රාත්‍රී සුළඟ හමා ගියේ නිසංසලව ය.සඳපහන යට සැනසිලිදායක රාත්‍රි මිදුලක මේඝා සක්මන් කරමින් හුන්නා ය.නිවසට මඳක් ඔබ්බෙන් පිහිටා ඇති වෙද කුටියේ කටයුතු කාර්යබහුල ය.අද වෙද මහතා ඖෂධ සකසන දිනයක් බැවින් බිනර ද එහි කඩියෙකු මෙන් මෙහෙයක ය.බිනර සැකසූ ෆේස්බුක් ෆෙල්ට් ආට්ස් පිටුවට ආ නිර්මාණ කිහිපයකම වැඩකටයුතු කරන්නට තිබුණ ද මේඝා හුන්නේ නොසන්සුන්කමක ය.
“තාම ෆෝන් එකට සිම් එකක් නොගෙන ඉන්නෙ අපරාදෙ.මගෙ ෆෝන් එක තිබ්බ නම් දිනිඳු අයියට කතා කරන්න තිබ්බ..”
ඇය ඒ නොසන්සුන් බව අතර සිතුවා ය.දිනිඳු වෙද ගෙදර ස්ථාවර දුරකථනයට කිහිපවතාවක් ඇමතුව ද ඉනුලිගේ විස්තර පවසා ඇයට දුරකථනය දෙන්නට ක්‍රියා කළා මිස තත්ත්වය කෙසේදැයි අසන්නට මේඝාට සිත් දුන්නේ නැත.ඇයට දැනුණේ කෝල බවකි.බිනර වැඩ අවසන් කර මෙහි පැමිණෙන්නේ නම් ඔහුගේ දුරකථනයෙන් ඇමතුමක් ගත හැකි බව ඇයට සිතුණි.
ඈ සුපුරුදු බංකු සෙවණට වී සඳ දියෙහි ගිලෙමින් බොහෝ වෙලාවක් හුන්නා ය.
“බලාගෙන හිටියට අයිය එන්නෙ හෙට බං..”
වෙහෙසින් පෙඟී ගිය මුහුණ ද සමඟ බිනර ඒ බංකුවට වැටුණේ ය.මේඝා හිස හරහා ඔහුට සිනාවක් පහළ කළා ය.
“මං දන්නව.”
“කෝ ඉනූ බබා.දොයිද?”
බිනරගේ පැනයට ඇගේ ඒ සිනාව වඩා පුළුල් විණි.අද ඉනුලිට සන්තෝසයෙන් පිරුණු දවසකි.මේඝාව තනි අයිතියට ගන්නට ගොස් සෙනුරි සමඟ කිහිප වාරයක්ම රණ්ඩු වෙන්නට සිදු වූව ද කුඩා සිඟිත්තිය හැකි සෑම මොහොතක් ම ගෙව්වේ මේඝාට ඇලීගත් වනම ය.රෑ නින්ද යනතුරුම කතන්දර ඇසීම නිසා ඉනුලි සිටියේ මහත් සතුටකිනි.
“මං මේඝාට පොඩි දෙයක් කියන්නං…”
බිනර අසද්දී මේඝා හිස වැනුවා ය.දැන් පස් මසක් පුරා පොඩි සහ ලොකු දේවල් බෙදා ගන්නට සිටියේ ඔහු ය.ගස් නැග ගඩා ගෙඩි කඩා දීමේ, හඬන ඕනෑම මොහොතක සැනසීමේ, කෙළවරක් නැති රණ්ඩු වීමේ සිට ශරීරය මහත් පීඩා දෙන දවසකට ඇඳ බදා නිදා ගනිද්දී තැඹිලි වීදුරුවක් ද ගෙන ඇඳ අසල මතු වීම දක්වාම ඔහු නොපිරිහෙලා ඉටු කළේ ය.”අර අපේ නංගි කියන ඊරිට ඔය දවස්වලට තැඹිලි කඩල මට පණ ගිහිං හිටියේ.දැන් තව හෝන්තුවක්” එසේ කියමින් බැන වැදුණ ද මේඝා ඒ දෑස් වල ඇති සැබෑ සහෝදර ස්නේහයත් මිත්‍රත්වයත් මේඝාට නොදැනුණු මොහොතක් නැති තරම් ය.නුදුරේ ම විවාහ වන්නට සිදු වුව ද බිනර ඒ හුන් තැනම රඳවන්නට මේඝාට ඕනෑ විය.දිනිඳු ඒ ගැන අහිතක් නොසිතන බව ද ඇයට සහතික ය.
“ඔයා අම්ම කෙනෙක් නොවී ඉන් නෑනෙ මේඝා.එහෙම වෙච්ච දාකටත් ඉනූට ඔය දෙන ආදරේ නම් දසමෙකින් අඩු කරන්න එපා..එතකොට ඔය ගත්ත තීරණෙන් වැඩක් නැතුව යාවි.”
මේඝා සිනා වූයේ ඈත දිලිහෙන තාරකා සමඟ ය.අම්මා සහ කුඩම්මාගේ වෙනස ඈ තරම් හඳුනන්නියක නැත.
“දරුවෙක් ඉන්න මනුස්සයෙක්ට ආදරේ කරනව කියන එක මහ දෙයක් නෙවෙයි බිනර.අපි ගෑනුනෙ.ආදරේ ඇති උනාම අනිත් කාරණා ගැන සැලකිල්ලක් නෑ තමා. ඒත් ඒ දරුවට අම්මා කෙනෙක් වෙන එක ලොකු දෙයක් නෙවෙයි මහ විශාල දෙයක්.ඉනූට සමාධි අක්කා අමතකයි තමා.ඒත් මං එයාගෙ ගෙදරට එනව එයාට මතක තියෙයිනෙ හැමදාටම.දිනිඳු අයියා එයාට සලකන විදියේ පොඩි අඩුවක් ආවත් එයාට හිතෙයි මේ ගෑනි ඔලුවට දාපුවා කියල.ඒ නිසා ඉනූ බලාගන්න ඕන පරිස්සමින්.එයාට ආදරේ කරන එක තමයි මගෙ ජීවිතේ අංක එක වෙන්න ඕන..”
සුසුමක් හෙළූ මේඝා තවත් මොහොතක් නිහඬව සිටියා ය.ඈ අතිශය සංවේදී වෙන නිලයක් ඇල්ලීම ගැන බිනරට ද දැනුණේ වේදනාවකි.
“ලංකාව වගේ රටක අම්ම තාත්තට මං කරපු වැරැද්දට සමාව දෙන්න අමාරුයි තමා බිනර.හරිම අමාරුයි.ඒත් මං මෙහෙ ඇවිල්ලා දැන් මාස පහක්නෙ.තාත්තා නිකං හරි එයි හිතුවා.එයා නොයෙන්නෙ පුංචි එන්න නොදෙන නිසා කියල මට හිතෙනව.ඒ හැඟීමෙන් මට ගැලවිල්ලක් නෑ..”
බිනර මේඝාගේ උරහිසකට මෘදුව තට්ටු කළේ ය.නොකියා දරා ගන්නා බොහෝ දේ ඇයට තිබීම ගැන ඔහුට තදබල වේදනාවක් විණි.
“මෙහෙමයි මේඝා, අම්මා තාත්තගෙ ආදරේ ඔයාට අයිති නෑම කියල අපි හිතමු..ඒත් ඔයා අනිත් හැමෝගෙන්ම ආදරේ ලබන කෙනෙක්.ලොක්කම්මයි ලොකු අප්පච්චි ඔයාට ආදරේ කරන තරම මට හිතා ගන්න බෑ. අරුණිට අයිති සේරම දේවල් ලියල දීලා, ගෙවල් හදන්න පටන් අරන්..ලොක්කම්මා ඉන්නෙ අරුණි ආයේ ආව තරම් සන්තෝසෙන්..ආදරේ කොහෙන්හරි ලැබෙන්නනෙ ඕන බං..ඒ නිසා ඕවා හිතන්න එපා..”
මේඝාට නොකියා දරා ගත් තවත් කාරණාවක් හෙළි කරන්නට සිතිණි.
“මං ඉස්සර හිතන් හිටියේ අම්මා නෑ, පුංචිත් එහෙම ලොකු ආදරයක් නැති නිසා මගෙ හස්බන්ඩ්ගෙ අම්මට ගොඩක් ළං වෙන්න.ජනිඳුගෙ අම්ම මට කිට්ටු කරන්න බැරි තරම් ඈත කෙනෙක් කියල තේරුණාට පස්සෙ ඒ බලාපොරොත්තුව ගියා.දිනිඳු අයියා කරන කියන දේවල් එක්ක එයා ආයේ එයාගෙ පේරන්ට්ස්ලට කිට්ටු වෙන්නේ නෑ..”
ඒ දෙවතාවේම ඈ ආදරය කරන්නට සිතුවේ එකම ගැහැනියකට බව කියන්නට සිතුණ ද බිනර නිහඬව සිටියේ ය.එය හෙළි කළ යුතු දවස් ළඟ ළඟම එන බව සිතමින් ඔහු බොහෝ වෙලාවක් නිරුත්තරව සිටියේ ය.
“මට හරි බයයි මේඝා.ඒක දැන ගත්තම ඔයා අවුල් වෙලා හැමදේකින්ම ඈත් වෙයි කියල මට බයයි.” බිනර එවදන් මුවින් පිට කළේ නැත.නමුත් ඔහු ඒ ගැන දිගින් දිගටම සිතන්නට ගත්තේ ය.
ඒ රාත්‍රියේ බිනර සිටියේ නොසන්සුන් ව ය.හෙට ආපසු පෙරිමියන්කුලමට ගොස් ඉතා ඉක්මනින් තමන්ගේ සැඟවුණු සත්‍යය ගැන මේඝාට හෙළි කරන අන්දම සිතමින් දිනිඳු හුන්නේ ද නොසන්සුන් ව ය.
සෑම ගැටලුවකම මුල සිටින ජනිඳු ද සිටියේ නොසන්සුන් ව ය.ඒ වැඩිමහල් සහෝදරයන් නිසා ඇති වූ කෝපය නිසා ය.අයියා ඔහුගේ නව බිරිඳ ගැන පැවසූ දේ නිසා ඇති වූ කම්පනය නිසා ය.සුපුරුදු ලෙස ඔහු කෝපය බෙදා ගැනීමට තෝරා ගත්තේ මිෂෙල්ව ය.
“අපි ආයේ ෆේස්බුක් කැම්පේන් එකක් කරමු.මල්ලි අතෑරල අයියා බැඳගත්ත ගෑනි කියල.ඔයාගෙ අයියා ඩොක්ට කෙනෙක් නේද.චාටර් වෙනකොට මිනිහ වැඩේ අතෑරල දායි.”
මිෂෙල් පැවසුවේ මත් වෙන අතර ය.ඈ වැන්නියක ම තෝරා නොගෙන මේඝාට ආදරය කිරීම ගැන ජනිඳුට ඇති වූයේ පසුතැවීමකි.මේඝා වැනි යුවතියක බිරිඳ කරගෙන මිෂෙල් වැනි කෙල්ලන් සමඟ ජීවිතය විඳින්නට සිතුණේ ඇයිදැයි ඔහුට සිතිණ.එහෙත් දැන් සියල්ල සිදු වී අවසන් ය.
“ඕවා කරන්න බෑ මීෂා දැන්. ඕකිට වෙන කවුරුහරි මොනවත් කරත් අයියල මට කේස් දායි.තාත්තිගෙ අවුල විසඳගන්නත් සෑහෙන්න නටන්න වෙනව.ඒ අස්සෙ මේ විකාර පටලව ගන්න ඕනයැ..”
ජනිඳු කෝපයෙන් පවසද්දී මිෂෙල්ට ඔහුව තවත් ඇවිස්සීමට ඕනෑ විය.
“ඒ උනාට ඔයා ඇයි එයාට දිනන්න දෙන්නෙ..”
“එයා දිනුවෙ නෑනෙ මීෂා.පැරදිච්ච හින්දනෙ හැංගුණෙ.ඒ අතරෙ මේ යකා ඒකිව බැඳගත්තට මොනව කරන්නද?”
“දැන් ඉතිං ඔයාලගෙ හැම බිස්නස් එකකටම ප්‍රොපටි එකකටම ඒකිටත් අයිතියක් තියනව.ඒක මහ ලැජ්ජාවක්නෙ..”
මිෂෙල් ඇවිලෙමින් ඇති ගින්නට පිදුරු වෙනුවට ඉන්ධන ටොන් ගණන් හලන්නට සිතුවා ය.ජනිඳු මේඝා කෙරෙහි බැඳීම ගැන ඇති වූ කෝපය ඇය එතරම් නින්දාවකට ලක් වෙද්දී පවා මිෂෙල් අමතක කර දැමුවේ නැත.
“ඔයාට ලැජ්ජාවක් නෑනෙ මීෂා.මෙතන ලැජ්ජාව තියෙන්නෙ මටනෙ..”
ජනිඳු මිෂෙල්ව පසෙකට තල්ලු කර දමා නැගී සිටියේ කෝපයෙනි.තරිඳුට වීඩියෝ පට ඇති තැන් ගැන කියන්නට ඇත්තේ ද ඈ බවට ඇති වූ සැකය තවම ඔහුගේ සිතින් මැකී ගොස් තිබුණේ ද නැත.
“මං ඔයා මැරි කරාම ඒ ජරා ගෑනිත් මගෙ කසින් කෙනෙක් වෙනවනෙ.මොන ජරාවක් ද ඒ”
ජනිඳුට ඒ කතාව අසා නැගුණු කෝපය ද නොසිතාම පිට කරන්නට සිතුණු වචන ද නිසා ඇවිලූ ගින්න ආපස්සට ඇවිලීම ඇරඹුණු බව ඔහුට ඒ මොහොතේ සිතුණේ නැත.නමුත් එවැන්නක් සිදු වීම ඇරඹිණි.
“මං ඔයාව මැරි කරනව..කවද්ද මං එහෙම පොරොන්දු වුණේ?”
නොයෙල් වීරසේකර නිදහස් වීමට අපහසු නඩුවකට පැටලී ගිය පසු සියළු ධනය සහ දේපල ද ව්‍යාපාර ද ජනිඳුට අයත් වන නිසා ඔහුව අත් නොහරින්නට තද තීරණයක් ගත් මිෂෙල් ජනිඳු දෙස කෝපදීප්ත දෑසින් බැලුවා ය.එහෙත් ජනිඳු කතාව නතර කළේ ද නැත.
” මං ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලගෙන් එක්කෙනෙක් විතරනෙ මිෂෙල්.ඉතිං ඔයාට මාව මැරි කරන්න ඕන කියල එකක් නෑනෙ.අනික එහෙම මැරි කරල අනිත් අය ඔයාට ඉන්න දෙයිද කවුද දන්නෙ..”
මිෂෙල් දමනය කිරීම මේඝා වැනි අහිංසක යුවතියක පාගා දැමීම තරමට ජනිඳුට පහසු නොවිණි.
“මං කා එක්ක ඩේට් කරත් කාත් එක්ක ක්ලබ් ගියත් කීයක් එක්ක සෙක්ස් කරත් මැරි කරන්නෙ ඔයාව.මං ඒක තීරණේ කරල ඉවරයි..”
මිෂෙල්ගේ කතාවට ජනිඳු උස්හඬින් හිනැහෙන්නට පටන් ගත්තේ ය.අනතුරුව ඔහු මිෂෙල්ගේ මුහුණට එබුණේ ඈ බියපත් කරන්නට කාරණා එකතු කරමිනි.
“මේඝාටත් තිබ්බ අමාරුවක්.අපි මැරි කරමුද? මට ආදරේ නම් ඇයි මිෂෙල්ලා ශානිලා වගේ කෙල්ලො කා එකේ දාන් යන්නෙ? ඔය වගේ ප්‍රශ්න එයාටත් තිබ්බ.එයාට ඒවට ලෝකෙට උත්තර දෙන්න උනා.ඒකෙන් උනේ මං විතරක් දන්න දේවල් ලෝකෙම දැක්ක එක. ඔයත් කෑගහන්න ආවොත් වෙන්නෙ බබා මමයි තව විසි තිස් දෙනෙකුයි දන්න ඒවා හැමෝම දැන ගන්න එක..”
මේඝා මෙන් කඳුළු පිරුණු දෑසක් ද බියපත් මුහුණක් ද මිෂෙල් වෙතින් මතු වූයේ නැත.ඇය ද පෙරළා හිනැහුණා ය.
“ඉතිං..එහෙම එකක් කරල තමුසෙ ජීවත් වෙන්නයැ. කරල බලනව..”
ඇය නික්ම ගියේ එසේ පවසා ය.
ජීවිතය එක් වරක් ඉගැන්වූ දෙයකින් පාඩම් ඉගෙන ගන්නට නොදන්නා ජනිඳු මේඝා වැනි අහිංසක යුවතියකට කළ දෙයම මිෂෙල්ට ද කරන්නට සිතුවේ ය.අතීතයෙන් පාඩම් ඉගෙන ගත්තානම් දෙසොහොයුරන් පැය කිහිපයකට පෙර පැවසූ දේ සිතට ගත්තානම් ඔහු ඒ දේ නොකරන්නට තිබිණ.
නමුත් ජනිඳු පාඩම් ඉගෙන ගන්නා කෙනෙකු නොවේ.