දිගු කාලයක් ආදරය කරලා විවාහ වුණත් කෙටිකලකින් විවාහය බිඳ වැටෙන්න හේතු.

කසුන් සහ හංසනී පෙම්වතුන් වෙන්නේ අවුරුදු දාහතක් තරම් ලාබාල කාලයේදී.අවුරුදු දහතුනක් තිස්සේ ප්‍රේම කරලා අවුරුදු තිහේදී ඔවුන් විවාහ වෙන්නේ එකම විශ්ව විද්‍යාලයක අවුරුදු ගාණක් එකට ඉගෙන ගෙන රැකියාවත් කරලා ස්ථාවර වූ පසුවයි.

“දෙවියෝ මවන ජෝඩු කියන්නෙ එහෙම අයට” හැමෝම ඔවුන් ගැන ඒ විදියට කතා වෙන්න පටන් ගත්තා.රැකියාව වසර කිහිපයක් කරලා තමන්ටම කියලා නිවසක් හදාගෙන වාහනයකුත් අරගෙන විවාහයට එළඹුණු මේ දෙන්නා දරු මල්ලන් හදාගෙන බොහොම සතුටින් ජීවත් වෙයි කියලා හැම කෙනෙක්ම හරිම ආසාවෙන් සහ ආදරයෙන් බලාගෙන හිටියා.

“හංසනි ඩිවෝස් නඩුවක් දාලා..” මිතුරන් අතරේ මහත් කැළඹීමක් ඇති කරපු ඒ ආරංචිය ආවේ විවාහයට හරියටම පස් වසක් ගෙවෙද්දී.හැම කෙනෙකුගෙම ඇස් නළලට ගිය ඒ ආරංචිය ඇත්තටම ඇත්තක්.අවුරුදු දහතුනක් දුර ඉඳන් ආදරේ කරපු කසුන්ගේ අප්‍රමාණ වැරදි හංසනීට එක වහලක් යටදී පේන්න අරගෙන තිබුණා.ඉතින් ඇය දික්කසාදය ලබා ගත්තා.

“එච්චර කාලයක් ආදරේ කරපු ජෝඩුවට මෙහෙම වෙන්න ඇත්තේ ඇස්වහක් වැදිලා”සමහරු විස්සෝපයෙන් එහෙම කිව්වත් ඇත්තටම හේතුව ඇස්වහ නෙවෙයි.දිගුකාලීනව ආදරේ කරල දික්කසාදයකට යන බොහෝ දෙනෙකුට ඒ සඳහා හේතු තියෙනවා

1.ආදරය පවත්වා ගැනීමට කැප නොවීම

දිගු කාලීන ආදරයක් හිමි කරගත්තට පස්සේ බොහෝ දෙනෙකුට එන්නේ ලොකු සටනක් දිනපු හැඟීමක්.ඉන්පසු අතීතයේ වගේ සහකරු හෝ සහකාරියගේ ආදරය දිනා ගන්නට ඔවුන් කැප කිරීම් කරන්නේ නෑ.කාලය ගන්නේ නෑ.අනෙකා ගැන විමසිලිමත් වෙන්නේ නෑ. මෙය දෙදෙනා අතර පරතරයක් නිර්මාණය කරන්නට සමත් වෙනවා.

2.ජීවිතය තුළ අලුත් යමක් නැති වීම

ප්‍රේම සම්බන්ධතා ඇරඹුණු අලුත කතා කරන්න ඕනෑතරම් මාතෘකා තියෙනවා.සර්ප්‍රයිස් කිරීම් බොහොමයි.බොහෝදෙනෙකු දිගු කාලයක් තිස්සේ ලිංගික සබඳතා ද පවත්වා තිබෙනවා.ඉතින් මේ නිසාම සමහර අයට ජීවිතය විවාහ වූ නිසා අලුත් වූ බවක් හැඟෙන්නේ නෑ.එවැනි විටෙකද කසාදය එපා වී යන්න ඉඩකඩ වැඩියි. එසේ ජීවිත වල පිළුණු ස්භාවය ඇති කර ගන්නේද දෙදෙනාගෙම නොසැලිකිලිමත් බව හෝ නොදන්නා කම නිසයි.

ආදරය කල කාලයේ තිබූ සැහැල්ලු බව , සැලකිලිමත් බව විවාහ වගකීම් සමග මග හැරීම මෙසේ ඍනාත්මක බවක් ඇති කිරීමට හේතුවක් වෙන්න පුලුවන් . දිගු කාලීන ගැබුරු සබඳතාවක් අවසානයේ විවාහ වීම යනු හොදින් පුද්ගලයා අවබෝධය කර ගෙන විවාහ බැදීමට එක් වීමට හොද අවස්තාවක්. එය පිළුණු කර නොගෙන නැවුම්ව පවත්වාගෙන යාම දෙදෙනාගේම වගකීමක්. නමුත් එසේ නොවුන බොහෝ සබඳතාවල අවසානයේ සිදු වන්නෙ විවාහ වුවත් කෙටිකලකින් දික්කසාද වන තීරණ ගැනීමයි.

3.ඇත්තටම තිබුණේ ආදරය ද?

නව යෞවන කාලයේ බොහෝ අය අතර ඇති වෙන්නේ ආකර්ෂණයක්.ක්‍රෂ් එකක් ආදරයකට පොළඹවාගෙන දිගු කාලීන ආදර සම්බන්ධතාවයකට පසු විවාහ වෙන සමහරුන්ට අවසානයේ ඇලීම සහ ආදරය දෙකක් බව වැටහෙනවා.එතකොටත් සිදු වෙන්නේ එකිනෙකා නොරුස්සන මට්ටමට පත් වී දික්කසාදය ලබා ගන්නටයි.

4.ආදරය නිසා අහිමි වූ දේවල් ගැන කල්පනා වීම

ලාබාල වියේදීම ආදරයක පැටලීම නිසා ඔබේ සමහර සිහින ඔබට ඉටු කරගන්නට නොහැකි වෙන්න පුලුවන්.ට්‍රැවල් කිරීම,තවදුරටත් ඉගෙනීම,මිතුරු ඇසුර වගේ දේවල්වලට ඔබේ දිගු කාලීන ආදර සම්බන්ධතාවය හරස් වූ බව ඔබට වැටහෙන්නේ විවාහයෙන් පස්සේ වෙන්නත් පුලුවන්.අන්න එතකොටත් සියල්ල අවුල් වෙන්න පටන් ගන්නවා.

5.විවාහ වීමට සැබෑ උවමනාවක් නොතිබීම

සමහරුන්ට දිගු කාලීන සම්බන්ධතා ඇති විට විවාහයට බලපෑම් කරන්නේ වැඩිහිටියන්.නමුත් විවාහයට සැබෑවටම සූදානම් නැති දෙදෙනෙක් විවාහ වුණොත් එහි වගකීම් දරා ගන්න බැරුව දෙදෙනා තුළ නිතරම ගැටුම් ඇතිවීම ඉතාම ස්වභාවික දෙයක්.

6.අනෙකා ගැන නොදන්නා දේ එළි වීම

සහකරු හෝ සහකාරිය මොනතරම් අපිළිවෙල ද කියන එක, ඔහු හෝ ඇය කන බොන හැටි වගේ දේවල් ගැන හරියටම අපිට වැටහෙන්නේ විවාහයෙන් පස්සේ. සුවඳ විලවුන්, මවුත් වොෂ් වගේ දේවල් පාවිච්චියට අරන් මුණ ගැහෙන්න එන සහකරු/ සහකාරිය දැඩි මුඛයේ දුර්ගන්ධයක් ඇති කෙනෙක්, දහඩිය ගඳ ඇති කෙනෙක් කියලා අපි දැන ගන්නේ විවාහයෙන් පස්සේ විය හැකියි.ඒ වගේ කාරණාත් විවාහ දෙදරා යන්න හේතුවක්.

මේ වගේ සුළු කාරණා වගේම ප්‍රේම සම්බන්ධතාවයට මොනතරම් වසර ගණනාවක් ගෙවුණත් ඔබ ලිංගිකව එකිනෙකා වටහා ගෙන නොසිටියා නම් ලිංගික ගැටලු පවා මතු වෙන්න පුලුවන්.ආදරය කර දවස් ගණනට වඩා වැදගත් වෙන්නේ ඔබ තුළ එකිනෙකා සම්බන්ධයෙන් ඇති අවබෝධයයි.
ඒ නිසා මේ වගේ ගැටලු ආවොත් හංසනී වගේ එක්වරම දික්කසාදයකට යන්න නොසිතා පවුල් උපදේශනයට යොමු වීම හරිම නුවණක්කාර වැඩක්. එහිදී ඔබ දෙදෙනාගේ සුළු අනවබෝධයන් වගේම නොගැලපීම් හදාගෙන එක්ව දිගු ගමනක් ඉදිරියට ‍යාමටත් සමහර විට ඉඩක් සැලසේවි.

Related Articles

Don't Miss


Latest Articles