන්නෙ. ඒක දැම්ම පටන් ගත්තහම ලේසියි. මං මෙච්චර දුරක් ඔයාව හොයං ආවෙ හැමදේම අලුතෙං පටං ගන්න කියල ඔයා දන්නව. ඒත් එහෙදි වගේ නෙවෙයි ඔයා වෙනස්. ඔයා දන්නව මං කොයි වගේ කෙනෙක්ද කියල. මං හුඟක් ඕපන්. ඔයා මට හුඟක් කැමති වුණෙත් ඒ නිසා කියල මං දන්නව. මේක ටිකක් වෙනස් කන්ඩිෂන් එකක්. මැරේජ් ලයිෆ් එකක් කියන එක. ඒත් මං ඒකට සූට් වෙන විදිහට අජෙස් වෙන්නං. අපි එකට මේ ගමන යමු”

ඇය දිග කතාවක් කියවා ගෙන ගියා ය. මගේ මතකයෙහි රැඳුණේ ඉන් යම් යම් කොටස් පමණක් ය කියා සිතමි. මා හිටියේ මගේ ම හිතත් එක්ක කතා බහක ය.

මගේ ය කියා තුරුලු කර ගත හැකි කිසිවක් මට මෙහි නැත්තේ ය. ඇත්තේ, අතීතයට එක් වෙමින් පවතින්නා වූ එක වැළඳ ගැනීමක මතකයක් පමණකි. මේ වෙත්දී එයත්, සැබවින් ම සිදු වුණා ද නො එසේ වී නම් ඒ සිහිනයක් ද කියා සිතෙන තරමට මගෙන් ඈතට ඈතට යමින් පවතී. හාදුවක ලවන් සිසිලසක් පමණක් ගෙල මුල ඉතිරි වී තිබෙනයුරු මට දැනේ. 

නමුත් ජීවිතය කියන්නේ හාදුවක් පමණක් ද? ඊට වැඩි මතක කන්දක් කුෂ්ලානි ට කුලාන් සමගින් බැඳී තිබෙන්නේ ය. මම හෙමිහිට අසුනෙන් නැගී සිටියෙමි.

“නිම්නා”

කුලාන් ගේ ඒ තනි වචනයෙහි කෝටි ගණනක් කතන්දර  ලියවී තියෙන්නට ඇත. කුෂ්ලානි ඔහු දෙස රවා බලනවා මට පෙනුණේ ය. 

“කලබල වෙන්නැතුව ඉන්න. මොනාද කුෂ්ලානි ඔයා මේ කරන්නෙ…මෙතන වැඩ අවුල් කරන්න හදන්නෙපා. මෙතන වැඩ කරන අයට වදයක් වෙන්න හදන්නෙපා”

“ඔයා මට කුෂ්ලානි කියන එක නවත්තල හුඟක් කල් නේද කුලාන්. මතක ඇති කාලෙක ඔයා මට කිව්වෙ කුෂ් කියල. නැත්තං කුෂී කියල”

“නොන්සන්ස්”

කියමින් ඔහු අසුනෙන් නැගී සිටියේ ය. එතකොට ම මේසය මත වූ ස්ථාවර දුරකතනය  හැඬවිණ. කුලාන් හිටගෙන ම රිසීවරය සවනට ගත්තේ ය. වචන කිහිපයක් එහෙ මෙහෙ වීමෙන් පසු ඔහු රිසීවරය මවෙත පෑවේ ය. මා ප්‍රශ්නාර්ථයෙන් ඔහු දෙස බැලුවත් කුලාන් මගේ බැල්ම මගහැරියේ ය.

එහා ඉම වූයේ කලමණාකාර අධ්‍යක්ෂක ශ්‍රීනාත් ගල්හේන මහතා ය. 

“සර්”

මගේ හඬ මගේ පාලනයෙන් මිදී තිබිණි.

“නිම්නා. ඔය කුලාන් මැරි කරන්න ඉන්න ගර්ල් මාව හම්බ වෙලා එයාට කුලාන් ගෙ සෙකට්‍රි පෝස්ට් එක ඉල්ලුව. ඒක ඉතිං රීසනබල් රික්වෙස්ට් එකක්නෙ..නේද…”

“ඔව් සර්”

මම උගුර අල්ලා ගෙන අමාරුවෙන් කෙළ බිඳක් ගිල ගතිමි.

“නිම්නා ඉතිං කොහොමත් අපේ ආයතනයට ආවෙ මගෙ සෙකට්‍රි විදිහටනෙ. ඒක නිසා කුලාන් සර්ගෙ වැඩ ටික කුෂ්ලානි මිස්ට බාර දෙන්න”

“ඕකේ සර්”

“නිම්නා දිගටම ආයතනයට සම්බන්ද වැඩ ටික කරං යන්න. මං කුලාන්ව ඒ ගැන දැනුවත් කරන්නං”

“හොඳයි සර්”

රිසීවරය තබත්දි මට දැනුණේ මට හිමි ව තිබූ සියල්ල හදිසියේ ම අදිසි බලවේගයක් විසින් මගෙන් උදුරා ගනු ලැබුවා සේ ය. මම හිස් වී සිටියෙමි. මුළුමනින් හිස් වී සිටියෙමි. මම රිදී සිටියෙමි. දරා ගත නො හැකි තරම් රිදී සිටියෙමි. නමුත් කුලාන් දෙස බලා මඳහසක් නගා ගන්නට මට හැකි විය.

4.8 4 votes
Article Rating
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
1 month ago

💔

Chamira
1 month ago

මේ කතාව හරිම ලස්සනයි. නිම්නාගෙ pov එකෙන් ලියවෙන විදිහ ලස්සනට ලියැවෙනව.
ඒත් මෙතන කුෂ්ලානි ලියවෙන විදිහ strong මදි කියල හිතෙනව.
තුලාන්ගෙ selection එකක් මීට වඩා හොඳ වෙන්න එපැයි? 🤣

Priyangi
1 month ago
Reply to  Chamira

සමා වෙන්න… ඒක මෙහෙම වෙන්න බැයිද…
කුලාන් හොඳම දේ කියලා තේරුවෙ හොඳම දේ නෙවී කියලා තේරුම් ගන්න නම් ඒක කම්ෆෙයාර් කරන්න දෙයක් ඕනමයි…අන්න ඒ සංක්‍රාන්ති කාලයේ තමයි කුලාන් ඉන්නෙ …
මම මේක කිව්වෙ කුලාන්ගෙ ටේස්ට් එක ගැන පොයින්ට් කරලා…

Hemi
1 month ago

🧡😭