fbpx

අහංකාර නගරේ -39

අප අප ඉදිරියේ නතර වී තිබුණේ මැයි ගසක් පාමුල ය. ඒ හින්දා තද හිරු එළිය මුවහ වී තිබිණි. නමුත් ශෙනාලි ගේ ඇස් වල වූයේ අප පුච්චා දමන ගින්දරකි. වෙනදා බලන හැඟීමෙන් තොර ව අද මගේ ඇස් ඇගේ දෙස බලා සිටින්න ට වූයේ ය. මගේ සහෝදරී! ලෝකයේ මට වන මා දන්නා එක ම සහෝදර බැඳීම!

“ලැජ්ජ නැද්ද අයිය ඔයාට…මොනාද ඔයා මේ කරන්නෙ…”

ශෙනාලි දැඩි අප්‍රසාදයකින් එසේ ඇසුවේ තවමත් එකට පැටලී තිබෙන අපේ අතැඟිලි දෙස බලා ගෙන ය. මම සිතිජ ට හෝ නො දැනෙන සෙයින් මගේ අත මුදවා ගතිමි.

“රටට ම පේන්නද ඔයා මේ ගාබේජ් ගර්ල් ගෙ අතින් අල්ලගෙන පාරවල් දිගේ ඇවිදගෙන යන්නෙ…අපිටත් එක්ක ලැජ්ජ කරනව ඔයා”

“අනේ මේ කට වහං ඉන්නව නංගි”

සිතිජ නො සැලකිලිමත් ලෙස කීවේ ය. ඔවුන් ගේ කතා බහ අතරේ මා කළේ, ශෙනාලි හා මා අතරේ අක්කා නංගී ලෙස පෙනෙන කුමක් හෝ සාක්ෂියක් හොයා ගනු වස් ඇගේ මූණ දෙස බලා ඉන්නා එක ය.

“තමුසෙලට ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවයි කියල මං මේ දැන්නෙ දන්නෙ”

“අයිය…මේ කෙල්ල ඔයාව රවට්ටල. මුලිංම ඉන්න තැනක් නැතුව කොහෙට හරි රිංගනව. ඊට පස්සෙ කරන්නෙ ඉන්න තැනක් තියන කොල්ලෙක් බලල යාළු කර ගන්නව. ගව් වල ඉඳල එන හැම කෙල්ලම වගේ කරන්නෙ ඕක”

“ඔයා දැං බයේද ඉන්නෙ මෙව්නා මාව මැරි කළහම වුඩ්ලන්ඩ් ඇවනිව් එකේ ගෙදර අපි පදිංචි වෙයි…ඒක දවසක මෙව්නාට අයිති වෙයි…එහෙම කියල…”

“මෙයාගෙ හිතේනං ඇති එහෙම දේවල්. ඒව කොහෙද…”

“අක්…කෙ…”

මගේ මුවින් ඒ වචනය පිට වූයේ කොහෙත් ම මගේ ඕනෑ කමකට නොවේ. ඒ මගේ හදවතේ ආමන්ත්‍රණය වූයේ ය. ඊට අවනත නොවී ඉන්නට මට ඕනෑ වූයේ නැත.

“වට්….අක්ක…හහ්…”

ඇය අවඥාවෙන් හිනැහුණා ය. ඒ මා පොළොවට ම චප්ප කර දමන විදිහේ සිනහවකි. මගේ අගය දුහුවිල්ලකටත් වඩා අඩු ය කියා මට පසක් කරවන විදිහේ සිනහවකි.

“කවද ඉඳන්ද මං තමුසෙගෙ අක්ක වුණේ…තරමට ඉන්නව හරිද…තරමට. ආව මෙතන මට නෑකං කියා ගෙන. මේ මෝඩයව රවට්ට ගත්තට තමුසෙට මාව රවට්ටන්න බෑ හරිද…”

ඇය කටට එන ඕනෑ ම දෙයක් කියා මට බණින සූදානමක ය සිටියේ. මා වැඩ කළ ක්ලීනිං සර්විස් එකේ සුපර්වයිසර් ගෙන් මම බැණුම් අසා ගෙන ඇත්තෙමි. සිය අදහසට මා නතු කර ගත නො හැකි වූ තැන ඔහු කළේ බොරු වැරදි අල්ලා ගෙන මට බණිනා එක ය. නමුත් මේ සුළු කාලය තුළ දී ශෙනාලි මට ඊටත් වඩා බැන්නා ය. 

“නංගී…දැං ඔය හොඳටම ඇති අඅඅ…”

සිතිජ ගේ ඉවසීමේ සීමාව ඉක්මවමින් තිබෙන්නට ඇත. නමුත් ශෙනාලි ට එහි වගක් වූයේ නැත.

“හිතා ගෙන ඇති…අපිට අක්කයි නංගියි කියාගෙන එන්න. හිඟන කෙල්ල”

කියූ ඕ මට රවා ගෙන වේගවත් ගමනෙන් එතැනින් නික්ම ගියා ය. ඈ යන දෙස බලා සිටි මගේ ඇස් කඳුළෙන් තෙත් වී ගෙන යන්නට වූයේ ය. සිතිජ සිය අතැඟිලි වල ග්‍රහණය දැඩි කළේ ය.

“යං”

ඒ අකුරු දෙක ඇතුළේ සංසාරයක් පරණ ආදරයක් කැටි වී තිබුණා මට දැනිණ.

“අයි…යෙ…”

“හැම දේම හැම තැනකිංම බලාපොරොත්තු වෙන්න යන්න එපා. මං කියල දෙන්න දෙයක් නෑ ඔයා මට වඩා දන්නව මේ ජීවිතේ ගැන”

මම බිම බලා ගෙන ම පියවර තැබුවෙමි. ඇසින් ගිලිහුණ කඳුළක් පදික වේදිකාවට සවි කොට තිබූ කොංක්‍රීට් ගලක් මතට වැටුණේ ය. මේ තරමට මීට පෙර කිසිදු අවස්ථාවක මා සංවේදී වී නැති බව මට විශ්වාස ය. ඈ එසේ හැසිරුණා ට කම් නැත. මම ඇය ට අක්කා කියා ඇමතුවෙමි.

“මගෙ සහෝදරී තමයි. ඒත් ඔයා ඒගොල්ලො ළඟ වුණත් අසරණ වෙන්න ඕන නෑ”

සිතිජ නො දන්නේ ය. ඒ මගේත් සහෝදරී ය. නමුත් ඇය ට අක්කා කියා කතා කරන්නට වුව මට අවසර නැත්තේ ය. අඩු තරමින් ඒ මගේ අක්කා කියා ඔහු ට කියන්නට වුව මට අවසර නැත්තේ ය.

අවසාන විභාගය අවසාන වීමත් සමග සිතිජ පෞද්ගලික ඉංජිනේරු ආයතනය ක රැකියාවක් ලැබුවේ ය. ඒ සමග එළඹි ඔහු ගේ උපන් දිනය දා ඔහු ට ජයශාන්ත මහතා ගෙන් මෝටර් රථයක් තිලිණ ලැබුණේ ය.

එදා දිවා ආහාරය සඳහා නෙළුම් නැන්දා ගේ ගෙදර එන්නයි ඇරයුම් ලැබී තිබුණේ ය. අප එහි යන විට ජයශාන්ත මහතා ගේ රියට අමතර ව තවත් රිදී පැහැති මෝටර් රථයක් නැවතී තිබුණේ ය.

“තව කවුරුවත් ඇවිත් වගේ”

සිතිජ ත්‍රීරෝද  රියෙන් බැස්සේ එසේ කියා ගෙන ය. මම ඒ වත දෙස හොඳින් බැලුවෙමි. ඔහු වෙත වූ සතුට හා සැහැල්ලුව ගල් ගැසේවි ද යන බිය මට දැනිණ. කෙසේ වෙතත් වෙනත් කිසිවෙකු පේන්නට සිටියේ නැත.

“කොහොමද මේ කා එක…හොඳද…”

ජයශාන්ත මහතා ටික වෙලාවක දී සිතිජ ගෙන් ඇසුවේ ය.

“තාත්ත තව කා එකක් ගත්තද…”

නෙළුම් නැන්දා නෙළුම් මලක් වාගේ ම සිනහ වූවා ය.

“තාත්ත තමයි ගත්තෙ. හැබැයි පුතාට…”

“උඹට නෙමෙයි මේ කෙල්ලට. එදත් මං කිව්වෙ…”

ජයශාන්ත මහතා සිනහ වෙමින් සිතිජ වෙත යතුර පෑවේ ය. සිතිජ ගේ මුහුණේ ඇඳුණු සිනහව දෙස මම නෙතු පිය නො සලා බලා සිටියෙමි.

“ඉතිං එහෙනං ඇයි මට මේ කී එක දෙන්නෙ…එයාටම දෙන්නකො”

ඒ සිනහව කෙතරම් නම් චිත්තාකර්ෂණීය ද? මට සිහි වූයේ එදා කොළඹ ට පැමිණි ප්‍රථම දිනයේ දී සිහින ව මුණ ගැසුණ අවස්ථාවයි. එදා ඔහු සිටියේ සිනහ වෙන්නට අමතක වූ කෙනෙකු සේ ය. එදා ඔහු ගෙතුළ සිටි පියා ට කතා කළේ ත් දුරකතනයෙනි. නමුත් අද ඔවුහු මුහුණු බලා ගෙන සිනහ වී කතා කරති. 

“ගනිංකො ගනිංකො. දැනට උඹ ගනිංකො”

සිතිජ පරිපූර්ණ පිරිමියෙකු ලෙස වැඩෙමින් සිටියේ ය. විශ්ව විද්‍යාල සිසුවෙකු ව සිටියදී ට වඩා ඔහු වගකීම් සහගත වන බවක් පෙනෙන්නට තිබිණි. රෝස් මැඩම් ගැන වුව මුල දී ඔහු වෙත වූ නො රිස්සුම තුනී වී ගොස් ඇය කෙරේ ඔහු සානුකම්පිත වූයේ ය.

“මොනා වුණත් ඒ මගෙ අම්මනෙ. එයා වැරදියි තමයි. ඒත් අපි අනුකම්පා කරමු. දවසක එයා තේරුං ගනියි”

රෝස් මැඩම් මගේ පීතෘත්වය පිළිබඳව දැන ගත්තා ට පස්සේ ටික දිනක් නිහඬ ව සිටියා ය. ඒ අයුරින් ඇය සන්සුන් වේවියි මා බලාපොරොත්තු වුණත්, ඊට ටික දිනකට පස්සේ ඇය මා ව දෙල්කඳ මන්සන්දියේ දී නවතා ගත්තා ය.

“මට ඕනෙ ඔය ළමයට කතා කරන්න විතරයි. කරදරයක් කරන්න නෙවෙයි”

මගේ කලබලයට පත් නෙතු දුටු ඕ නොසන්සුන් ව කීවා ය. මා ඇගෙන් පලා යාවි යි ඇය සිතන්නට ඇත.

“කවුද කියන්නෙ ඔය ළමයගෙ තාත්තා අර්ජුන කියල…”

ඇය ප්‍රශ්න කළේ මට තර්ජනය කරන්නා සේ ය. මම සිනහවක් හෙළුවෙමි.

“මගෙ අම්ම එහෙම කිව්වහම ඇතිනෙ මැඩම්”

ඇගේ වත හැකිලී ගියේ ලැජ්ජාවෙන් ද පරාජිත හැඟීමෙන් ද කියා මම නො දනිමි.

“ඔය මනස්ගාත ඔළුවෙ තියං ඉන්න එපා. අර්ජුන එහෙම නෑ. ඕක බොරුවක්. අර්ජුන මට දිව්රල තියෙනව එයා එහෙම දෙයක් කළේ නෑ කියල”

“එතකොට මං විශ්වාස කරන්න ඕනෙ මගෙ අම්ම කියන දේද නැත්තං තාත්තයි කියන මනුස්සය කිව්වයි කියල මැඩම් කියන දේද…”

“මෙව්නා…අපි ඔය පරණ දේවල් අමතක කරල දාමු. ඔයයි මමයි තරහ කාරයො වගේ ඉන්න ඕන නෑ. මං ඔයාට ඕන උදව්වක් කරන්නං. ඔය සිතිජත් එක්ක තියෙන සම්බන්දෙ නතර කරල දාන්න”

ඈ කතා කළේ බොහෝ තැන්පත් ව ය. හරියට මා වුඩ්ලන්ඩ් මාවතේ ගෙදරට ගිය මුල් දවස් වල කළ රංගනය වාගේ ය.

“ඇයි…”

මම ඉතාමත් හෙමිහිට ප්‍රශ්න කළෙමි. සැබවින් මට ඒ දැන ගැනීමේ අවංක උවමනාවක් තිබිණි.

“මේව ගැලපෙන සම්බන්ධකං නෙවෙයි ළමයො. ඔයාට පුළුවන් ද අපේ අනිත් ළමයි එක්ක පෑහෙන්න…පොඩ්ඩක් තේරුං ගන්නකො”

මට මොනවා විණි දැයි මම නො දනිමි. ඈ තැත් කරන්නේ ඉතා කුරිරු ලෙස මා ඇගේ පයට පාගා දමන්නට ය. මගේ අම්මා ට එය සිදු විය. ඇගේ අනියම් සැමියා මගේ අම්මා ගේ ආත්මය විනාශ කළ අවස්ථාවේ දී ඔවුන් කළේ ඇය පන්නා ගැනීම ය. ඒ මිනිසා ට දා ව උපන් ශෙනාලි ජයශාන්ත මහතා ගේ දියණියක ලෙස එම මැදුරේ වැඩෙන්නී ය. නමුත් අම්මා ව සේ ම මා ව ද ඔවුන් ගේ උසස් යයි සම්මත ජීවිත වලින් පන්නා ගැනීමට ඇය දැන් කුමන්ත්‍රණය කරයි. කවර නින්දිත චර්යාවක යෙදුන ද ඔවුන් ට ඒවා ලෝකයෙන් වසංගා ගන්නට පුළුවන. නමුත් අප කුණු කාණු පල්ලේ සැඟවිය යුතු ය.

“මැඩම්. මගෙ තාත්තට පුළුවන් වුණානෙ වැඩකාර ගෑනියෙක් වෙච්ච මගෙ අම්ම එක්ක වගේ ම මේ ඉහළයි කියන සමාජෙ ඉන්න තව ගෑනු අයත් එක්කත් පෑහෙන්න. අම්මට ඔය අර්ජුන කියන මනුස්සය කියල තියන විදිහට එයාට තව දුවෙක් ඉඳල තියෙනව. ඒ කියන්නෙ මට අක්ක කෙනෙක් ඉන්නව. මං දැං හොයන්නෙ මගෙ අක්කව. ඒක නතර කරන්න කාටවත් බෑ”

ඇස් දෙක ලොකු කර ගෙන අරුම පුදුම ජීවියෙක් දෙස වාගේ මදෙස බලා උන් රෝස්මරී, තත්පර කිහිපයකට පසු සිය රියෙහි නැගී යන්නට ගියා ය. මට මහත් පසුතැවීමක් දැනිණ.

ඒ මොහොතේ තවත් සාමාන්‍ය ගැහැනියක සේ ඇය ට ඇනුම් පද කියන්නට පසු බට නො වුණා ට, ඒ විදිහට ස්ත්‍රී ආත්මයක් කම්පනය කරන්නට වීම ගැන මම හදවතින් පසු තැවුණෙමි.

බෝඩිමට ගිය මම එහෙම ම යහනේ වැතිරුණෙමි. හිස පුපුරන්නට එන වේදනාවක් දැනුණේ ය. 

“මොකද…කොල්ලත් එක්ක රණ්ඩුවක් අල්ලලද ආවෙ…”

සුරනි හිනැහුණා ය. ජීවිතය ඒ වාගේ සරල සමීකරණයක් වෙනවා නම් කෙතරම් හොඳ ද? නමුත් මේ කෙටි වූ ජීවිතය මට කිසි දා සරල ව දැනුණේ නැත. විසඳා ගත නො හැකි ප්‍රශ්න පත්තරයක් මිස, එය මට පහසුවෙන් පිළිතුරු සෙවිය හැකි සරල ගැටළුවක් නො වුණේ ය.

“මං සිතිජගෙං අයිං වෙලා හිටියොත් හුඟක් අයට සැනසීමෙං ඉන්න පුළුවන් වෙයිද කියල හිතෙනව සුරනි”

“පිස්සුද ඕයි”

ඇය ගත් කටට ම කීවා ය. 

“අපිට හැමෝගෙම හිත් සතුටු කරන්න බෑ මෙව්නා. අඩු තරමින් අපිට අපිවවත් සතුටු කරන්න පුළුවන් නං…ඒකත් ලොකු දෙයක්. ඒ නිසා සතුටු කරන්න බැරි මිනිස්සු ගැන වද නොවී අපි අපිව හරි සතුටෙන් තියන්න බලමු.මොකද ඔය ගොඩක් මිනිස්සු කවදාවත් අපේ සතුට ගැන හිතන්නෙ නෑ”

නමුත් මා සිය පැරණි අනියම් සැමියා ගේ දියණියක බව දැන ගැනීම තුළ රෝස්මරී තැති ගන්නට හෙතුව මට සිතා ගත හැකි වූයේ නැත.

Popular

Don't Miss




Latest Articles

error:
2
0
Would love your thoughts, please comment.x
()
x