ඈත දුර ආකාසේ -06

රශ්මි ඈත මුහුදු තීරය දෙස දෑස් යොමාගෙන හුන්නේ හිනැහෙමිනි.කුඩා දැරියක මෙන් නටා දඟලන තරමට සතුටකින් ඈ පිරී යමින් තිබිණ.බොහෝ කාලයක් තිස්සේ හිතේ පැවති සිහිනයකට අත්තටු හිමි වෙමින් තිබිණ.ඇය සිටියේ කියා ගත නොහැකි තරමට සතුටකිනි.

“ආදි, මං දැනන් හිටියා ඔයා මට සැලෝන් එක දාලා දෙනවමයි කියලා..”

ඇය කියන්නේ උතුරන ප්‍රීතියකිනි.ආදිත්‍ය දෑස් සිහින් කරමින් හිනැහුණි.රශ්මි දෝතින් ඔහු වැළඳ ගත්තා ය.

“ඉතාලි සල්ලි තමා..”

ආදිත්‍යගේ සිනහවට හවුල් නොවී ඔහු ප්‍රතික්ෂේප කළ යුතු වුව ද රශ්මි හිනැහුණේ ආදිත්‍යටත් වඩා වේගයෙනි.

“ඔයා ඔය සමයම මැරි කරලා ඉතාලි යන්නකො..ඉවරයිනෙ වැඩේ.. “

ඇයට ආදිත්‍ය සදහටම අයත් කරගන්නට නුවුමනා ය.ඔහු තුරුලිගෙන් පැහැර ගන්නා හැම සතයකම වැඩි අයිතිය තමන්ට බව ඇය දැන සිටියා ය. ඒ ප්‍රමාණවත් ය ආදරය වැනි නොවටිනා සාධකයකට වඩා රාගය ද මුදල් ද ජීවිතයට අත්‍යවශ්‍යම බව ඇය ඇදහුවා ය.ඉතින් ඇයට අවශ්‍ය වූයේ ඒ අරමුණු පමණකි.එපමණකි.

“මම කොහොමද සුදූ ඔයා නැතුව ඉන්නේ..”

ආදිත්‍ය මත් වූ ස්වරයකින් කියද්දී රශ්මි කපටි සිනාවක් නගා ගත්තා ය.

“බිස්නස් එකක් පටන් ගන්නකො ඉක්මනින්ම..අපි කරන් යං..”

ආදිත්‍ය ඒ බස අදහන බව ඇයට විශ්වාස ය.තුරුලිගෙන් ලබා ගන්නා මුදලකින් නව ව්‍යාපාරයක් අරඹන සිහිනයක ඇය කොහොමටත් එල්බ සිටියා ය.නව රූපලාවණ්‍යගාරය ඇරඹෙන්නේ ඒ ආකාරයෙන් උපයා ගත් මුදලිනි.නමුත් ඇයට ඒ ගැන ලැජ්ජාවක් හෝ පසුතැවීමක් නැත.ඇයට තිබුණේ තුරුලි රැවටීම ගැන සතුටක් හා අභිමානයකි.

“මං තුරුලිව මට ඕන හැටියට හදා ගෙන ඉවරයි දැන්..ඒ නිසා අපි ඕක කරගමු.” ආදිත්‍ය අභිමානයෙන් පැවසුවේ ය.සැලසුම් සහගත ලෙස ජීවත් වීම ගැන ඔහුට ඔහු සම්බන්ධයෙන් වූයේ සතුටකි.දාහත් හැවිරිදි කාලයේ ම පටන්ම තුරුලි තමන්ට ඕනෑ අන්දමට සකසාගෙන ඇති නිසා විවාහය ඈ සමඟම බව ඔහු තීරණය කර අහවර ය.නමුත් ශාරීරික අවශ්‍යතා ඉටු කරගන්නට ඔහුට රශ්මි වැනි පෙම්වතියන් කිහිප දෙනෙකුම විණි.

කියවන්න :  ඈත දුර ආකාසේ -13

“දැන් තුරුලිගෙ නංගි ඕනවට වඩා වැඩී. ලොකුකම ඉස්සරටත් වඩා වැඩී.මට හිතෙනවා ඕකි ඕනවට වඩා අපිට අතදාන්න එයි කියලම..”

ආදිත්‍යට සැකයක් තිබිණ.එය බරපතල මට්ටමේ සැකයක් බව ද ඔහු දැන සිටියේ ය.

අගනුවර අහස මත ගිනිගන්නා හිරු ගිලෙන්නට තිබුණේ පැයකට ද අඩු කාලයකි.තුරුලි රැකියාව අවසන් මාවතට පැමිණියේ බසයක් ගන්නට බොරැල්ල බස් නැවතුවමට පැමිණියා ය.එකසිය හැත්තෑ හතර අංකය රැගත් බසයකට මේ මොහොතේ ගොඩ වීම ද අපහසු බව ඇය දැන නොසිටියා නොවේ.නමුත් ටැක්සියකට ගෙවන්නට ඈ අත මුදල් තිබුණේ නැත.ණය මුදලක් ලෙස වැටුපෙන් කැපී යන්නේ ආදිත්‍යට ව්‍යාපාරයක් පිණිස දුන් මුදලක් නොව රශ්මිගේ රූපලාවණ්‍යගාරය ඉදි කරන්නට දුන් මුදලක් බව ඇය දැන නොසිටියා ය.කොහේවත් සිටින ගැහැනුන්ගේ සුඛ විවරණය වෙනුවෙන් තමන්ගේ මුදල් කැප කළ ඇය ඇගේ වයසේ යුවතියක නොවිඳිය යුතු තරමට දුක් විඳිමින් සිටියා ය.

“තුරුලි..”

බැස යන හිරු රැසේ අවසන් කිරණකින් විඩාබර වෙමින් සිටි ඇය ඉදිරියේ නැවතුණේ පුරුදුකාර ඇස් දෙකකි.නොදන්නා බව හඟවන්නට තැත්දැරුව ද වචන ඇයට පෙර පිට විණි.

“මියුරු..කවද්ද ආවේ..”

මියුරු හිනැහුණේ සන්සුන්ව ය.පාසල් සමයේ ඒක පාර්ශවීය ප්‍රේමය වූ යුවතිය ඔසරියක් හැඳ කොණ්ඩය ගෙඩියකට බැඳ මහ ගැහැනියක වී ඉන්නා අන්දම ඔහු නෙත් පුරා විඳ ගත්තේ ය.නමුත් ඇයට එතරම් ඕනෑවට එපාවට අඳින්නට තිබූ හේතුව ඔහුට පැහැදිලි වූයේ ද නැත.

කියවන්න :  ඈත දුර ආකාසේ -34

“තුරුලි සෑහෙන්නම වෙනස් වෙලා..”

ඔහුට ආගිය තොරතුරු වලට පෙර කියන්නට ඕනෑ විය.නමුත් තුරුලි එයට පිළිවදන් දුන්නේ නැත.කොතැනකින් හෝ ආදිත්‍ය මතු වුවහොත් මියුරු පස් වසරකට පෙර මෙන් යළිත් ගුටි කනු ඇතැයි බියකින් ඇය සලිතව ගොස් තිබිණ.අනෙක් අතට ආදිත්‍ය පහර දෙන්නේ ඔහුට පමණක් නොවේ තමන්ට ද පහර කන්නට සිදු වීම අනිවාර්ය ය.

මියුරු සමුගත්තේ තුරුලි තමන් හා එතරම් කතාබහට නොආ දුක හිතේ තබාගෙන ය.ඈ කටු ඔටුන්නක රැඳුණු මිණි කැටයක බව ඔහු දැන සිටියේ ය..වේදනාවට හේතුව ද එයම බව ඔහු නොදන්නවා නොවේ.තුරුලි යහපත් තරුණයෙකු සමඟ බැඳී හුන්නා නම් ඇය අමතක කරන්නට හිතට බල කරන්නට හැකි වන්නට ඉඩ තිබිණ.නමුත් ආදිත්‍ය වැන්නෙකු සමඟ ඇය සන්තෝසෙන් යැයි සිතන්නටවත් මියුරුට නොහැකි ය.

තුරුලි ඈත අහස් තලය මත දෑස අලවාගෙන බස් රියේ කෙළවර අසුනකට ගුලි වූවා ය.මියුරු ඈ ඇරලවන්නට ඇසූ මුත් එය ප්‍රතික්ෂේප කරනවා විනා කළ හැක්කක් නොවිණි. මියුරුගේ වාහනයෙන් නිවසට යාම අම්මාට ගැටළුවක් වන්නේ නැත.නංගීට නම් එය රහවැටෙන විහිළුවක් වනු ඇත.ඒත් ආදිත්‍යගෙන් යළිත් පහර කන්නට ඈ තුළ වූයේ භීතියකි.

“තමුසෙ මොකා එක්කද මුකුළු කර කර හිටියේ..”

එ කෙටි පණිවිඩය ආවේ ඒ මොහොතේ ය.

4.8 4 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
27 days ago

👍

Anuradha silva
27 days ago

ලස්සනයි ..