අහංකාර නගරේ -27

2
2434

කොළඹ එන්න ඕනේ කියත්දී ගමේ පාසලේ විදුහල්පති තුමා කී කතා මගේ මනසේ යළි යළිත් පිළිරැව් නැගෙමින් තිබිණි. මේ ගෙන්දගම් පොළොවට පය තැබූ අප වන් ලෝකය නො දන්නා මිනිසුන් හට අත් විඳින්නට සිදු වන්නා වූ ගැහැට ගැන ඔවුන් අවබෝධයක් ලබා තිබෙන්නට ඇත. අසා දැක පමණක් නොව, අතීතයේ යම් කිසි දවසක දී ඔවුන් ඒ පිරිපත වලට මුහුණ දී ඇතිවා වන්නට ද පුළුවන.

නමුත් ඒ කතා අසා ගම නතර වන්නට හෝ පාඩුවේ ජීවත් වන්නට මට ඕනෑ වූයේ නැත. මම මාවතක් තෝරා ගතිමි. ඒ මාවත වැටී තිබුණේ නගරය හරහා ය. මෙහි ජීවිතය සෑම සියලු අතින් ම පහසු නැති බව දැන් මම අත්දැකීමෙන් ම දන්නෙමි. නමුත් යන්නට පටන් ගත් ගමන මා යා යුතු ය.

“ෂි. මං හිටියෙ නෑනෙ”

සිද්ධිය ගැන දැන ගත් සුරනි පසු තැවුණා ය.

“හිටියනං…”

මම සිනහවකින් ඇසුවෙමි.

“හිටියනං කියන්න තිබුණා අර ආව පිරිමි දෙන්නට…පිරිමියෙක් වෙලා ඉපදෙන එකේ තේරුම ගැන. පිරිමියෙක් ගෙ ඇඟේ මාංශ පේෂි ගෑනු ඇඟක මාංශ පේෂි වලට වඩා ශක්තිමත් ව හැදෙන්නෙ මහන්සි වෙලා වැඩ කරල පවුලක බර දරන්න ඕන විදිහට මිසක් ගෑනුන්ට අඩන්තේට්ටම් කරන්න නෙවෙයි කියල. පිරිමි ගෑනු කියල වෙනසක් නැතුව මොළේ වර්ධනය එක ම විදිහට වෙන නිසා ගෑනු කොහොමවත් පිරිමින්ට වඩා පහත් නෑ කියල…ඒ  බමුණු මතේ දැන්වත් ඔළුවෙන් අත්ඇරල දැම්මෙ නැත්තං අර වඳ වෙලා ගිය අනිත් සත්තු වගේ පිරිමි කියන සත්තුත් අපරාදෙ වඳ වෙලා යන්න ඉඩ තියෙනව කියල කියන්න තිබුණා. අනිත් එක ගෑනු ළමයෙක්ව බලෙං උස්සං ගිහිං රෝස්මරී ට දෙන්න හදන එකේ…උංගෙ අම්මල අක්කල නංගිල වයිෆ්ල එහෙමත් ඇතිනෙ. ලේසියෙං සල්ලි හම්බ කර ගන්න පුළුවන්නෙ කියල මතක් කරල දෙන්න තිබුණා”

“හැබැයි ඉතිං ඒගොල්ලො ඔය කරන්නෙත් රෝස්මරී වගේම ලේසියෙං සල්ලි හොයන රස්සාවක් තමයි” 

“ගෑනියෙක් ම තමයි තව ගෑනියෙක්ට විණ කටින්න පාර කපන්නෙ මෙව්නා. ඔය රෝස්මරී මොකද ඕව නොකළා නං කන්න බොන්න නැති ගෑනියෙක්ද…ජයශාන්ත මාමාගෙ ප්‍රින්සිපල් කමට මුවා වෙලා වැදගත් නෝනා කෙනෙක් ගෙ වෙස් මූණ දාගෙන ජරා වැඩ කරනව. කොච්චර ලස්සන පවුලක්ද එතන තියෙන්නෙ…දරුවො තුන් දෙනා හොඳට ඉගෙන ගන්නව. ඒත් ඒ ගෑනි සසරෙ පතං ආපු කරුම ඔය විදිහට ගෙවල ඉවර කරන්න නියමිත ඇති”

සසරේ කරන ලද ඇතැම් කුසල් සේ ම අකුසල් ද කෙනෙකු ගේ ජීවිත ඉරණම තීරණය කිරීමේ දී සොබා දහමේ සැලකිල්ලට භාජනය වන බව, මම ද විශ්වාස කරමි. ඒ වගේ මවක ගේ කුසකින් ලෝකයට බිහි වීම සඳහා, සියලු කුසල් අතරේ කළ අකුසල කර්මයක් ඒ දරුවන්ට බලපාන්නට ඇත.

ඒ හැන්දෑවේ සිතිජ හා රෝස්මරී අතර දැවැන්ත බහින් බස් වීමක් සිදු වූයේ ය. මා එහි අකුරක් නෑර දැන ගත්තේ, සිතිජගෙන් පැමිණි දුරකතන ඇමතුමක් නිසාවෙනි.

“හෙලෝ…හෙලෝ…අයියෙ…හෙලෝ ..”

මම ඔහු හා සම්බන්ධ වීම සඳහා උත්සාහ කළෙමි. නමුත් මට පිළිතුරු ලැබුණා නොවේ. ඒ වෙනුවට ලොකු කෑකෝ ගැසීමක් පසුබිමෙන් ඇසුණේ ය.

“බොරු. ඔය කෙල්ල ඔයාට ලියල තියෙන්නෙ අමූලික බොරුවක් සිතිජ. ඔයා හිතනවද මං ඒ වගේ දේවල් කරනව කියල…මෙච්චර කාලෙකට ඕගොල්ලො මං ගැන ඔය වගේ කතා අහල තියෙනවද…මහ ජරා කෙල්ලෙක්. සැලුන් එකේ වැඩ හරියට ඉගෙන ගත්තෙ නෑ. ඒත් මං පව්නෙ කියල පඩි ගෙව්වා. කොල්ලො එහෙ මෙහෙ යන්න ගත්තා. ඒකිට ඕනෙ ලේසියෙං සල්ලි හම්බ කරන්න. ඔය වන්නියෙ ඉඳල එන කෙල්ලො ඔහොමමයි. මං ඒකට කෑගැහුව. මගෙ ළඟ වැඩ කරනවනං ඒව නවත්තන්න කිව්ව. ඒත් මේකි අහන පාටක් නැති නිසා මං අස් කරල දැම්මා. ඒ කේන්තියට දැන් ඔය මට පද හදනව. බලා ගන්නංකො මං පොලිසියෙදි”

ඇය වරින් වර මා ගැන කියූ කතා වල එකතුව එසේ ය. මා වෙව්ලනවා මට දැනිණි. මේ තරම් ඉක්මනට කොහොම ඈ ඒ තරම් ලොකු බොරුවක් නිර්මාණය කර ගත්තා ද කියා මට සිතා ගත නො හැකි ය. එය යකාට ගියා වේ! මා කම්පිත වූයේ සිතිජ මා ගැන මොනවා සිතනු ඇත් ද කියා ය. ඉදින් හෙට සිට මා කොහොම ඔහු ගේ මූණ බලන්නද? මීට පෙර කිසි දාක සිතිජ සිය මව ගැන මා දැන ගත් කතා දැන අසා තිබුණේ නැත. ඒ ගැන ඔහු ට කීවේ මා ය. දැන් ඒ සියල්ල ඇය ඔහු ඉදිරියේ ප්‍රතික්ෂේප කරයි. මා වැරදි කාරිය කරයි. මා කියන්නේ බොරු ය කියා කියයි. සිතිජ විශ්වාස කළ යුත්තේ කාව ද? ඔහු ගේ සිත දෙ පිළකට බෙදී තර්ක කරනවාට සැක නැත. උපන් දවසේ සිට ඔහු අම්මා ලෙස ඇදහූ ඇය ව විශ්වාස කරනවා ද නැත්නම් අහම්බෙන් ඊයේ පෙරේදාවක හමු වූ මා ව විශ්වාස කරනවා ද?

කියවන්න :  අහංකාර නගරේ -18

සිරුරේ සංසරණය වෙමින් තිබි රුධිරය මුළුමනින් වියළී ගියා බඳු හිස් වීමක් මට දැනෙන්නට ගත්තේ ය. මගේ උගුර කට සැනෙන් වියළී ගියේ ය. බිරන්තට්ටු වී ගෙන වගේ ටික වෙලාවක් බලා උන් මම දුරකතනය පසෙක දා යහනේ උඩුකුරුව වැතිරී ගතිමි.

මට නො තේරෙන කාරණා කිහිපයක් තිබිණි. ඒ වෙලාවේ සිතිජ මා අමතා, කතා නොකර සිටියේ මන්ද? ඔහු ට ඕනෑ වූයේ මා ගැන සිය මව කී කාරණා මට ඇහෙන්නට සැලැස්වීම ද? මා හිටියේ ගිනි ගොඩක කියා කිව හැකි ය. යහන පිටින් ම මා දැවී යනු ඇතැයි මට දැනිණ. එය ඒ තරම් ම පිච්චීමකි. සිතිජ මා විශ්වාස නො කළ හොත් වසක් විසක් කා මියෙන එක මට පහසු ය.

මම ඔහු ගේ දුරකතනය ට ඇමතුමක් ගතිමි. නමුත් සිතිජ පිළිතුරු නො දුන්නේ ය. 

“අනේ දෙයියනේ මට පිස්සු හැදෙයි සුරනි. එයා රෝස්මරී කියපු දේවල් විශ්වාස කළානං…මං මොකද්ද දෙයියනේ කරන්නෙ…”

දිය ඇලි දෙකක් වගේ මගේ දෑසින් කඳුළු ගලා යන්නට වූයේ ය. 

“මං හිතන්නෑ සිතිජ ඒ තරං මෝඩයි කියල. හැබැයි කොල්ලා මේ වෙලාවෙ ශොක් වෙලයි ඇත්තෙ. කොච්චර වුණත් ඒකා දෙවියෙක් නෙවෙයිනෙ මෙව්නා. මනුස්සයෙක්නෙ. ශොක් එක අඩු වෙලා යද්දි එයා කතා කරයි”

සුරනි මා අස්වසන චේතනාවෙන් කීවා ය. 

“ඒත් ඇයි එයා ඒ වෙලාවෙ කෝල් එකක් අරං කතා නොකර හිටියෙ…මං කියන්නෙ බොරු කියල එයා හිතනව කියන එක ද ඒකෙං කියවෙන්නෙ…”

“මෙව්නා…සමහර විට සිතිජ ට හිතා ගන්න බැරුව ඇති මොකද්ද මේ වෙන්නෙ කියල. එයා ඒ වෙලාවෙ කෝල් එකක් අරං ඔයාට ඇහෙන්න තිබ්බෙ ඔහොම දෙයක් වෙයි කියල නෙවෙයි…එයා ඔයාගෙ පැත්තෙයි කියල ඔයාට ඔප්පු කරන්න ඕන වුණ නිසා වෙන්නත් ඇති. අපි බලමුකො හෙට උදේට”

පසු දා උදයේ පොලීසියට පැමිණෙන ලෙස මටත් මගේ පැමිණිලි ප්‍රකාර ව රෝස්මරී ටත් දන්වා තිබිණි. උදයේ හෝ සිතිජ මට කතා කළේ නැත. මා ඔහු සම්බන්ධ කර ගන්නා උත්සාහයක් දැරුවත්, ඔහු ගේ දුරකතනය ක්‍රියා විරහිත ව තිබුණෙන් මගේ උත්සාහය අසාර්ථක වී ගියේ ය. මම මුළුමනින් ම පරාජිත වී සිටියෙමි. 

“සිතිජ මාව විශ්වාස කරන්නැත්තං ඊළඟ බස් එකේ නැගල මං ආයෙ ගෙදර යනව සුරනි. මේ නගරෙත් එක්ක ඔට්ටු වෙලා මට වෙන දිනා ගන්න දෙයක් නෑ”

හිත හයිය කර ගන්නවා කියන සිතිවිල්ලේ සිටියත්, මගේ හඬ බිඳී කඳුළු බර වී ගෙන ආවේ ය.

“ඔන්න ඉතිං. කලබල වෙලා තීරණ ගන්න හදන්න එපා. අපි පොලීසියට ගිහිං බලමු. මං මුලදිම කිව්වෙ…කොච්චර හයිය කෙල්ලෙක් වුණත් ඔයා ආදරේදි දුර්වලයි මෙව්නා. ඒත් කෙල්ලෙක් හයිය වෙන්න ඕන ම තැන එතන. අහතක කරන්න එපා. දැනටමත් රෝස්මරී ඔයාගෙ හතුරා වෙලා ඉන්නෙ. සිතිජව අයිති කර ගන්න හෙන ම ෆයිට් එකක් දෙන්න වෙනව”

මගේ හදවත හූල්ලමින් තිබිණි. මෙතෙක් දවස් හිස කෙලින් තබා ගෙන ඉන්නට හේතු වූ සියලු ජෛවීය අංග අකර්මන්‍ය වී පණ කෙන්ද පමණක් ඉතිරි වී තිබුණේ ය. අප පොලීසියට යත්දී රෝස්මරී පුටුවක හිඳ සිටියා ය. මා දුටු ඕ මට රවා බැලුවා ය.

“කන්න දීපු අත හපා කන බැල්ලි”

මගේ ළඟට ම ආ ඇය පිටතට නෑසෙන සේ සවනට කොට තදින් කීවා ය. මම වදනකුදු දොඩන්නට නො ගියෙමි. බිමට හරවා ගත් නෙතු යළි නගා බලත්දී සිතිජ ගේ ඇස් දෙක මම දුටිමි. ඔහු පොලිස් ගොඩනැගිල්ලේ ඉස්තෝප්පුවට ගොඩ වෙමින් මදෙස බලා ගෙන ම සිටියේ ය. මට ඉකි බිඳී හැඬෙන්නට ආවා සහතික ය. නමුත් මම ඉකිය උගුරෙහි හිර කර ගෙන යටි තොල් පට සපා ගතිමි.

“ඕගොල්ලංගෙ දෙගොල්ලොම ඇවිත් නේද…”

පොලිස් නිලධාරියෙක් අප වෙතින් පොදුවේ ප්‍රශ්න කළේ ය. රෝස්මරී බිය සැකක් නැතිව ඉදිරියට ගියා ය.

“දෙගොල්ලොම එන්න සර්ව හම්බ වෙන්න”

පැමිණිලි පාර්ශවයට ලැබුණ අවස්ථාව ගෙන මම සිදු වූ සියල්ල මුල සිට කීවෙමි. නමුත් රෝස්මරී වරින් වර මැදින් පනිමින් බාධා කළා ය. මා කියනා දේ වලට විරුද්ධ වෙමින් සිය අදහස පළ කළා ය. මා කතා කළේ තනිකර සත්‍යය වන නිසාවෙන්, මට කියන්නට තිබුණේ මීට පෙර සුරනිට කියා තිබූ කතාව ම ය. සිතිජ ට කියා තිබූ කතාව ම ය. රෝස්මරී ඊයේ සිතිජ ට කීවා වගේ කතා තව අලුතෙන් ද නිර්මාණය කරමින් කීවා ය. 

“වෙන කවුරු හරි මෙයාගෙ වැඩ වලට සම්බන්ධ කෙනෙක් කරපු දෙයක් වෙන්නැති ඔය මිනිස්සු දෙන්නෙක් ආවයි කියන එක. සර් දන්නවනෙ අපි බොහොම වැදගත් මිනිස්සු. මේ තර්ඩ් ක්ලාස් පවුල් වලිං ඇවිත් මේ වගේ ගෑනු ළමයි ජීවත් වෙන විදිහ ඉතිං අපි සර්ලට අමුතුවෙං කියන්න ඕන නෑනෙ. මාත් එක්ක තියන තරහට තමයි මේ කෙල්ල ඔය වගේ දේකට මාව අල්ලන්න හදන්නෙ”

කියවන්න :  අහංකාර නගරේ -39

පොලිස් නිලධාරියා ට කරන්නට තිබුණේ තව දුරටත් පරීක්ෂණ කරන බව පවසා දෙපැත්ත විසිරුවා හැරීම ය.

“හරි ලැජ්ජයි අම්මෙ ඔයා ගැන”

පොලිසියෙන් පිටතට ආ ගමන්, අප කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙස සිතිජ කීවේ ය. රෝස්මරී මුව අයා සිය පුතු දෙස බැලුවා ය.

“ඔයාට මතක නෑ ඔයා ඊයෙ මට කියපු සමහර දේවල්. පොලිස් ඔෆිසර් ට කිව්වෙ වෙන දේවල්. ඒත් මෙව්නා එදා එයාව ඔයාගෙ ස්පා එකකට අරං ගිය දවසෙත් ඊයෙත් අදත් කිව්වෙ එකම දේවල්. ඒ කියපු දේවල් වල ඉස්පිල්ලක් පාපිල්ලක් තරං වත් වෙනස් වෙලා තිබුණෙ නෑ. ඒ එයා අලුතෙන් මොනවත් මේ කතාවට එකතු කළේ නැති නිසා. එයා හැම දාමත් කිව්වෙ ඇත්ත නිසා”

“මොකද්ද සිතිජ ඔයා කියන්නෙ…ඒ කියන්නෙ…මේ කෙල්ල නිතරම ඔයාට කතා කරනවද…”

රෝස්මරී අල්ලා ගෙන තිබුණේ එතැනිනි. සිතිජ මඳ සිනහවක් නගා ගෙන මවෙතට ආවේ ය. මම බිරාන්ත වී සිටියෙමි. මෙතැන මොනවා වෙන්නට යනවා ද කියා මා දන්නේ නැත.

“අම්මට මං මේ බොහොම හොඳිං කියන්නෙ. ඔයාගෙ ජරා බිස්නස් ගැන කතා කරන්න මං කැමති නෑ. ඒ වගේම ඔයා වගේ කෙනෙක්ට අම්ම කියල කියන්නත් මං කැමති නෑ. හැබැයි මේක මං කියන්න ඕනෙ. මීට පස්සෙ මෙව්නාට එයාගෙ පාඩුවෙ ඉන්න නොදුන්නොත්…මට ඔයා මගෙ අම්ම කියල අමතක කරන්න වෙයි”

අප හතර දෙනා වට වී උන් තැන සුළඟක් පවා හමන්නේ නැති ව නිසල වූයේ ය. රෝස්මරී ටික වෙලාවක් යන තෙක් හුස්ම ගත්තේ වුව නැතිය කියා මට විශ්වාස ය.

“මොනවද සිතිජ ඔයා මේ කියවන්නෙ…මේ කෙල්ල ගැන ඔයාට ඔච්චර තියන අනුකම්පාව මොකද්ද…මේ අම්මණ්ඩි ඒ ගමන මේ අහිංසකයවත් රවට්ටගෙනද…”

රෝස්මරී පුපුරා ගියා ය. මම සුරනි ගේ උරහිසකට මුවහ වීමි. 

“මාව රවට්ටන්න මෙව්නාටත් බෑ ඔයාටත් බෑ අම්මෙ. හැබැයි මං මේ කෙල්ලට ආදරේ කරනව. ඉක්මනටම මං මේ කෙල්ලව බඳිනව. ඔයා මෙයාව ස්පා යවන්න හිතනවනං ලේලිත් එක්ක දුවල දෙන්නවත් යවන්න ලෑස්ති වෙන්න. යමු මෙව්නා”

මම අහසින් පොළොවට වැටුණා සේ කැළඹී ගිහින් සිටියෙමි. මා මෙහි පැමිණියේ සිතිජ මා පිළිකුල් කර මගෙන් සමු ගනු ඇත යන සිතිවිල්ලෙනි. නමුත් දැන් ඔහු සිය මව ඉදිරියේ ම මෙසේ කතා කරයි. මා වගේ හිඟන්නියකට ඒ විශ්වාසය කොයි තරම් වටිනාකමක් ගෙන දෙනවා දැයි කොහොම මා ඔහු ට පහදා කියන්න ද? මගේ ඇසින් සොරොව් හැරියා සේ කඳුළු ගලා යන්නට වූයේ ය.

“පෙනේද මේකි වගේ ජරා එකියක්. අපේ ගෙදර ඉඳගෙන මගෙං තුට්ටු දෙකක් හම්බ කර ගන්න ගමං අපිට කුමාරයෙක් වගේ ඉන්න එකම කොල්ලව රවට්ටගෙන. හෙණ ගහනව මේ කරපු අපරාදෙටනං. හෙණ….”

රෝස්මරී මට දෙස් දෙවොල් තැබුවා ය. අම්මා කෙනෙක් වශයෙන් ඇගේ ඒ කේන්තියත් දුකත් යන දෙක ම සාධාරණ වග මම දැන සිට්යෙමි.

“සිතිජ…ඔයා අහු වෙලා පුතේ. ඔය කෙල්ලගෙ කිඹුල් කඳුළු වලට ඔයා රැවටිලා. ඕකි මහ මායාකාරියක්”

සිතිජ මගේ අතකින් අල්ලා ගෙන පොලීසියෙන් නික්ම ත්‍රීරෝද රියක් නවතා ගත්තේ ය. අපි තිදෙනා ඊට ගොඩ වීමු.

“සිතිජ ඊයෙ කෝල් එකක් අරං ගෙදර රණ්ඩුව ඇහෙන්න ඇරියට පස්සෙ මෙව්නාට කතා කළේ නෑනෙ. මේකි ඒ ගැන පුදුම දුකකිං හිටියෙ. ඔයා විශ්වාස කරන්නෙ නැත්තං ඊළඟ බස් එකේ මහියංගනේ යනව කියලයි කියව කියව හිටියෙ”

සිතිජ මගේ අතක් තදින් අල්ලා ගන්නවා දැනිණ.

“මං කෝල් කරල ගෙදර ප්‍රශ්නයක් ඇහෙන්න තිබ්බෙ නෑ”

“ඒ වුණාට රෝස් ඇන්ටි කියපු කතා ඔක්කොම අපිට ඇහුණනෙ…”

“එහෙනං ප්‍රෙස් වෙලා කෝල් එකක් යන්න ඇති. ෆෝන් එක සාක්කුවෙ තියෙද්දි”

මම සැනසුම් සුසුමක් හෙළුවෙමි. නමුත් සැනසෙන්නට කිසිදු කාරණයක් හෝ හේතුවක් ඉදිරියේ නො වන බව ඉර හඳ සේ විශ්වාස ය. රෝස්මරී තව දුරටත් යකා නටනු ඇත්තේ අදින් පසුව ය. 

විශ්ව විද්‍යාලය අසල සුරනි ව බැස්වූ අපි යළිත් නුගේගොඩ තෙක් එම ත්‍රීරෝද රියෙහි ම පැමිණියෙමු. නුගේගොඩ දී මුදල් ගෙවා ඉන් බහිත්දීත් කොයිබ යන්නදැයි නිනව්වක් අප වෙත වූයේ නැත. සිතිජ කතා බහකින් තොර ව කොහුවල දෙස ට ඇවිදින්නට පටන් ගත්තේ ය.

“ඔයා මාව විශ්වාස කරපු එක තරං ගෞරවයක් මට වෙන ලැබිල නෑ අයියෙ. ඕනෙත් නෑ. මගෙ අන්තිම හුස්ම වෙනකල් මං ඒ විශ්වාසෙ කඩන්නෙත් නෑ”

මම කොඳුළෙමි. ඔහු මගේ ඇඟිල්ලක් අල්ලා ගන්නා ගමන් මුහුණට එබුණේ ය.

“දුර ගමනක් යමුද…”

අපායට වුණත් දැන් මා ප්‍රශ්න නොකර ඔහු ත් එක්ක යන බව මම දැන සිටියෙමි.

5 4 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Ddd
12 days ago

මහියංගනේ ද?

දිල්හාරා ❤️
12 days ago

❤❤❤❤