fbpx

අහංකාර නගරේ – 28

හිරු කිරණ දැඩි වී තිබිණි. නමුත් සිතිජ ගේ සෙවන යට මට දාහයක් නො දැනුණ තරමි. අප නුගේගොඩ සිට කොහුවල තෙක් ඇවිද ආවේ ද සූර්ය තාපයෙහි පීඩනයක් ගැන අල්ප මාත්‍රයකුදු නො දැනෙනා තරම් හෙමිහිට ය.

“මිනිස්සු හිතනව ඇති අපිට පිස්සු කියල”

මඳ දුරක් ඇවිද ගිය පසු ඔහු මන්දස්මිතයකින් තෙපළේ ය. මා ඇයි කියා ඇසුවේ ඇස් වලිනි.

“මේ ගිනි අව්ව ගැන කිසි ගාණක් නැතුව හිම වැටෙනව වගේ හිමිං ඇවිදින නිසා”

මම මන්දස්මිතයක් පෑවෙමි. මේ අහස යට සිදු වෙන කිසියම් ම දෙයකුදු වටහා ගත නො හැකි සෙයකි. මා වට කොට ගෙන ඇති අවිනිශ්චිත කම කෙතරම් දැයි මිනුම් කර ගත නො හැකි ය. අද ඔය විදිහට පොලීසියෙන් නික්ම ගියා ට රෝස්මරී මැඩම් එතෙකින් නිහඩ නො වන බව සහතික ය. මෙතෙක් ඇයට මා හා වූයේ ගනු දෙනුවකි. දැන් එය ඊට එහාට දිගු වූ කෝන්තරයක් බවට පත් ව තිබේ. ඇගේ ඇස් මත වූ බැල්ම මට මතක ය. ඇය මදෙස බැලුවේ සිය පුතු ඩැහැ ගන්නට පැමිණි යක්ෂණියක දෙස බලනාකාරයෙනි.

සිතිජ මා කැටුව ගොස් ගොඩ වූයේ කැළණිය බලා යන බසයකට ය. ක්ලීනිං සර්විස් එකේ වැඩට යන කාලයේ දී කොහුවල සිට කැළණිය බලා ධාවනය වන බස් රථ මම දැක ඇත්තෙමි. කැළණිය කියන්නේ මට බුද්ධ ධර්මය පොතේ පමණක්  හමු වී ඇති නගරයකි. කිසි දා මා හැබැහින් එහි ගොස් තිබුණේ නැත.

“පන්සල්ද යන්නෙ…”

හදිසියේ කෙළි බඩුවක් අත පත් දැරියක ගේ උනන්දුවෙන් යුතු ව මම ඇසීමි. සිතිජ සිහින් සිනහවක් පෑවේ ය. ඒ සිනහව දැන් වඩාත් පරිනතයි කියා මට සිතිණ.

“කැළණිය කියන්නෙ පන්සල් විතරක් නෙවෙයිනෙ”

“හරි ඉතිං…දැං යන්නෙ පන්සල්ද…”

“නිදහසේ ඔයත් එක්ක කතා කරන්න වෙලාවක් මට ඕනෙ. ඔයත් රිලැක්ස් වෙන්න ඕනෙ මෙව්නා. කිසි දෙයක් වුණෙ නෑ වගේ අපි අද දවස ගෙවෙන්න අරිමු”

උගුරෙහි රිදුමක් මට දැනිණ. මේ අහංකාර නගරයේ මට මුලින් ම හමු වූ අහංකාර කොල්ලා මේ අයුරින් මගේ අතැඟිලි පටලා ගෙන, ජීවිතයේ දුෂ්කර ම මොහොතකත් මා පසෙකින් හිඳිනා එක සුළුවෙන් තැකිය නො හැකි කාරණයකි.

“අයියෙ…”

මම බැරෑඬි ගතියක් පෙන්වූ උගුර යටින් කතා කළෙමි.

“ම්…”

“ඇයි මාව විශ්වාස කළේ…”

ඒ මා අසන්නට පුන පුනා බලා සිටි ප්‍රශ්නයක් නොවේ. මේ මොහොතේ සුළි කුණාටුවක් සේ මගේ හද මඬල කළඹා ගෙන හමා ආ සිතිවිල්ලකි. සිතිජ සුසුමක් හෙළුවේ ය.

“ඇයි මං ඔයාව විශ්වාස නොකරන්නෙ…”

ඒ ප්‍රශ්නය ට මා බලාපොරොත්තු වූයේ අරුත් පසිඳ ගත නො හැකි තවත් ප්‍රශ්නයක් ම නොවේ.

“ඔයා මාව විශ්වාස කරන තාක් මට ඔයාව විශ්වාස නොකරන්න කිසිම හේතුවක් නෑ මෙව්නා”

ඔහු වාගේ පත පොත කියවූ, ලෝකය ගැන අවබෝධයෙන් යුතු ඉංජිනේරු සිසුවෙකු කියනා දේවල්, මහියංගනයේ සිට පැමිණි, අත්දැකීම් අඩු කෙල්ලකට නො තේරෙනවා වන්නට පුළුවන.

“ඔයාගෙ ඇස් වල මං දැක්කෙ එක ම එක කතාවයි. ඒ ඔයා මාව විශ්වාස කරනව කියන කතාව. ඔයාට විරුද්ධව දේවල් කිව්වෙ මගෙ අම්ම. ඊයෙ අම්ම සමහර දේවල් කියද්දි ඇත්තට ම මං ශොක් වුණා. මං බය වුණා. ඔයා එහෙම මට කරයිද කියන ප්‍රශ්නෙ මගෙ හිතේ ඇති වුණා. මාත් කොල්ලෙක්නෙ මෙව්නා. මං හිටියෙ කේන්තියක වෙන්නත් ඇති. ඔයාගෙ කෝල්ස් වලට මං ආන්සර් කළේ නැත්තෙත් ඒක නිසා වෙන්න ඇති. මට පාඩුවෙ ඉන්න ඕන වුණා. පාඩුවෙ කල්පනා කරන්න ඕන වුණා. අම්ම එක්ක රණ්ඩු කර ගන්න ගිය මං අම්ම කියපු සමහර දේවල් නිසා බිමට ම චප්ප වුණා. ඒත් ඒ වැටිච්ච තැනිං නැගිටින්න මට පුළුවන් වුණා”

ඔහු මගේ අත සිය මහපට ඇඟිල්ලෙන් පිරිමදිමින් සිටියේ ය. මම ඔහේ බලා සිටියෙමි. ඔහේ අසා සිටියෙමි.

“මීට කලිං ඒ ලෙවල් ක්ලාස් එකේදි මං ගර්ල් කෙනෙක් එක්ක අෆෙයා එකක් තිබුණා. ඒත් ඒක ඉක්මනටම කෙළවර වෙලා ගියා. මන්දා. මට එයා ගැන විශ්වාසයක් ඇති කර ගන්න බැරි වුණා. එයා කියපු හුඟක් දේවල් මං පිළිගත්තෙ නෑ. එකට එක ගමනක් යන්නනං තියෙන්න ඕන වැදගත් ම දේ තමයි තමයි විශ්වාසෙ. එහෙම නැතුව අපි කොහොමද අනිත් කෙනාට විවෘත වෙන්නෙ…අපේ රහස්…අපි ගැන වෙන කිසි කෙනෙක් නො දන්න දුර්වලකම්…විශ්වාසයක් නැතුව කොහොමද ශෙයා කර ගන්නෙ…හැබැයි ඔයා එක්ක අෆෙයා එකක් ඇති කර ගන්න කලින් ඉඳලම මං ඔයාව විශ්වාස කළා. ඒ ඔයාගෙ ඇස් කොන්දේසි නැතුව ම මාව විශ්වාස කරනව කියන කතාව මට කිය කියා තිබුණ නිසා. පිරිමියෙක් හැම කෙල්ලෙක්වම ඒ වගේ විශ්වාස කරන්නෙ නෑ මෙව්නා. එහෙම විශ්වාසයක් නො දැනෙන ගෑනු හිතක් ළඟ ස්ටැබ්ලිෂ් වෙන්න හිතන්නෙවත් නෑ”

මම මගේ කොපුලක් යාන්තම් ඔහු ගේ අත් බාහුව මත රඳවා ගතිමි. මට ලොව්තුරු සුවයක් දැනිණ.

“මේ ප්‍රශ්නෙදි මං මගෙ අම්මට වඩා ඔයාව විශ්වාස කරනව මෙව්නා”

සමනල වාරයට සමනලුන් රංචු පිටින් සිරීපාදේ යනවා යි මම අසා ඇත්තෙමි. සිරීපාදේ කන්ද මුදුනේ හිස ගසා මියැදෙන සමනලුන් ගේ තටු වලින් කඳු මුදුන පිරී යන බව ද මම අසා ඇත්තෙමි. එහි විද්‍යාත්මක පදනමක් ගැන මම නො දනිමි. ඒ භක්තිය යයි සාමාන්‍ය සම්ප්‍රදායික බැතිමතියක වාගේ සිතනවා නම්, මා මේ නගරයට පැමිණෙන්නට ඇත්තේ ද සසර පුරුදු ගමනකි. සමනොල ගිර තරම් අපූරු බැතිබර බවක් මා තුළ යළි යළි දනවන්නට සමත් මේ යෞවනයා පා මුල, සමනොල ගිරි හිස හිස ගසා මියැදෙන සමනලියක සේ මිය ගියත් කිම දැයි සිතීම ප්‍රේමයේ බොළඳ දියාරු කමකැයි මට නො සිතේ.

“මං ඈත ගමකිං මෙහෙට ආපු මෙලෝ වටිනකමක් නැති කෙල්ලෙක් තමයි අයියෙ. ඒත් ඔයා මං ගැන තියපු විශ්වාසෙ වෙනුවෙං මං මුළු ජීවිත කාලයක්ම පෙනී ඉන්නව. ඒ විශ්වාසෙ මට මගෙ වටිනකම කොච්චරද කියන එක මතක් කරල දෙනව. පිරිමියෙකුයි ගෑනියෙකුයි අතරෙ ඇති වෙන්න පුළුවන් ලොකුම දේ කියල මිනිස්සු හිතං ඉන්නෙ මොන වගේ විහිළුවක් ද…පිරිමියෙකුයි ගෑනියෙකුයි අතරෙ තමයි ලෝකෙ තියෙන ආශ්චර්යමත් ම සම්බන්දෙ ගොඩ නැගෙන්න පුළුවන් ය කියන එක ඔයා නිසා මං ඉගෙන ගනිමින් ඉන්නව”

සැබවින් මා හුස්ම ගත්තේ ත් කිසියම් අසිරිමත් බවකිනි. දිව්‍යමය සම්බන්ධතා ඇති වන්නේ මිනිසුන් අතර බව ඉගෙන ගන්නට නම් මානවවාදී මිනිසුන් මුණ ගැහීමේ වාසනා ගුණය තිබිය යුතු ය.

එදා මා කැළණි පුද බිම ට පය තැබුවේ ජීවිතයේ ප්‍රථම වතාවට ය. මගේ දිළිඳු දිවියේ බොහෝ අත්දැකීම් ප්‍රථම වතාවට ලබන්නට නියමිත සිතිජ සමගින් වීම ම භාග්‍යයකි. ඒ දවස වඩාත් නිදහස් හා සැහැල්ලු වූයේ ය. පන්ති නො පැවැත්වෙන බව කල් ඇතිව ම දැනුම් දී මම ඒ හිත් බරෙන් ද මිදුනෙමි. කුසගිනි දැනුණ විට බොජුන් හලකට ගොඩ වී මොනවා හෝ කුසට දමා ගෙන යළිත් අපි විහාරය වට වන මාවත් දිග ඇවිද්දෙමු. හැන්දෑ වී ගෙන එත්දී යළිත් කොහුවල බසයක නැගී කැළණියෙන් ආවෙමු.

“මේ හැම මොහොතක්ම සිහිවටන කියන්නෙ මොනාද කියල මට කියල දෙනව අයියෙ”

බස් එකෙන් බහින්නට ඔන්න මෙන්න තිබියදී මම කොඳුළෙමි. දවස තදින් මිට මොලවා ගෙන සිටිත හැකි නම්, මේ මොහොත අතීතයක් වන්නට නොදී මම නතර කොට ගනිමි.

“ඉස්සරහට සමහර දේවල් ටිකක් අමාරු වෙයි මෙව්නා”

“මං දන්නව. මං ලෑස්තියි ඒ ඕන දේකට මූණ දෙන්න. බැරි වුණොත්…ඒ එක දෙයයි”

ඒ මොකක්දැයි අසන නෙතු දල්වා ඔහු මදෙස බැලුවේ ය.

“මට ඔයා ළඟින් මෙහෙම ඉන්න බැරි වෙන දවසකට මූණ දෙන්න…”

“එහෙම වෙන්නෑ”

ඔහු උගුර යටින් කියා ගත්තේ ය. මම තව දුරටත් ඔහු වෙහෙස කරවන්නට නො සිතුවෙමි. වලව් වත්ත පාරේ දී ත්‍රීරෝද රියෙන් බහින්නට පෙර සිතිජ මගේ හිස් මුදුන සිප ගත්තේ ය.

“මං හිතුව දෙන්නත් එක්ක පැනල ගියා වත්ද කියල. කොහෙද අප්පා මෙච්චර වෙලා ගියේ…”

කාමරයට ගොඩ වූ ගමන් සුරනි ප්‍රශ්න කළා ය. 

“පැනල යනවනං අනිවාර්යයෙන් ඔයාට කියලයි යන්නෙ”

මම සැහැල්ලුවෙන් සිනා සුණෙමි.

“ඇති යන්තං”

“ඇයි…”

“ඔහොම හිනා වෙලා ඉන්නව. මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත්…”

මීට වැඩිය දේවල් ඉදිරියේ දී සිදු විය හැකි බව අපි දැන සිටියෙමු. බොඩිමෙන් පිටතට යත්දී හැකි තාක් තනිව නොයන ලෙසත්, ආගන්තුකයන් කිසිවෙකු මුණ නො ගැසෙන ලෙසත් සිතිජ මගින් මග ට අවවාද කළේ ය. සිය මව මේ මෙහෙයුම මෙතෙකින් නතර නො කරන බවට සිතිජ පවා සැක කළේ ය.

එදා ඔහු ගෙදර ගිය ගමන් රෝස් මැඩම් සිය දියණිවරු දෙදෙනා සමගින් එක් ව සිතිජ ට දෙස් දෙවොල් තැබූ බව ඔහු රාත්‍රියේ මට කීවේ ය.

“හරි හමං කෙල්ලෙක් කියපු දේවල් විශ්වාස කළානං කමක් නෑ. අර තුම්පනේ ඉඳං ආව ජරා කෙල්ලෙක්ව ලොකු වුණා තමුංගෙ අම්මට වඩා. මං හිතුවෙ නෑ සිතිජ ඔයා මේ වගේ ළමයෙක් කියල”

රෝස්මරී එසේ කියා තිබෙන්නේ හැඬුම්බර ව ය.

“මෙයා උපාසකය වගේ ඉඳං නිකං ඉඳල නෑ නේ…කැම්පස් එකේවත් කෙල්ලෙක් හිටියෙ නැද්ද හලෝ යාළු කර ගන්න…”

වැඩිමහල් සොයුරිය එසේ අප්‍රසාදය පළ කරත්දී, ශෙනාලි කෙලින් ම වැරදිකාරිය කර තිබෙන්නේ මාව ය.

“මන්නං ඒ කෙල්ලව දැකපු ගමංම හිතුව ලේසි පාසු අම්මණ්ඩියෙක් නෙවෙයි කියල. එයා නිකං ලෝකෙ කාල වතුර බීපු බඩ්ඩක් බව පේන්නැද්ද මූණෙංම”

ඒ කතාවට නම් සිතිජ ට හොඳට ම කේන්ති ගොස් තිබේ.

“කෙල්ලෙක් වෙලා ඉඳං තව කෙල්ලෙක්ට පද හදන්න එපා ඕයි. විශේෂයෙන් ම ඒ වගේ අහිංසක කෙල්ලෙක්ට. පල දෙනව ඕයි ඒව. පල දෙනව”

“ඒකි මෙයාව හොඳට අන්දගෙන ඉන්නෙ”

“හැබැයි පුතේ මේ අමම ඉන්නකල් ඔයාට ඒ කෙල්ලව බඳින්න පුළුවන් වෙයි කියලනං හිතන්න එපා”

“දැං මෙතන තියන ප්‍රශ්නෙ අපි දෙන්නගෙ සම්බන්දෙද නැත්තං අම්ම කරන ජරා වැඩ ද?”

සිතිජ ඍජු ව නැගු ඒ ප්‍රශ්නය ට රෝස්මරී ට මොහොතකට කට උත්තර නැති වී තිබේ.

“ඒ කියන්නෙ ඔයා තාමත් විශ්වාස කරන්නෙ ඒකිව…”

රෝස් මැඩම් හැඬුම් බර වී අලුත් රංගනයක් කිරීමට උත්සාහ කළ බව සිතිජ කීවේ ය.

“දැං පොලිස් ඉන්වෙස්ටිගේෂන්ස් කෙරෙනවනෙ. එතකොට ඔයා බලා ගන්නකො මං වැරදි කරපු ගෑනියෙක්ද කියල”

ඇය එහෙම කියත්දී සිතිජ ගේ කට කොනකට එන්නට ඇති සිනහව ගැන මට සිතා ගන්නට පුළුවන.

කෙසේ වෙතත් විදුහල්පති තුමා සිතිජ ගේ කාමරයට ම ඇවිත් මේ ගැන කතා කොට තිබේ.

“මට දැන ගන්න ඕන මෙච්චරයි. ඇයි සිතිජ ඒ ගෑනු ළමයත් එක්ක සම්බන්දයක් ඇති කර ගත්තෙ…”

ඔහු ගේ ප්‍රශ්නය මොහොතකට තමා ව ගොළු කළ බව සිතිජ කීවේ ය.

“තාත්තා ඇයි අර ආන්ටිත් එක්ක සම්බන්දයක් ඇති කර ගත්තෙ…එකම හේතුවයි තියෙන්නෙ. ආදරෙයි විශ්වාසයයි”

ඔහු ටික වෙලාවක් ගත්ත ද ඍජු පිළිතුරක් ලබා දී තිබේ.

“මුල ඉඳලම සිතිජ දැනං හිටියද ඒ ළමය අම්මගෙ සැලුන් එකේ වැඩ කරනව කියල…”

“ඔව්. ඒත් මෙව්නා වගේම මාත් හිතං හිටියෙ ඒක සැලුන් එකක් කියල විතරයි. ඒකට මුවා වෙලා අම්මා මේ වගේ බිස්නස් එකක් කරනව කියල මං දැන ගත්තෙ මෙව්නා ඒ සැලුන් රස්සාව නතර කරපු දවසෙ. මං මේ ගෙදර කටක් ඇරියෙ නෑ තාත්තෙ. තාත්තට හදා ගන්න බැරි වුණ අම්මව මං කොහොම හදන්නද…හැබැයි ඊයෙ වෙලා තියෙන දෙයිං පස්සෙ මං තවත් කට වහගෙන ඉන්නෙ නෑ. මොකද අම්ම මෙව්නාට පාඩුවෙ ඉන්න දෙන බවක් පේන්නෙ නැති නිසා”

විදුහල්පති තුමා සිය පුතු ඉදිරියේ අසරණ වන්නට ඇතැයි මම සිතමි. කොහේවත් සිට පැමිණි, උදව්වක් වශයෙන් ගෙදර නතර කර ගත් කෙල්ලක නිසා සිය පවුල තුළ මේ වගේ අර්බුධයක් ඇති වනු ඇතැයි ඔහු කොහෙත් ම නො සිතන්නට ඇත. 

පසු දා උදයේ ම විදුහල්පති තුමා ගේ ගෙදර දුරකතනයෙන් මගේ ජංගම දුරකතනය ට ඇමතුමක් ආවේ ය. සිතිජ ඉන් කතා කරන්නේ ම නැත. එහා ඉම වන්නේ විදුහල්පති තුමා ද නැත්නම් රෝස් මැඩම් ද යන දෙගිඩියාවෙන් මම මොහොතක් අකර්මන්‍ය ව සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x