අහංකාර නගරේ – 02

මගේ රහස් පරීක්ෂක ඇස් දෙක මම මතු මහල පුරා දුවන්නට හැරියෙමි. මට නවාතැන් ලැබුණු කාමරයේ දොර විවර වන්නේ පටු කොරිඩෝරයකට ය. මේ කාමරයට සම්මුඛ ව තවත් කාමයක් ඒ කොරිඩෝරයට ම විවර වී තිබේ. කොරිඩෝරයෙන් සඳැල්ලට විවර වන පොදු දොරක් වන අතර, එය මතු මහලේ සිටින ඕනෑ ම කෙනෙකු ට සඳළුතලය වෙත පිවිසීමට භාවිතා කළ හැක. ඊට අමතර ව කාමර දෙකේ උස් වීදුරු ජනේල වලින් ද සඳැල්ල ට පිවිසෙන්නට පුළුවන.  බුම්මට්ටා මට සම්මුඛ කාමරයේ පදිංචි වී සිටිනවා ද නැත්නම් ඔහු කොරිඩෝරයේ පොදු දොර භාවිතා කරමින් සඳැල්ලට ආවාද කියා නම් ඒ වෙලාවේ මට නිශ්චය කර ගත නො හැකි විය. 

මේ කාමර දෙක ම කුඩා ආලින්දයකට විවෘත වූ අතර, තවත් කාමර දෙක තුනක් ම මතු මහලේ වන බව මට දකිත හැකි විය. 

රාත්‍රිය උදා වෙත්දී වටාපිටාවේ හැම නිවසක ම විදුලි පහන් දැල්වෙන්නට ගන්නේ අමුතු ම ලෝකයක් මවා පාමිනි. මේ තරම් කාමර ගණනක් ඇති විසල් නිවෙසක කොපමණ පිරිසක් වාසය කරනවා දැයි මට තවමත් අනුමානයෙන් හෝ සිතා ගත නො හැකි විණි. මේ වන තුරුත් මා දැක තිබුණේ විදුහල්පති තුමා හැරුණු විට මෙහෙකාරිය හා බුම්මට්ටා පමණකි.

ගමේ ගෙවල් කුඩා ය. ඒවා ඇතුළේ ලොකු පිරිසක් එකට වැටී ජීවත් වෙති. නගරයේ විශාල ගෙවල් ඇතුළේ හිඳින්නේ හුදෙකලා ආත්ම දෙක තුනක් විය හැකි යයි මම අනුමාන කළෙමි.

හෙට සිට ජීවිතය පටන් ගත යුත්තේ කොතැනකින් දැයි සිතන්නට මට ඕනා විය. නමුත් මා නියමිත තැනක් දන්නේ නැත. කොතැනකින් හෝ ඇරඹිය යුතු බව පමණක් දනිමි.

“නොදන්න රට රාජ්ජ වල යන්න හීන දකින්නෙ නැතුව හිටහං කෙල්ලෙ. මේ හේනක් කොටා ගෙන කාගෙ හරි කුඹුරු වැඩකට උදවු කොළහම උඹටයි මටයි කාලා ඉන්න බැරි නෑ නොවැ”

මා කොළඹ එන්නට හීන මවන්නට වූ කල කිරි අම්මා කීවා ය. කටු මැටි බිත්ති ගසා ගොම මැටියෙන් බිම සැකසූ අපේ පැල්පතේ, ජීවත් වන්නට අවශ්‍ය කාරණා සැපයී ඇති බව ඉත සිතින් ඇදහූ කිරි අම්මා කෙනෙකු පමණක් මට මගේ කියන්නට සිටින්නී ය. අපේ හේනේ කුරහන් මෙනේරි වැවේ. කුරහන් තලප වූ කලී අපේ පමණක් නොව කලාපයේ බොහෝ පවුල් වල ජාතික ආහාරයයි. හේන් වල වට්ටක්කා වැවෙන තාක් කල් අප ට වට්ටක්කා දලු මාළුවකින් බත සනසවා ගන්නට පුළුවන. අපි මොණර මාළු ගැන හීන නො දැක අල කොළ වලට මාළු කියන මිනිසුන් වන්නෙමු. 

“කොළඹ ඉඳල ඇවිත් අපේ ඉස්කෝලෙ උගන්නපු ගණං ටීචර් හැමදාම කිව්වෙ ළිඳේ ඉන්න ගෙම්බො වගේ මේ ගම් වලට වෙලාම ඉන්නෙ නැතුව පොඩ්ඩක් කොළඹ පැත්තට ඔළුව දාගන්න බලන්න කියලයි කිරි අම්මෙ”

මම මගේ හීන ලෝකය තුළ කිමිදී ගෙන කියමි. ඒ හීන ලෝකය වර්ණවත් කළේ ගණිතය උගන්වන්නට පැමිණි ගුරුතුමී බව මට විශ්වාස ය. නගරයේ උගත් ගුරුවරු ගමේ පාසල් වලට එන්නේ පස් වසරක දුෂ්කර සේවය අත්‍යවශ්‍ය බැවිනි. ඔවුන් ඉරිදා හැන්දෑකරේ මහියංගනයට එන්නේ සිකුරාදා දවල් ඉස්කෝලේ ඇරුණ ගමන් යළි කොළඹ දුවන සූදානමිනි. ඒ අවුරුදු පහ ගෙවී යන තෙක් ඔවුන් ඇඟිලි ගණිනා යුරු මම අවබෝධ කොට ගෙන සිටියෙමි.

“මේවයෙ ළමයි කොච්චර කිව්වත් ඉගෙන ගන්නෙත් නෑ. දෙමව්පියන්ට ළමයින්ට උගන්නන්න කියල ඕන කමකුත් නෑ. දවසක් ආවොත් ඊළඟ දවස් හතරම ඉස්කෝලෙ එන්නෙ නෑ. හොයාගෙන ගුරුවරු යන්න ඕනෙ හේන් කුඹුරු ගානෙ. එහෙම යන ගුරුවරු දැක්කහම ළමයි විතරක් නෙවෙයි දෙමව්පියො ත් කට්ටි පනිනව. එහෙම එකේ මොන එහෙකට අපිව මෙහෙට හිර කරනවද මන්දා. ඉගෙන ගන්න ළමයි ඉන්න පලාත් වල ඉස්කෝල වලට ට්‍රාන්සර් කළා නං අපිත් ආසාවෙං උගන්නනවනෙ”

ගමට නගරයෙන් එන එක එක ගුරුවරුන් ගෙන් ඔය වගේ කතා මා ඕනෑ තරම් අසා තිබේ. නගරයේ සිට එන ගුරුවරියන් දෙස බලා ඉන්නට කුඩා කල සිට ම මම විශේෂ ආශාවක් දැක්වූයෙමි. ඔවුන් ගේ පිළිවෙල අමුතු ය. සාරිය අඳින්නේ කොණ්ඩය පීරන්නේ පවා ගමේ ගුරුවරියන් ට වඩා වෙනස් රටාවකට ය. ඔවුන් ගේ කතා කරන ආකාරය පවා වෙනස් ලතාවකි. ඒ සියල්ල මගේ ළමා ලෝකය වසඟ කර ගෙන තිබිණ. දවසක නගරයේ ගුරුවරියක වාගේ ඇඳුම් ආයිත්තම් කරන්නටත් කතා බහ කරන්නටත් මම සිහින මවා ගෙන සිටියෙමි.

කියවන්න :  අහංකාර නගරේ -03

“මෙව්නා මේ වන්නිකරේ කෙල්ලෙක් කියල පෙනුමෙන්නං කියන්න බෑ. මෙව්නා ඉන්න ඕනෙ කොළඹ. අපරාදෙ මේ කැලේ පිපිල පර වෙලා යන්නෙ”

ගණිතය ගුරුතුමී එසේ ද කීවා මට මතක ය. කොළඹ ගැන සිහිනයක බිජුවට මගේ හද්දා වන්නි සිත් හි රෝපණය වූයේ එහෙම ය. නමුත් ගමේ විදුහල්පති තුමා කීවා සේ කොළඹ ය කියන්නේ ලෙහෙසියෙන් පාර හොයා ගත හැකි නගරයක් නො වන බව මේ හෝරා කිහිපය තුළ දී මම මොනවට පසක් කර ගෙන හිඳිමි.

“මැඩම් කියනව ඔය ළමයටත් කෑම කන්නලු”

මම තිගැස්සී ගිහින් හැරී බැලුවෙමි. නන්දාවතී කාමරයේ දොරටුව අභියස අහංකාර ලීලයකින් සිටියා ය.

“මැ…ඩම්…”

“ඔව්. සර් කියල ගියේ ඔය ළමයගෙ කෑම බීම ටික දෙන්න කියලනෙ”

“ප්‍රින්සිපල් සර් නැද්ද ඇයි…”

“සති අන්තෙ සර් ඉන්නෙ මෙහෙ නෙවෙයි. සර්ගෙ වත්තක”

හදිසියේ ම මහත් භීතියක් මගේ හදවතට කඩා වැදුණා සේ ය. මේ විදුහල්පති තුමා අපේ විදුහල්පති තුමා ගේ පරණ මිත්‍රයෙකි. මේ කොළොම් පුරය ට මගේ මහියංගන ගම් පියස යා කරන එක ම පෙකණි වැල වූයේ ඒ සම්බන්ධයයි.  නමුත් දැන් මෙහි ඔහු ත් නැත. මා සිටින්නේ කිසි සේත් මා නො දන්නා මිනිසුන් සමූහයක් අතරේ ය.

“මට…බඩගින්නක් නෑ. කමක් නෑ…කන්න ඕන නෑ”

මම වියළී ගිය උගුර යටින් අසීරුවෙන් කියා ගතිමි.

“අනේ අනේ මේ. මට මෙතන කාවවත් හුරතල් කර කර ඉන්න වෙලාවක් නෑ. පහළට එන එකයි. මැඩම්ල කෑම කන්නයි හදන්නෙ”

මගේ සැලී ඇති හිත ගැන කිසිදු සංවේදීත්වයකින් තොර ව ඇය නික්ම ගියා ය. දැන් ඉතින් කුමක් කළ යුතු දැයි මම සිතන්නට වූයෙමි. මොනවා වුණත් ඊට මුහුණ දිය යුතු ය. මා මේ නාඳුනන නුවරකට ආවේ වෙන දෙයක් වුණාවේ කියන චේතනාව පෙරදැරිව ය. 

හිත සවිමත් කර ගෙන මම පිය ගැට පෙළ බහින්නට වූයෙමි. මගේ ඇඳුම්, මහියංගනයේ පොළෙන් ගත් ලාබ හා බාල ඒවා ය. මම ඒ බව දැන සිටියෙමි. නමුත් මට තියෙන්නේ ඊට වඩා බෙහෙවින් වටිනා ආත්මයක් බවට ගණිතය ගුරුතුමී කියූ කතාවක් මට සිහි විය. මම කිසිදු හීන මානයක් හෙළි දරවු නො වන සෙයින් හිස කෙළින් කර ගෙන පිය ගැට පෙළ බැස්සෙමි.

යුවතියෝ දෙදෙනෙක් ආලින්දයෙහි වූහ. එක්කෙනෙක් කෑම කමින් රූපවාහිනිය දෙස බලා සිටියා ය. මා දුටු ඕ නෙතු ඔසවා බැලුවා ය. මම, පහළ මාලයට එත්දී වත තවරා ගෙන ආ මඳහස ට සිනහවක් ව පිපෙන්නට හැරියෙමි. ඇය යන්තම් තොල් කොනක් සෙලවූවා පමණකි. එහිත් වූයේ සමච්චලයක් කියා මට සිතිණි.

අනිත් යුවතිය හිඳ සිටියේ කෑම මේසයේ ය. ඇය ඉංග්‍රීසි සඟරාවක් බලමින් හිඳ, මගේ සිනහව කිසි සේත් නො පිළිගන්නා බැල්මක් හෙළා යළි සඟරාව දෙස බලා ගත්තා ය.

“ආ එන්න එන්න. ඇවිත් කෑම කන්න”

ඇරයුම මැදි වියේ වන සුදු හීන්දෑරි කාන්තාවක ගෙනි. විදුහල්පති තුමා ගේ බිරිඳ ඇය කියා මම අනුමාන කළෙමි. ඈ සිටියේ කෑම මේසයෙහි හිඳ පාන් පෙත්තක බටර් තවරමිනි. ඔය පාන් රොඩු කා නිදත හැකි දැයි මට සිතිණි. අපට නම් පාන් කෑ විට බඩේ දැවිල්ල එයි. බත් නැත්නම් කුරහන් තලප ටිකක් හෝ නොකා නිදන්නට නම් නුපුළුවන.

“කෑම කන්න. ඔයාව අඳුරගන්නවත් බැරි වුණානෙ. මං ජයශාන්ත ගෙ වයිෆ්. මේ අපේ පොඩි දුව ශෙනාලි. මෙයා ෆැෂන් ඩිසයිනිං කෝස් එකක් කරනව. අර ලොකු දුව  අශ්විනී. ලෝ ස්ටුඩන්ට් කෙනෙක්. පුතා නං රූම් එකේද කොහෙද”

මම නූඩ්ල්ස් මේස හැන්දක් තරම පිඟානට බෙදා ගෙන සිටියෙමි.

“ඩයට් කරනවද…ඒක හොඳයි දැම්ම පටං ගන්න එක. චබී වුණාට පස්සෙ බර අඩු කරන්න ලේසි නෑ. මං මේ දෙන්නටත් නිතර ම කියන්නෙ වැඩිය කන්න එපා කියලයි”

ජයශාන්ත මැතිණිය ඇස් නටවන බෝනික්කියක සේ කියවූවා ය. විදුහල්පති තුමා වගේ දේහධාරියෙකු හා ඇය ගැලපුනේ කොහොමද කියා සිතන්නට මට ඕනා විය. නමුත් එක තත්පරයකින් ඒ සිතිවිල්ල මට අමතක වී ගොස් තිබිණි.

“මොකද්ද ඔයාගෙ නම…”

“මෙව්නා”

“අමුතු නමක්. මෙව්නා කොහේද..”

“මහියංගනේ”

බාල දුව ශෙනාලි හිචිස් ගා හිනැහුණා ය. නිසැකව ම ඇය ට ආදි වාසීන් සිහිපත් වන්නට ඇත.

“මේක ඉතිං දඹානෙ අයත් කැම්පස් යන කාලයක්නෙ අනේ”

කියවන්න :  අහංකාර නගරේ - 01

දූ වරුන් ගේ අම්මා කතා කළේ අප සැම කෙරේ උපන් අති මහත් දයානුකම්පාවකින් සේ ය. එක එක දේවල් කියන්නට මගේ දිව නළියෑවේ ය. නමුත් මට හිසට සෙවනක් ලැබී තිබෙන්නේ ඔවුන් ගෙනි. අනිත් අතට මුළු මහත් කොළඹ ප්‍රජාව ම අප ගැන එහෙම හිතන එකේ ඔවුන් ගැන විතරක් අහිතක් ඇති කර ගෙන කිම් දැයි මම උපේක්ෂා සහගත වීමි.

බුම්මට්ටා හැල්මේ කෑම මේසය වෙත ආවේ ඔය අතර ය. ඔහු පිඟානක් ගෙන එතන වූ හැම දේකින් ම ටික ටික ඊට දමා ගත්තේ වටේ සිටි කිසිවෙකු ගැන කිසදු වගක් නැතිව ය.

“මේ තමයි අපේ පුතා සිතිජ. අර දෙන්නගෙ මැද එක්කෙනා. මෙයා මොරටුවෙ. එංජිනියරිං කරන්නෙ”

ඔහු මදෙස බලන්නට හෝ උනන්දු වූයේ නැත. බුම්මට්ටා! සිතිජ වාගේ නමක් ඔහු ට ගැලපෙන්නේ නැත!

ඔහු කෑම මේසයේ තබා ආලින්දයේ පැත්ත පලාතක හෝ නො සිට, පිය ගැට පෙළ නැග මතු මහළ ට ගියේ ය.

“අපේ ගෙදර තව කැම්පස් යන ළමයෙක් ඉන්නව. ජයශාන්ත ගෙ දුරින් නෑදෑ වෙන ගර්ල් කෙනෙක්. එයා ජපුරෙ”

ඇයත් මේ වාගේ ම තැනැත්තියක් වෙන්නට ඇත කියා සිතුණෙන් මම උනන්දුවක් නො පෙන්වීමි.

“මේ ටිකේ ඒ ළමය ගෙදර ගිහිං. අපේ ජයශාන්ත ඉතිං එයාගෙ ගමේ නෑයො ඔක්කොටම පැනපු ගමං මෙහෙ නවාතැන් දෙන්න ලෑස්ති පිටනෙ ඉන්නෙ”

ඇය ඒ ඇනුම් පදය කීවේ මට ද යන සැකය මා තුළ ඇති නොවූවා ම නොවේ. නමුත් ඒ ගැන ප්‍රශ්න කරන්න ට මා කවුරුන් ද? මම ලොකු හුස්මකින් පෙනහලු පුරවා ගෙන, හඬ නො නැගෙන සේ ඉතා හෙමිහිට ඒ පිට කොට හළෙමි.

“අම්මිත් ඉතිං කරන්නෙ සෝෂල් සර්විස් මනෙ”

බාල දුව එසේ කීවේ අවඥාවකින් වාගේ මට දැනිණි. නමුත් මට එහි සුල මුල තේරුණේ නැත.

“මං සෝෂල් සර්විස් කරන එක අපේ පවුලට තත්වයක්”

මිසිස් ජයශාන්ත හිස ගස්සා කීවා ය. ලොකු දුව අශ්විනි ගේ කට කොනක සිනහවක් නටනවා මට පෙනුණේ ය. නමුත් ඇය බුම්මට්ටා සේ ම වචන වලට මහ වටිනාකමක් ඇතැයි සලකා ගෙන වචන නාස්ති නොකර සිටියා ය.

නූඩ්ල්ස් රැල් කිහිපයක් බඩට දමා ගත් මම ලොකු වතුර වීදුරුවකින් ආමාශයේ හිස් තැන් පියවා ගතිමි. හැම දා ම මේ නාඳුනන මිනිසුන් ගෙන් කුස තර කර ගත නො හැකි බව මම දනිමි. මා ඉල්ලා සිටියේ ත් හෙවනක් පමණකි. 

“මං…කාමරේට යන්නද මැඩම්…”

“ඕකේ ඩියර්. ආ…මගෙ නම කියන්න බැරි වුණානෙ. මං රෝස්”

මම නො වෙනස් සිනහවෙන් ඉක්මනින් පිය ගැට පෙළ වෙත පැන ගතිමි. මට ඕනෑ කර තිබුණේ හනි හනික තනි වෙන්නට ය.

ඔවුන් ඇසුරේ සිටි ඒ විනාඩි කිහිපය මා තුළ බලවත් වෙහෙසක් ඇති කොට තිබෙනවා සේ දැනේ. නගරයේ ජීවිත කියන්නේ ව්‍යාජයක් ද? මට ඉවෙන් වාගේ එබන්දක් දැනෙන්නට ගති. නමුත් ගණිතය ගුරුතුමී කතා කරත්දී කිසි සේත් මට එහෙම දැනී නැත. සිතී නැත. 

මහියංගනය වෙත පැන දුවන්නට මට සිත් විය. අපේ කටු මැටි ගෙපැල ඇතුළේ වන අව්‍යාජ ජීවිතය කොළඹ අහස යට යන්තමින් ගෑවී හෝ නැතිවා වත් ද? 

රාත්‍රියේ මට නින්ද ගියේ ම නැත. උදේ ම නැගිට සූදානම් වූ මම, කුමක් හෝ අරමුණක් සොයා ගන්නෙමැයි අදහසින් බැහැර යන්නට පහළ මාලයට පිවිසියෙමි. නන්දාවතී හෝ පේන්නට සිටියේ නැත. මම ප්‍රධාන දොර අගුල ට අත තැබුවෙමි. අගුලු ලා නො තිබුණෙන් දොර හැරිණ. නමුත් ගේට්ටු වසා දමා තිබුණේ ය. මම වට පිට බලමින් මිදුලට බැස්සෙමි. බුම්මට්ටා තණ පළසෙහි ව්‍යායාම කරමින් සිටියේ ය.

“මං…එළියට යන්න…”

මම අත් දෙක ද යොදා ගෙන අභිනයෙන් සේ කතා කළෙමි. මට ඕනෑ පිවිසුම් දොරටුව හැර ගන්නට කියා ඔහු වටහා ගන්නට ඇත. නො සැලකිලිමත් ගමනකින් ආලින්දයට කර පෙවූ ඔහු, කුඩා යතුරක් වැනි  යමක් ගෙන එබුවේ ය. මා ඉදිරියෙහි වන දැවැන්ත ගේට්ටුව ඉහළ යමින් තිබිණ. මට දැනුණේ මේ විසල් නගරය පා මුළ මා ඉතා ක්ෂුද්‍ර වූ කදෝ පැණියෙකු වාගේ ය.

ඔහු වෙතට බැගෑපත් මෝඩ බැල්මක් තවරන ලද ඉක්මන්  සිනහවක් හෙලූ මම හිස ද මඳක් පහත් වන සේ ඒ සුවිසල් අවකාශයෙන් රිංගා පිටතට ආවෙමි.

4.3 8 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
16 days ago

👍

දිල්හාරා ❤️
16 days ago

❤️❤️❤️