ඔබට ඇහෙනවනම් – 26

5
3097

අහස සක්වල කම්පා වූයේ ය. ගුගුරා අක් වැහි වහින්නට විය. නිරිත දිග මෝසම සක්‍රිය වූයේ හද කෙත් බිම සෝදා පාළුවකට ලක් කරමිනි.
මට කුලාන් ගේ කුටියට යාමේ අවසරයක් නො විණි. සියලු වැඩ කර ගත හැකි වූයේ කුෂ්ලානි හරහා ය. එය මට පමණක් නොව ආයතනයේ සමස්ත කාර්ය මණ්ඩලයට පොදු වීම තුළ කුෂ්ලානි ඇගේ පැත්ත බේරා ගන්නට ඇතැයි මට සිතිණ. ඇය ඔහු ගේ පුද්ගලික ලේකම් ධූරය ඉසිලූයෙන් කිසිවෙකුට ඒ ගැන ප්‍රශ්න කිරීමේ හේතුවක් වූයේ නැත. හේතුවක් තිබුණත් ඔවුන් ප්‍රශ්න නො කරනු ඇත. මා ධූරයෙන් පහ වීම පමණක් ඔවුන් ට ජය පැන් බොන්නට හේතුවක් වූවේ ය. මා නැති තැන පමණකුදු නොව ඇති තැන ද ඇතැමෙක් මට සිනාසුනහ. ඔවුන් මදෙස බැලූයේ ලොම් හැලී ගිය බැල්ලක ගේ ගාණට දමා ය.

අංශුවෙන් අංශුවට අමාරුවෙන් මා ගොඩ නගා ගත් ලෝකය මගේ පය පාමුල ම කඩා වැටී බිඳී විසිරී ගොස් ඇති සෙයක් මට දැනිණ. නමුත් නටඹුන් වලට යට ව මිහිදන් වෙන අදහසක් මට වූයේ නැත. මා ප්‍රාර්ථනා කළේ නැගී සිටීමකි.
ඉඳ හිටක සිය කුටියේ සිට මවෙත දැල්වෙන කුලාන් ගේ ඇස්, දුටු සැනෙන් මම මග හැරියෙමි. සත්තකට මවෙත වූයේ මෙපමණකින් හෝ ඔහු පෙනෙන මානයේ රැඳී සිටින්නට තිබෙන අවස්ථාව අහිමි කර නො ගන්නෙමැයි යන චේතනාව ය.

“මං එහෙමනං මෙතන තවත් පීචං වෙවී ඉන්නෑ. අස් වෙලා යනව මිසක්”

අශිකා කීවා ය. ඇය ව ගිනුම් අංශයෙන් ඉවත් කොට, මා සමග පුවත්පත් වලට අදාල දත්ත ගබඩා කිරීමේ කටයුතු වෙනුවෙන් අප දෙදෙනා වෙන් කොට තිබිණි. අශිකා සමග ම දවස ගත කරන්නට ලැබීම මට සැනසීමක් විය. එවැන්නක් පිළිබඳ අදහස කුලාන් ගේ කියා මම සිතුවෙමි.

“යන්න තැනක් තියෙන්න එපැයි”

අශිකා ගේ අදහසට ප්‍රතිචාරයක් වශයෙන් එහෙම කීවාට ඇත්තට ම මට එතැනින් ඉවත් ව යාමේ හිතිවිල්ලක් වූයේ නැත.

කුලාන් ගේ ඇස් කැල්මෙන් හිස් වූ සිත්හි සන්තාප සිතිවිලි කඳවුරු බැන්දේ ය. වස්සානයේ දුක් ගීතයක් වන් වැහි හඬ අසමින් මම නින්දට යමි. ඉඳහිට මටත් නො දැනී කඳුළක් ඇහෙන් ගිලිහුණ බව ඇත්ත ය. නමුත් අන් සතු ඔහු වෙනුවෙන් හඬන්නට තරම් මම දුර්වල නොවූයෙමි. රෝහලේ විදුලි සෝපානය සිහිනයෙන් පවා නිරන්තර පෙනෙන තරමට ඒ මතකය මගේ යටි හිතට උරා බී තිබිණි. නින්දෙනුත් මට ඔහු ගේ දෙතොල් පහස දැනිණි. එහෙම වෙලාවට අවදි වී මම ඉකි බිඳ හැඬුවෙමි. නමුත් උදේට මා වැඩට ගියේ වසර ගණනකින් වැස්සක සිහිනයක් දැක නැති නිරුදක ගැහැනියක සේ ය.

එවන් සිහිනයක් දැක පිබිදුණ එක දිනයෙක මම උන්මාදයෙන් මෙන් හැසිරුණෙමි. ඒ වුණත් ඒ ගැන අදත් මගේ හෘදය සාක්ෂියේ පසු තැවීමක් නැත. අඩු තරමින් මගේ සිහිනය වෙනුවෙන් යමක් කළා ය කියන සිතිවිල්ල වැඩ කරමින් සිටි ඇතැම් වෙලාවක පවා මුවට මන්දස්මිතයක් ගෙන එන්නට සමත් වූයේ ය.

එදා උදේ කුෂ්ලානි ට කතා කොට කෙටි නිවාඩුවක් ලබා ගත් මා ගියේ අම්මා නේවාසික ව සැත්කම කළ රෝහලට ය. ඒ විදුලි සෝපානය ගලේ කෙටූ අකුරක් සේ මට මතක තිබුණේ ය. එහි නැගී සිහිනයකින් සේ ඉහළ ගිය මම යළි පහළ ආවෙමි. යළිත් ඉහළ ගියෙමි. පහළ ආවෙමි. කොයි තරම් වාර ගණනක් මා එසේ කළා ද කියා වුව නිනව්වක් මට නැත. රෝහලේ ආරක්ෂක අංශය විසින් මා අල්ලා පන්නා දමාවියි ඇති වූ සිතිවිල්ල නිසා ය මා ඒ උමතු හැසිරීම නවතා කාර්යාලයට පැමිණියේ.

“කොහෙද මනුස්සයො ගියේ…මං කොච්චරනං කෝල්ස් ගත්තද…ඇයි ෆෝන් එක ඕෆ් කරං හිටියෙ…”

අශිකා මගේ ඇඟට ගොඩ වූවා ය. මම සීතල මන්දස්මිතයක් නගා ගතිමි. හදවතෙහි වූයේ උණුහුමකි. කුලාන් ගේ ඇස් මා අල්ලා ගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඇති බව දැනුණෙන් මම හිතා මතා ම ඔහු මග හැරියෙමි. හිත සතුටට පත් ව තිබි බැව් ඇත්ත ය. නමුත් මම හිතේ නැති සතුටක් ඔහු ට හැඟෙන්නට ඇරියෙමි.

අභ්‍යන්තර දුරකතනය හැඬවිණි.

“නිම්…කුලාන් සර් එන්නලු”

අශිකා කීවා ය. මම දෝරෙ ගලමින් තිබූ මගේ ප්‍රමෝදය අවුරා පවුරු නො බැඳ ම ඔහු ගේ කුටිය වෙත කෙළින් ම ගියෙමි.

“ඇයි ඔය…”

යාබද කුටිය අරක් ගෙන හිඳින කුෂ්ලානි මා පසු පස ආවා ය.

“සර් එන්න කිව්ව”

මම ඇය ව වගකට නො ගෙන කීවෙමි. ඔහු එන්න කියනවා නම් ඇගේ අවසරයක් මට අවැසි නො වන බව අඟවන්නට මට උවමනා විණි ද? කුෂ්ලානි ගේ ඇස් වල ගින්දර විය.

“ඔව් මමයි එන්න කිව්වෙ”

ඔහු කතා කළේ දැඩිව ය. කුෂ්ලානි ව තඹයකට මායිම් නො කරන ස්වභාවයක් එහි විය.

“මොකද මෙච්චර ලේට්…”

අර එකෝමත් එක දවසක මා නිවාඩු ගත් අවස්ථාවක වාගේ ඔහු කෑගෑවේ ය.

“කුෂ්ලානි මැඩම්ට ඉන්ෆෝම් කරලයි මං ෂෝට් ලීව් එකක් ගත්තෙ සර්”

“මං ඇහුවෙ කාටවත් ඉන්ෆෝම් කරපු එකක් ගැන නෙවෙයි ඇයි පරක්කු කියලයි”

එවර ඔහු මේසයට අතින් පහරක් ගසමින් කෑ ගැසුවේ ය. මගේ ඇතුල් හද ගැබ ප්‍රීතියේ දිය බුං ගසමින් නටන්නට වන. නමුත් කුෂ්ලානි ඇස් ලොකු කොට ගෙන බලා සිටියා ය.

“නිම්නා මට කෝල් කරල කිව්වනෙ. ඒ ළමය ට බනින්නෙපා”

ඇය ඒ ප්‍රකාශය කළේ මා වෙනුවෙන් නොව සිය හදවතට පහර දෙන්නට ගත් හීන මානය දුරු කර ගැනීම වෙනුවෙන් බව මට ඉර හඳ සේ විශ්වාස ය. මම ඇගේ ඉදිරිපත් වීම ගැන සැලකිල්ලක් නො දක්වමින් කතා කළෙමි.

“හොස්පිට්ල් එකට ගියා සර්”

මගේ කටහඬ ඍජු වූ බැව් සැබවි. නමුත් මා කතා කළේ අතීතයෙනි. මා කතා කළේ ඒ විදුලි සෝපානය තුළ හිඳ ය. මගේ ඇස් වල ඒ බව සනිටුහන් ව තිබිණි දැයි නො දනිමි. ඔහු ඒ ඇස් අල්ලාගෙන උන් බව නම් දනිමි.

“ඇයි…”

දුර්වල ස්වරයකින් හෙතෙම විචාළේ ය. මා පිළිතුරක් දෙන්නට පෙර කුෂ්ලානි මැදින් පැන්නා ය.

“දැට්ස් නොට් යුවර් මැටර් කුලාන්. එයා ඉන්ෆෝම් කරලනෙ ලීව් ගත්තෙ”

කුලාන් කුෂ්ලානි වෙත හෙලූ බැල්ම ඇය කොහොම දරා ගත්තා ද කියා මා දන්නේ නැත.

“මයින්ඩ් යුවර් ඕන් බිස්නස් රයිට්”

කියා කුෂ්ලානි වෙත තර්ජනාංගුලිය දිගු කළ හෙතෙම වහා අසුනෙන් නැගිට ඇතෙක් සේ බරට අඩි තබා නික්ම ගියේ ය. මම තව දුරටත් ඒ සියල්ල හදවතේ නින්නාද වන්නට හැර බිම බලා සිටියෙමි.

මට අහිමි වී ගියා යයි සිතූ සියල්ල තවමත් මා සන්තකය යන සාඩම්බරය මගේ හදවත පුරවා දමා තිබිණ. උදේ විදුලි සෝපානයේ දී වූ උන්මාදය මේ වෙත්දී මගෙන් බැහැර වී මම හොඳ සිහියෙන් සිටියෙමි. මා පරිගණකයට දත්ත ඇතුළත් කරමින් සිටියේ ගීයක් මුමුණමිනි.

“බොස් බැන්නහම මෙච්චර සතුටු වෙන කෙනෙක් දැක්කමයි”

අශිකා මා කියවූවා ය. මම නිදහසට කාරණා කියන්නට නො ගියෙමි.

“උදේ ඉඳල එයා හිටියෙත් ඔයාව දකින්න නැති පිස්සුවකද කොහෙද”

විදුලි සැර වැදුණා සේ මා අත් බෑගය ඇද ජංගම දුරකතනය පිටතට ගත්තේ එතකොට ය. තවමත් ක්‍රියා විරහිත තත්වයේ පැවති එය ක්‍රියාත්මක කළ විට මගහැරුණු ඇමතුම් වල ලැයිස්තුව දකිත හැකි විය. කුලාන් මට ඇමතුම් විසි තුනක් ගෙන තිබිණි. පැය දෙකට ඇමතුම් විසි තුනක්!

එදා මා දිවා ආහාර සඳහා ගියේ සතුටෙනි. කුෂ්ලානි ආයතනයට අනුයුක්ත වූ දා සිට දිවා ආහාරය තිත්ත රස වූයේ ය. එවක් පටන් කුලාන් අප සමග කෑම කන්නට ආවේ නැත. ඒ වෙලාවට ඔහු පිටතට ගිය අතර කුෂ්ලානි ඔහු සමගින් ගියා ය. උදේ නැගිට උයාගෙන ආ බත් පත බොහෝ විට මම විසි කොට දැමුවෙමි. කෑම රුචිය ඈතකට පලා ගියේ ය!

මා වෙනුවෙන් උනන්දුවෙන් මා කළේ පුතා ගේ නීත්‍යානුකූල අයිතිය ලබා ගනු වස් නඩුවට සූදානම් වීම පමණකි.

“දෙයක් අහන්නද…”

දවසක් වැඩ නිම වී යන ගමන් අශිකා ඇසුවා ය. ‘හා’ කියන්නට මම බිය වීමි.

“ඔහොම හිටියට දුකක් නැත්තෙ නෑ නේද…මං කියන්නෙ…ඔයාගෙ හිත කුලාන් ගැන හිතන්නැත්තෙ නෑ නේද…”

කුෂ්ලානි රැගත් කුලාන් ගේ රිය අප පසු කර ගෙන ගියේ එතකොට ම ය. ඒ රෝද හතර මගේ පපුව මතින් කැරකී ගියා සේ මට දැනිණ.

“මොනා වුණත් කුලාන් ට පුළුවන් වෙන්න ඕනෙ තීරණයක් ගන්න”

හිතේ ගැස්මක් ඇති විය.

“එයාගෙ හිතේ දැං කුෂ්ලානි නැත්තං ඒක කියන්න හරි…”

ඒ තරම් සරල ලෙස මට ඒ ගැන හිතන්නට උවමනා නැත්තේ ඇයි කියා මම නො දනිමි. ඔවුන් දෙදෙනා අතර සිදු වූ හෝ සිදු වන හෝ සිදු වන්නට නියමිත යන සියලු දේ ගැන ශුද්ධ වූ අයිතිය ඇත්තේ ඔවුන් ට පමණකි ය කියා හිතන්නට මම වඩාත් කැමති වෙමි. කුලාන් අර නිදහසේ සරන විහඟෙකු සේ උන් සමයේ වූ ප්‍රීතිමත් බව දැනටමත් ඔහු වෙතින් පලා ගොසිනි. තටු කැපූ පරවියෙකු දෙස බලා සතුටු වන්නට බොහෝ දෙනෙකු පුරුදු වී සිටියත් මා රිසි පරෙවි පියා සැරිය දකින්නට ය.

වෙනත් පුවත් පත් ආයතනයකින් මට එහි වැඩ භාර ගන්නා ලෙස ඇරයුමක් ලැබුණේ ඔය අතරේ දවසක ය. ඔවුන් මට පිළිගන්වන්නට සූදානම් වන වැටුප විශාල එකකි. කල්පනා කොට තීරණයක් දන්වන ලෙස ඔවුහු මට කල් දුන්හ.

“කල් ගන්න දෙයක් නෑ. කැමතියි කියල කියන්න”

අශිකා හොඳ යෙහෙළියක සේ මා දිරිමත් කළා ය. නමුත් මම ඒ ගැන අලස හා උදාසීන ප්‍රතිපත්තියක් අනුගමනය කළෙමි.

“බලමු”

“කුලාන්ටවත් ඔයා මෙච්චර කඹුරපු ශ්‍රීනාත් ගල්හේනටවත් ඔයාගෙ වටිනාකමක් නැත්තං ඔයාව වටින තැනකට යන්න. හැම මනුස්සයෙක්ටම තමංගෙයි කියල ඩිමාන්ඩ් එකක් තියෙනව නිම්”

“ඒත්…අත්ඇරල දාල යන්න දෙයක් එයාල මට කරල නෑ. ශ්‍රීනාත් සර් කුෂ්ලානි ට දුන්නෙ එයාගෙ අයිතිය. තාත්ත කෙනෙක් විදිහට ඒක එයාගෙ යුතුකම. අනිත් අතට කුලාන් සර්…

මම බිම බැලුවෙමි. මේවා ගැන අශිකා සමග වුව කතා කරන්නට අයිතියක් මට තිබේද කියා සිතිය යුතු වූයේ ය.

“ඔවු කුලාන්…”

“මට එයාගෙ හිත තේරෙනව”

“ඒ කිව්වෙ…”

“කුෂ්ලානි කුලාන් සර්ව හොයං ආවා. සර් එයත් එක්ක ජීවිතේ බෙදා ගත්ත කෙනෙක්. එයාව මැරි කරන්න හිටිය කෙනෙක්. මං කැමතියි එයා ගෑනු ළමයින්ට ගෞරව කරන ඒ විදිහට. ගෑනු ළමයෙක් කියන්නෙ පාවිච්චි කරල විසි කරල දාන සෙල්ලම් බඩුවක් නෙවෙයිනෙ. ඒක පාර්ශ්විකව ඒක කරන එක පව්. මං ඒ අත්දැකීම ලබපු කෙනෙක්. ඒ දුක විඳපු කෙනෙක්”

අශිකා මගේ අතකින් අල්ලා ගත්තේ මගේ දුක නිවන්නට මෙනි. මම හුස්මකින් ළය පුරවා ගෙන කතා කළෙමි.

“කුෂ්ලානි කියන්නෙ දුර්වල කෙල්ලෙක් නෙවෙයි. ඒත් කුෂ්ලානි එන්න ඇත්තෙ මොකක් හරි අසරණ කමක් එක්ක. මෙහෙට ආවට පස්සෙ එයා හිටිය තැනිං තවත් පහළට වැටුණා. හරියට නිකං නූගත් ගමේ ගොඩේ කෙල්ලෙක්ගෙ ගානට. ඒත් ඒ කිසි දෙයක් කුෂ්ලානිට අසාධාරණයක් කරන්න හේතු නෙවෙයි. මොකද ඕනම උගත් ගෑනියෙක් ඒ තත්වෙට පත් වෙනව එයා පතන පිරිමිය ළඟ එයා අනාරක්ෂිතයි කියල හිතනකොට. මට දුක…”

කියවෙන්නට ගිය කතාව නො කිව යුත්තක් බව මට වහා දැනිණ.

“මොකද්ද දුක…”

මට වූ එක ම දුක කුලාන් ළඟ දැවටී හිඳිමින් ඔහු ගේ හීන වලට පියාඹන්න තටු දෙන්න බැරි වීම බව අශිකා ට වුව නො කියා මම හිතින් ගිල ගතිමි. ඇය යළිත් හාරාවුස්සා කිසිත් ඇසුවේ නැත.

3.4 5 votes
Article Rating
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika Vitharana
4 months ago

අයියෝ.. පවු..

Madhushika Vitharana
4 months ago

මං මේ කතාවට හොඳටම ඇබ්බැහි වෙලා ඉන්නේ.. ඔයා කතාව දානකම් බලාගෙන ඉන්නේ. කලින් ම දැම්මට thanx..

දිල්හාරා ❤️
4 months ago

හම්මේ, මං ආදරෙන් බැඳිලා මේ කතාවත් එක්ක.❤️

Araliya Wanniarachchi
4 months ago

ලස්සනයි ❤

Hemi
4 months ago

🧡🧡🧡🧡