මුතු බෙලි හදවත – 06 වන කොටස

තරුණියන් දෙදෙන මින්දුල සමගින් විහාරය තුළට යත්දී දුමාල් විතානාච්චි ද ඔවුන් පසු පස ආවේ ය. බලහත්කාරයෙන් ම ඔහු මේ විදිහට උදව් කරන්නට ඉදිරිපත් වීම ගැන සතුටක් ආදිත්‍යා තුළ වූයේ නැත. නමුත් ආමන්තා ගේ සිත උත්කර්ෂයට පත් ව තිබිණි. අක්කා ඔහු ගැන ඒ හැටි වගක් නැති ව පය ඉක්මන් කොට යාම ගැන ද ඈ තුළ උපන්නේ මඳ නොමනාපයකි.

“ටිකක් හෙමින් යනවකො. අර කොල්ලා මොනා හිතයිද…”

ඇය ආදිත්‍යා ගේ කනට කොට කීවා ය.

“අනේ මේ. ඕන එකක් හිතා ගද්දෙං..මං කිව්වෙ නෑනෙ අපිට එයාගෙ උදව් ඕනෙ කියල”

“කොහොමටත් එයා මේ ඔයාට උදව් කරන්න එනව නෙවෙයි”

“ආ..”

ආදිත්‍යා දෑස් කුඩා කොට නැගණිය දෙස බැලුවා ය. ආමන්තා ගේ මුහුණ මත ලස්සන මඳහසක් විය.

“එයාගෙ ඇස් පේන්නෙ නැතුව නෙවෙයිනෙ. ඔයා මේ  වඩං යන්නෙ වෙන  කාගෙවත් බබෙක් නෙවෙයි කියල එයා දන්නව. ඔයා විකුම් ගෙ වයිෆ් කියලත් එයා නොදන්නව නෙවෙයිනෙ”

ආදිත්‍යා නැගණිය දෙස බලා සිනහවක් නගා ගත්තා ය. සත්‍යය එය බව ඇයට ද වහා වැටහිණ. දුමාල් ආමන්තා කෙරේ බැඳුණු සිතින් පසු වෙනවා ඇත. බාහිර පෙනුම අතින් ඔවුන් දෙදෙනා ඉතා හොඳින් ගැලපෙන බවට ද ආදිත්‍යා ඉක්මනින් සිතින් මිනුම් කළා ය.

“එහෙනං කමක් නෑ. මං මේ බයේ හිටියෙ මට ඕවට වග උත්තර බඳින්න වෙයි කියල”

ඉන් පසු ආදිත්‍යා ගේ හිතට පහසුවක් දැනුණේ ය.

ඔවුන් බුදුන් වඳිනා තුරු මින්දුල බලා ගන්නට දුමාල් ඉදිරිපත් වූ නමුත්, මින්දුල ආගන්තුකයන් කෙරේ ප්‍රතිචාර දක්වන්නේ සුබවාදී ව නොවේ. ඒ නිසා ආදිත්‍යා ට වැඳ පුදා ගන්නට ය කියා ආමන්තා දරුවා ව ගත්තා ය. ආදිත්‍යා ට තරමට ම නොවුණත් මින්දුල ආමන්තා ට තරමක් හුරු ය.

“කෝ විකුම්…”

දුමාල් ඇසුවේ ආමන්තා ගෙනි. ඇය සමච්චලයට සිනහ වූවා ය.

“පන්සල් එන්නම මිනිහ”

ඉඳහිට සඳැල්ලෙහි වැටෙනා ආදිත්‍යා ගේ කඳුළ ගැන ලොකු කතාවක් මනසේ ගොඩ නගා ගන්නට දුමාල් ට හැකි වන්නට ඇත.

“මේ අසනීප දරුවවත් දැන් එයාට බරක් වෙලා”

“අසනීප…”

දුමාල් මින්දුල දෙස බැලුවේ පුදුමයෙනි. බැලූ බැල්මට බාහිරයෙන් ඔහු රෝගී දරුවෙකු බව නොපෙනේ. සාමාන්‍ය දරුවෙකු සේ ම, ඇතැම් විට ඊටත් වඩා මින්දුල ලස්සන ය. පෙනුමෙන් බටහිර රටක දරුවෙකු වාගේ ය.

“පුතා ඔටිසම් අයියෙ”

සිය පෞද්ගලිකත්වය මේ විදිහට නාඳුනන තරුණයෙකු ඉදිරියේ හෙළිදරව් කිරීමේ බරපතලකමක් ආමන්තා ට දැනුණේ ම නැත. කුමක් දෝ හේතුවක් මත ඇය කොන්දේසි විරහිත ව ඔහු ව විශ්වාස කරමින් සිටියා ය. දුමාල් ගේ නළල යන්තමින් රැලි නැගිණ.

“අක්ක පව්. මේ දරුව මත්තෙ එයා හරියට දුක් විඳිනව. එක අතකට මේව අපේ දෙමව්පියන්ගෙ වැරදි”

“ඒ කිව්වෙ..”

“විකුම් අයිය ගැන යෝජනාව ට අක්ක කැමති වුණේ නෑ. ඒත් ගෙදර අය වෙනුවෙන් එයාට කැමති වෙන්න වුණා. දැන් එයා තනියම විඳෝනව”

ආමන්තා ගේ නෙතග තෙත පාට තැවරිණ. දුමාල් මින්දුල ගේ සිඟිති අතක් අල්ලා ගත්තේ ය. දරුවා බිය වී ආමන්තා ගේ උරහිසෙහි සැඟවී ගත්තේ ය.

වැඳ පුදා ගැනීමෙන් පසු ඔවුහු වැව රවුමේ සුළං විඳිමින් ඇවිද්දහ. ආදිත්‍යා හා ආමන්තා මින්දුල ගේ දෑතින් අල්ලා ගෙන ඔහු ව ඇවිද්දවූහ. කොළ පාට ඇස් ඇති පැහැපත් ප්‍රසන්න තරුණිය දෙස දුමාල් බලා සිටියේ විශ්මය ද ශෝකය ද කැටි වූ හැඟුම් සමුදායක් හද දරා ගෙන ය. ආමන්තා ගෙන් ඔහු දැන ගත් කාරණා අනුව ඔවුන් ඒ හැටි වත්කම් ඇති අය විය නො හැකි ය. විකුම් ආදිත්‍යා හා විවාහ වන්නට එක ම හේතුව ඇය ගේ ස්වභාවික සුන්දරත්වය පමණක් විය යුතු යයි ඔහු සිතුවේ ය.

දුමාල් ගේ සිතිවිල්ල නිවැරදි ය. සඳසීලි ගේ සිත් ගන්නට ආදිත්‍යා ට වූ සුදුසුකම ඇගේ ඉතා සන්සුන් නිවුනු පිළිවෙත් ය. විකුම් වන් කුලප්පු වූ ඇතෙකු දමනය කරන්නට සුන්දරත්වය සපිරි ඇගේ සන්සුන්කම ප්‍රමාණවත් වනු ඇතැයි ඇය විශ්වාස කළා ය. විවාහය ගැන ලොකුවට හිතා ගෙන නො සිටි විකුම් අම්මා ගේ කැමැත්ත මත පමණක් ආදිත්‍යා හා විවාහ වන්නට එකඟ නො වනු ඇත. ඔහු ව ඒ සඳහා ඇද බැඳ ගත් එක ම හේතුව ආදිත්‍යා ගේ රූපයයි. සැබවින් ඔහු ටික කලක් ඒ රුවෙහි මතු වී ගෙන සිටියේ ය.

“අපි මොනා හරි කමු නේද…”

දුමාල් ගේ යෝජනාව ආදිත්‍යා එක හෙලා ප්‍රතික්ෂේප කළා ය. නමුත් ඔහු ගේ සහායට ආමන්තා සිටියා ය.

දුමාල් ගේ නම ගම සේ ම ඔහු අසල්වැසි නිවසේ තාවකාලික නවාතැන් කරුවෙකු බවත් ආදිත්‍යා දැන ගත්තේ ඉන්දියානු කෑම කන ගමන් කළ කතා බහේ දී ය. ඔහු පෞද්ගලික අංශයේ බැංකුවක සහාය කලමනාකාරවරයෙකු ලෙස රැකියාව කළේ ය.

“ගෙදර ඇවිත් තනියම උයන්න දෙයක් නෑනෙ මැරි කළානං”

ආමන්තා විහිළුවක් කළා ය.

“ඒක ඇත්ත”

“ඉතිං කෙනෙක් නෑ වෙන්න බෑනෙ”

ආමන්තා ගේ කඩඉම් ප්‍රශ්නය ට තරුණයා මුලින් ම කළේ ආදිත්‍යා දෙස බලන එක ය. ඇය ඒ බැල්ම මගහැර, යාබද පුටුවේ අසුන්ගත කරවා උන් මින්දුල දෙසට හැරුණා ය.

“මං හිතන්නෙ හවස අර කට්ටිය අතරෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉන්නත් ඇති”

“බෑන්ක් එකේ සෙට් එක. අද එක්කෙනෙක්ගෙ බර්ත් ඩේ එක. ඉතිං මෙතනිං ලන්ච් අරං පොඩ්ඩක් ටයිම් ස්පෙන්ඩ් කරල පන්සලටත් ගියා”

කතා කළේ ඔවුන් දෙදෙනා ය. ආදිත්‍යා මින්දුල ගේ ලෝකයට වී සිටියා ය. නංගී හෝ ඈ කැමති විදිහේ තරුණයෙකු තෝරා ගෙන විවාහ වෙන එක හොඳ යයි ඇය සිතුවා ය. එතකොට විවාහ ජීවිතය ඇතුළේ ඇයට දැනෙන්නා වූ මේ හිස් හැඟීම විඳ ගන්නට තරම් ආමන්තා  අවාසනාවන්ත නො වනු ඇත. කොහොමටත් ආදිත්‍යා මරු කටට පැන්නේ සිය පවුලේ අය ට වඩා යහපත් අනාගතයක් උරුම කොට දෙනු වස් ය.

ඔවුන් ආපසු යන විට විදුලි පහන් දැල්වෙන්නට පටන් ගෙන තිබිණ. ආමන්තා දුමාල් ගේ රියෙහි ඉදිරි අසුනට ගොඩ වූවා ය. මින්දුල ඉක්මනින් ම නින්දට වැටුණෙන්, හිතත් එක්ක හුදෙකලා වීමේ අවස්ථාව ආදිත්‍යා ට උදා විය. ඇගේ හිත පටලැවුණ නූල් බෝලයක් සේ ය. විකුම් ව කෙසේ යළි ඔවුන් ගේ පවුල් ජීවිතය වෙතට ඇද ගන්නද කියා ඇය ට සිතා ගත හැකි වූයේ නැත.

ඔහු වූ කලී කොහොමටත් සෙල්ලක්කාරයෙකි. ස්ත්‍රී ඇසුරට ලොල් වූ අයෙකි. විවාහයට පෙර ඔහු තදින් ආශක්ත වූ තරුණියක සිටියා ය. නමුත් ශිරෝෂි සමගින් විවාහ වීමේ අදහසක් කවදාවත් විකුම් ට වූයේ නැත. පුරුදු විදිහට බැඳීම් වලින් නො බැඳී නිදහසේ ඇය ඇසුරු කිරීම ඔහු ගේ කැමැත්ත වූයේ ය. ශිරෝෂි ද විවාහයක් ගැන කිසි දා විකුම් සමගින් කතා නොකළා ය. ඇය ගේ ඒ නිදහස් පිළිවෙත, ඇසුරු කළ අනිත් ස්ත්‍රීන් ට වඩා ඇය කෙරේ විකුම් ගේ සිත බැඳ ගන්නට හේතු සාදන්නට ඇත.

මින්දුල ඔටිසම් රෝගියෙකු කියා දැන ගන්නට පෙරත්, ආදිත්‍යා ඔහු ව කුස දරා සිටියදීත් විකුම් ශිරෝෂි වෙත ගියා ය. නමුත් ඒ ඉතා සූක්ෂ්ම ලෙස ය. ආදිත්‍යා ට සිය නීත්‍යානුකූල බිරිඳ වශයෙන් ඉටු විය යුතුකම් පිළිබඳව චෝදනා කරන්නට ඉඩක් නො තබමිනි. රෑ බෝ වන විට අනිවාර්යයෙන් නිවෙසට පැමිණෙමිනි. සඳසීලී වුව පුතා දැන් යහපත් මාර්ගයකට එළඹ ඇතැයි හිතන්නට පොළඹවමිනි.

ඇමති මැදුර ඉදිරියේ සිය රියෙන් බැස ගන්නා තුරුත් ආදිත්‍යා සිටියේ ලොකු කල්පනාවක බව දුමාල් දුටුවේ ය. ඇය වරින් වර හීල්ලුවා ය. සුසුම් හෙළුවා ය. ඇස් පියා ගනිමින් වේදනාව තනිව විඳ දරා ගත්තා ය.

රියෙන් බැසි ඕ ස්තූති පූර්වක සිනහවකින් ඔහු දෙස බැලුවා ය. නමුත් ආදිත්‍යා දුටුවේ සිනහ පොදක් නැති ඔහු ගේ දෑස ය.

පන්සල් ගොස් එන්නට රෑ වන නිසා ඇමති නිවසේ ඒ රැය ගත කරන බව ආමන්තා ගෙදරට දැනුම් දී තිබිණි. ආදිත්‍යා ඇය වෙනුවෙන් වෙන ම කාමරයක් සූදානම් කරනු වෙනුවට සිය යහනෙහි කොනක් ඈ වෙනුවෙන් වෙන් කළා ය.

“එතකොට විකුම් අයිය…”

“එයා අද වෙන රූම් එකක නිදියයි”

ආදිත්‍යා ගණනකට නැතිව කීවා ය.

“ඒත් ඒක හරි නෑනෙ අක්කෙ”

“කමක් නෑ. ඔයා නිදියන්නකො”

ආමන්තා ට නිදි මතක් වූයේ ම නැත. ඇගේ හිත නො ඉවසිලිමත් ව තිබිණි. දුමාල් ඇගේ හිතේ කඳවුරු බැඳ ගෙන සිටියේ ය. ආමන්තා රස සිතිවිලි සමුද්‍රයක කිමිදෙමින්, ගිළෙමින් හා පා වෙමින් සිටියා ය.

ආදිත්‍යා නිදි නැති බව ඇගේ නිරීක්ෂණය ට ලක් වූයේ ඒ අතරේ ය. වාහන වල හඬ ඇසෙන වාරයක් ගානේ ඇය නැගිට බැලුවා ය. විකුම් ආවේ මැදියම් රැයත් ඉක්ම ගොස් හෝරා ගණනකට පසු ය.

ආදිත්‍යා යහනෙන් බැස නොගියේ ආමන්තා අවදි වෙතැයි බියෙනි. නමුත් නින්දත් නො නින්දත් අතරේ උන් යුවතිය ඒ වෙලාවේ අවදි වූවා ය. විකුම් වැරදී හෝ කාමරයට ආවේ නැත්තේ ඇයි දැයි ආමන්තා සිතුවා ය. ආදිත්‍යා ඒ බවක් දුරකතනයෙන් හෝ විකුම් ට කියනවා ඇය ට ඇසුණේ ත් නැත.

අක්කා ගේ ජීවිතය මේ දැයි ඇය කම්පිත වූවා ය.

පසු දා ඉරිදා නිසා දුමාල් අවදි වූයේ පමා වී ය. යහනෙන් බිමට බට වහා ම ඔහු වීදුරු කවුළුවෙන් දෑස් පා කොට විකුම් පායේ දනුණු පස සඳැල්ල දෙස බැලුවේ ය. ආමන්තා එතැන් සිට කෘතීම දිය ඇල්ලේ දිය වෑහෙන දෙස බලා ගෙන ද ඒ හඬ ට කන් දී ගෙන ද සිටියා ය. යෞවනයා ව දුටු ඕ සිනා සී ගෙන අත වැනුවා ය. දුමාල් ගේ දෙතොල් අතරට ලා සිනහවක් ආවේ ය.

“වැඩ නෑ…”

“සන්ඩේනෙ”

“ගර්ල් ෆ්‍රෙන්ඩ් බලන්න යන්නෑ…”

“එහෙම තමා හිතං ඉන්නෙ”

ආමන්තා ගේ කට හඬ ඇසුණ නිසා ආදිත්‍යා සඳැල්ලට කර පෙව්වා ය. දුමාල් ගේ ඇස් ඈත අවකාශයේ විදුලි කෙටුවේ ය. ඉක්මන් කෙටි සිනහවකින් ආදිත්‍යා කාමරයට වූවා ය.

“විකුම් අයිය කීයටද ආවෙ…”

මින්දුල ට කෑම කවන ගමන් ආමන්තා ඇසුවා ය. ආදිත්‍යා නැගණිය ගේ මුහුණ මගහැරියා ය.

“එච්චර රෑ වුණේ නෑ මගෙ හිතේ”

“රූම් එකට ආවද…”

“හ්ම්. ඔයා ඉන්න නිසා එයා වෙන රූම් එකකට ගියා”

ආමන්තා සොයුරිය දෙස බලාගෙන ම සිටියා ය. අක්කා ඒ තරම් ම බරක් හදවතින් උහුලා ගෙන ඉන්නේ කෙසේ දැයි ඇය ට සිතා ගන්නට වුව නුපුළුවන. ඒ සහෝදර කම වෙනුවෙන් ඈ තුරුලු කර ගෙන හඬා වැටෙන්නට වුව ආමන්තා ට පුළුවන. නමුත් කලබල නොවී මේ ප්‍රශ්නයේ අග මුල සොයා ගත යුතු යයි ඇය තීරණය කළා ය.

ගෙදර ගියත් ඕ අම්මා සමගින් වුව ආදිත්‍යා ගේ ප්‍රශ්නය ගැන කතා නො කළා ය. තාත්තා හදවත් රෝගියෙකි. මොනවා සිද්ද වුණත් දැන් ඒ දේවල් සිදු වී හමාර ය. අතීතය මත්තේ දැන් ඒ වයසක මිනිසුන් ගේ හිත් පෑරිය යුතු නැතැයි ආමන්තා සිතා ගත්තා ය.

ඉරිදා වුණත් විකුම් ගෙදර රැඳුණේ නැත.

“නංගිව බස්සන්නත් එක්කම අපි ගෙදර ගිහිං එමුද…”

කියා ආදිත්‍යා උදේ ඔහු ගෙන් ඇසුවේ විකුම් කෑම කත්දී ය.

“කැබ් එකක් දා ගෙන යන්න. මටනං වෙලාවක් නෑ”

ඔහු ගත් කටට ම කීවේ ය. ආදිත්‍යා වේදනාවෙන් මිරිකී ගියා ය. මේසයේ කොනක පත්තරය බලමින් සිටි සේනක විජයවික්‍රම, පත්තරයට මත්තෙන් ලේලිය දෙස බැලුවේ ය.

“විකුම්ට වෙලාවක් නැත්තංහරි ආදිත්‍යා ට කොහෙ හරි යන්න ඕනනං හරි මට කියන්න. මං ඩ්‍රොප් කරන්නං. ආදිත්‍යා ඔය විදිහට කැබ් කෝල් කරං තැන තැන යන එක එච්චර හොඳ මදි මං හිතන්නෙ”

ආදිත්‍යා ලොකු හුස්මකින් පපුව පුරවා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත -22

දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත...

බබ්බු බැලිල්ල.

නාලිකා කාර්යාල මේසය උඩින් අත් බෑගය තිබ්බේ සද්දේ ඇහෙන්න.ඊටත් පස්සේ වටේම බැලුවේ කවුරුහරි ඒකට හේතු අහයි වගේ.කාවින්දිට හිනා යන්න ආවත් හිනාව හංගාගෙන...

මීදුම් මාරුත -19

"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත්...

මතක දිගහැරුම 75 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ පස්වන දිගහැරුම ,දරුවන්‍ට ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ව හොඳ පාසලකට ඇතුළත් කිරීම අපගේ ඊළඟ අරමුණ විය.ඒ...

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content