කදෝකිමි ඇස් -47

0
3088
කදෝකිමි ඇස්

“අක්කා..”

සඳරැස් අන්ධකාරය මැදින් පායා ආයේ ය.අක්කා හඬමින් සිටින බව ඔහු දුටුවේ ඒ මොහොතේ ය.අක්කාගෙන් පාඩමක් අසා ගන්නට කාමරයට විත් අනවසරයෙන් සඳැල්ලට එබුණු යෞවනයාට අක්කාගේ හැඬීම ගැන ඇති වූයේ කුතුහලයකි.
ආරණ්‍යා කිසිවක්ම නොකියා මල්ලිගේ උර තලය මත හිස ඔබා ගත්තා ය.ඇයට ඕනෑ වූයේ හඬන්නට ය.ප්‍රශ්න කිරීම් හෝ පිළිතුරු දීම් ඇයට නුවුමනා විය.

“ඔයා මෝක්ෂ අයියට තරම් මට දේවල් කියන් නෑ තමයි.ඒත් අක්කා මම ඔයා කියන ඕනෑම දෙයක් අහන්න ලෑස්‍ති.”

ශක්තිමත් බැඳීමක් ඇති වන්නට එක මව් කුසක් බෙදා ගැනීම තරමට තවත් ඉමිහිරි හේතුන් නොවේ.ආරණ්‍යා කඳුළු පිරුණු දෑසින්ම මල්ලි දෙස බලා සිටියා ය.අක්කාගේ පොත්ම ඉල්ලා හැඬූ අක්කාගේ ඇඳ මත ගෙම්බන් තැබු කුඩා කොලුවා උස්මහත්ව ඇත.ඔහු දැන් ඇගේ වේදනා දරා ගන්නට සූදානම් ය.

විදුලි සෝපානයදී අහම්බයකින් දුටු දෑස නැවත හමු වූ අන්දමත් ඒ මිත්‍රත්වය දුරදිග ගිය අන්දමත් ආරණ්‍යා කියන්නට වූවා ය.දැන් ඔහු අම්මා රෝගී වීම නිසා ශෝකයෙනි.මේඝ සේනාධීර ගැන සියල්ලක්ම පවසා ආරණ්‍යා මල්ලි දෙස බලා හුන්නා ය.

“මේඝගෙ තාත්තා අර ජනප්‍රිය ලෝයර්.මහේන් සේනාධීර.අම්මා එයාව අඳුනනවා.”

සඳරැස් අඳුර විනිවිද යන සිනාවක් නැඟුවේ ය.

“මහේන් අම්මගෙ එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ් කියලා මං දන්නවා.චූටි මාමාගෙ මරණෙන් පස්සෙ එයා අම්මට ක්ලෝස් වුණු හැටි අම්මා මට කිව්වා.එයාලගෙ මුළු ලව් ස්ටෝරි එකම කිව්වා.සැකේ හින්ද ජීවිතේට ලැබුණු හොඳම ආදරේ විනාස කරගන්න ගර්ල් කෙනෙක් ගැන අම්මා කදෝකිමි ඇස් පොතේ ලිව්වේ ඒකලු..”

සඳරැස් එසේ කියා අක්කාගේ සිහින් ඇඟිලි තුඩු මත අත්ල තැබී ය.

“අම්මා එහෙම කියන්න හේතුව නම් මේඝ ඔයාගෙ යාලුවෙක් වෙච්ච එක.ඒ දවස්වල අම්මා ඒ යාලුකම දුර යනවට බය වුණා.”

සඳරැස් එසේ කියා කදෝකිමි ගසට ඇස අලවා මොහොතක් ගෙවා දැම්මේ ය.

“අම්මා දන්නවා දැන් හැමදෙයක්ම.අම්මා මට කැමති තීරණයක් ගන්න නිදහස දුන්නා.”

ආරණ්‍යා එසේ කියද්දී සඳරැස්ට කියන්නට වෙනත් කාරණාවක් තිබිණ.ඔහු අක්කා දෙස බැලුවේ ප්‍රවේසමිනි.මේ ඉතා ප්‍රවේසමින් පැවසිය යුතු කාරණාවකි.

“මහේන් අම්මාගෙන් අයින් වුණේ ප්‍රශ්නවලට බයේ.අම්මා නිතරම රණ්ඩු කරනකොට එයාට එයාගේ මානසික සහනය ඕන වුණා.එහෙම වුණු නිසානෙ එයා යාලුවන්ට ඕන බොරුවක් කරන්න ඉඩ ඇරියේ.ඔයාට හිතෙන්නෙ නැද්ද අක්ක මේඝත් එහෙමයි කියලා.එයා අම්මාගෙ අසනීපෙ කියන්නෙ ප්‍රශ්නෙ ඇති වෙනවට තියන බය නිසා.නැද්ද?”

මේඝ එහෙම කෙනෙකුදැයි ආරණ්‍යා සිතී ය.සිතට එන සෑම දෙයක්ම පිළි ගන්නට ඕනෑ නොවේ.එහෙත් මල්ලි පවසන කාරණාව එක්වරම බැහැර කරන්නට ඇයට ඕනෑ වූයේ නැත.

“මේඝ කියන චරිතෙ තවදුරටත් මගේ ජීවිතේ ඉන්න ඕන නෑ මල්ලා.එයා එකපාරටම පායපු ඒ වේගෙන්ම මැකුණු දේදුන්නක් කියලා මං හිතාගන්නවා.”

එසේ කියද්දී පවා ආරණ්‍යාගේ හඬ බිඳිණ.අක්කාට රිසි සේ ඉන්නට ඉඩ දී සඳරැස් එතැනින් නික්මුණේ එනිසාම ය.හිත රිදුම් දෙන මොහොතක තනිව සිටීම වඩා යහපත් ය.නමුත් හිතක් රිදවා ගත් සමීපතමයෙකු දෙස දුරට වී ඇස අලවා සිටිය යුතු බව ද ඔහු දනියි.

“හැමෝටම තමන්ගෙ වන් සයිඩ් ලව් එක තමන්ගේ කරගන්න වාසනාවක් නෑ.මං එක දවසකට විනාඩි කීපෙකට හරි ඒක එහෙම කරගත්තා.මං ඔයාට ආදරේ බව ඔයා දන්නවා.ඔයා මට ආදරේ බව මම දන්නවා.ඒ ඇති.”

මේඝට යන්නට ඉඩ හරින්නට ආරණ්‍යා සිතුවේ එසේ මුමුණා ගන්නා අතර ය.

සුන්දර සිහිනයකින් හදිසියේ පිබිදුණු වේදනාව ඇයට දැනේ.ඒ වේදනාවට කෙසේ හෝ මුහුණ දෙන්නට ආරණ්‍යා සිතා ගත්තා ය.ඒකපාර්ශ්වික ප්‍රේමයක රිදවුමක් දැන් ඈ සතු නොවේ.දැන් ඇත්තේ රිදවුම් නොලබන්නට අත් හැරිය යුතු ප්‍රථම ප්‍රේමයකි.ඒ හේතුවම සන්තෘෂ්ඨියක් නොවේදැයි ආරණ්‍යා ඉනික්බිතිව සිතුවා ය.

“ඔයාට ෆයිට් කරන්න හයියක් තියනම් ආදරේ කරන්න පුලුවන්.මේඝ ගිහින් නෑ.එයා එතනම ඉන්නවා.හැරිලා ආපහු එයා ගාවට දුවනවා.නැත්නම් ඔයා ජීවිත කාලෙම පසුතැවෙයි.”

මෝක්ෂ පණිවිඩයක් එවූයේ ඒ මොහොතේ ය.ආරණ්‍යාට ඒ පණිවිඩය ඕනෑම වූ මොහොතේ ය.ආරණ්‍යා ඒ වචන කිහිපය නැවත නැවතත් කියවූවා ය.අප්‍රමාණ සැනසීමකින් එදෙස බලා හුන්නා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here