දූෂණයෙන් පිරුණු උසාවිය තුල අසරණවූ ගැහැණියකට පිහිටට වැඩි දේවතාවි- වෙන්බා

පරිස්සමට ගැහැණු දරුවන් හදන ගමන් ,ගැහැණියකට ගරු කරන්න පිරිමින්ටත් කියා දිය යුතුයි යනුවෙන් සමාජයට පෙන්වා දෙන චිත්‍රපටයක්!

සියුමැලි මල් වැනි දරුවන් ලිංගික හිංසනයට ලක්වීම , සමාජ බලය සහ මුදල් මත දූශිත ලෙස එවැනි නඩු යට ගැසීම, තමන්ට සාදාරණයක් ඉටු කරතැයි අහිංසක මිනිසුන් බලාපොරොත්තු වෙන උසාවිය තුලින්ම අසාධාරණයට ලක්වූ අහිංසක මිනිසුන් අසරණව බලා සිටින මොහොතක ඔවුන් වෙනුවෙන් හඩක් නගන්නට, පෙනීසිටීමට කාන්තාවක් පැමිණියහොත්? ඒ මිනිසුන් වෙනුවෙන් හඩක් නගන්න දෙවඟනක් මෙන් පැමිණෙන කාන්තාව වෙන්බා…ඇය යුක්තිය වෙනුවෙන් පෙනි සිටින්නේ කෙසේද යන්නත්..ඒ සදහා ඇයට කොයිතරම් අරගල කරන්න සිදුවෙනවාද යන්නත් දැනගැනීමට පොන්මගල් වන්දාල් ( Ponmagal Vandhal ) චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම වෙනවා.

වසර 15 කට පෙර තීන්දුවක් දී වසා දමන නඩුවක් නැවත විමසමින් යුක්තිය ඉල්ලන කාන්තාවක් ඇය.. නීතියේ ඇස් වසමින් නඩුව නොමග යැවූවන් නීතිය ඉදිරියට ගෙන්වන්න සටනක නිරත වෙන ඇය..

ඇය – වෙන්බා කවරෙක්දැයි චිත්‍රපට අවසානය තෙක්ම ඔබට අනාවරණය වෙන්නෙ නැති රහසක්..

2004 වසරේදි ” සයිකෝ ජෝති ” නමින් හැඳින්වූ කාන්තාවක් තරුණයක් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ තරුණියන් කීප දෙනෙක් පැහැරගෙන යාම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී ඉන්පසු ඇය පොලිසියෙන් පැන යාමට උත්සහ කල අවස්ථාවේ ඇතිවූ ගැටුමකදී මිය ගොස් ඇති බව අනාවරණය වේ.

වසර 15 කට පසුව ඌටි හි පදිංචි පෙතුරාජ් ,ජෝති නිර්දෝශි බව කියමින් නඩුව නැවත විවෘත කරයි. ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහුගේ දියණිය වන ආධුනික නීතිඥවරියක් වන වෙන්බා යි. ඉන්පසු දැඩි බාධක මධ්‍යයේ ඇය මෙම නඩුව ඉදිරියට ගෙන යමින් ” ජෝති ” නැමති කාන්තාව නිර්දෝශී බව ඔප්පු කිරීමට උසාවිය ඉදිරියේ දරන අසීමිත උත්සහය සහ කිසිවෙකුටත් සිතාගත නොහැකි අවසානයක් මෙම චිත්‍රපටය ඔස්සෙ දිගහැරෙනවා.

“කෙල්ලෙක් තමන්ගෙ ප්‍රශ්නයක් වෙනුවෙන් නිර්භීතව සටන් කරන එක පිස්සුවක් වගේ පේන්නෙ ඇයි සර්?

අපට සිද්ධවෙන ප්‍රශ්නයක් ගැන කිව්වම ඒක නාට්‍යයක්.
අපේ කඳුළු බෙදාගත්තොත් ඒක රඟපෑමක්
අපේ වේදනාව පිටිපස්සේ තියෙන ඇත්ත ඇයි සර් ඔයාලට හැමවෙලාවෙම බොරුවක් වගේ පේන්නෙ?

කවදහරි නිදාගෙන ඉන්නකොට සිය දෙනෙක් ඔයාගෙ බෙල්ල මිරිකනව වගේ හීනයක් දැකල ගැස්සිල නැගිටල තියෙනවද? එහෙම නැගිටල නැතුව ඇති….

වේදනාව කියන්නෙ මොකක්ද?
නැතිවීම කියන්නෙ මොකක්ද?
දුක කියන්නෙ මොකක්ද?

කියල දන්නෙම නැතුව ඇති….ඒත් මම එහෙම නෙවෙයි….

එක රැයක් සැනසීමෙන් නිදාගෙන අවුරුදු ගාණක් වෙනවා. මගේ හැම හිනාවක් පිටිපස්සෙම කඳුළු තියෙනවා. මගේ අතීතෙ අමතක කරන්න බැරි කේන්තිය තියෙනවා. හැම රැයක්ම අඳුනන්නෙ නැති දහස් ගාණක් මගේ පස්සෙන් පන්නගෙන එනව කියල හිතල බයෙන් මැරි මැරි ජීවත්වෙනව.

වේදනාව, අහිමිවීම්, දුක….

ඒවගෙ තියෙන බය මේ ඇඟ පුරාම තියෙනවා “

ප්‍රේක්ෂකයාගේ දෑස් තෙත් කරන්නට සමත් මෙවැනි බොහෝ දෙබස් සහ සිදුවීම් ඇතුලත් මෙම චිත්‍රපටයේ ” වෙන්බා ” ගේ චරිතයට පණ පොවන්නේ ජෝතිකායි. ඇගේ හැඟිම්බර වූ විශිශ්ට රංගනය ඇය මෙම චිත්‍රපටය පුරාවටම මනා ලෙස විදහා දක්වනවා.

2020 වර්ශයේ මැයි 29 වන දින කරලියට පැමිනෙන Ponmagal Vandhal ( පොන්මගල් වන්දාල් ) එහෙමත් නැතිනම් ” දේවතාවිය පැමිණියා ” නම් වූ මෙම චිත්‍රපටය ජේ.ජේ. ෆෙඩ්‍රික් විසින් රචනා කර අධ්‍යක්ශනය කරන ලද , සූර්‍යා විසින් නිශ්පාදනය කරන ලද ඉහල ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයකි. මිනිත්තු 120 ක් පුරාවට හදවත කම්පා කරන සිදුවීම් සහ දෙබස් සපිරි මෙම චිත්‍රපටය IMBD දර්ශකයේ 7.1 ලෙස සටහන් කරන්නටද සමත් වෙලා තියනවා.

ඉතින්
දේවතාවියක් පැමිණ නීතිය ඉදිරියේ යුක්තිය ඉල්ලා සටන් වදින හැටි බලන්න ඔබ මෙම චිත්‍රපටය නැරඹිය යුතුමයි !

Related Articles

Don't Miss


Latest Articles