ඈත දුර ආකාසේ -13

වසන්තයක් නොදැක ශුෂ්ක කාන්තාර බිමක ඔහේ වියළෙමින් හුන් කුඩා මල් පැළයක් වස්සානයේ මිහිරියාව විඳිමින් මල් පුබුදන්නට පටන් ගත්තා ය.මහ ගසක් වැනි ගැහැනියක වන්නට කුඩා පැලයක් වී මල් පුබුදවමින් වසන්තයේ ප්‍රේමණීය බව විඳ ගත යුතු බව තුරුලි උගනින්නට පටන් ගත්තා ය. අවුරුදු දහ හතක කෙල්ලක කාලයේ සිට ජීවිතය අත් මිටෙන් ගිලිහී ගියේ ස්වල්ප ලෙස නොවේ. ඈ ඒ මඟ හැරුණු හැම දෙයක්ම වඩවඩා ආදරයෙන් සොයන්නට පටන් ගත්තා ය.

“අපි ට්වින්ස්ලා උනාට ඇත්තටම ලස්සන ඔයා..”

සඳලි සෑම විටම ඒ මන්තරය මතුරන්නට පටන් ගත්තා ය.අක්කා වළාකුලකට වැසුණු සඳක් සේ හැඩ ද රුව ද සඟවාගෙන හුන් බවත් දැන් ඈ වඩා සුන්දරව හැඩ වී ඇති බවත් සඳලි බලා සිටියේ ආදරයෙනි.

“මං වැඩිය සන්තෝස වෙන්න නම් බයයි නංගි. ආදිත්‍යගේ මේ සද්ද නැතුව ඉඳිල්ල මට අල්ලන් නෑ..”

තුරුලිට බියක් නොදැනුණා නොවේ.නමුත් ඇය ඕනෑම දෙයකට මුහුණ දෙන්නට හිත හදා ගත්තා ය.දුරකථන අංකය වෙනස් කළ බැවින් ආදිත්‍යගේ ඇමතුම් ඇයට පැමිණියේ නැත.නමුත් තමන් සියදිවි නසා ගන්නා බව තර්ජනය කරමින් ආදිත්‍ය සඳලිට නොනවත්වාම පණිවිඩ යැවුවේ ය.අක්කා තමන් සමඟ මිතුරු කිරීමේ වගකීම බාර ගන්නා ලෙසත් නැතිනම් ඔහු තුරුලිගේ නිවස හෝ සේවස්ථානය ඉදිරිපිට ට විත් සියදිවි නසා ගන්නා බවටත් ඔහු සඳලිට නොනවත්වාම පණිවිඩ යවන්නට පටන් ගත්තේ ය. ඒ මරණය තම පවුලේ අය බොහෝ ප්‍රීතියෙන් බාර ගන්නා බව සඳලි ලියා යැවී ය.නමුත් ඒ කතාවට රනුක දිනක් සඳලිට බැන වැදුණේ ආදිත්‍යගේ තරම දැන හුන් නිසා ය.

“ඔයා ඔය ඉතිං මැරියං කියල යවන මැසේජ් ඌ ස්ක්‍රීන් ෂොට්ස් ගහලා ෆේස්බුක් දාලා මැරුණොත්..ඔයා දන්නවනෙ සඳූ ලංකාවෙ මිනිස්සු දැන් නඩු අහන්නෙර් ෆේස්බුක් එකෙන්.තුරුලි මොනතරම් වදයක් වින්දද, අපි ඔය මූසලයගෙන් ඒ කෙල්ල ගලව ගන්න කොච්චර ට්‍රයි කරාද කියන එක මිනිස්සුන්ට එතකොට අදාළ වෙන් නෑ.ඒ නිසා ඔයා පරිස්සමින්.අක්කවත් අමාරුවෙ නොදා ඔය මිනිහව බ්ලොක් කරන්න..”

රනුකගේ අනාවැකිය අර්ධව ඇත්තක් වන්නට සතියක්වත් ගත වූයේ නැත.තුරුලිගේ රැකියා ස්ථානය ඉදිරිපිට කලබලයක ස්වරූපයක් ගත්තේ මද්දහනක දී ය.බැංකු ඔරලෝසුවේ කාර්යබහුලම මොහොතක් නිසා තුරුලිට ඒවා ගැන හොයන්නට වූයේ නැත.නමුත් ඇගේ සේවා සගයන් කිහිප දෙනෙකුද එළියේ විපරමට ගියේ ඒ කලබලය තරමක් සැර එකක් වූ නිසා ය.

“කොල්ලෙක් බයික් එකක් හප්පන්.හපෝ කුඩු වෙලා..”

මැදි වියේ බැංකු නිලධාරිනියක එසේ ඕපාදූපය රැගෙන ආවේ මෝටර් සයිකල් නිසා රිය අනතුරු ඉහළ යන බවට ඈ තිස්සේම ඉදිරිපත් කරන තර්කය සාධාරණීකරණය කරමිනි.වැඩ කන්දකට මැදිව සිටි තුරුලි කරේ කණගාටුදායක මුහුණක් පෙන්වීම ය.

“තුරූ..කලබල වෙන්නෙපා ඈ.අර ඇක්සිඩන්ට් වෙච්ච එකාව වාහනේකට දාන්න මමයි සුභාෂුයිත් ගියා..” තුරුලි ආදිත්‍යට හොරා සේවා ස්ථානය තුළ ඇසුරු කරන මිතුරෙකු වූ කසුන් ඈ වෙත පැමිණියේ එසේ කියන අතර ය.ඊළඟ වාක්‍යය අනුමාන කළ තුරුලි වහා අසුනින් නැගී සිටියා ය.

“ඒ ආදිත්‍ය තමයි බං.. ඌ මෙතන හිතලම හැප්පුනාද ඇත්තටම ඇක්සිඩන්ට් උනාද කියන්නනං තාම කල් වැඩී.ඒත් ඒ ඒකා තමයි..”

කසුන් හැකි උපරිම සෞම්‍ය හඬකින් කීවේ ය.මිතුරිය යාන්තම් හිස ඔසවද්දී ම මේ සිදු වූ දෙය ඔහුට ද වේදනාවකි.

” කසුන්,එයා මැරුණද?”

තුරුලි සසැලෙන හඬකින් විමසා සිටියා ය.ලෝකයම භ්‍රමණය වෙන බවක් ඇයට දැනිණ.

“මෙතන කුඩු වෙන්න හැප්පෙන්න පුලුවං තැනක් නෙවේනෙ බං..අර මිසිස් රත්නසේකර එහෙම කිව්වට.මැරෙන්න තියා අයිසීයූ දාන්න තරංවත් සීන් එකක් නෙවේ.හැබැයි අමාරුයි. හොස්පිටල් තපින්න වෙයි සෑහෙන කාලයක්..”

තුරුලි නිනව් නැතිව බොහෝ වෙලා ගෙවා දැම්මා ය. පස් වසරකටත් අධික කාලයක් ජීවිතය බෙදා ගන්නට ඈ වටා දැවටුණු මිනිසා අනතුරකට පත් වීමටත් වඩා ඈ භීතියට පත් කළේ මෙතැනින් එහා වරද ඇයට පැටවෙන බව දැන සිටීම ය.එය දරා ගන්නට අසීරු කාරණාවක් බව ඇය දැන සිටියා ය.කෙටි නිවාඩුවක් ගෙන වහා නිවස බලා යන්නට ඈ සිතුවේ එනිසා ය.නමුත් බැංකු ගොඩනැගිල්ලෙන් පිටතට එද්දීම දුරකථනය නාද වූයේ සඳලිගේ ඇමතුමකිනි.

“අක්කා..අර ආරියාව ඇවිල්ලා අපේ ගෙදර යකා නටනවා. උන්දැගෙ පුතාගෙ උරිස්ස පැනලද මොකක්ද නාඩගමක්.අපි අරන් පැත්තකින් තිබ්බා වගේ..”

නංගී කියද්දී තුරුලිට කොහේ හෝ සැඟවෙන්නට ඕනෑ විණි.සඳලි පැවසූවාට වඩා සත්‍යයක් ඇය දැන සිටියා ය.ඉතින් ඇය මහත් වියවුලට පත් වන්නට ඒ ඕනෑවටත් වැඩි ය.හිරු රැසින් මුවා වෙමින් ටැක්සියක් සොයන්නට ගත් ඈට වාහන නළා හඬක් ඇසුණේ ඒ මොහොතේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles