මන්දාරම් හැන්දෑවක -35

වැව් දිය සියපත් සිය දහසක් දරාගෙන බලා සිටියේ සති කිහිපයකට පෙර වැව් පතුලේ සැඟව යන්නට පැමිණි යුවතිය ඒ වග අමතක කරමින් පුබුදුවන සිනා දෙස ය.වෙද ගෙදර මායිමේ කොහොඹ ගස්වල ළපටි දළු නොනවත්වාම පූදින්නට විය.ඒවා වෙද හාමිනේගේ කුඩා බෙහෙත් වංගෙඩියේ තැලී ගියේ සන්තෝසයෙනි.එළකිරි ද අමු කහද මුසු වී මේඝාගේ දෙකම්මුල් වල තැවරෙන කොහොඹ,කෝමාරිකා වැනි ආලේප ඈත දවසක පුංචිගේ රූපලාවණ්‍යගාරයේ දී ලැබුණු සත්කාරවලට වඩා ඉක්මනින් ඈ පැහැපත් කරන්නට සමත් විණි.සොබා රහස් අතර හොඳම රහස වූ සිනාව ද ප්‍රීතිය ද නිරන්තරයෙන් මේඝා වෙළා ගත් අතර ඈ හොඳටෝම සිනා වෙන දවස් ඇරඹී තිබිණ.

බිනර දිනක් ඇය දකින්නට ආවේ යටපත් කරගත් සිනාවකිනි.බරාඳයට වී ෆෙල්ට් රෙද්දකින් සුරතල් සතෙකු මසමින් සිටි මේඝා හොඳම මිතුරා දෙස බැලුවේ නෙත් කොණිනි.

“දැං නම් මේ වැඩේ ඇති.ඔබතුමී හිතන්නෙ මට වෙන වැඩ නෑ කියලද?”

ඔහු අසද්දී මේඝා බිනර දෙස බැලුවේ මුව පුරා හිනැහෙමිනි.

“ඔයාගේ පේජ් එකේ ඕඩර්ස් බාර අරංම මහන්සි යකෝ.දොඩං එකක්වත් හදල දීපං..”

බිනර කියන්නේ මේඝාට සමීපම පුටුවකට වැටෙමිනි.මේඝා මැහුම නවතා ඇගේ හැම සිහිනයකටම මඟ කියන ළබැඳි මිතුරා දෙස බැලුවේ ආදරය පුරවා ගත් දෑසිනි.

“ඈ වහු පැටියෝ..උඹට ඕඩර්ස් ගන්න තමයි අමාරුව..මට මහන්න අමාරු නැද්ද..මේ බලනවා අත් හම ගිහිං ඉඳිකටු වලට..”

මේඝා දෝත පාද්දී බිනර ඒ දෑතින් අල්ලා ගත්තේ සතුටිනි.මුවැත්තියක මෙන් දෑස විසල් කර ගත් ලෝකයෙන් සැඟව ගන්නට තැත් දැරූ යුවතිය ඔහුට සිහිපත් විණි.වෙද ගෙදර කඩුල්ලෙන් මෙපිටට ඈ රැගෙන යන්නට එදවස බොහෝ අසීරු විණි.දැන් ඈ සඳලි කැටුව නගරයේ සාප්පු සවාරි යන්නී ය; දුරුත්තේ ඇරඹෙන පෙර පාසල් ගමනට සාරි හැට්ට මහන්නට සඳලි හෝ නිකිණි සමඟ ගම පුරා රවුම් ගසන්නී ය.ෆෙල්ට් නිර්මාණ සඳහා එන ඇණවුම් කුරියර් කරන්නට පැමිණෙන නියෝජිතයා මුණ ගැසෙන්නට නොහැකි බව කියා නාහෙන් ඇඬුවේ ද එක් දිනයකි. වීඩියෝවක හිඳින ගැහැණු ළමයෙකුගේ මුහුණ මතක තබා ගන්නවාට වඩා කොල්ලන්ට කරන්නට වැඩ ඇතැයි බිනර බැන වැදුණු පසු ඈ ඒ භීතිය ද අතැර දැමුවා ය.

බිනර නිවැරදි ය. ඇයට පසු ජනප්‍රිය මාතෘකා සමාජ ජාලාවල ඕනෑතරමට විය. දැන් මේඝා ගැන මතකයක් ඇත්තෙකු එහි සොයා ගැනීම අපහසු ය.

“බිනර,විහිළු නෙවෙයි. මං මෙච්චර ඉක්මනට නැගිට්ටෙ නම් ඔයා හින්දා හොඳේ.අනික සඳුත් දැන් මට හෙවණැල්ල වගේ.ඇත්තටම ඔයා වෙන වැඩ නෑ වගේ මගෙ බිස්නස් එකට මහන්සි වෙනව කියලත් මං දන්නව..”

මේඝා සිනාබර මුහුණ ඇඬුම් වතකට හරවා ගත්තා ය.ඇගේ දෑසට කඳුළු උනා ආවේ ශෝකය නිසා නොවේ.ඒ කෘතවේදී බව පළ කරන්නට ඉනූ කඳුළු ය.

“ඕක අඬන්න දෙයක් යැ බං..මං ඇත්තටම ජෝක් එකක් කරේ.සඳලිටයි මටයි ඔය එන ඕඩර්ස් පිළිවෙළකට ගන්න එක ඇත්තටම මහ වැඩක් යැ.ඔයා ඕක ලස්සනට කරන් යන්න..”

එසේ කී බිනර මේඝා සන්සුන් කරන්නට වහා කවට මුහුණක් මවා ගත්තේ ය.

“ඕක වැඩිකල් කරන්න බෑ තමයි.ඉනූට මල්ලියෙක් හම්බුණාම ඔයා හරී බිසි වෙයි.කමක් නෑ..එතකන් කරන්‍ යං..”

මේඝා අත්ල මිටි කර පහරක් බිනරට එල්ල කළා ය.එහෙත් ඇගේ මුහුණ මකා දැමිය නොහැකි සිනාවකින් ඔපවත්ව තිබිණ.ඈ එවැනි දවසක් ගැන රහසේම මවා ගත්තා ය.

“මට දිනිඳු අයියා ආදරෙයි කියල කිව්වෙත් නෑ මෝඩයො..පද හදන් නැතුව හිටපං..”

මේඝා බැන වදින්නේ කෝපය බිඳක්වත් නොගෑවුණු හඬකිනි.බිනර උස් හඬින් හිනැහුණේ ය.

“ඕක කියන්න දෙයක් තියනවයැ තව.මං හිතන්නෙ දැන් මේ ගෙදර බිත්තිවල ඉන්න හූනොත් ඔය රහස දන්නව.අර අපේ ලොකු අප්පච්චි ගස් වගයක් ඉරවන්නෙ ඔය ළමයට දෑවැද්ද හදන්න.අපේ ගෙවල් ගාව ඉඩමකුත් ලියල දෙන කතාවක් අප්පච්චිට කියල තිබ්බෙ..අරුණි නංගිට දෙන්න හිටිය සේරම ඔයාට දීලා රජ මඟුලකුත් කන්න ඕන කියල ලොකු අම්ම මටම කිව්ව.ආදරේ කියල පස්සෙ කියා ගන්න කියහං..ලොක්කම්ම හෙටානිද්දාම පෝරුවෙ නගින්න නැකතුත් බලනව..”

මේඝා පුදුමයට පත් වූවා ය.ගෘහ භාණ්ඩ කිහිපයක් සකසන්නටැයි කියමින් මහ ගස් කිහිපයක් බිම හෙළුණු බව ඈ දැන සිටියා ය.එහෙත් වෙද ගෙදර උදවිය මනමාලයා කැමැත්ත පළ නොකළ විවාහයකට සූදානම් වීම ගැන ඇයට තිබුණේ චකිතයකි.දැන් ඊට වඩා ගැටළුවක් ඈ වෙළා ගෙන ය.

“පෝරුවෙ නඟින්න මං?”

ඇය එසේ ඇසුවේ ලතැවුලෙනි.

“ඇයි උඹ කැතලික් ද..එහෙනං මං චර්ච් එකක් හොයන්නං..” බිනර එසේ කීවේ මේඝා පවසන දේ වැටහීමෙනි.නමුත් ඇගේ ඇද වූ මුහුණ ඔහුට ගෙනාවේ ශෝකයකි.

“උඹ කොළඹ ඉස්කෝලෙ ගිය අලුත් තාලෙ කෙල්ලක් නේද මේඝා.මේ ගම්වල කෙල්ලොවත් හිතන් නෑ ඔහොම.අර ගොං මූසලය හින්ද පෝරුවෙදි ඇදගෙන වැටෙයි කියලද හිතුවෙ.ගොං දේවල් හිතන්න එපා.කොහොමත් ඔයා ලස්සන වෙඩින් එකක් අරගන්නම ඕන..හොඳම මනුස්සයෙක් ලැබෙන ඕනම කෙල්ලක් වගේ උඹත් ලස්සන මනමාලියෙක් වෙන්න ඕන..”

බිනරගේ වදන් මේඝාට දැනුණේ හීන් හිරි පොදයක් වාගේ ය.ඇය ළඟ එන කුණාටුවක තතු නොදැන හිනැහුණා ය.

“මට ලස්සන මනමාලියෙක් වෙන්න ඕන නෑ බිනර.මට වෙන්න ඕන හොඳ අම්මා කෙනෙක්.ඉනූ බබාට ලෝකෙ ඉන්න හොඳම අම්මා වෙලා සමාධි අක්කා නැතුව පාළුවෙන් ඉන්න දිනිඳු අයියා ආයේ සැනසිල්ලේ තියන්න ලැබුණොත් මට ඒ ඇති..”

බිනරගේ ජංගම දුරකථනය නාද වූයේ ඒ මොහොතේ ය.ඔහු එයට සම්බන්ධ වෙන්නට යද්දී ම මේඝා නැගී සිටියේ බීමට යමක් සකසන්නට ය.

“බිනර මචං මම තරිඳු..”

එහා ඉමෙන් ගලා ආවේ කලබල හඬකි.මිනිත්තුවක පෙර මෙතැනට වී අනාගතය ගැන උස් සිහින මැවූ මේඝාගේ ලෝකයට යළිත් අනතුරක් බව බිනරට දැනිණ.ඔහු කම්පිත හඬකින් අසා සිටියේ ය.ඒ අතරවාරයේ ම දිනිඳුගෙන් ද ඇමතුමක් පැමිණෙනු ඔහුට පෙනිණ.

“අයියේ,දිනිඳු අයියත් ගන්නව..මොකද අවුල..”

බිනරගේ ස්වරය බිඳී ගියේ ය.

“එකම හේතුවකට බං..ලොකු අවුලක් වෙලා.අපේ අම්මා මේඝා හොයාගෙන අනුරාධපුරේ ඇවිල්ලා.ටවුමට එනකංම අපේ ඩ්‍රයිවර් හිතල තියෙන්නෙ අටමස්ථානෙ හරි චැරිටි සර්විස් හරි ආපු ගමනක් කියල.ඔහෙ හොයනකොටයි ඌත් දන්නෙ.අයියා ගැන මොකුත්ම දන් නෑ. ඇවිල්ල තියෙන්නෙ මේඝා හොයාගෙන.යහපතක් කරන්න නෙවෙයි.තර්ජනේකට
රුවන් වාහනේ ලෙඩක් කියල බැහැල මට කෝල් කරා.මං අයියට කතා කරා..දැන් තියෙන්නෙ එක ප්ලෑනයි මල්ලි..විසෙන් විස නසන්න ඕන..”

තරිඳුගේ හඬ උද්වේගකර ය.බිනර සිටියේ ද කැළඹීමෙනි.නමුත් තරිඳු හසුරවන ඕනෑම අන්දමකට ක්‍රියා කරන්නට ඔහු තීරණය කළේ ය.මාන්නකාර ගැහැනියක පැමිණ තමන්ගේ පුතාගේ වරද සදාකාලික වරදක් කරගෙන ජීවිතය පුරා දුක් විඳින්නැයි මේඝාට කරන තර්ජනය දෙස බලා හිඳින්නට ඔහුට ශක්තියක් වූයේ නැත.

“ජනිඳු කියන එකා අපේ සහෝදරය කියන එක මේඝා දැන ගන්න ඕන අපේ අම්මගෙන් නෙවේ අයියගෙන්මයි.අයියා ඒක නොකිය ඉන්නෙ වෙලාවක් එනකංනෙ.මෙහෙම හැමදේම අවුල් වෙන්න බෑ.මල්ලි උඹ ඔය මේන් ජන්ෂන් එකකට පලයං..රුවන් ඇවිල්ලා වෙද ගෙදර පාර උඹෙන්ම අහයි.අයියගෙ ගෙදරට පාර කියහං..”

ඒ උපදේශය බිනරට මහත් බරක් ද බියක් ද ගෙන ආවේ ය.මෙතැන් සිට දිනිඳුට ඔහු ගෙවූ සාමාන්‍ය ජීවිතය ලැබෙන්නේ නැත.සැඟව හුන් ජීවිතය එළිදරව් කළ පසු ඔහුට කුමක් වේදැයි බිනර සිතන්නට විය.එහෙත් මේඝා කම්පනයකට ඇද නොදමන්නට නම් අවදානමකට අත පොවා බලන්නට ද සිදු වන බව සැබෑවකි.බිනරව ඔසවා පොලොවේ ගසන්නට සමත් තරිඳුගේ ඇමතුම අවසන් වෙද්දීම දිනිඳු ඔහු අමතන්නට විය.

“මල්ලි,උඹ වෙද ගෙදරද? තරිඳු කතා කළානෙ. චූටි දූවත් අරන් එන්න.එන ගමන් අපේ මල්ලි කියපු දේ කරහං..ඊට පස්සෙ දුවත් අරන් අපේ ගෙදර එන්න..”

මේ සෑම උපදේශයක්ම ලැබෙන්නේ තමන්ට වඩා වසර කිහිපයක් වැඩිමහලු සහෝදරයන් දෙදෙනෙකුගෙන් බව බිනර සිතුවේ ය.ඔහු සෙල්ලම් ගෙය තුළට ගොස් ඉනුලි ඔසවාගෙන මෝටර් සයිකලයේ හිඳ වුවේ ය.ආදරණීය මිතුරියත් ලේ නෑයෙකු නොවී හදවතින් බැදුණු සහෝදරයාත් වෙනුවෙන් හැකි උපරිමය කරන්නට සිතමින් ඔහු මෝටර් සයිකලය පණ ගැන්වී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles