මන්දාරම් හැන්දෑවක – 42

මද්දහනේ හිරු දීප්තිමත් ව පායා තිබිණ.එහෙත් හිරු රැස් චණ්ඩ ලෙස නොදැනෙන්නේ වැව් දිය මුසු සුළඟ නිසා ද නැතිනම් හදවතට දැනෙන සිසිලස නිසාදැයි දිනිඳුට නොවැටහිණ.මේඝා ජනිඳු ගැන දැන ගත් පසු කුමක් වේදැයි සිතද්දී හදවත බියෙන් හිරි වැටී යන බව ඇත්තකි.එහෙත් ඔහුගේ ඇතුළාන්තය සොම්නසකින් පිරී යමින් තිබිණ.බොහෝ කාලයකට පසු හිනැහෙන්නට කාලය පැමිණ ඇතැයි දිනිඳු සිතුවේ කුඩා ඉනුලි මිදුල මැද හිඳගෙන “අම්මී….” යැයි හඬ ගසද්දී ය.

දියණියට මව් සෙනෙහස ලැබී ඇත.දැන් මේඝාගේ ආදරය අහිමිව ගිය ද කම් නැතැයි දිනිඳු සිතුවේ ය.

“අද උදේ පාන්දරම යාලුවෝ ජෝඩුව වලියක් ඇල්ලුවා.අපේ පුංචි එකී අතින් මොනවම හරි හිත රිදෙන දෙයක් කියවිල..වරුණගෙ අම්මම තමයි මහත්තයගෙ පොඩි එකාට මේඝා දුවට අම්මා කියන්න ඉගැන්නුවෙ.දැන් ඉතිං හැම කාරණැවක්ම ඉෂ්ට සිද්ද වෙන යන වෙලාවෙ දරුවගෙ සන්තෝසෙ ගැන හිතන එකනෙ වැදගත්.”.

දිනිඳුටත් තරිඳුටත් නිවස තුළට යන්නට සිහි කරන අතර වෙද මහතා පැවසුවේ ය.තරිඳු තම වැඩිමහල් සහෝදරයාට හෙළුවේ පුළුල් සිනාවකි.ඔහුගේ ජීවිතය සුන්දර වෙමින් පැවතීම ගැන තරිඳුට වූයේ සැනසීමකි.

“දොස්තර මහත්තයට වැඩ වැඩි නැති උදේ වරුවක් මට වෙන් කරල දෙනවද?”

වෙද මහතා එසේ කියද්දී සාලයේ අසුන් ගත් දිනිඳුට මතු වූයේ කුහුලකි.

“අර නුග ගහ ගාවින් බිනරලගෙ ගෙවල් පැත්තට වෙන්න තියන ඉඩම අපේ.සුදු මැණිකේට දෙන්න හිතන් හිටිය ඉඩමක්.දැන් සුදු මැණිකෙ කෙනෙක් නෑනෙ දොස්තර මහත්තය.මමයි වරුණලගෙ අම්මයි හිතන් ඉන්නව මේඝා දුවට එතන ගෙයක් හදවන්න.ඉඩම ලියල දෙන වැඩකටයුතුයි ගෙදරට මුල් ගල් තැබිල්ලයි එකම දවසක හරි කරවන්න ඕන..නිවාඩුපාඩුවෙ කරල දාමු.අපේ හාමිනේ වෙලාවක් එහෙම බලයිනෙ”

දිනිඳුට පෙර කතාව ඇරඹූයේ තරිඳු ය.

“අපේ තාත්තා සාධාරණේට වඩා අසාධාරණෙන් හම්බ කරපු කෝටි ගාණක දේවල් අහක දාලා ඇවිල්ල ඉන්න මගෙ අයියාට අලුතින් නැගිටින්න වෙද මහත්තයල කරන දේවල්වලට ස්තූතියි කියල මං ඒවා බාල්දු කරන් නෑ.ඒත් ඔය ගේ හදන වැඩේ වැඩි බර මම ගන්නං..මට කියල මේ රටෙන්වත් මොකුත් ඕන නෑ වෙද මහත්තය. මං බඳින්න ඉන්නේ ඇමරිකාවෙම ළමයෙක්ව.අයිය කොළඹ විතරක් එපා කරගත්තට මට තාත්තා නිසා රට ගැනම කළකිරිලා ඉන්නෙ. ඒත් ලංකාවට ආව වෙලාවට ඇවිත් නවතින්න රටවල් දෙකකට අයිති මගෙ ළමයින්ට තැනක් තියෙන්න ඕන.ලංකාව හරි ලස්සන රටක් කියල හිතන් ඉන්න මගෙ නෝනට ලංකාවෙ මිනිස්සුත් ලස්සනයි කියලා වෙද මහත්තයලා හාමිනේලා පෙන්නන්න මං කැමති.අයියගෙ ගේ හදන්න මාත් උදව් වෙනව.එතකොට ලංකාවෙ කියල මටත් මගෙ ගෙයක් තියනවා..”

දෙමාපියන් ගොඩ නැගූ ලෝකය සහමුලින්ම අතැර දමන්නට ඉටා ගත් සහෝදරයන් දෙස වෙද මහතා බලා සිටියේ කරුණාව උතුරා යන දෑසිනි.හදවත් බැඳීමක් මිස නෑදෑකමක් නොතිබූ දිනිඳු ඥාතියෙකු බවට සැබෑවටම පත් වීම ගැන ද ඔහු බිරිඳ තරමටම සතුටු විණි.

රජරට පිපෙන සියපත් වල සුවඳ වෙද ගෙදර වැසියන්ගේ හදවත් වලින් ද නික්මී ජීවිතය පටලැවී ගිය යුවතියකගේ තනි වූ තරුණ පියෙකුගේ සහ කුඩා දියණියකගේ ද ජීවිත සුවඳවත් කරමින් තිබිණ.

කියවන්න :  මන්දාරම් හැන්දෑවක - 9

සොබාදහම නිවැරදි දේ නිවැරදි මොහොතේ කරන්නට දැන සිටියේ ය.

මද්දහන ද පසුවුව ද ඔහේ නින්දට වැටී හුන් මිෂෙල් අවදි වූයේ කාමරයේ දොරට නොකඩවා ගසන හඬ නිසා ය.ඇය කම්මැලිකමින් නැඟී සිටියේ පාඩුවේ නිදා ගන්නට නොදෙන ගෘහ සේවිකාවට හොඳ දෙකක් කීමේ බලාපොරොත්තු ඇතිව ය.

“මොනවද බං මේ කර ගත්තේ?”

එහි සිටියේ ඇගේ මිතුරිය ආක්ෂා ය.ආක්ෂා මිෂෙල්ව කාමරය තුළට තල්ලු කර දමා දොර වසා දැමුවා ය.

“ජනිඳු එක්ක ඉඳගෙන මෙහෙම මඟුලක් කරගනී කියලා මංනම් හිතුව..”

ආක්ෂා කියද්දී මිෂෙල්ට බිය දැනිණ.එහෙත් ඈ සිතා හුන්නේ ඒවාට ජනිඳුගේ සම්බන්ධයක් නැති බව ය.එවැනි අනුමානයකට ආ මිෂෙල් කියවා යන්නට පටන් ගත්තා ය.

“අංකල් ඔය ඩ්‍රග්ස් කේස්වලට ඉන්වෝල් තමයිලුනෙ.ඒත් ජනී ඔය සීන්වල නෑ ආකි.එයාවත් අහු වෙලාද?අහු උනත් මං මොනව කරන්නද? මං පොලිසියට කියනව එයාගෙ ගර්ල් මේඝා කියල.මට නම් ඔය වාත සීන් අදාළම නෑ..”

ආක්ෂා ජංගම දුරකථනය ගෙන යමක් සෝදිසි කළේ මුහුණේ කෝපය තවරාගෙන ය. අනතුරුව එය මිෂෙල්ට දිගු කළේ ද කෝපයෙන් ය.

“මේක බලනව..ඕක තමුසෙටත් කරයි කියල මං කිව්වම එදා සෙට් එකම මට කෑගැහුව.දැන් බලනව මේ පැය හත අටකට වෙලා තියන හරිය..මං ෆේස්බුක් පවා අයින් කරා.තමුසෙ අපි එක්ක ඉන්න ෆොටෝසුත් පේජ් වල යනව.කොල්ලො අපෙනුත් ගණන් අහනව..”

මිෂෙල් ගැහෙන හදවතින් දුරකථනයට නෙත් යොමු කළා ය.මාස කිහිපයකට පෙර දිනක ඈ හුන් තැනම තමන් හිඳින බව පෙනෙද්දී මිෂෙල්ට ලෝකයම කැරකවෙන තරමට බියක් ද කෝපයක් ද එකවර දැනිණ.ඈ ගල් ගැසී බොහෝ වෙලාවක් සිටියා ය.

“අපේ කෙල්ලො සෙට් එකට එන්න කියහං ආකි.මොනව හරි කරන්න ඕන..”

ආක්ෂා ශෝකය සහ කෝපය අතරමැද බැල්මක් මිෂෙල්ට දුන්නේ සිදුව ඇති සෑම දෙයක්ම කියන්නට වෙන්නේ තමන්ට බව සිතමිනි.එහෙත් ඇය අගතියට පත් මිතුරියගේ අතකින් අල්ලා ගත්තා ය.

“මීෂා, හැමෝම ඔයාව අයින් කරල.වට්සැප්, මැසේන්ජර් ගෘප්ස් බලන්නකො. ඔක්කොගෙන්ම ඔයාව අයින් කරල. මම හිතන්නෙ අපේ ගොඩක් අය ඔයාව බ්ලොක් කරලත් වෙන්න ඇති.කිව්වට හිත රිද්දා ගන්න එපා ඔච්චර ඔයා එක්කම හිටිය දේෂි එහෙමත් ඔයාට හින්ට් එකට පෝස්ට් පවා ලියල.ලකීෂා සාමාන්‍යයෙන් කොහොමත් ෆේස්බුක් හෑලි ලියන කෙනානෙ.ඔයාට මතකනෙ මේඝාට මඩ ගහන්නම එයා මාර ගොඩක් දේවල් ලීවනෙ. අපි ඒවා කරේ ඔයා නිසානෙ.ඔයාගෙ ක්‍රෂ් එක මේඝාට ලව් කරපු හින්දනෙ.දැන් අන්න ලකීෂා ඒ වගේ හෑල්ලක් ඔයාටත් ලියල..”

මිෂෙල්ට හැඬෙන්නට පටන් ගත්තේ ය.එහෙත් ඈ මේඝා මෙන් ඉකි ලන්නට වූයේ නැත.කණ්නාඩි මේසය මත වූ සමහර දේවල් බිඳී යද්දී ආක්ෂා අසීරුවෙන් මිෂෙල්ව පාලනය කර ගත්තා ය.

“මේක ටිකක් අමාරු තැනක් මීෂා.ඔයාට හිතිල නැද්ද ඔයාගෙ පෙනුමට සමාන ගර්ල් කෙනෙක් ගැන.ෆීචර්ස්, ඇඟේ ශේප් එක..ෆේස් කට් සේරම..”

මිෂෙල් වහා හැඬීම නැවැත්වූවා ය.ආක්ෂා කියන දේ අනුව කල්පනා කළ ඇයට තැවෙන්නට දෙයක් නැති වග වහා සිහිපත් විණි.

“ඔව්! වැඩිය නොකිව්වට මං ඒක දන්නව.ඉතිං මේ සීන් එකෙන් මං නිදහස්නෙ.පේජ් ඇඩ්මින්ලා දෙතුන් දෙනෙක්ට කතා කරල වැඩේ ගොඩ දා ගන්න ඕන..”

කියවන්න :  මන්දාරම් හැන්දෑවක -35

ලෙහෙසියෙන් මට්ටු නොවන මිෂෙල් ගැන ආක්ෂාට ඇති වූයේ කෝපයකි. මේඝාට ජීවිතය කළකිරෙන තරමට මඩ ගසමින් ඒ දින ගෙවූ මිතුරියන් සියල්ලන්ම මිෂෙල්ව අතැර දමා අවසන් ය.එහෙත් ආක්ෂා මිෂෙල් වෙත ආවේ ඇය ජීවිතය නසා ගනිතැයි ඇති වූ බිය නිසා ය.නමුත් මිෂෙල් හැසිරෙන්නේ උදව් කරන්නට සිත් දෙන පරිදි නොවේ.

“ඔයාගේ හැඩරුවයි මේඝගෙ හැඩරුවයි එක වගේ නිසා ඔය සීන් එකටත් මේඝව අල්ලන්නද යන්නෙ?”

ආක්ෂා එසේ අසා මිෂෙල් අත වූ දුරකථනය ඉවතට විසි කළා ය.

“ඔව්,ඔය අලුතෙන් එන ඇක්ට්‍රස්ලට එහෙම හින්දියි බංගලියි කෙල්ලන්ගෙ සෙක්ස් ටේප් දාල මඩ ගහන්නේ.මේ වැඩෙත් ගොඩ දාගමු..”

ආක්ෂා හිසෙහි අත ගසා මිෂෙල් දෙස බලා සිටියා ය.පවසන්නට ඇති දරුණුම කතාව ද පැවසීමට අනතුරුව ඇය සූදානම් වූවා ය.

“මිෂෙල්, මේ අහන්න.දැන් හරි පරිස්සමින් මේක ඇක්සෙප්ට් කරන්න වෙනව ඔයාට.අර කලින් හැම වීඩියෝ එකේමත් ඉන්නෙ ඔයා කියල ෆේස්බුක් පුරා පැතිරිලා ඉවරයි.ඔයා ඒක හංගන්න ඔයා වගේ පෙනුම තියන අහිංසක කෙල්ලක් මාට්ටු කරා කියලා අන්න මිනිස්සු ඔයාට හෙණ ඉල්ලනව.මේඝාගෙ වීඩියෝ වල එයාගෙ ෆේස් එක ගොඩාක් ක්ලියර් නෑ. ඒත් මේ වීඩියෝ මාරම ක්ලියර්..”

මිෂෙල් උස් හඬින් වැලපෙන්නට පටන් ගත්තා ය.ඇය මේඝාට මඩ ගසමින් ඇගේ ඡායාරූප ෆේස්බුක් පිටු වෙත යවමින් හිතට එන සෑම බොරුවක්ම ලියා පෝස්ට් දමමින් ගත කළ කාලය සිහි කරමින් ආක්ෂා ඒ දෙස බලා සිටියා ය. ජීවිතය තුළ මේඝා ගත්තේ එක් වැරදි තීරණයක් පමණි.ඒ ඉන් මිෂෙල්ට වේදනා ඇති වේයැයි සිහිනයකින්වත් නොසිතමිනි.එහෙත් මිෂෙල් එයට ප්‍රතිචාර දැක් වූ නිහීන ස්වභාවයට ඇයට සොබාදහම ප්‍රතිචාර දී අවසන් ය. “අම්මා මැරුණට පස්සෙ ඔය ගෑනිට ඩිප්‍රෙෂන් තිබ්බලු.මං ඕකිට ආයේ ඕක වැඩි කරවලා මැරෙන තැනටම අරන් එනව..”මිෂෙල් කී අන්දම ආක්ෂාට අමතකව නොයයි.සැබෑවටම මේඝා ජීවතුන් අතරදැයි ආක්ෂා සිතුවා ය.ඒ නොදන්නා යුවතියගෙන් සමාව අයදින්නට තරම් ආක්ෂාට සිත් විණි.

“මේඝා නර්සරි එකේ සාරි ඇඳන් ඉන්න ෆොටෝසුයි කැලණිද කොහෙද සුදු දිග ගවුමක් ඇඳන් ඉන්න ෆොටෝසුයි දදා ෆේස්බුක් කවියෝ කවි ලියනව.අහක තියන වරදකට පැටලිලා දුක් වින්දට උපහාර කරනව.පේජ් කාරයෝ සමාව ගන්නව.ඒවා බලන්න ඒ ළමය නෑ තමයි.ඒත් මේ අපි එක්කම හිටිය යාළුවො කියන ගෑනු කමෙන්ට් කරනවනෙ ඔව් ඒ කෙල්ල අහිංසකයි, මේක මිෂෙල්ගෙ ප්ලෑනක් ගගා..”

මිෂෙල් ඇඳ විට්ටමේ හිස ගසා ගත්තේ වේගයෙනි.ආක්ෂා තවත් බොහෝ දෑ කියමින් ඇය සැනසීමට තැත් කළා ය.එහෙත් ආක්ෂා මිෂෙල් සනසනවා වෙනුවට සිදුව ඇති සෑම දෙයක්ම පැවසීමෙන් මිෂෙල් වඩා බිඳී යමින් සිටියා ය. තාරුකා මෙන් සියල්ලෙහි අර්ධ සත්‍යය පවසමින් මිතුරිය සන්සුන් කර ඇයට මේ මොහොතේ කළ යුතු හොඳම දේ කරන්නට ධෛර්යය දෙන්නට ආක්ෂා උදව් දුන්නා නම් සිදු විය හැකි නරකම දෑ වැළකෙන්නට පවා තිබිණ.

එහෙත් සියල්ල දෛවයට අනුවත් සොබාදහමේ නීතියට අනුවත් සිදු වෙමින් පැවතිණ.

5 1 vote
Article Rating
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Sudharshana Abeyrathne
21 days ago

නියමයි කෙල්ල.මට මාරම සතුටුයි.

Chamira
21 days ago

👍

සුජා
19 days ago

හරිම
සතුටුයි . බූමරෑන්ග් එකක් වගේ ආපහු ඇවිත් ඔක්කොම සටකපට නරි වැඩ..

දෑන් ඉතින් ජනිඳුට තේරෙයි මැණිකට පයින් ගැහුව රඟේ..

දිනිඳු ඉක්මනට ඇත්ත කියලා මේඝාව ගන්න