ඒ රාත්‍රියේ තුරුලිට නින්ද දිගු විණි.දතක අමාරුවක් යැයි කාර්යාලයට ද පවසා නිවාඩුවක් දමන්නට ඇය තීරණය කළේ ඇඳේ එහෙමෙහෙ පෙරළෙමින් සිටිය දීම ය.
“අක්කා..අපි සිංහරාජෙ යනවා මේ වීකෙන්ඩ්.කෑම්පින් කරන්න තමයි හිතන් ඉන්නෙත්.ටිකක් හිත හරියන්න හිතාගෙන යං ද?
මැදියම් රැය ගෙවෙද්දී කාමරයට ආ සඳලි ඇසුවා ය.තුරුලි එකෙලමෙකෙල වන්නට ගත්තා ය.
“රනුක එන්නේ නැද්ද ඉතිං..”
අක්කා මුහුණ වටා අත දමා නහය අල්ලන හැටි ගැන සිනාවක් උපදින්නට ආවත් එහි සිනාවට කාරණාවක් නැති බව සඳලි සිතුවා ය. ඇය මේ තමන්ගේ පෙම්වතා ගැන විමසන්නේ ආදිත්‍යගේ සුපුරුදු ස්වරූපය ගැන කියන්නට බව සඳලි වටහා ගත්තා ය.
“මේ අපේ ෆැකල්ටි යාලුවො ටිකක් යන ගමනක් අනේ. රනුක ඉන්ජිනියරිංනෙ.එයාට ඉතිං අපි එක්ක ඇවිත් මක් කරන්නද..මගෙ කොල්ල කියලා එයා එල්ලිලා එන්න ඕනයැ.ඒ නිසා මට ගිහිං එන්න කීවෙ..”
තුරුලි විස්සෝපයෙන් නැගණිය දෙස බලා සිටියා ය.සැබෑවටම කණගාටු වන්නට උවමනා තමන් ගැන වුව ද ඇය නංගී ගැන කණගාටු වන්නට පටන් ගත්තා ය.
“ඔයාට රනුකව ෂුව ද නංගි?”
“ඔව්, ඇයි..”
“නෑ ඉතිං.ඔයා ඕන එකක් කරගත්තට කමක් නෑ වගේ ඉන්නෙ.හරි පුදුමයි.ඔයා කොහෙ ගියත් කා එක්ක ගියත් වැඩක් නෑ වගේනෙ. ආදිත්‍ය එහෙමනං ඔහොම යන්න අහනවටත් මට බැනලා.”
රාත්‍රී ආලේපයන් මුහුණේ තවරමින් සිටි සඳලි සැබෑවටම හඬ නගා හිනැහුණා ය.”නීති දමන මිනිහෙකු” ඇඟේ අලවාගෙන අක්කා විඳින ජීවිතය ඇයට මහා ගැටළුවකි.නිදහස් ජීවිතයක් හිර කරගෙන දහ අට නීති දැමීම ප්‍රේමය නොවන බව රනුක දැන සිටියේ ය.පොතක සිර වී හෝ චිත්‍රපටයක ට ඇස අලවා නිවාඩු දිනයක අලසව වැතිර සිටින්නට කැමති රනුක කඳු නඟින්නටත් ගඟක මුහුදක බැස නටන්නටත් ප්‍රිය කරන සඳලිට ඒවා කිරීම තහනම් කිරීම ඔහුගේ ආදරය වූයේ නැත.මිතුරන් සමඟ සංචාරයේ ගොස් පැමිණ විස්තර කියවන සඳලිට ඇහුම්කන් දීම ආදරය යැයි ඔහු සිතුවේ ය.ඇගේ මිතුරන් ට ද මිතුරියන් ට ද හොඳ මිතුරෙකු වූ රනුකට සඳලිගේ මිතුරු කැල ද දැක්වූයේ දැඩි සෙනෙහසකි.ඔවුන්ගෙන් රනුක බැනුම් අසන එකම කාරණාව චාරිකා එන්නට අදිමදි කිරීම පමණක් ම විය.
“අක්කා,රනුක පොඩ්ඩක්වත් ආස නෑ ට්‍රැවලිං වලට.එයාගෙ විදිය වෙනස්.ඔයා දන්නවනෙ පොඩි කාලේ ඉඳන් මං ආස ට්‍රිප් යන්නනෙ.ඉතිං රනුක මට යන්න නොදී මාව හිර කරන් හිටියොත් මං කොච්චර අවුල් යයිද?
නංගිගේ පැනයට තුරුලි පිළිතුරු දුන්නේ තවමත් ඇදුම් කන කම්මුල අතකින් අල්ලාගෙන ය.
“ඒ උනාට අපිට පුලුවං වෙන්න එපැයි අපි ආදරේ කරන කෙනාට ඕන විදියට හැදෙන්න.අපි මොකටද පිරිමින්ට උඩින් යන්නෙ..”.
තව දුරටත් අක්කාව චාරිකාවට කැඳවන්නට සඳලිට හිත දුන්නේ නැත.කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක උගත් කාලයේ ඉතා පුළුල් දැක්මකින් ලෝකය දකින්නට හුරුව සිටි ඇය උසස්පෙළ පන්තියෙන් පසු වෙනස් වූ අන්දම සඳලි සිහි කරන්නේ ශෝකයෙනි.ආදරය ඉල්ලමින් නොනවත්වාම පසුපස ආ ආදිත්‍ය නම් ප්‍රේමවන්තයෙකු කරගන්නට තරම් වටිනාකමක් නැත්තෙකු බව තුරුලි වටහා ගත්තේ නැත.ඇය ඔහුට දැඩිව ආසක්ත වෙමින් සිටියා ය.ආදරය උපදින්නට හේතු කාරණා නුවුමනා බවත් අක්කා කාලයත් සමඟ සත්‍යය වටහා ගන්නා ඇති බවත් සඳලි උදක්ම බලාපොරොත්තු විණි.මුල්ම රතු එළිය වැටුණු කාලය ඇයට තවම මතක ය.
“ඔයාට මගෙ ඩෙනිම් ටිකත් ඇන්දැකි..”
අක්කා දිනක් එසේ කියද්දී සම නිවුන්නන් නොවී විෂම නිවුන්නන් වූ නිසාම සඳලි වහා පරීක්ෂාකාරීව අක්කා දෙස බැලුවා ය.
“ඔයා කෙට්ටු වෙලාද, එක්සෑම් ස්ට්‍රෙස් වලටම ගිලල ගිලල මං තඩි වෙලා හලෝ.”
නමුත් ආඩම්බර සිනාවක් තොල් මත තෙරපා ගත් තුරුලි පැවසුවේ සඳලි සිහිනයෙනුදු නොසිතූ කතාවකි.
“ආදි අයියා කැමතිම නෑ මං ට්රවුසර්ස් අඳිනවට.කෙල්ලක් විදියට ගවුම් අඳින්න කියලා ඊයෙත් කෑගැහුවා.ආයේ ඩෙනිම් ඇන්දොත් කන පැලෙන්න ගහනව කිව්වෙ..”
සඳලි එදා අක්කාට කඩා පැන්නේ කෝපයෙනි.මෙවැනි බොලඳ තැනක ඇය සිරවීම ගැන කෝපයෙනි.
“මොන ගොං කතාවක්ද හලෝ ඒ. තාත්තගෙ සල්ලිවලින් ගන්න ඇඳුමක් අඳින්න උගෙන් අහන්න ඕනද. අනික අම්මායි තාත්තයි අපිට නිකංවත් පාරක් ගහන් නෑ.කොහෙවත් ඉන්න ගොං මූසලයෙක් ගහයි කියලා ගැම්මට කියන්නේ තමුසෙට පිස්සුද?”
තුරුලි එදා පැවසුවේ සඳලිට කෝපය කිහිප ගුණයකින් වැඩි කරන කතාන්දරයක් විණි.ඒ නිසා අධික කෝපයට පත්ව අක්කාට ඕනෑ එකක් කරගන්නට හැර සිටීම නිසා තත්ත්වය මේ තරමට අවුල්සහගත වූවාදැයි සඳලිට සිතිණ.අක්කා එදා සිතුවේ තමන්ට ප්‍රේම සම්බන්ධතාවයක් තිබෙන නිසා නංගී ඊර්ෂ්‍යාවෙන් බරව හිඳින බව ය.ආදිත්‍ය වැනි ප්‍රේමවන්තයෙකුට ඊර්ෂ්‍යා කරනවා යැයි සිතීම ම විහිළුවක් බව සිතූ සඳලි එතැන් පටන් අක්කාගේ ආදර කතාව අමතකම කර දැමුවා ය.
“මට ඇත්තටම වැඩකුත් නෑ තමයි.ඒත් මේ මෝඩ කෙල්ල දවසින් දවසට දුක් විඳිනකොට මට ඉවසන් ඉන්නත් බෑනෙ..”
සඳලි සිතුවේ කණගාටුවෙනි.සැබෑවටම ඒ මොහොතේ ද තුරුලි සිටියේ හඬමිනි.ආදිත්‍ය තමන්ට පහර දී බැන වැදුණු පසු තවම එකම ඇමතුමක් වත් දුන්නේ නැත.හැම ඇමතුමම විසන්ධි කර දමන්නට ද ඔහු වග බලා ගත්තේ ය. තුරුලි හඬමින් යැවූ කෙටි පණිවිඩයකට ආ එකම පිළිතුර සහමුලින්ම අසභ්‍ය වචනයෙන් පිරී තිබිණ.තුරුලි එය දෙස බොහෝ වෙලාවක් බලා සිටියා ය.
“ඔච්චර නපුරු වෙන්න එපා රත්තරං.ඔයා කේන්ති ගද්දිත් මං ඔයාට ආදරෙයි.”
ඇය පිළිතුරු ලෙස එසේ ලියා යැව්වා ය.කාර්යාලයට නොගොස් සිටිය ද ඔහු බලන්නට ඔහුගේ වෙළඳ සැල වෙත යන්නට ඇය තීරණය කළා ය.මුහුණ නපුරුකමින් පුම්බාගෙන කෑගසන තරුණයාට බැගෑපත් වෙමින් හඬන්නට ගත් විට ඔහුගේ කෝපය සිඳී යන බව ද ඉන්පසු තමන්ව වැළඳ “මට ඉන්නෙ ඔයා විතරනෙ.ඇයි ඔයාට මගේ කේන්ති අවුස්සන්නෙ නැතුව ඉන්න බැරි” යැයි අසනා බව ඇය දැන සිටියා ය.දැන් දැන් ඔහු කෝප කිරීම ගැන ඇයට ඇය කෙරෙහිම කෝපයක් ඉපදෙමින් තිබිණ.
“ගෑනු උනාම ඉවසන්න ඕන.අනික කෙහෙම්මල් පාස්වර්ඩ් එකකට වඩා මට ඔයා කොච්චර වටිනවද?” ඇය සිතුවේ ශෝකයෙනි.