fbpx

අහංකාර නගරේ -44

තේ කෝප්පයේ නිවී ගොස් තිබි අර්ධයෙන් එක් උගුරක් පාණය කළ රෝස්මරී නැගී උන්නා ය. උස් හීන්දෑරි සුදුමැළි ගැහැනියක වන ඇය ව මට පෙනුණේ පරඬලා පතක් සේ ය. මට තව වචනයක් හෝ නොකී ඕ අවන් හලෙන් නික්මෙන්නට පෙර සිතිජ දෙසට එක බැල්මකුදු හෙළුවා දැයි මා දන්නේ නැත.

 එතෙක් අප්‍රාණික ව වාගේ පුටුව මත පාෂාණිභූත ව උන් මම හදිසියේ ම සිහි එලවා ගෙන නැගී සිටියෙමි. සිතිජ සිටියේ මවෙත පැමිණෙන සූදානමිනි.

“ඇයි මෙව්නා…”

ඔහු මගෙන් දකින්නට ඇත්තේ හොල්මනකට අවතාරයකට බිය වූ පෙනුමක් විය යුතු ය.

“රෝස් මැඩම් ආරන්‍යයකට යනව සිතිජ. අපි එයාව නවත්තමු”

“මොකද්ද…”

“ඔයා ඒකට හේතුව දන්නෑ අයියෙ. මට දැං ඒක කිය කිය ඉන්න වෙලාවක් නෑ. අම්මව නවත්තන්නකො”

“මෙව්නා. ඔයා හොඳටම කලබල වෙලා. ඔක්කෝටම ඉස්සෙල්ල සන්සුන් වෙලා මට කියන්න මොකද්ද සිද්ද වුණේ කියල…”

“ඒත් ඒක මං ඔයාගෙ තාත්තට වෙච්ච පොරොන්දුවක්. ඔයාට දැනගන්න තියන්නෙ නෑ කියල”

“අපි දෙන්නා අතරෙ රහසක් තියෙන්න පුළුවන් ද…”

“එයා සර්ගෙ අවසරයක් නැතුව කොහොමද මං ඒක ඔයාට කියන්නෙ…”

“එහෙනං ඔක්කෝටම කලිං ඔයා තාත්තට කතා කරන්න. අම්ම කොතනට ගියත් එයා නොතේරුං දරුවෙක් නෙවෙයි නිසා අපි කලබල වෙන්න ඕන නෑනෙ. අනික් මේක ජීවිතේ නැති කර ගන්න යන ගමනක් නෙනෙයිනෙ…”

තීන්දු තීරණ ගැනීමේ දී ගැහැනුන් හදවතට ඉඩ දුන්නත් පිරිමින් මූලිකත්වය දෙන්නේ මොළයට බව සිතිජ මේ වෙලාවේ මට ඔප්පු කරමින් සිටියේ ය. ඔහු සිය දුරකතනය මවෙත පෑවේ ජයශාන්ත මහතා ට ඇමතුම යමින් තිබියදී ය.

“කියන්න පුතා”

ජයශාන්ත මහතා සිතුවේ අමතන්නේ සිතිජ කියා ය.

“සර්..මං. අනේ සර් මැඩම් මට කෝල් කරල මීට් වෙන්න ඕන කිව්ව. මං සිතිජ එක්ක ආව. මැඩම් හිටියෙ ලොකු දුකකින්. එයා ආරන්‍යයකට යනව කියල ගියා. අනේ සර් මොකක් හරි කරන්නකො”

මම හුස්ම ගන්නේ වත් නැති ව කියා ගෙන කියා ගෙන ගියෙමි.

“මෙව්නා…ඔයා කලබල නොවී සිතිජට ෆෝන් එක දෙන්න”

මගේ අතින් දුරකතනය සිතිජ ගේ අතට මාරු විය. මට ජයශාන්ත මහතා කියන්නක් පැහැදිලි ව ඇසිණ.

“සිතිජ. මෙව්නාත් එක්ක ගෙදර එන්න”

“මොකද්ද තාත්තෙ වෙලා තියෙන්නෙ…මොනාද මේ සිද්ද වෙන්න යන්නෙ…”

“එන්නකො. අපි කතා කරමු. අම්ම ගැන බය වෙන්න එපා. එයාගෙ පුංචි අම්ම ඔය කෑගල්ලෙ ආරන්‍යයක මෙහෙනින් වහන්සෙ කෙනෙක්. එතනට තමයි ඔය යන්න ඇත්තෙ. මේ වගේ වෙලාවක එයා එහෙම තැනකට යන එක හොඳයි. හරි. ඕගොල්ලො එන්නකො”

රියෙහි දී සිතිජ ත් මාත් අතරේ කතා බහක් සිදු නොවූ තරම් ය. බරපතල යමක් සිදු වී පවතින බව ඉවෙන් වාගේ ඔහු ට දැනෙන්නට ඇත. මාත් දන්නා ඔහු නො දන්නා සිය මවු පිළිබඳ රහස ගැන ඔහු දෙගිඩියාවෙන් බිඳෙමින් ඉන්නටත් ඇත. එය ඔහු ගේ පිරිමි පපුවට කරදර කරන්නටත් ඇත. නමුත් සිතිජ පිටතින් ඉතා සන්සුන් බවක් හැඟවූයේ ය. සයුරක වුව වඩාත් නිසල ගැඹුරු ම දිය ය!

ජයශාන්ත මහතා ආලින්දයෙහි ඒ මේ අත සක්මන් කරමින් හිටියේ ය. වෙනදා ඔහු ගේ මූණේ වන සැහැල්ලුව වෙනුවට තරමක බරපතල පෙනුමක් මට ඔහු ගෙන් දකිත හැකි විය. ඒ හින්දා ම ද මන්දා මගේ හදවත ගැස්ම ද මඳක් උත්සන්න වී තිබිණි. 

“සිතිජ අවුලෙං ඉන්නෙ…එහෙම නේද..”

ජයශාන්ත මහතා උත්තරයක් බලාපොරොත්තුවෙන් ඒ ප්‍රශ්නය ඇසුවා නොවේ. හෙතෙම සිය පුතු ගේ හිත් වේදනාව සමහන් කරනු වස් සිතිජ ගේ උරහිසකට මුදු ලෙස තට්ටු කළේ ය.

පවුලක් ඇතුළේ මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන එක පහසු නැති බව මට අලුතෙන් ඉගෙන ගන්නට ඕනෑ නැත. පවුලක් කියන්නේ වසර ගණනාවක් තිස්සේ හෙමි හෙමිහිට වර්ධනය වූ ගසක් වැනි ය. එහි හැම අත්තක් ම, හැම මුලක් ම, කොළයක් සහ මලක් ම ගසට වැදගත් ය. ගසකින් කොළයක් හෝ මලක් ගිලිහුණත් ඒවා ගස මුල හැකි තාක් කාලයක් දැවටෙමින් වෙළෙමින් පවත්නේ ය. 

දරුවන් ගේ ප්‍රශ්න දෙමාපියන් ව දෙදරවනවා සේ ම, දෙමාපියන් ගේ ප්‍රශ්න දරුවන් ව විසුණු කොට දමන්නේ ය.

“සිතිජ…මේක මං දැනගෙන සෑහෙන කාලයක්. ඒත් පවුලක් විදිහට…විශේෂයෙන් ම ළමයි ඉන්න තාත්තා කෙනෙක් විදිහට තව දුරටත් වගකීම් සහගත ව හැසිරෙන්නයි මං උත්සාහ කළේ. ප්‍රින්සිපල් කෙනෙක් විදිහටත් මං ප්‍රායෝගිකව අත් විඳපු දෙයක් තමයි දරුවො කවුරුත් දරුවොමයි කියන එක. අපිට යම් යම් තැන් වරදිනව තමයි පුතා. සමහර වෙලාවට අපි වරද්ද ගන්නව. මං දන්නෙ නෑ මේවයෙ වැරැද්ද කොතන කොහොම ඇති වුණාද කියලනං. මෙව්නාගෙ තාත්තා තමයි ශෙනාලි ගෙ ජීව විද්‍යාත්මක තාත්තා. හැබැයි එයාව හදා වඩා ගත්ත තාත්තා මම”

සිතිජ කෑලි කෑලි වලට කැඩී බිඳී විසිරී යන හැටි මම කම්පාවෙන් යුතු ව බලා සිටියෙමි. ඔහු ගේ හිස ගෙන මගේ ළය මඬලෙහි හොවා සනහන්නට මට නො සිතුණා නොවේ. අඩු තරමින් ඒ අතක් තර කොට මගේ දෑතින් අල්ලා ගන්නට හෝ තිබුණා නම්! මට ඔහු සැනසිය හැකි වූයේ ඇස් වලින් පමණකි.

“මගෙ අම්ම අපිට එහෙම කළාද” කියන ප්‍රශ්නය ඔහු ගේ ඇස් වල දිය වෙමින් තිබිණි.

“මං ඔව දැන ගත්තෙ ශෙනාලි ඉපදෙන්න ආපු කාලෙමයි පුතා. ඒත් එක දරුවෙක් නිසා තව දරුවො දෙන්නෙක්ට අම්ම තාත්ත ගෙදර නැති කරන්න මට ඕන වුණෙ නෑ. සමහර වෙලාවල් එනව පුතා ජීවිතේට…ඒ වගේ අමාරු තීරණ ගන්න සිද්ද වෙන..”

සිතිජ දෑතින් ම හිස කේ පිටුපසට ඇද ගත්තේ ය. ඒ කැළඹීම සුළි කුණාටුවකට සම කළ හැකි එකකි. කිසි දා මගේ දරුවෙකුට ඒ වේදනාව හිමි කොට නො දෙන්නෙමැයි මම තදින් සිතා ගතිමි.

“අම්ම හිතුවෙ හැම දේම වහගෙන එයාගෙ ජීවිතේ එයාට ඕන විදිහට ගත කරන්න. ඒත් මෙව්නා අර්ජුනගෙ දුව කියල දැන ගත්ත එකත්…ශෙනාලි අර්ජුන ගෙ තවත් දුවෙක් බව මෙව්නා දන්නවයි කියන එකත් රෝස්ට දරාගන්න අමාරු පහරක් වුණා. මොන දේ කළත් එයාගෙ වෙස් මූණ එයාගෙම දරුවො ඉස්සරහදි ගැලවෙයි කියන එක කවදාවත් එයා හිතුවෙ නෑ”

හුස්ම ගත් වාතය පවා බෙහෙවින් ශණ ව තිබුණා ද කියා මට සිතිණි. සිතිජ ගේ ඇස් රතු වී තිබුණේ ය. පුතෙක් සිය මව ගැන මෙහෙව් ඉතිහාස කතාවක් අසන්නට කිසි සේත් සූදානම් නැත.

“මේව රහස් වෙලා තිබුණාට කමක් නෑ. ඒ සමහර රහස් තියෙනව එළි වෙන්නම ඕනෙ. එතකොට තමයි ඒ රහස ඇතුළෙ ඉන්න අයට සාධාරණයක් වෙන්න පුළුවන්. මෙව්නාට සාධාරණේ ඉෂ්ට කරන්න ඕන නිසා මට මේ රහස් එළි කරන්නත් වුණා”

තව දුරටත් අපට නො කියූ කතා මල්ලක් තමන් සතු වෙතැයි, ජයශාන්ත මහතා ගේ ඇස් නො කියා කීවේ ය. මේ යට ගිය කතා ගැන ශෙනාලි මේ වෙත්දී දන්නවා ද කියා මා දන්නේ නැත. ජයශාන්ත මහතා වෙතින් එවැන්නක් විමසන්නට තරම් දිරියක් මට වූයේ ත් නැත.

“මේක ප්‍රශ්නයක් වුණේ අර්ජුනගෙ ලාස්ට් විල් එක නිසා”

අන්තිම කැමැත්තක්! ඒ කියන්නේ මගේ පියා යයි කියන පුද්ගලයා ජීවිතයෙන් සමු ගන්නට පෙර සිය දේපල ගැන තීරණයකට ඇවිත් ය කියන එක ද?

“අර්ජුන සෙල්ලක්කාරය. කසාදයක් බැන්දෙ නෑ. මැදි වයසට එනකොට එක එක අසනීපත් ආවා. සෑහෙන්න බීල ඒ වෙද්දිත් ප්‍රශ්න ගොඩක් තිබුණා. මිනිහ මැරුණෙ ඇක්සිඩන්ට් එකකින්. ඒත් ඒ වෙනකොට ජීවිතේ ගැන තිබුණ අවිනිශ්චිත කම නිසාම වෙන්න ඇති මිනිහ දේපල ගැන අන්තිම කැමැත්තක් ලියල තිබුණා. අර්ජුන මැරුණට පස්සෙ එයාගෙ ලෝයර් ඒක මට ලැබෙන්න සැලැස්සුව”

මිනිස් චිත්ත සන්තානයන් හි  ස්වභාවයන් වටහා ගන්නට බුදු වරයෙකුට මිස වෙනකෙකු හට හැකි නො වන බව සහතික ය. 

“ඒකෙ තිබුණ විදිහට අර්ජුනගෙ දේපල වලින් බාගයක් ශෙනාලිට අනිවාර්යෙන්ම ලැබෙන්නත්…හේමලතාට ලැබෙන්න හිටිය දරුව දවසක අර්ජුනව හොයා ගෙන ආවොත් ඉතිරි බාගෙ ඒ දරුවටත් ලැබෙන විදිහට තමයි දේපල වෙන් කරල තිබුණෙ. හේමලතා ගැන කිසි හෝඩුවාවක් දැන ගන්නවත් තිබුණෙ නැති නිසා ඒ සම්පූර්ණ දේපල ශෙනාලිට ලැබෙයි කියලයි රෝස් බලාපොරොත්තු වුණේ. ඒත් ඒ දේපල වල අයිතිකාරය ඇවිල්ලයි ඉන්නෙ කියන එක මට එයාට කියල දෙන්න වුණා” 

මගේ දෙපා සීතල වී යනවා මට දැනිණ. අර්ජුන කියන්නේ හේමලතා නමැති ගෘහ සේවිකාව ගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කළ සල්ලිකාරයෙකි. නමුත් ඒ ගැහැනියට හා දරුවා ට යුතුකම් ඉටු කිරීමේ අවශ්‍යතාවයක් ඔහු ගේ ජීවිතයේ පසු කාලීන යුගයක දී හෝ ඔහු ට දැනී තිබේ. මට කාගේ වත් දේපළක් අවශ්‍ය නැත. ඇඳුම් කෑලි දෙක තුනක් පාසල් බෑගයට ඔබා ගෙන මා කොළඹ ආවේ මගේ දෙපයින් නැගී සිටීමේ අවශ්‍යතාව පෙරදැරිව ය. බැරි වුණොත් ආවා වාගේ ම යන්නට ගමක් මට තියේ. කටු මැටි පැල්පතක් හෝ තියේ. සියලු දේපල වලට වඩා අක්කා වටින බව විතරක් හෝ කියා ගන්නට මට හැකි නම්….ඒ සියලු දේපල තියා ගෙන හිලව්වට ඇයට අක්කා කියන්නට විතරක් ඈ මට ඉඩ දෙනවා නම්…

“මොන වැරැද්ද කළත් අන්තිමට ගත්තහම රෝස් කියන්නෙ අම්ම කෙනෙක්නෙ සිතිජ. ඔයාවයි අක්කවයි වගේම තමයි අම්ම ශෙනාලිවත් බඩේ තියං හැදුවෙ එකම ආදරෙං. ඒක මං තරං දැකපු වෙන කෙනෙක් නෑ. අපි අතරෙ ඇති වෙච්ච බිඳීමත් එක්ක අපි සෑහෙන්න දුරස් වුණත් මං ශෙනාලිට කවදාවත් වෙනසක් කළේ නෑ. දැං රෝස් ට දරා ගන්න බැරි මේ කතාව එයාගෙ දරුවො දැනගන්නව කියන එක. විශේෂයෙන් ම මේක දැන ගත්තට පස්සෙ ශෙනාලි එයාගෙං ඈත් වෙලාම යයි කියන එක. කොහොමටත් ශෙනාලිට තියෙන්නෙ රෝස් ගෙ ගති ගුණම තමයි”

“සර්…”

මම අමාරුවෙන් මගේ හඬ සොයා ගතිමි. සිතිජ යටැසින් මදෙස බැලුවේ ය. ඒ ඇස් වල බැල්ම තේරුම් ගන්නට තව ආත්ම ගණනක් උපන්නත් මට නො හැකි වනු ඇත.

“මට ඒ මොනත් එපා සර්. ශෙනාලි අක්කට ඒ රහස කවදාවත් එළි වෙන්න නොදී ඉමු. එයාගෙ අම්මට එයා වෛර නොකර ඉන්නවනං මට ඇති. ඒ වේදනාවෙං එයා විනාශ වෙලා යන්නැතුව ඉන්නවනං ඇති. අනේ එයාට මේ මොනවත් නොකියා ඉමු සර්”

මගේ ඇස් වලින් කඩා වැටුණේ කොහේ තිබි කඳුළක් දැයි මම නො දනිමි. ඒ මා නමින් උපන් කඳුළක් නො වන බව නම් මම හොඳාකාරව ම දනිමි. 

ජයශාන්ත මහතා හෙමි හෙමිහිට මවෙත ආවේ ය. ඇවිත් මගේ හිස් මුදුනෙහි අත තබා කතා කළේ ය.

“ඔයා කොහොමද ඔච්චර හොඳ වුණේ දරුවො..ඔච්චරම හොඳ වුණෙ කොහොමද…”

“මේ පවුල ආයෙත් සැරයක් බිඳිල විසිරිල යන්න නොදී ඉමු සර්. සිතිජ අයියව මට විශ්වාසයි. එයා මේ කිසි දෙයක් නිසා වෙනස් වෙන එකක් නෑ”

සිය අසුනෙන් නැගිට මවෙත ආ සිතිජ දැඩි ආවේගයක් හදවතේ හංගා ගෙන මගේ හිස් මුදුනේ කෙහෙ රැල් අවුල් කළේ ය. මට මහත් සැහැල්ලුවක් දැනිණ. වෙන ඕනෑ ම දේකට වඩා මේ සැහැල්ලුව ජීවිතයට සැනසුම සදන බව මම නැවත නැවතත් පසක් කර ගනිමින් සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x