සුළං සීනු – 6

ගේට්ටුවෙන් එපිට රැඳී සිටියේ තරුණයෙකි. ප්‍රසන්න සිනාවක් සහිත ඔහු දෙස මම විමසිලිමත් ව බැලීමි.

“මිස්ට සංකල්ප එදිරිමාන්නගෙ ගෙදර නේද මිස් මේ?”

සංකල්ප පැය කිහිපයක් යන්නටත් මත්තෙන් සීනුගේ ඉල්ලීම ඉටු කර ඇත. තරුණයා බලු පැටවෙකු රැගෙන පැමිණ ඇත.

ප්‍රීතිමත් නිල් දෑස සහිත කුඩා බලු පැටවා සීනු වෙත පැන්නේ ඇසිල්ලකිනි. කුඩාවුන්ට මිත්‍රත්වයක් ගොඩ නගා ගන්නට බොහෝ කලක් ගත වන්නේ නැත.තණ බිස්සේ පෙරලෙන අලුත් මිතුරන් දෙදෙනා ඡායාරූපයට නගමින් ලෝචනා ද හුන්නේ කාර්යබහුලව ය.

මා හුන්නේ සුපුරුදු ලෙස පිපිරෙමිනි.

“දරුවා එක්ක පෙට් ෂොප් එකකට ගිහින් එයා ආස සතෙක් අරන් දෙන්නවත් තාත්තට වෙලාවක් නෑ. ඔහොම ඕඩර් කරලා ගෙදරට එවන්න මේ කෑමක්ද?”

ලෝචනා මවෙත හෙළුවේ නොසැලකිලිමත් සිනාවකි.

“කෙල්ල අර කෙලවරක් නැතුව නටන්නේ.. එයා ආසයි”

ඒ වුණාට මේ ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක් නේද? බබා නිසා පොඩියට ඉන්න බ්‍රීඩ් එකක් හොයන්න එපැයි”

මම නොනවත්වා පැමිණිලි කළෙමි.

“පුංචි බබාලට ෆිට් වෙන බ්‍රීඩ් එකක් ඔය. සංකල්ප හරියට හිතලා එවලා තියෙන්නේ..අනික මගේ ලියෝත් ඔය බ්‍රීඩ්නෙ.සීනු ඔය පෙරළි පෙරළි නටන්නේ එහෙ ගියාම.”

ලෝචනා මට අවනත නොවූවා ය.ඈ කුඩා බලු පැටවා දෝතට ගෙන පරීක්ෂාවේ යෙදුණා ය.

“අපි මෙයාව වෙට් කෙනෙක් ගාවට එක්ක යමු පවී. සීනු එක්ක ඉන්න කෙනා නිසා ඔක්කොම ඉන්ජෙක්ෂන් ටික දීලා අරන් එමු..”

සතුන්ට අප්‍රමාණ ලෙස පෙම් බඳිමින් පශූ වෛද්‍යවරයෙක් වන්නට උගනමින් සිටි මගේ දේවක වියෝ වූ දා පටන් මට සතුන් සමඟ ගනුදෙනුවක් වූයේම නැත. සත්ව ප්‍රේමිනියක වූ මම මගේ සතුටු පෙත්තක් අහකට විසි කර දැමූවේ දේවක නිසා ය. ඔහු ඇලුම් කළ ලෝකය අමතක කරන්නට මට ඕනෑ විය. නමුත් සත්‍ය ලෙසම සිදු වූයේ මා වඩවඩාත් ඒවා සිහි කිරීම ය. දේවක ප්‍රිය කළ ආහාර දෙස ඇසක් හැර නොබැලීම, ඔහු මා වඩාත් හැඩට දුටු විලාසිතාවන් සහමුලින්ම අතහැර දැමීම,අප එක්ව කළ විනෝදාංශ අතැර දැමීම මට ඔහු අමතක වන්නට ඉඩ හැරියේ නැති බව ඇත්තකි. නමුත් මට ඔහු අමතක කරන්නට ඕනෑ වූයේ ද නැත.

“මං මේ කාරණාව කියන්නේ නොකියා බැරි නිසා පවී..”

රිය පදවන අතර ලෝචනා කියන්නේ කල්පනාකාරීව ය.

“ඔයා දේවකගේ මතක අස්සෙ හිරවෙලා ඉන්න බව මම දන්නවා. හැබැයි මං ඔයාට කාරණාවක් කියන්නද? ඔයා දන්නේ පුංචි කාලේ ඔයාට සෙල්ලං ගෙවල් හදලා දෙන්න ටයිම් තිබ්බ දේවකව. ඔයාට ක්ලාස් ඇරෙනකං රස්තියාදු වෙන්න ටයිම් තිබ්බ දේවකව. ඔයා එක්ක රස්තියාදු ගහන්න ටයිම් තිබ්බ දේවකව.එයා හස්බන්ඩ් කෙනෙක් තාත්තෙක් වුණානං ඒ මනුස්සයත් සංකල්ප වගේම බිසී ලයිෆ් එකක හිරවෙයි පවී. සංකල්ප කියන්නේ තිහත් පැනපු මනුස්සයෙක්.ඒ මනුස්සයා ඔයාටයි සීනුටයි හොඳ ජීවිතයක් දෙන්න මහන්සි වෙන එක තමයි ආදරේ කියලා හිතන්නේ. ඇත්තටම ඔයාට හිතෙන් නැද්ද ඔයත් විසි තුනෙන් පස්සෙ වයස නොගිය කෙල්ලක් කියලා. දේවක ගියත් හරි ඔයා එතනම හිර වෙලා.උඹට නිකංවත් සංකල්පගෙ වයිෆ් වෙන්න උවමනාවක් නෑ…”

මට ලෝචනාට වහා එරෙහි වන්නට ඕනෑ විය. සංකල්ප සෑම මොහොතකම අප මඟ හැර ගන්නා වග දන්නේ මා ය. ලෝචනාට එහි වගක් නැත.

“මං චානුට ආදරේ කරන්න ගත්තු කාලේ එයාටත් ඕනතරම් ලව් කර කර ඉන්න වෙලාව තිබ්බා. දැන් අපිට ඒකට වෙලාව හොයා ගන්න වෙනවා. හැබැයි මට විස්වාසයි සංකල්ප වුණත් මීට වඩා උඹට ක්ලෝස් වෙනවා උඹ හොඳින් ඉන්නවනං. වෙලා තියෙන්නේ හැරුණත් ඒ මනුස්සයා වැරදිනෙ..”

ලෝචනා කියවා යන්නේ මා කියන්නට යන දෙයට ඉඩක් නොතබා ය.

“දේවක අමතක වෙන තරමේ ආදරයක් දෙන්න සංකට පුලුවන් වුණේ නෑ ලෝචි. එයා ආදරේ ගැන දන් නෑ. හිත පිරෙන ආදරයක් දුන්නානං මට දේවක අමතක කරන එක මහ දෙයක් නෙවේ.. හැබැයි එයාට ඒක කර ගන්න බෑ..”

ලෝචනා නැවත කිසිත් කියන්නට උත්සාහ ගත්තේ නැත. පිටුපස අසුනට වී බලු පැටවා තුරුලු කරගත් සීනු සමඟ කියවිල්ලක් ඇරඹූ ඈ නැවත කතාවට වැටුණේ ම නැත. හැම සැපසම්පතම ලබා දීමත්, අනියම් ඇසුරකට නොපෙළඹීමත්, අනවශ්‍ය ගැටුමකට තැත් නොදැරීමත් යහපත් ස්වාමි පුරුෂයෙකුගේ ලක්ෂණ වන්නට ඇත. නමුත් මට යහපත් සැමියෙකුට වඩා ආදරය හඳුනන මිනිසෙකු අවශ්‍ය බව පවසමින් හදවත හඬා වැටෙමින් තිබිණි. ආදරය නැති ලෝකයක ගල් ගැසී මට යළි දියව යන සංවේදී ගැහැනියක වන්නට ඕනෑ විය.

බලු පැටවා ගැන වෛද්‍යවරයා සමඟ අදහස් බෙදා ගත්තේ ලෝචනා ය. සීනු ඒවාට හරිහරියට සම්මාදම් වෙන අතර වෛද්‍යවරයා මවෙත හෙළුවේ හිතවත් බැල්මකි.

“මේ පවනි නේද?”

මම හිස වැනීමි.

“දේවක මගෙ බැච් මේට්නෙ. මට පවනිව මතකයි. “

කතාබහ දිගු කරගන්නට මට නුවුමනා විය. නමුත් පැරණි හිතවතෙකු වෙතින් මිදී පලා යාම ද පහසු නැත.

“ඒ අපේ ලියෝගෙ වෙට් නිසා මං මෙතනටම ආවේ. ඔහොම එකක් දන්නවා නම් කීයටවත් එන් නෑ…”

ලෝචනා ඈටම දොස් පවරා ගනිමින් වාහනය පදවන්නට වූවා ය. ඒ අතර සීනු ඇයට අයිස්ක්‍රීම් අවශ්‍ය බව කියමින් චුරුචුරුව ඇරඹුවා ය.

“ලෝචි,ඔයා දූ එක්ක බැහලා ගිහින් අයිස්ක්‍රීම් ගන්න. මං ටිමී එක්ක කා එකේ ඉන්නං..”

ලෝචනා කිසිත් නොකියා සීනු අතින් අල්ලාගෙන යන්නට ගියා ය. මම ටිමීගේ කුඩා හිස පිරිමදිමින් අතීතයේ සක්මන් කරන්නට පටන් ගතිමි. මා අසල තිබූ වීදුරුවට සියුම් තට්ටුවක් වැදෙන තුරු මා සිටියේ කල්පනාවේ ය..

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles