කුෂ්ලානි මා ඉදිරියේ හිඳ ගත්තේ කෙළින් ම මගේ මූණ දෙස බලා ගෙන ය. ඒ වෙලාවේ මම ඇගේ ඇස් පත්ලේ නිදන්ගත ව තිබී ගැඹුරු දුකක් හඳුනා ගතිමි. එදුකින් මගේ හිත සසල ව ගියේ ය.
“කුලාන් ඔයාට ආදරෙයි නේද…”
ඇගේ මුල් ම ප්‍රශ්නය වූ කලී කල් යල් බලා එල්ල කරන ලද කාල බෝම්බයකි. සත්තකට මම ඇගෙන් එවන් ප්‍රශ්නයක් බලාපොරොත්තු නො වුණෙමි. කුෂ්ලානි ගේ තොල් කොනක්, අංශභාග රෝගියෙකු ගේ සෙයින් සැලී ගියේ ය. ඒ තොල් අතරට ඊළඟට පිවිසියේ හඬන්නට බැරි කමට හෙළන සිනහවකි.
“මං ඒක දැන ගත්තෙ මෙහෙට ආව පළවෙනි දවසෙ”
ඇගේ බැල්ම සහ ස්වරය තරමක් සාහසික ස්වභාවයක් ගන්නට ඇත. නමුත් මට බියක් දැනුණා නොවේ.
“කුලාන් කවදාවත් මං දිහා ඒ වගේ ඇස් දෙකකින් බලල නෑ”
එහෙම කියන ගමන් ඇගෙන් ගිළිහුණ සුසුම, ඈ හිතා මතා හෙළු එකක් නොවේ. මට ඉමහත් වරදකාරී හැඟීමක් දැනෙන්නට වූයේ ය.
“එක අතකට අපි අතරෙ තිබුණෙ ආදරේ වගේ ගනු දෙනුවක් නෙවෙයිනෙ”
සිය හදවත ට සැනසීම උදා කර දෙනු වස් අදහස් දැක්වීමක් කරන්නට ඇය ට උවමනා වන්නට ඇත.
“ආදරේ කියල කෙහෙල්මලක් නෑ කියල තමංගෙම හිතට ඒත්තු ගන්නන්න පිරිමිත් එක්ක ඇඳවල් වලට යන කෙල්ලන්ගෙ හිත් වල තියෙන දේවල් ස්කෑන් කරල බලන්න පුළුවන් කමක් තිබුණනං…”
මගේ සුරත මගේ ම පපුව අල්ලා ගත්තේ ය. දෙවියනි! මට ඒ හිත තේරුම් ගන්නට උවමනා ය. ඇගේ හිතේ හිර වී, කාටත් නො කියා උන් දේවල්, ස්කෑන් කළ නො හැකි වුණත් දැන ගන්නට මට උවමනා ය.
“ඇත්තට ම…ඇයි එහෙම කළේ…මං අහන්නෙ…ඇයි පිරිමියෙක්ව බඳින්නැතුව එයත් එක්ක එකට ජීවත් වෙනව කියල හිතන තැනට ආවෙ…”
ඇය අවඥාසහගත සිනහවක් නගා ගත්තා ය. මට නොව ඈ හිනැහුණේ ඇයට ම බව මට දැනිණ.
“එක කාලයක් තියෙනව අපි රැඩිකල් කියල ලෝකෙට පෙන්නන්න ඕන වෙන. සමාජෙ සම්මත හැම කෙහෙල්මලක් ම විවේචනය කරන්න හිතෙන. පේරන්ට්ස්ල එක්ක ආගියු කරන…ඒ වගේ මනසක් තියෙද්දි අපි කරන්නෙ අපේ ඔළුවෙන් කල්පනා කරල අපිට හිතෙන දැනෙන දේවල් නෙවෙයි. වෙන කොහෙං හරි ඇහිඳ ගන්න දේවල්. මැරීඩ් ලයිෆ් එකක් කන්ටිනිව් කරන්න බැරි තකතීරු ගෑනියෙක් කිව්වනං කසාදෙකට හිර වෙන එක මෝඩ කමක්…සෙක්ස් ලයිෆ් එකක් වෙනුවෙන් එ කාලෙට හිතෙන පිරිමියෙක් එක්ක ජීවත් වෙන එකයි කරන්න ඕන කියල…අපි වගේ බොරු රැඩිකල් උන් කරන්න හදන්නෙ ඒක”
ඒ වාගේ ආත්ම විවරණයක් ඊට පෙර කිසි දාක මා මගේ නෙතින් දැක හෝ සවනින් අසා නැත. මෙතැන දී විශේෂිත වූයේ ඇය තමන් ව හාස්‍යයට ලක් කරමින් විවේචනය කිරීමයි.
“කුලාන් ව මීට් වුණ වෙලේ මං එයාට ඇට්‍රෑක්ට් වුණා. එයත් එහෙමයි. අපි ඊට පස්සෙ එකට ජීවත් වුණා. එහෙ කල්චර් එකත් එක්ක ඒක සාමාන්‍ය දෙයක්. ඒත් කුලාන් විතරයි කියන තැනට මං ඇවිත් හිටියෙ නෑ. එයා මාව දාල ගියේ ඒකයි”
මට ඒ බංග්ලාදේශ කොල්ලා සිහි විය. කුලාන් මා ඉදිරියේ හෙළි කළ සියල්ල සත්‍ය බව දැන ගන්නට ලැබීම මගේ හදවත ට සැනසුමක් දැනවී ය. නමුත් කුෂ්ලානි ගැන අවංක දුකක් මගේ හිත පහුරු ගැහුවේ ය.
“ඒක ජීවිතයක්ද තේරුං යන්න මට තවත් ටික කාලයක් ගියා. සිවිලයිසේෂන්…ඒ කියන්නෙ මොකද්ද මේ…”
“ශිෂ්ටාචාරය”
“අන්න හරි. ශිෂ්ටාචාර ගත වෙන්න පටං ගද්දි…මිනිස්සු මුලිංම කළේ පවුල් විදිහට වෙන් වෙන එක කියල අපි ඉගෙන ගන්නවනෙ. තමන්ට කියල වෙනම පවුලක්, වටිෆ් කෙනෙක්, හස්බන් කෙනෙක්, ළමයි…අවුරුදු දහස් ගාණකින් ඒ යුගය පහු කරල ඇවිත් අපි ආයෙම ඒ දේ ම කරනව තමයි. රැඩිකල් කියල එකක් ඔළුවෙ තියාගෙන. ඒත් දවසක අපේ ම පපුව කෑ ගහල වෙන දෙයක් ඉල්ලන්න පටන් ගන්නව නිම්නා”
ඇය මගේ ඇස් දෙස කෙළින් බැලුවා ය. මගේ ඇස් වල තිබී ඇය කිසියම් සන්ත්‍රාසයක් දුටුවා දැයි නො දනිමි.
“ඒ තමයි ආදරේ කියන දේ. රැකවරණය කියන දේ. ෆැමිලි එකක් ඇතුළෙ තියෙන රැකවරණය පැය කීපෙකට ජීවිතේට ගොඩ වෙන මිනිහෙක්ගෙං හොයන එක විහිළුවක්. ජීවිතේ මොන තරං හිස් ද කියල දැනෙන්න ගන්නකොට කෑගහල අඬන්න හිතෙනව. ඒත් අපේ කඳුළු වලට වටිනාකමක් නෑ නිම්නා. වටිනාකමක් දෙන්න කෙනෙකුත් නෑ. මිනිස්සු හිතනව අපි හරි සැහැල්ලුවෙන් ජීවත් වෙනව කියල. ඒත් මේ වගේ තත්වෙක ඉන්න කෙල්ලෙක් දන්නව ඒක මොන තරං අපායක්ද කියල”
ඇගේ ඇස් වල වූ දිළිහුම වේදනාවට අයිති දෙයක් බව මට වටහා ගත හැකි විය.
“හුරතල් කරන්න දරුවෙක් හිටියනං….හැන්දෑවට ගෙදර එනකල් බලං ඉන්න හස්බන් කෙනෙක් හිටියනං කියල හිතෙන දවසක් එනව. ඒත් උදේට ඇඳෙං බැහැල යන පිරිමියා හවසට ආයෙ එයිද කියල නො දන්න ජීවිතයක් ඇතුළෙ ඉඳං දරුවෙක් ගැන හීන මවන්නෙ කොහොමද…”
මගේ හිත වහා එතැන හැඳින ගත්තේ ය. සූඩොසයසිස්!
පවුලක් හා දරුවෙක් ගැන ආශාවෙන් ටික කලක් හෝ ඇය දැවෙමින් ඉන්නට ඇත. ඒ අවශ්‍යතාව කෙතරම් දැඩි වී ද යත්, ඈ සනසනු වස් ඇගේ ම හිත ඇය ව ගැබිණියක ගේ තත්වයට පත් කරන්නට ඇත.
“කොච්චර කොහොම කිව්වත් බැඳීම් නැති ජීවිතේ තමයි නිදහස් කියල….අන්තිමට අපිට ඕන වෙන්නෙ බැඳීමක් නිම්නා. ආරක්ෂාවයි ආදරේයි තියෙන තැනකට බැඳිල ඉන්න තියෙන ඕනකම මනුස්ස ගතියක්”
ඈ කතා කරන්නේ ජීවිතය ගැන අල්ප මාත්‍රික අවබෝධයක් නැති කෙල්ලක ලෙස නොව ජීවත් වීම තුළින් අපමණ අත්දැකීම් ලද මහ ගැහැනියක සේ ය. මුළු මහත් ස්ත්‍රී වර්ගයා වෙනුවෙන් මගේ හද කකියනු මට දැනිණි.
“මාව ආශ්‍රය කරපු අනිත් පිරිමි වගේ නෙවෙයි. කුලාන් වෙනස්. අනිත් එක එයා මට නිතරම රෙස්පෙක්ට් කළා. මට එයා නැති වුණේ මගෙ වරදින්. සමහර විට ඔයා වගේ කෙනෙක් ළඟ එයා නතර වෙන්න ඕන කියල සොබා දහම තීරණය කරපු නිසා…”
ඒ දෙතොල් ඉතා සිහින් වූ සිනහවකට ඇද විය. කෙසේ වෙතත් ඒ ඇස් වල වෛරයක් නොවූ බව මට සහතික ය.
“බලෙං කාගෙවත් ජීවිතයක් ළඟ නතර වෙලා වැඩක් නෑ නිම්නා. ඒක දැං මට තේරෙනව”
සමහර දේවල් තේරුම් යන්නේ කෙතරම් පමා වී ද? අප කාටත් එහෙම ය. නමුත් ඒ පමාව ම ඇතැම් විට වෙස් වලා ගත් ආශිර්වාදයක් වන්නට බැරි නැත.
“ඔයා හිතනව ඇති තරඟ කරන්නෙ නැතුව ම ඇයි මං පරාජය බාර ගන්නෙ කියල”
ඇය සිනාසුණා ය. ඒ සිනහව තුළ මම පුදුම තරම් අවංක කමක් දුටිමි.
“තරඟ කළත් මට වෙන්නෙ පැරදෙන්න. මොකද මට තරඟ කරන්න තියෙන්නෙ ඔයත් එක්කනෙ…”
“මැඩම්…”
බොහෝ වෙලාවක් තිස්සේ නිහඬව උන් මම මගේ හඬ ට අමාරුවෙන් පණ දුන්නෙමි. ඇගේ මුහුණේ මාංශ පේශි හා රේඛා වල වූයේ සිනහවකට දරන උත්සාහය ය.
“කුලාන් සර් මට ආදරෙයි. එහෙමයි කියල මට එයාව මැරි කරන්න ඕනමයි කියල නෑ. මැඩම්ට පුළුවන් …”
“ඔයාට ආදරේ කරන කොල්ලව මැරි කරන්න නේ…”
එවර ඇගේ සිනහව වඩාත් සාහසික වූයේ ය.
“මං කිව්වෙ මේ…”
“ඒ මෝඩකම නොකරන්න මං මට ප්‍රොමිස් වෙලා ඉවරයි”
එසේ නම් වෙන කුමක් මම පවසන්නෙම් ද?
“හුඟක් ගෑනු කරන්නෙ ඒ ගොංකම. මගෙ අම්මි පවා එහෙම කරනව මං දැකල තියෙනව. තමන්ට ආදරේ නැති මිනිහෙක්ව කසාදෙ කියන හිරගෙයි බලෙං හිර කරං ඉන්න එක. කසාදෙ කියන දේ පොඩි කාලෙදිම මට එපා වෙලා ගියේ ඒව දැකපු නිසා. ඊට වඩා නිදහස් විදිහකට පිරිමි අශ්‍රය කරන්න මං තීරණේ කළෙත් ඒකයි. හැබැයි ඉතිං ඔය කොයිකත් එකයි අප්පා”
ඒ වෙලාවේ නම් මා ඈ වෙතින් දුටුවේ ස්වාධීන කෙල්ලකි.
“ඔයත් එක්ක මෙහෙම කතා කරපු එක හොඳයි. මොකද දැං මගෙ හිත හුඟක් නිදහස්. දැං මං යන්න ඕන නිම්නා “
කියමින් ඕ අසුනෙන් නැගිට ගත්තා ය. මට කිසිත් කියන්නට අවස්ථාවක් සැලසුණේ නැත. වීදුරු දොර හැරි ඕ නැවතත් හැරී බලා මඳහසක් නගා ගත්තා ය.
“ඇත්තට ම ඔයා මැජික් එකක්. ඒත් දැං මට ඔයා ගැන ජෙලස් හිතෙන්නෑ”
එසැනෙන් ඕ මායාවක් සේ නික්ම ගියා ය.
ඒ විදිහට කුෂ්ලානි කාර්යාලයට විත් මා මුණ ගැහීම එහි බොහෝ දෙනෙකුට කතා කරන්නට මාතෘකාවක් වී තිබිණි. කුලාන් හා කුෂ්ලානි අතරට මා ඇවිත් ඔවුන් අතර සම්බන්ධය බිඳ දමන්නට කටයුතු කරමින් සිටිනවා යි ඇතැමුන් කතා වෙන බව මට කීවේ අශිකා ය.
“මං හිතන්නෙ එදා ඔයා කුලාන් එක්ක රෑ වෙලා බීච් එකේ ඉන්නව කවුරු හරි දැකල තියනව”
මගේ යටි පතුල් සීතල වී යනවා මට දැනිණ. කාර්යාලයක සේවය කරත්දී බේරෙන්නට අමාරු ම දේ කට කතා හා ඕපා දූප ය. යන්තම් කොනක් දුටු විට හෝ ඇසුණු විට ලොකු කතාවක් නිර්මාණය කර ගන්නට බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වති. ඇසින් දකින තුරු යමක් විශ්වාස කරන්න ට එපා යයි කතාවක් තිබුණා ට, ඇසින් දුටුව ද ඇතැම් දේ නිවැරදි ව නො පෙනෙන්නට පුළුවන. නමුත් තමන් ගේ කෙනෙකු අගාධයට හෙළන්නට අවශ්‍ය නම් මිනිසුන් ට ඇසින් දකින්නට ද අවැසි නැත.
“අප්සට් යන්න එපා. ඕන එකෙක් ඕන දෙයක් කියපුදෙන්. අපි බය වෙන්න ඕනෙ අපේ හෘද සාක්ෂියට විතරයි නිම්”
“ඒත්…ඒ දෙන්නා අතරෙ මං තුන්වෙනියක් වුණා කියල ශ්‍රීනාත් සර් වුණත් හිතුවොත්…”
“අනිත් අය කොහොමද හිතන්නෙ කියන එක අපිට පාලනය කරන්න බෑනෙ. අනිත් එක ඔය තැන් තැන් වල කුටු කුටු ගාන උංගෙන් කී දෙනෙක් පවු නොකරපු උන්ද කියල හොයල බලන්න පුළුවන් කමක් තියෙනවනං…”
එය සැබෑවකි. නමුත් වැරදි කරන අය වැඩිපුර කැමති අනුන්ගේ වැරදි හොයා බලන්නට ය. අනිත් අය වැරදි කිරීම ඔවුන් ට සහනයකි. ඒ එතකොට වැරදිකාරයන් ගේ ගොඩ ලොකු වී ඔවුන් ගේ වරදෙහි දැඩි බව අඩු වෙනවා යි සිතන බැවිනි.
මේ කතා ගැන කුලාන් කෝපත් වේවියි මා සිතුවාට ඔහු කළේ සිනහවක් නගා ගන්නා එක ය.
“ඒක හොඳයි. කට්ටියට එහෙං මෙහෙං පේන්න මං ඔයාගෙ අතිං එහෙම අල්ලන්න ඕනෙ”
“සර්ටනං විහිළු”
“එතකොටනෙ උන්ට මෙතන වැඩ කරන එකේ ජොලියක් තියෙන්නෙ”
“මං ගැන මොන විදිහකට හිතනවද කියල හිතනකොටත් මට බයයි සර්”
“දැං ඔය සර් කියන එක තව කොච්චර කල් කියන්න බලාපොරොත්තු වෙනවද…”
කුලාන් මාතෘකාව ක්ෂණික ව වෙනස් කළේ ය.
“එළියට ගියහමනං වැරදිලාවත් කියන්න එපා. කාටහරි ඇහුණොත් එහෙම හිතයි මං මේ ටියුෂන් සර් කෙනෙක් කියල. ඉගෙන ගන්න ආපු ගෑනු ළමයෙක්ව රවට්ටගත්ත…”
“මං එච්චර පොඩියටද පේන්නෙ…”
හිතේ වූ දොම්නස පහ ව ගොස් මගේ මුව සිනහවකට ඉඩ සැදුවේ ය. ඔහු නිකටෙහි අත තියා ගෙන, හිස මඳක් පසෙකට හරවාන මදෙස බලා උන්නේ සිනහවක් නැති ව ය.
“ඇයි…”
“මට ඔයාව පේන්නෙ මහා ලොකුවට නිම්නා. මගෙ මුළු අනාගතේ ම ඉරණම ලියන…මගෙ දරුවන්ගෙ විතරක් නෙවෙයි මගෙත් හිත ඇතුළෙ ඉන්න ළමයට අම්ම කෙනෙක් වෙන්න පුළුවන් මහා පෞරුෂයක් විදිහට”
“එච්චර මාව විශ්වාසද සර්…”
“ඔයාගෙ තාත්ත ඔයාව විශ්වාස කරන තරං…”
මගේ ඇස් වල කඳුළක තෙත විය. මේ ලොව වන රැක ගත යුතු වටිනා ම දෙය විශ්වාසය බව මම විශ්වාස කරමි. එය බිඳී ගිය තැන වෙන කිසිවකට පැවතිය නො හැකි ය. කුෂ්ලානි ට කුලාන් නැති වී ගිය තැන එතැනයි!