සීත මාරුතේ -05

මා දන්නා දවසේ පටන් අපේ ගේ ඇතුළේ පවුලක් වශයෙන් මහත් ආදරයක් හා බැඳීමක් තිබිණ. අප්පච්චි ගේ විදුහල්පති පාලනය ළමයින් විෂයේ නිවස තුළත් පැවතී ද, ඔහු නැති වෙලාවට අප, ළමයින් තිදෙනා ගේ සද්දයත් රණ්ඩු දබරත් විහිළු තහළුත් ගෙදර වහල ඔසවා දමන තරම් වූ අවස්ථා ද තිබේ. අප්පච්චි ට කියනවා යි අප මට්ටු කරන්නට හැදුවාට අම්මා අප ගැන කේළමක් අප්පච්චි ට කියා ඇත්තේ ඉතාමත් කලාතුරකින්, ඇය ට පාලනය කළ නො හැකි ම වූ අවස්ථාවකදී පමණකි.

අපේ අම්මා, අම්මා කියන නමේ ප්‍රතිමූර්තියක් වන් ගැහැනියකි. ඇය මෙලොව මා දුටු ස්ත්‍රීත්වයේ සංකේතයයි. ඉතා නිවුණු හා සන්සුන් ගැනැත්තියක් වන ඇය, දඩබ්බර කොල්ලන් දහස් ගණනක් මෙල්ල කරනා අප්පච්චි ව එක සන්සුන් වචනයකින් මෙල්ල කළ හැකි වූ මන්තරයක් සේ මම දකිමි. 

අප කුඩා කල ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කළ ඕ තොමෝ අප්පච්චි ගේ ඉල්ලා සිටීමකින් හෝ බල කිරීමකින් තොර ව ස්ව කැමැත්තෙන් ම රජයේ ගුරු වෘත්තියට සමු දී තිබෙන්නේ දරුවන් තුන් දෙනා හොඳින් බලා ගෙන ගෙදරක පාලනය ද කළ යුතු වූ නිසාවෙනි. පාසල් වේලාවට අමතර ව පාසලෙන් පසු ද නො මිලයේ ම දරුවන් වෙනුවෙන් පන්ති පවත්වමින් සිය කාලය හා ශ්‍රමය මුළුමනින් දරුවන් වෙනුවෙන් කැප කළ ඕ, අප ටිකෙන්  ටික ලොකු වෙත්දී ඒ වගකීම් වලින් මිදුණේ ‘මෙහෙම ගියොත් අපේ දරුවො අපෙන් ඈත් වෙලා ඉඳියි’ කියා කියමිනි. 

අම්මා මට දුවා කියා ත් නංගී ට දෝණි කියාත් අමතන අතර මල්ලී ට පුතා කියන්නී ය. අම්මා කියන නිසා මල්ලී මට හා නංගී ට ද දුවා හා දෝණි ලෙස අමතයි. ඔහු අපට අක්කා කියන්නේ විශ්ෂිත ස්ථානයකදී හෝ පුද්ගල ඇසුරක දී පමණි. අප්පච්චි අප කාටත් පොදුවේ පුතා කියා අමතන්නේ ය. විශේෂයෙන් වෙන් කොට හැඳිනිය යුතු වෙලාවක නම් ලොකු ළමයා, දෙවෙනි ළමයා පොඩි ළමයා ලෙස හඳුන්වයි. අම්මා ට අප්පච්චි කතා කළේ දූලයි අම්මා යනුවෙනි. ඒ මුලින් උපන් දෙදෙනා ම දූවරුන් නිසා බව අනුමාන කරන්නට පුළුවන. නමුත් මල්ලී ඒ ගැන දක්වන්නේ නො මනාපයකි. අම්මා අප්පච්චිට අමතන්නේ පුතාලගෙ අප්පච්චි ලෙසට ය.

අපේ අප්පච්චි මහ ලොකු පොහොසතෙකු නොවේ. ඔහු ට ය කියා කොළඹ තිබෙන්නේ එක් නිවසක් පමණකි. අප කඳුකරයට පැමිණෙත්දී අප්පච්චි එය කුළියට දුන්නේ ය.

“ළමයි තුන් දෙනාට උගන්නන එක තමයි දූලයි අම්මෙ අපිට කරන්න පුළුවන් හොඳම ඉතුරුව”

අප්පච්චි නොයෙක් අවස්ථා වල එසේ කියනු මම අසා ඇත්තෙමි. හෙතෙම කීවා සේ ම එසේ කළේ ය. අපේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන මුදලක් ඔහු විය හියදම් කළේ කිසිදු කන් කෙඳිරියකින් තොරව ය. උසස් පෙළින් අනතුරුව මා ඕනේ කියනා සෑම පාඨමාලාවක් ම හදාරන්නට ඔහු මුදල් ගෙවුවේ ය.

“ඔය තරං කෝස් මොකටද දුවා. ෆැෂන් ඩිසයිනින් ඩිග්‍රි එක කම්ප්ලීට් වෙද්දි මදැයි”

ඇතැම් විට අම්මා එසේ කීව ද අප්පච්චි ඇය ට එකඟ වූයේ නැත.

“නෑ නෑ එහෙම කියන්න එපා දූලයි අම්මෙ. ඉගෙන ගත්ත දෙයක් කවදාවත් අපතේ යන්නෑ. ඒ විෂය ගැන ජොබ් එකක් නොකළා වුණත්..ඔය ඉගෙන ගන්න කොයි දේත් ජීවත් වෙද්දි ප්‍රයෝජනයක් වෙන වෙලාවක් එනව. තමන්ගෙ දරුවෙක්ට උගන්නද්දි වුණත් ඒ දැනීම ප්‍රයෝජනවත් වෙනවනෙ”

ඉගෙනීම ගැන අප්පච්චි ගේ අදහස එසේ විය. ඔහු කිසි දාක අප රැකියාවක් කොට උපයන මුදලක් බලාපොරොත්තු නොවූ බව මම දනිමි නමුත් ගෑනු ළමයෙකු ඉහළ ම අධ්‍යාපනයක් ලබා සිය ජීවන මාර්ගය පාදා ගැනීම අත්‍යවශ්‍ය දෙයක් සේ ඔහු සැලකුවේ ය.

“මං කවදාවත් අම්මට කියල නෑ ටීචින් වලින් අයින් වෙන්න කියල. එයැයිම තමයි එහෙම තීරණයක් ගත්තෙ. මට බල කරල එයාව රස්සාවකට යවන්න ඕන කමකුත් නෑ. මොකද පිරිමියෙක් වුණාම පුළුවන් වෙන්න ඕන තමන්ගෙ නෝනටයි දරුවන්ටයි කන්න බොන්න අඳින්න දීල ජීවත් කරවන්න. හැබැයි ඕගොල්ලො දවසක කසාද බැඳල යන්න ඕන කසාදය ජීවන මාර්ගය කරගෙන නෙවෙයි. ගොඩක් ගෑණු ළමයි වගේම දෙමව්පියොත් හිතනව කසාදයක් බන්දල දුන්නම ගෑනු ළමයින්ගෙ බරෙන් නිදහස් කියල. ඒක හරිම වැරදි අදහසක්. එතකොට ඒ ගෑනු ළමය ඒ කසාදෙ ඇතුළෙ ඉන්නෙම එයාගෙ අනාගතේ ගැන දැනෙන බයක් නිසයි. ඒත් වෙන්න ඕන ඒක නෙවෙයි. කසාදයක් කියන්නෙ හරිම සුරක්ෂිත වගේම නිදහස් තැනක් වෙන්න ඕන. ඒ සුරක්ෂිත හැඟීම ගෑනු ළමයෙක්ට ඇති කරන්නෙ අධ්‍යාපනයයි ආදායමයි. ඒකෙන් කියන්නෙ ආදායමක් උපයන උගත් ගෑනු ළමයෙක් එයාගෙ මහත්තයට අවනත වෙන්න ඕන නෑ කියල එකක් නෙවෙයි. කසාදය කියන එක ජීවිතේ එල්ලිල ඉන්න තියන එකම හේතුව කර ගන්න ඕන නෑ කියන එක. එහෙම වුණාම තමයි පිරිමි මොන වරද කළත්…මොන තරං තාඩන පීඩන කළත්…මොන අසාධාරණේ කළත් ගෑණු දුක් විඳගෙන ඉන්නෙ. අපේ දුවල එහෙම වෙන්න ඕන නෑ”

අප ගැන අප්පච්චි දැරූ ඒ පොදු මතයට මම හැමදාම ගෞරව කරමි. 

මෝස්තර නිර්මාණය වූ කලී මා උසස් අධ්‍යාපනය ලබන්නටත් වෘත්තීය මාර්ගය ලෙස තෝරා ගන්නටත් රිසි වූ විෂය ක්ෂේත්‍රය වූයේ ය. කොළඹ සිටියේ වී නම් මා ඒ ක්ෂේත්‍රය තුළින් රැකියාවක් සොයා ගන්නට තිබිණි. ඇතැම් විට ටික කලක් මේ ලෙස කඳුකර සුන්දරත්වය තුළ ගිලෙමින් හිඳ රැකියාවකට යොමු වන්නෙමැයි හැඟීමක් ද යටි හිතෙහි වූවා වන්නට ඇත. සත්තකින් ම රැකියාවක් සොයා ගැනීමේ හදිසියක් මට වූයේ නැත. නමුත් විදුනි විසින් දැනුම් දෙන ලද පුවත නිසා මම ලහි ලහියේ මගේ ජීව දත්ත සටහන් පතක් සකසා ගතිමි.

“ලොකු පුතාගෙ ෆීල්ඩ් එක ඉතිං ඕක නෙවෙයිනෙ. ෆ්ලවර් ෆාම් එකක ඔයා මොනා කරන්නද..”

අප්පච්චී මඳ සිනහවකින් මගේ උනන්දුව ඉවසා ගත්තේ ය..

“අප්පච්චි මල් ගැන මං ඩිග්‍රි කරල නෑ තමයි. ඒ වුණාට මං හරි ආසයි මල් වලට”

“ලොකු ළමයො මල් වලට ආසයි කියල ෆාම් එකක වැඩ කරන්න පුළුවන්ද.. එහෙනං ඉතිං ලේබර් කෙනෙක් විදිහට යන්න ඕන”

“අනිත් එක ඔයාට කන්න බොන්න නැතුව නෙවෙයිනෙ ඔය වගේ රස්සාවකට යන්න. ඔයාගෙ කොලිෆිකේෂන්ස් වලට හරියන ජොබ් එකක් හෙමිහිට හොයා ගමු”

අම්මා ද සිය විරෝධය ප්‍රකාශ කළා ය.

“ඔව්. හදිස්සියක් නෑනෙ ලොකු පුතා. අපි හෙමිහිට තැනක් බලමුකො ම්…”

“අනේ අප්පච්චි”

මම කන්කෙඳිරි ගාන්නට පටන් ගතිමි. කෙසේවත් මේ අවස්ථාව අහිමි කර ගන්නට මට ඕනෑ වූයේ නැත.

“මං ලේබර් කෙනෙක් විදිහට වැඩ කරන්න යනව නෙවෙයිනෙ”

“ඒ ෆීල්ඩ් එක ගැන දැනීමක් නැතුව එහෙම තැනකට ගියාම ඒක තමයි දරුවො වෙන්නෙ. ඔන්න ඕක දමල ගහල ඉන්න. ඔයාට ගෙදර ඉන්න කම්මැළිනං ටීචින් වලටත් කැමති නැත්තං මං බලන්නංකො ඉස්කෝලෙ ඔෆිස් එකේ හරි මොකුත් වේකන්සි එකක් තියේද කියල”

“අප්පච්චි එතනට ට්‍රේන් කරන්න සුපර්වයිසර් කෙනෙක්ලු හොයන්නෙ. මං මල් එක්ක ඉන්න ආස නිසා මට ඒ වැඩ ඉක්මනට අල්ල ගන්න පුළුවන් වෙයි. අනික ට්‍රේන් එකක් දෙනවනෙ. සැලරි එකත් හොඳයි කියලයි කිව්වෙ. මං ටික දවසක් ගිහිං බලන්නං අප්පච්චි. මට කරන්න බෑ වගේනං අයිං වෙන්නං”

ඒ මා අප්පච්චි ඉදිරියේ ඒ තරම් බැගෑපත් වීමක් සිදු කළා ම ය. අවසන මගේ කරදරයෙන් බේරෙන්නට බැරි තැන ද මන්දා හෙතෙම එකඟතාවය ලබා දුන්නේ ය. නමුත් මට ඒ තනතුර ලැබෙතැයි විශ්වාසයකින් නොවේ.

“හ්ම් හ්ම් ගිහින් බලන්නකො ඉතිං. ජොබ් එකට යන්න එතනිං ඔයාව සිලෙක්ට් කර ගන්නත් එපැයි”

රැකියාව ලැබීමට වඩා අසීරු වූයේ ඊට අප්පච්චි ගෙන් අවසර ලබා ගැනීම ය. අරගලයෙන් අඩක් දිනුවා වන් සතුටකින් මම පිනා ගියෙමි.

“ඔච්චර සතුටු වෙන්න එපා. ඒ ගල් ඉබ්බා ඔයාව සිලෙක්ට් කර ගනී කියල මටනං සත පහකට විශ්වාස නෑ. මොකද මෑන් එදා රවපු හැටි මතකනෙ. අනික කසුනිගෙ ක්ලාස් එක ළඟදිත් ඔයාව කෙයා කළේ නෑ කිව්වනෙ. කෝකටත් ගිහිං බලනවකො ඉතිං”

නංගී ඔහු ගැන ප්‍රසාදයක් පෙන්වූයේ නැතිවාට මගේ උත්සාහය හෑල්ලුවට ලක් කළේ ද නැත. මා ගැන ඇය ආඩම්බර වන බවක් ඇගේ මුහුණේ වූ හසරැල් රේඛා වල ලියැවී තිබිණි.

“මං ඇඳං යන්නෙ මොකද්ද නංගි…තෝරල දෙන්නකො”

“ඒ කියපු විදිහෙ පොලිස් කාරයෙක්නං…ඔයාට ඉස්කෝලෙකට වගේ සාරි එකක් ඇඳං යන්න වෙයි”

“අයියෝ…මං ටීචින් වලට ආස නැත්තෙත් ඔය යාර හයේ සෙල්ලම නිසා”

“මං කිව්වෙ මට හිතුණ දේ..මෑන්ව කසාද බඳින්න නෙවෙයි..ජොබ් එක ගන්න”

ඇගේ අදහස නරක ම නැති බව මඳකින් මට වැටහිණ. ඒ අනුව උපාධි උත්සවය සඳහා ඇඳි ඇත් දළ පැහැති ඔසරිය අඳින්නට මම තීරණය කළෙමි.

“ඇති යාන්තං ඉන්ටවීව් එකකට යනකොට වැදගත් විදිහට ඇඳං යන්න මතක් වුණා”

මා සූදානම් වෙත්දී අම්මා කීවා ය. වැඩ නැති කාල පරිච්ඡේදයක් තිබුණෙන් දුවගෙන විත් මට ඔසරිය අන්දා හවඩියක් බැඳ හැඩ කළේ කසුනි ය. මම ඉතා සරල ලෙස මේක් අප් එකක් දමා ගෙන කොණ්ඩය ගෙඩියක් වන සේ ගෙල මුලට කොට බැඳ ගතිමි. කසුනි මට ටැක්සියක් ද ගෙන්වා දුන්නා ය. තනියට එන්නද කියා නංගී ඇසුවා ට මම එය ප්‍රතික්ෂේප කළෙමි. 

රැකියා තනතුරක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට ගියාට ආයතන ප්‍රධානියා ගේ නම වුව දන්නේ නෑ නේද කියා සිහි වූයේ ෆාම් හවුස් එකේ පිවිසුම් දොරටුව ඉදිරියේ රිය නතර වූවාටත් පසුව ය. ‘අනේ චුට්ටක් ඉන්න’ කියා රියදුරු ට කියා මම විදුනි ට දුරකතන ඇමතුමක් ගතිමි.

“අනේ මේ. මං ඔයාගෙ අයියගෙ නම දන්නෙ නෑනෙ. දැන් එතන ඉන්නෙ”

ඇය හඬ නගා සිනහ වූයේ ඇයි කියා අසන්නට ඒ වෙලාව වූයේ නැත.

 “මුණිවර අභිෂේක් බණ්ඩාර. මේ..මට ඔයාගෙ ෆොටෝ එකක් වට්සැප් කරන්නකො. මොකද්ද ඇන්දෙ…”

“නංගි කිව්ව සාරියක් අඳින්න කියල. මං එහෙනං තියන්නද…”

“බය වෙන්නැතුව කතා කරන්න හරිද…හරි කෙල්ල එහෙනං. ගුඩ් ලක්…විශ් යූ ඕල් ද බෙස්ට්”

‘තෑන්ක්ස්’ කියා සබඳතාව බිඳ දමමින් මම ඇය ට ගෙදරදී නංගී විසින් ජංගම දුරකතනයෙන් ගන්නා ලද පින්තූරයක් වටිසැප් කළෙමි. ඇය එසැනෙන් ‘වාව්’ කියා එව්වා ය. ටැක්සියට මුදල් ගෙවූ මම ඇතුළු වන්නට දොරටුව වෙත ගියෙමි. ආරක්ෂක නිලධාරියා හරස් ප්‍රශ්න අසන්නට ගත්තේ ය. 

“අද ඉන්ටවීව් එකක් තියනව කියල මට දැනුම් දීල නෑනෙ”

“නෑ නෑ මට ඕනෙ මිස්ට මුණිවර ට කතා කරන්න. මාව මිස්ටර් මුණිවර ළඟට දාන්නකො”

අන්තිමට ඔහු මට එකඟ ව රිසීවරය අතට ගත්තේ ය. ඒ අතරේ ඔහු ගේ ඇස් මා විනිවිද බලනා බව දුටු මම ඉවත බලා ගතිමි.

“සර්…මේ ගෑනු ළමයෙක් ඇවිත් ඉන්නව…සර්ව හම්බ වෙන්න ඕනලු. නෑ සර්..ජොබ් එකකට කියනව සර්..මං කිව්ව කාටවත් ඉන්ටවීව් කෝල් කරල නෑ කියල. අහන්නෑ සර්…සර්ව හම්බ වෙලාමලු යන්න ඕන. හරි සර්. හරි”

ඔහු රිසීවරය තැබුවේ මා මහත් කරදරයක් වූ බව හඟවනා මුහුණක් හදා ගෙන ‘එන්න’ යයි කියමිනි. මම ආරක්ෂකයා පසු පස ඇදෙන්නට වූයෙමි. ඒ උද්‍යානය වෙනම නතර වී බැලිය යුතු තරම් මන බඳනා එකකි. පේන තෙක් මානයේ හරිත පැහැය පැතිර තිබිණ. තැන් තැන් වල නෙක පැහැ මල් පාත්ති ය. ආරක්ෂකයා ගේ වේගවත් ගමන පසු පස මා ගියේ තැන් තැන් වල දී දුවමිනි. ෆාම් හවුස් එකට බාහිර ව, ලොකු වීදුරු දැමූ ගොඩනැගිල්ලක පිටතින් වන කාමරයේ දොර හැර හෙතෙම මට ඇතුල් වන ලෙස හිසින් සන් කළේ ය. මම හිත දැඩි කර ගෙන ද හිස කෙළින් කර ගෙන ද ඒ විසල් කුටියට ඇතුළු වීමි. මුණිවර අභිෂේක් බණ්ඩාර දැවැන්ත මේසයක් ළඟ අසුන් ගෙන නළල රැලි නංවා ගෙන බලා සිටිනයුරු දුටු මගේ සිතට පිවිසියේ වෙන කිසිවෙකු නොව බොලිවුඩ් නළු සුශාන්ත් සිං රාජ්පුත් ය.

“ගුඩ් මෝනිං! මං ආවෙ මෙහෙ ජොබ් වේකන්සීස් තියනවද බලන්න. මේ තියන්නෙ මගෙ සර්ටිෆිකේට්ස්. මේ බයෝඩේටා එක…”

මම හිටගෙන ම මගේ  ලිපිගොනු ඔහු වෙත පෑවෙමි. ඔහු මට සිය අතින් අසුන පෙන්වූයේ ය. මම හෙමිහිට හිඳ ගතිමි. දහදිය දමන්නට එන බවක් දැනුණත් මට ඕනෑ වූයේ ඒ නො සලකා ඉන්නට ය.

“මෙහෙ ජොබ් වේකන්සීස් තියනව කියල කවුද කිව්වෙ…”

ඔහු තව දුරටත් මගේ ජීව දත්ත සටහන් පත දෙස හෝ නො බලමින් කීවේ ය. මීට පෙර එක වතාවකටවත් මා දැක ඇති බවක් හෝ නො හඟවන්නට ද ඔහු වග බලා ගත්තේ ය.

“කවුරුත් කිව්වෙ නෑ. මෙතන ෆ්ලවර් ෆාම් එකක් තියෙනව කියල දැන ගත්තහම මට හිතුණා එන්න. මං මල් වලට ආස නිසා. ප්ලීස් මගෙ සීවී එක චෙක් කරන්නකො”

ඒ ආඩම්බරකාරයා ඉදිරියේ මා හැසිරුණේ කිසි සේත් ඔහු ගේ අහංකාරය මට වැදගත් නොවන බවක් හඟවමිනි. ඒ තුළ දඟකාරකමක් ද කැළතී තිබිණ. නමුත් පුද්ගලයා ගේ ස්වභාවය මඳ පමණින් හෝ දැන සිටියෙන් මම ඒ දාංගලය පිටතට පෙනෙන්නට නො හැරියෙමි. 

මගේ ලිපි ගොනු පරීක්ෂා කළ හෙතෙම ඒ සියල්ල මා ඉදිරියේ තබමින් මා ප්‍රතික්ෂේප කොට සිටියේ ය.

“ෆැශන් ඩිසයිනින් වලට ඩිග්‍රි එකක් තියෙන මනුස්සයෙක්ට දෙන්න ජොබ් එකක් මෙහෙ නෑ. සොරි”

“ෆැශන් ඩිසයිනින් වලට ජොබ් එකක් ෆ්ලවර් ෆාම් එකක නෑ කියල මං දන්නව. ප්ලීස් ඒ ඩිග්‍රි එක අමතක කරල මට මෙතන මොකක් හරි ජොබ් එකක් දෙන්න. මට පුළුවන් ඕන දෙයක් ටක් ගාල ඉගෙන ගෙන කරන්න. මං වැඩ කරනව හොඳ නැත්තං අයින් කරන්න පුළුවන්නෙ. එහෙම නේද රීසනබල්….”

ඔහු තව දුරටත් සිය නළල රැලි කර ගත් වන මුව ද අතකින් වසා ගෙන මදෙස බලා ගෙන සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...