ඔබට ඇහෙනවනම් – 42

2
2614

ආදරය කියන්නේ මට දුරින් වූ දෙයක් බව මම ඔබ ට කියා ඇත්තෙමි. විරල වූ ද ගැඹුරු වූ ද සොඳුරු වූ ද ආදරයකින් හදවත පුරවා ගෙන බලා උන්නා ට ඒ ආදරය නිදහසේ පුද දිය හැකි කෙනෙකු එතෙක් මට හමු වී තිබුණේ නැත. එවන් ආදරයක් දැනුණ කෙනෙකු ට ලං විය නො හැකි විය. ලං වූ අය කෙරේ එබඳු ආදරයක් දැනුණේ නැත. එහෙයින් ඒ සියල්ල හදවත ගැඹුරේ සුරක්ෂිත ව ඉතිරි වී තිබිණි. ලෝභ නැති ව කුලාන් ට දෙන්න ට මා සතු ව තිබුණේ ඒ ආදරයයි.

විවාහ වී දරුවෙකු ද ලබා නීතියෙන් වෙන් වී සිටින ගැහැනියක ලෙස නොව මා ඔහු ට හිරිමල් යෞවනියක ගේ කුළුඳුල් සිතින් පෙම් කරන්න ට ඇත්තේ ඒ නිසාවෙන් යයි සිතමි. 

ආදරය හිත සතුටෙන් පුරවා ලන්නේ ය. බලාපොරොත්තු හා අනාගත සිහින වලින් අපේක්ෂා දල්වන්නේ ය. ආදරයකින් බැඳී සිටියදී ලෝකයෙන් එය සැඟවිය නො හැකි බවට කතාවක් තිබේ. ඒ, කෙනෙකු ගේ දෑසින් ද මුවින් ද ඒ ප්‍රීතිය ලෝකයට ප්‍රකාශ වන බැවිනි. හැම උදයක ම කැඩපත මට කීවේත් එබඳු කතාවකි.

“ඇස්වහක් කටවහක්නං වදින්නෙපා…නිම්නා දැං ඉටි රූපෙ වගේ ලස්සන වෙලා”

උදේ මා කැඩපත ඉදිරියේ හැඩ වෙනයුරු, යහන මත හිඳ බලා උන් අම්මා කීවා ය. මම කෝල සිනහවකින්, කැඩපතෙන් ම ඇදෙස බැලුවෙමි.

“අනේ බොරු කියන්නෙපා අම්මෙ”

“බොරු නෙවෙයි. අහන්නකො ඔයාගෙ යාළුවගෙං”

අශිකා! ඇය මොන තරම් අගනා තරුණියක් ද? ප්‍රේමය නිසා වරක් රැවටුණු ඕ යළිත් පිරිමියෙකු ට බැඳිය නො හැකි ලෙස බිඳී ගියා ය. නමුත් ඒ පිරිද්දුම් කැළැල් ඉක්මනින් සුව වී ඇය කැදලි තනනවා නම් කෙතරම් සොඳුරු ද? 

“ආදරේ එහෙම තමයි පුතේ. ආදරේ අපිව ආරක්ෂා කරනව කියන හැඟීමත් එක්ක හිත පුදුම විදිහට සන්සුන් වෙනව. තැන්පත් වෙනව. හරියකට භාවනාවකින් වගේ. ඇත්තට ආදරේ විඳින කෙනෙක්…භාවනා වඩන කෙනෙක් වගේ දැක්කත් හිත නිවෙනව. ඔයා දැන් තමයි ඔයාගෙ ජීවිත කාලෙදි සතුටෙංම ඉන්නෙ. ඒ සතුට ඉතිරි ජීවිත කාලෙම බින්දුවක්වත් අඩු නැතුව තියෙන්න කියලයි මං දෙයියන්ගෙන් ඉල්ලන්නෙ”

ඒ වූ කලී නියත විවරණයකි. අම්මා කෙනෙක් අවංක හදින් කළ ප්‍රාර්ථනයක් බුදු වීම කෙරේ ද නියත විවරණයක් වූයේ ය!

“දෙන්නෙක් අතරෙ බැඳීමකදි එක්කෙනෙක් පුළුවන් තරං අවංක ව ඒ බැඳීම රකිනවනං…අනිත් කෙනාට ඒ බැඳීමට වංක වෙන්න ලේසි නෑ. ගෑනියෙක් ට පුළුවන් තමුන් ගෙ සුවාමි පුරුෂයව තමංගෙ පවුලට කාන්දමක් වගේ බන්දල තියාගන්න වගේම අතෑරල දාපු ගොන් නාම්බෙක් වගේ ඉබාගාතෙ යන්න අරින්නත්. හීලෑ වුණාට පස්සෙ කොච්චර වස බල්ලෙක් වුණත් කොහේ ගිහිං දැම්මත් ආයෙ ගෙදර හොයං එනව. තමුංගෙ මනුස්සය එක්ක කටයුතු කරන්න ඕනත් එහෙම. හොඳ අවබෝධයක් වගේම ඉවකුත් ඇතුව”

අම්මා කතා කරන්නේ වසර හතළිස් ගණනක් වූ ඇගේ වෛවාහක අතදැකීම් මත පිහිටා වන්නට පුළුවන. 

“උඹ නොදකින් කියා නොගන්න දෙන්නා දෙමහල්ලො ඇති කියල මං හිතන්නෑ. ප්‍රශ්න ඇති වෙනව තමයි. රණ්ඩු සරුවල් වුණත් ඕන තරං තියේවි. ඒත් හැබෑ ආදරයක් දෙන්නා අතරෙ තියෙනවනං ඒ ඕන ප්‍රශ්නයක් ඒ වෙලාවට විතරයි”

අම්මා මගේ දෙවන විවාහය ගැන මහත් බලාපොරොත්තු තබා ගෙන සිටින්නී ය. ඈ නිතර ම කසුන් ව නො රිස්සුවා ය. නමුත් කුලාන් කෙරේ ඇගේ වන්නේ සෙනෙහසකි. 

“පවුල් ජීවිතයක් කියන්නෙ අපි පිටිං දකින තරං සරල දෙයක් නෙවෙයි පුතේ. ඒක මහ පුදුම සංකීර්ණ සම්බන්ධයක්. අපි හැම තත්පරේකම ඒක ඇතුළෙ මෝරන්න ඕනෙ. ඒකට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්නෙ එහෙම වුණොත් විතරයි”

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 27

මම අත් ඔරලෝසුව දෙස බැලුවෙමි. අපේ ගෙදර විත් තාත්තා ගේ අවසර ගත්තායින් පසු කුලාන් උදේට මා කැටිව යන්නට අපේ ගෙදර ආවේ ය. හවසට මා ගෙදර ආවේත් ඔහු සමග ය. මේ ගැනත් කාර්යාලය තුළ නොයෙක් ආකාරයේ කතා පැතිරී තිබිණි. නමුත් දැන් දැන් මම ඒවා ගැන ලොකුවට නො හිතන මනසක් තනා ගෙන සිටිමි. හැම මිනිසෙකු ට ම තමන් කැමති දෙයක් ගැන තමන් කැමති ආකාරයකින් හිතන්නට අයිතිය තිබේ!

සාමාන්‍යයෙන් කුලාන් මා කැටිව යන්නට පැමිණෙන වෙලාව පහු වෙමින් තිබිණි. ඔහු රිය පදවන වෙලාවට දුරකතන ඇමතුම් හැකි තාක්  නො දී සිටීම මගේ පුරුද්දකි. ඒ නිසා මම තවත් ඉවසුවෙමි. කුලාන් ගේ රිය වෙනුවට ආයතනයේ වෑන් රථයක් අපේ දොරකඩ නතර වූයේ ඒ අතර ය. 

“සර් කිව්ව මිස්ව එක්ක එන්න කියල”

රියදුරු මගේ විශ්මයට පත් නෙතු දැක කීවේ ය.

“ඇයි රංජිත් අයියෙ…සර් කොහෙ හරි ගියාද…”

“නෑ මිස්”

යමක් කියනවා ද නැත් ද යන දෙගිඩියාවේ ඔහු පැකිළුණේ ය.

“අනේ මොකද්ද ප්‍රශ්නෙ කියල කියන්නකො. ඇයි සර් ආවෙ නැත්තෙ…”

නො එන බවක් හෝ රංජිත් ව එවන බවක් හෙතෙම මට එක ඇමතුමක් දී කීවේ හෝ නැත.

“සර් කිව්වෙනං කියන්න එපා කියල මිස්. ඒ වුණාට…මිස් ඔහොම කලබල වෙලා ඉන්නකොට නො කියාත් බෑ”

“ප්ලීස් රංජිත් අයියෙ…මට කියන්න මොකද වුණේ කියල”

මොන වගේ දෙයක් සිදු වෙන්නට ඇත්ද කියා හෝ මට සිතා ගත හැකි වූයේ නැත.

“මිස්…සර්ව හොස්පිට්ල් ඇඩ්මිට් කරල”

ඒ මොහොත ගැන කිසිත් ම කියන්නට මම නො දනිමි. එය මුළුමනින් ම හිස් වූ මොහොතකි. මා පියවි තත්වයට එළඹියේ තත්පර දෙක තුනක පමාවකිනි.

“හොස්පිට්ල්…ඇයි…කොයි වෙලේද…මොකද්ද සර්ට වෙලා තියෙන්නෙ…”

“හරියට ම දන්නෑ මිස්. දැන් ටිකකට කලින් මගදි…ඇක්සිඩන්ට් එකක්…”

“ඇක්සිඩන්ට්…”

මා වට කොට ගෙන ලෝකය බමන්නා සේ දැනෙන්නට ගති.

“ඇක්සිඩන්ට් කිව්වට මිස්…වාහන ඇක්සිඩන්ට් එකක් නෙවෙයි”

“හරියට කියනවකො ඕයි මොකද්ද වෙලා තියෙන්නෙ කියල…තෙපරබානවනෙ”

කෑ ගැහුවේ තාත්තා ය. 

“මගදි කවුරු හරි කට්ටියක් සර්ට ගහල”

මම පුටුවක් මතට වැටුණෙමි. අම්මා මගේ හිස පිරිමදිනු දැනිණි.

“කලබල වෙලා බෑ. මේ වගේ හදිස්සියකදි අපි සිහි කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ පුතේ”

ඇය කියනවා ද ඇසිණි. හුස්ම දෙක තුනකට පස්සේ මම නැගී සිටියෙමි. 

“අපි හොස්පිට්ල් එකට යං රංජිත් අයියෙ”

“මමත් එන්නද නිම්නා…”

තාත්තා ඇසුවේ ය. 

“මට පුළුවන් තාත්තෙ. තාත්තා ලෑස්ති වෙන්න විනාඩි පහක් හරි පරක්කු වෙනවනෙ. අපි ඉක්මනට යං රංජිත් අයියෙ”

මම රියට නැග ගතිමි.

“පරිස්සමෙං යන්න ඕන”

තාත්තා කියනු ඇසිණ. රිය ඉගිළිණ.

කසුන් ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. මම එය බිඳ දැමුවෙමි. ඔහු නැවත කතා කළේ ය. නැවත නැවත මා බිඳ දමත්දීත් ගත්තේ ය. අන්තිමට මා පිළිතුරු දුන්නේ ඔහු ගේ කරදරය ගැන බැණ වදින්නට හිතා ගෙන ය.

“ඔන්න තමුංගෙ වීරයගෙ අඬු කඩල දැම්මා. සෙල්ලං දාගෙන ආවොත් මරල දානව දැනගනිං. මරල දානව. උඹට ඒ මිනිහව ඕනනං ඌ එක්ක හිටපං ළමය දිහා බලන්නැතුව. උඹ ආයෙ ළමය දිහා බැලුවොත් මං ඌව මරණ එක මරණව”

කියවන්න :  ඔබට ඇහෙනවනම් -28

උස්සා පොළොවේ ගැසුවා වන් තිගැස්මකි එය. මේ කොහොම ලෝකයක් ද?  ඉරණම කියන්නේ කෙබඳු පිටපතක් ද? එහා ඉමෙන් ඔහු සම්බන්ධතාවය බිඳ දැමුවා විය යුතු ය. මගේ ඇස් සොරොව් පුපුරා කඳුළු ගලා ගියේ ය. ඒවා නතර කරනු වස් මම කිසිදු උත්සාහයක් නො ගතිමි. පරණ අවාසනාව තව දුරටත් මගේ පස්සෙන් පන්නමින් තියේ. කළ පව් ගොනු ගෙල බැඳි ගැලක් සේ පසුපස පන්නනවා යි බුදු සමයේ ඉගැන්වේ. ඒත් මගේ පව් කුලාන් පසු පසත් පන්නන්නට හැරිය යුතු ද?

ඔහු නේවාසික ව සිටියේ පෞද්ගලික රෝහලක ය. 

“අනේ සර්…”

ගිලන් යහනෙහි දිගෑදී උන් ඔහු ගේ ළය මත මා කඩා හැළුණේ හිතා මතා නොවේ. කුලාන් සිය දෑතින් මා වැළඳ ගත්තේ ය. ටික වෙලාවක් මගේ කඳුළින් ඒ ළය මඬල හේදී යන්නට ඇත.

“අඬන්නෙපා. මට ලොකු අමාරුවක් නෑ”

“ඒත් මගෙ හිතට දරාගන්න බැරි තරං අමාරුයි සර්. මේක කරල තියෙන්නෙ කසුන්…”

තත්පර කිහිපයක නිහැඬියාවක් අප අතර ඇති වූයේ ය.  

“ඔයා කොහොමද දන්නෙ…”

“දැං මට කෝල් කළා. මං හිතුවටත් වැඩිය ජරා ගති තියෙන මනුස්සයෙක් ඒ”

මම වහා කුලාන් වෙතින් මිදුණෙමි. කසුන් ගේ වචන මගේ හද බිත්ති මත හැපෙමින් ප්‍රතිරාව නංවමින් තිබිණි.

“මට සමාවෙන්න සර්”

“ඒයි පිස්සි. උං පස් හය දෙනෙක් එකතු වෙලයි මට ගැහුවෙ. නැතං උං මේ මහ ලොකු චණ්ඩි නෙවෙයි”

ඔහු සිනහවක් නගා ගත්තේ ය. ඒ සිනහව ඇතුළේ මා දිය වී යනවා මට දැනිණ. 

“සර්ගෙ වේදනාව මට ගන්න පුළුවන් වුණානං මං දෙපාරක් හිතන්නැතුව ගන්නව”

“ගන්න නෙවෙයි ඕනෙ. ජීවිතේ මීටත් වැඩි ප්‍රශ්න එන්න පුළුවන් නිම්නා. මීටත් වැඩිය අපිට රිදෙන දේවල් වෙයි. ඒ හැම වෙලාවකම මගෙ ළඟින් ඉන්නයි ඕනෙ”

මගේ අතක් සිය දෝතින් ම ගත් කුලාන්, එය සිය පපුව මත තබා තද කර ගත්තේ ය.

“සර්…මගෙං ඈත් වෙලා හිටියොත් හොඳයි කියලයි මට දැං හිතෙන්නෙ. අපේ ජීවිත හරි තිත්තයි සර්…සර්ලට හිතා ගන්නවත් බැරි තරමට”

“කසුන් මොනා කළත් මං ඔයාව නැති කර ගන්නෑ නිම්නා. පුතාව ඔයාට නැති වෙන්න දෙන්නෙත් නෑ”

එය ප්‍රතිඥාවක් බව විශ්වය මගේ සවනට මුමුණා කීවේ ය. 

“එන ප්‍රශ්නෙකට එකට මූණ දෙනව මිසක් වෙන් වීමක් ගැන ආයෙ කතා නොකර ඉමු…ම්..”

මම ඔහු අස වන පුටුව මතට වැටී ඔහු දෙස බලා ගතිමි. කුලාන් මගේ සුරත සිය වමතේ ඇඟිලි අතර පටලා ගෙන ඇස් පියා ගත්තේ ය. මම නිදහස් අතින් ඔහු ගේ හිස පිරිමැද්දෙමි. ඒ විදිහට අප මින් පෙර ත් ලං ව උන් බවට මතකයක් යටි හිතෙන් මතු වෙනවා මට දැනුණේ ය. 

“දොර දෙසින් එක තට්ටුවක හඬ පමණි. මම කුලාන් ගේ හිසෙහි වූ මගේ අත මවෙත ඇද ගතිමි. නමුත් අනිත් අත වූයේ ඔහු ගේ ඇඟිලි අතරේ ය. දොර හැරිණි. ශ්‍රීනාත් ගල්හේන මහතා ඇතුලට ආවේ ය. හෙමිහිට මගේ අත අත්හළ කුලාන් යහනෙහි මඳක් කෙළින් වීමට උත්සාහ කළේ ය. මම වහා අසුනෙන් නැගිට ගතිමි.

“හරි හරි ඔහොම ඉමු”

හෙතෙම කාට එහෙම කීවා ද කියා මට වැටහුණේ නැත. වසර දෙකක් පමණ එතුමාට ළඟින් ම උන් මට හිස නගා ඒ මූණ දෙස බලන්නට බැරි අපහසුවක් දැනිණ.

5 2 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
දිල්හාරා ❤️
26 days ago

කුලාන් පව් ❤️

Sudharshana Abeyrathne
25 days ago

ඔයාට එහෙම කරන්ඩ බෑ .
කසුන්ට එහෙම දඟලන්ඩ දෙන්ඩ එපා.
ඌ ටම ගිය රට.කොන්ද පන නැති එකේ මෙහෙම කරන්ඩ දෙන්ඩ එපා.ඌ ට දඬුවමක් ඕනේමයි.