fbpx

ඈත දුර ආකාසේ -31

තුරුලි උදෑසනම ස්නානය කළේ ගෙවත්ත කෙළවර තිබූ ළිඳෙනි.කොළඹට තදාසන්න නගරයක ජීවිතය ගෙවූ ඈ රනුකගේ ගමේ ගෙදරට බොහෝ ප්‍රිය කළා ය.නංගීත් රනුකත් මෙහි ස්ථිර පදිංචියට පැමිණිය ද නැති වුව ද මේ සුන්දර නිවස ඥාති නිවසක් වීමම මහත් සතුටක් වග ඇය සිතුවා ය.

“අපිට එහෙම ගෙයක් තියෙන එක කොච්චර ෂෝක්ද.නෑදෑයො කියන්නෙ එකම වාසගම තියන මිනිස්සුන්ටයි පරම්පරා හෑල්ලෙන් නෑදෑකං කියවන අයටයි කියලම කියන්න බෑ තුරුලි.නෑයො කියන්නෙ අපි එක්ක හැමදෙයකදිම ඉන්න මිනිස්සුන්ට.තමන්ගෙ මිනිස්සු කොයි වෙලාවකවත් අපි තනි කරන්නෙවත් අපිට හිනා වෙන්නෙවත් නෑ..”

රනුකගේ අම්මාගේ උසුලාගත නොහැකි තරම් සත්කාර ගැන මියුරු සමඟ බෙදාගත් මොහොතක ඔහු තුරුලිට පැවසුවේ ය.

“අක්කා ඩිවෝස් වෙන්න යනකොට ගොඩක් නෑයො අපේ අම්මට මාරම පීඩනයක් දුන්නෙ.එක පුංචි අම්මෙක් කියපි එයාගෙ දූලටවත් හොඳ මැරේජ් එකක් කරගන්න වෙන්නෙ නෑ දැන් කියල.ගෑනු කරන්න ඕන ඉවසන එක කියල උපදෙස් දෙන්න ආපු ගොඩක් උන්ට මතක තිබ්බෙ නෑ අක්කා ප්‍රෙග්නන්ට් කාලෙම වින්ද දුක්.ඉතිං ඒ මිනිස්සු නෑයොද තුරුලි..”

මියුරුගේ සුසුම් හඬ අසමින් තුරුලි මිනිත්තු කිහිපයක් ම ගෙවා දැම්මා ය.තමන්ගේම කියා පවුලක අගය ඇයට දැන් ඕනෑවටත් වඩා දැනෙමින් තිබේ.

“දැන් අපිටම කියල පවුලක් තියනවනෙ.නංගියි මායි අම්මයි තාත්තයි විතරක් හිටිය අපේ පවුලෙ ඔයායි ගෙදර අයයි,රනුකයි එයාලගෙ ගෙදර අයයි ඔක්කොම ඉන්නවා.ඕන දුකක් කරදරයක් සතුටක් බෙදා ගන්නෙ අපි ඔක්කොම කියල හිතන හැඟීමට මං හරි ආසයි..”

ඇය එසේ කියද්දී මියුරු උස් හඬින් හිනැහුණේ ය.තුරුලි ඈ නිවෙන ඒ සිනාව අසා හුන්නේ හදවත ඉතිරී යන ප්‍රේමයෙනි.

“අපිව මෙච්චර ඉක්මනින් එච්චර ළං කරේ ආදිත්‍ය.අපි විශේෂ ස්තූතිය මෑන්ට දෙමු..”

මතක අවදි වූ නිසා මතුව ආ සිනාවෙන් තුරුලි ගෙමිදුලට එන්නට ආවා ය.මිදුලේ නතරව ඇති මෝටර් රථය දුටු ඇයට නැවත ගෙතුළට යන්නට ඕනෑ විය.නාඳුනන මිනිසුන් සමඟ ගැටෙන්නට ඈ කොහොමත් වැඩි කැමැත්තක් නැත.

“අක්කා..”

ඈ හැරී බැලුවේ සඳලිගේ සිනා වතට ය.සඳලි හිනැහෙමින් බලා සිටින්නේ රහසක් සඟවා ගත් මුහුණකිනි.පෙනුමකිනි.

“ඔයාව බලන්න විසිටර් කෙනෙක් ඇවිල්ල..”

මියුරු එන්නට ඉඩ නැති හෙයින් තුරුලි අමුත්තා කවුදැයි බලන්නට ආවේ පුදුමයෙනි.අනතුරුව අමුත්තා දැඩිව වැලඳ ගත් ඇය ඉකිබිඳ හඬන්නට පටන් ගත්තා ය.බොහෝ කලක් දරාගත් සඟවා ගත් වේදනා තාත්තාගේ උණුසුමේ දියව යන්නට ගත් අතර අක්කාගේ කඳුළු නංගිට ද බෝවන්නට පටන් ගෙන තිබිණ.

“මං ඔයාලට සල්ලි හම්බ කරන්න ගිය එකෙන් පුතාලට ගොඩක් දේවල් මඟ ඇරුණද කියලත් මට දැන් හිතෙනවා..”

තේ පානයෙන් පසු නිවී සැනසිල්ලේ කතාබස් කරන අතර තාත්තා දූවරුන් දෙදෙනාට පැවසුවේ ය.අම්මා රනුකගේ අම්මා සමඟ මුළුතැන්ගෙයට වැදීගෙන ය.බොහෝ කාලයකට පසු තාත්තා සමඟ කියවන්නට ලැබුණු දෙසොහොයුරියන් හුන්නේ සොම්නසිනි.

“පුංචි කාලෙම ආදරේ ලැබෙන වෙන තැන් හොයාගන්න දරුවන්ට හිතෙන්නෙ දෙමව්පියන්ගෙ ආදරේ කොහොම හරි අඩු උනාම පුතේ.ලොකු බබාට මේ සේරම කරදර ආවේ ඒ නිසානෙ..”

සඳලි තාත්තා වැළඳ ගත්තා ය.ඒ කතාව පිළි ගන්නට ඇය කැමති වූයේ නැත.

“එහෙම හිතන්න එපා තාත්තා.ගෙදර ආදරේ උතුරන්න තිබ්බත් ඒ වයස අපිට ක්‍රෂ් ඇති වෙන කාලේ, රැල්ලට අෆෙයාස් කරන්න හිතෙන කාලෙ.ඒවා කාලෙත් එක්ක අපේ ඔලුවට එන දේවල් මිසක් ගෙදර ආදරේ අඩු වෙලා කොල්ලෙක් හොයා ගන්නව කියන කතාවට පදනමක් ඇත්තෙම නෑ.තාත්තා ඒවා ගැන හිතන්නම එපා.”

තුරුලි දෑසට නැග ආ කඳුළු පිස ගත්තා ය.තාත්තාගේ ආදරයට සමාන ආදරයක් දෙන්නට ජීවිතය අතරමැද තැනකදී හමු වෙන යෞවනයෙකු සමත් වන්නේ නැත.එසේ සිතන්නට දුවෙකු කැමති වන්නේ ද නැත.තාත්තා සහ ආදරවන්තයාට හදවතේ ඇති තැන් වෙනස් ය.තාත්තා ළඟ නොමැති දුක මඟ හැරෙන්නට ආදිත්‍යට ළං වූ බව තාත්තා සිතනවාට ඈ නොසතුටු වූයේම එනිසා ය.

“මං පොඩි කාලේ ගත්තු හදිසි මෝඩ තීරණ තාත්තා අපි වෙනුවෙන් කරපු කැපකිරීම් වලට සම්බන්දයක් නෑ තාත්තෙ.තාත්තා ඒවට දුක් වෙන්න එපා.අම්මයි තාත්තයි මං හින්දා විඳින කරදර මදිවට ඒවටත් දුක් වෙන්නෙ ඇයි..”

තුරුලි පැවසුවේ වේදනාවෙනි.ඇයට සඳලි පෙර කී දෙය ඇත්‍තක් බව සිතිණි.නව යෞවන කාලයේ ආකර්ෂණය ප්‍රේමයට වඩා බොහෝ ඈතක පවතින දෙයකි.ඒ ආකර්ෂණය ප්‍රේමය යැයි පටලවා ගත් පසු බොහෝ දෑ සිදු වන්නේ දරා ගත නොහැකි සිදුවීම් වල මතක ඉතිරි කරමිනි.ආදිත්‍ය හා සම්බන්ධ අතීතය ගැනද පැවසීමට ඇත්තේ එපමණක් බව ඇය සිතුවා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x