මන්දාරම් හැන්දෑවක -41

මේඝා මැදියම් රැය ද පසු වී යහනට වැටුණේ කුඩා ඉනුලි තුරුලේ හොවාගෙන ය.මව අහිමි දැරියක වීමේ කම්පනයෙන් දැවෙමින් තිබූ ඇගේ හදවත කුඩා ඉනුලිට අම්මා වීමට යත්න දැරීමෙන් පසු වඩා සුවපත් වෙමින් පැවතිණ.

“ඔයා අම්ම කෙනෙක් නොවී ඉන් නෑනෙ මේඝා.එහෙම වෙච්ච දාකටත් ඉනූට ඔය දෙන ආදරේ නම් දසමෙකින් අඩු කරන්න එපා..එතකොට ඔය ගත්ත තීරණෙන් වැඩක් නැතුව යාවි.”

බිනර එසේ පැවසූ අන්දම ඇයට යළි යළිත් සිහියට නැඟිණ.ඇය ඉනුලිගේ හිස මෘදුව සිප ගත්තා ය.

“මං ඔයාගෙ අම්මා වෙන එක දැන් ස්ථිරයි පැටියෝ.ඔයාට නංගිලා මල්ලිලා ලැබෙයි.ඒත් හැමදාම ඔයා තමයි මගෙ ලොකු දූ..අම්ම කෙනෙක් නැතුව හැදෙනකොට දුවෙකුට පාළුයි.ඒක ඔයයි මායි තරම් කවුරුත්ම දන්නේ නෑ.මගෙ පුංචි මට අම්මා නොවුණට කමක් නෑ. මං ඔයාට අම්මා වෙන්නං..”

මේඝා සිහින් හඬින් මිමිණුවා ය.ඈ පැවසූ දේ නෑසෙන තරම් ගැඹුරු නින්දක ගිලී හුන්න ද සිඟිත්තිය එක්වර මේඝා තදින් වැළඳ ගත්තා ය.මේඝා ඉනුලිගේ හිස අතගාමින් අතීතයට ඉගිලුණා ය.

“ඔයා ලොකු ළමයෙක් වෙලත් තාම අවුරුද්දක්වත් නෑ පුතේ.මම බිස්නස් වැඩවලට හැමතැනම යනව. ලොකු අක්කටයි පොඩි අක්කටයිත් හැම වෙලාවෙම ඔයා ගැන ඇහැ ගහන් ඉන්න බෑනෙ. කසාදයක් බැඳගෙන එයාලා ගියාම මොකද කරන්නෙ? අපි මේ දවස්වල කෑවෙ කඩෙන්මයි..”

දස වසරකට එපිට දිනයක තාත්තා දොළොස් හැවිරිදි දැරියක තමන් සමීපයට ගෙන පැවසූ අන්දම මේඝාට සිහි විණ.ඔහුගේ තීරණය ගැන සැක සංකා උපන් ඈ කෝකටත් කියා වහා අදහසක් ඉදිරිපත් කළ අන්දම ඇයට අමතක නැත.

“අපිට සර්වන්ට් කෙනෙක් ගන්න තාත්තා ගාව සල්ලි නැද්ද?”

එහෙත් තාත්තා සිටියේ ඒ වෙද්දීත් තීරණයකට එල්බ ගෙන ය.ඔහු තමන්ව ඇමතුවේ චාරිත්‍රයක් ඉටු කිරීමට පමණකැයි මේඝා තවමත් සිතන්නී ය.

“පුතේ,අපිට පිට ගෑනුන්ව විශ්වාස කරන්න බෑනෙ.මේ කොළඹ රටේ වෙන්න බැරි මොනවද? මම ආයේ මැරි කරන්න හිතුවා. මොරීන් ආන්ටි ඔයාව අම්මා කෙනෙක් වගේ බලා ගනියි..”

මේඝාට අම්මා කෙනෙකුගේ ස්නේහය දීමට වඩා මොරීන් ඉක්මන් වූයේ ඉතා ඉක්මනින් ඇගේම දරුවෙකුට උපත දෙන්නට ය.තිස් හත් විය ද ඉක්මවමින් සිටි ඈ තමන් ගැබ් නොගනී යැයි පසු වූයේ බියෙනි.නව යෞවන වියේ පසු වන දැරියකට පමණක් අම්මා වන්නට ඇයට නුවුමනා විණි.ගැහැනුන් බහුතරයකගේ පොදු ආශාවෙන් ඇය ද උතුරා යමින් සිටියා ය.මේඝා අක්කා කෙනෙකු වූයේ පාසලේ නවයේ පන්තියේ හිඳිද්දී ය.අක්කා කෙනෙකු වන්නට ඒ වයස නරක නැති වුව ද ඈ වඩා නිහඬ සහ කෝපගන්නා සුළු දැරියක කරන්නට මල්ලිගේ ආගමනයට හැකිව තිබිණ.තාත්තාගේ ආදරය බෙදී යද්දී ඈ අම්මාට ලියුම් ලියන්නට පටන් ගත්තා ය.මොරීන් මේඝාට සින්ඩරෙල්ලා කෙනෙකුට මෙන් සැලකිලි නොකළද පුංචි අම්මා මහ පාන්දර මනාලියන් හැඩ ගන්වන්නට යද්දී උදෑසන ඉවුම් පිහුම් කිරීම මේඝා කැමැත්තෙන් ම බාර ගත්තා ය.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 9

“මේඝා, මං ඔයාට හෙයා කට් එකක් දාලා දෙන්නද? ඔයා චුට්ටක් කළු වෙලා වගේ මේඝා සැලෝන් එකට එන්නකො අද.. ” පවසමින් තුරුණු මේඝාට තමන්ගේ ක්‍රමයට යුතුකම් කරන්නට මොරීන් වග බලා ගත්තා ය.” උඹ මොන බැල්ලියෙක්ද, අර අහිංසක මිනිහගෙ මූණෙත් දැලි උලල මටත් ලැජ්ජා කරා” කියමින් පහර දුන් දිනය දක්වාම ඇය මේඝා සමඟ ප්‍රවේසම් ගණුදෙනුවක් පවත්වා ගත්තා ය.

“ඒත් තාත්තා පුංචිව එක්කන් එන්න මගෙන් ඇහුවෙ නැතුව නිකං මට දැනුං දීමක් විතරක් කරපු එක මගෙ හිතේ තාම තියෙන්නෙ නරකට. මං එතකොට තේරුමක් තියන කෙල්ලක් තමයි.ඒත් මං එයාගෙ අම්මා උනාට කමක් නැද්ද කියල ඉනූගෙන් අහන්න මටත් වගකීමක් තියනව..”නින්දට වැටෙන්නට පෙර මේඝා ඇයට ම කියා ගත්තා ය. එය ඉනුලිගෙන් අසන්නට ද පැය කිහිපයක් ගෙවෙන්නට මත්තෙන් මේඝාට ඉඩ ලැබිණි.

ඉනුලිත් සෙනුරිත් උදෑසන අවදි වූ පසු මුළුතැන්ගෙයි බංකුවකින් ඔවුන් හිඳුවා කිරි කෝප්ප ලබා දුන්නේ මේඝා ය. සුදු පුංචිගේ අයිතිය ගැන දැරියන් අතර ගැටුමක් හට ගත්තේ ඒ මොහොතේ ය.

“ඒ උනාට ඔයාට අම්මෙක් නෑනේ..මල්ලියෙකුත් නෑ”

කෝපය ඉහවහා ගිය සෙනුරි ඉනුලිට අභියෝග කළා ය.අම්මා ඈත සුරංගනා ලෝකයක කතන්දර වළාකුළු ගොතන බව තාත්තා උගන්වා තිබුණ ද එය පවසන්නට ඉනුලිට අමතකව ගියේ ය.ඈ හැකි වෙර යොදා අඬන්නට ගත්තා ය. මිතුරිය අඬන ශෝකය සෙනුරිට බෝ වූයෙන් ඇය ඊට වඩා වේගයෙන් හැඬීම ඇරඹුවා ය.

රැකියාවට යන්නට සාරිය අඳිමින් හුන් මාධවී ද කුඩා දැරියන්ට කෑම සකසමින් හුන් මේඝා ද බුද්ධ පූජාව තබමින් හුන් වෙද හාමිනේ ද සුදුවැලි මිදුලේ රටා තබමින් හුන් යසා ද දිව ආවේ එකම වේගයකිනි.ඉනුලි “අම්මා ඕනෑ..” යැයි හඬන්නට ගත්තාට ඒ ගැහැනුන් සිවු දෙනාගේම හදවත් මාතෘ ප්‍රේමයෙන් වැගිරෙමින් තිබිණ.මාධවීගේ තුරුලට සෙනුරි ගුලි වෙද්දී වෙද හාමිනේ වහා ඉනුලි ඔසවා ගත්තා ය.ඇය ඉනුලිගේ මුහුණ ඔසරි පොටින් පිස දමද්දී “මෙයාට අම්මා ඕනලු” යැයි තමන්ගේ අම්මාට සෙනුරි පැවසුවේ ඉකි ලමිනි.කුඩා මිතුරිය හඬන්නට තමන් හේතුවක් වූ බව සිතීමෙන් ඇගේ කුඩා හදවත ශෝකයෙන් බරව තිබිණ.

“මගෙ පුතාගෙ අම්මා සුරංගනා ලෝකෙට ගියානෙ.අම්මා ගොඩක් ලස්සන නිසා අම්මව එහෙ නවත්තගෙනනෙ.”

මාධවී සුපුරුදු බොරුව වාදනය කළා ය.නමුත් ඒ කතාව නවතන්නට කාලය පැමිණ ඇතැයි වෙද හාමිනේ සිතුවා ය.

“අපිට පුලුවන්නෙ චූටි මැණිකෙ සුදු පුංචියාට අම්මා කියන්න.නේද? සුරංගනා ලෝකෙ අම්මයි මේ සුදු අම්මයි..පුතාට අම්මලා දෙන්නයි..”

ඉනුලි වහා මේඝාගේ අතට මාරු වූයේ ඒ වචන ඇසෙද්දී ම ය.තවමත් ඉකි ගැසෙමින් හිඳින ඇය කුඩා හිස හරවා මේඝා ජීවිතය තුළ ඇසූ සුන්දරම වාක්‍යය අසා සිටියා ය.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -12

“මං ඔයාට අම්මා කියන්නං..”

හැඬීම වාවා ගන්නට අසීරු වූයේ මේඝාට ය.ඇය ඉනුලිගේ හිස සිප ගෙන පිළිතුරු දුන්නා ය.දැරියන්ට මොණරෙකු පෙන්වා අවධානය වහා වෙනස් කර පිටතට රැගෙන යන්නට යසාට සිත් වූයේ මේඝාගේ හැඬීම වර්ධනය වන්නට ගත් නිසා ය.මේඝා කුඩා බංකුවට වී ඉකි ගසන්නට පටන් ගත්තා ය.

“මොරීන් ආන්ටි නොවී ඉන්න පැටියෝ.. මට වෙන කියන්න දෙයක් නෑ.අපි ඉක්මනින් වෙඩින් එක ගමු.අයියා දිනිඳුට කතා කරයි..”

මාධවී මේඝාගේ හිස අත ගා කීවා ය.මේඝා ඉකිලමින් බලා සිටියා ය.

“ඉන්ගිරිසි සුරංගනා කතාවල ඉන්න නපුරු කුඩම්මලගෙ කතා පොඩි උංට කියා දුන්නට අපිට ප්‍රජාපතී ගෝතමී උත්තමාව අමතක වෙනවනෙ පුතේ.ඒත් කුඩම්මෙක් තමා.මහමායා දේවිගෙ දරුවා තමන්ගෙ ඇකේ තියාගෙන හදපු කුඩම්මා.අම්මා කෙනෙක් වෙන්න මහ විසාල හදවතක් විතරයි ඕන කියල අපිට උගන්නන්නෙ බුදු බණෙන්ම තමා.පුතාට අර නොදරුවට අම්මා වෙන්න පුලුවං..ගෑනියෙක් තමන් ආදරේ කරන මිනිහගෙ දරුවට අම්මා වෙන්න පොරොන්දු වෙලා කසාද බැඳගත්තට ඒ පොරොන්දු අමතක කරල තමන්ගෙ ලෝකෙ හදා ගන්න මහන්සි වෙන හැටි පුතා අපිටත් වඩා දන්නවනෙ.ඉතිං පුතාට හොඳ අම්මෙක් වෙන්න ලේසි..”

වෙද හාමිනේ ආදරය කඩා හැලෙන දෑසින් මේඝා අමතා කියද්දී මේඝා කඳුළු පිස දා ගත්තා ය.සිනාසෙන්නට කාලය පැමිණ ඇතැයි ඈට සිතුණා ය.

ඉනුලි මුළු දවසම ගෙවා දැම්මේ සන්තෝසයෙනි.වචන ඇහිදින්නටත් පෙර අම්මා අහිමිව ගිය ඈ හැම වාක්‍යයක් මැදටම ඕනෑටවත් වඩා අම්මා යැයි එකතු කරමින් මේඝා ඇමතුවා ය.මේඝා ඒ වචන විඳගත්තේ ආදරයෙනි.මද්දහන ගෙවී යද්දී දිනිඳුගේ කාරය වෙද ගෙදර මිදුලේ නැවතිණ.ඉනුලි වහා තාත්තා වෙත දිව ගියේ ඒ ආරංචිය රස කරන්නට ය.එහෙත් තාත්තාට පෙර කාරයෙන් බැස ගත් බාප්පාට ආරංචිය කියන්නට ඇයට ඕනෑ විය.

“කොහොමද පැංචො..ඔන්න බාප්පා ඔයාට ඩොලී කෙනෙක් ගෙනාවා..” තරිඳු ඉනුලිටත් වඩා විශාල බෝනික්කිය ඇය අතින් තැබුවේ ය. “ඔයාගේ යාලුවා කෝ..එයාටත් ඉන්නවා ඩොලී කෙනෙක්” අනතුරුව ඔහු සෙනුරිව විපරම් කළේ ය.

“මං මෙයාව අම්මිට පෙන්නලා සෙනූව එක්කන් එන්නම් බාප්පේ..” ඉනුලි දිව යන්නට තැත් කළා ය. දැරිය තමන් නොමැතිව රැයක් ගෙවා දමද්දී සමාධිව සිහි විණිදැයි දිනිඳුට බියක් ඉපදිණ.ඔහු තරිඳු දෙස බැලුවේ ශෝකයෙනි.

“මට අම්මියෙක් ඕනමයි හිතුණා.අත්තම්මා කිව්වා සුදු පුංචි තමයි මගෙ අම්මා කියලා..”අලුත් ආරංචිය තාත්තාට පැවසූ ඉනුලි බෝනික්කන් දෙදෙනා බැරි අමාරුවෙන් ඔසවා සෙනුරි වෙත දිව ගියා ය.

“චූටි ගැන දැනගෙන මේඝා ඈත් උනොත් දරුවත් අවුල් වෙයිද කියල මට බය මල්ලි..

දිනිඳු පැවසුවේ කැළඹීමෙනි.සියල්ල මේඝාට රහසක් කර ගත යුතු යැයි සිතෙන තරමට ඔහු වියවුලට පත්ව සිටියේ ය.

3.9 8 votes
Article Rating
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Madhushika
20 days ago

මේක කියවලා නම් ඇඩුනා හොඳටම.. දරු පැටියකුට අම්මා තරම් වෙන කවුද ඉතිං?

Sudharshana Abeyrathne
20 days ago

Godak godak sathutuyi .

Chamira
20 days ago

👍

සුජා
18 days ago

හරිම දුක හිතෙන කොටසක් අදනම්.. දරුවෙකුට අම්මෙක් ඉන්නම ඕනෙනෙ❤️❤️💜💜