ඔබේ හැකියාවට කල නොහැක්කක් නොමැත

” අම්මේ.. මේ චිත්‍රේ බලන්නකො “

අමානි එහෙම කියාගෙන ශ්‍රියා ගාවට ආවේ පැය ගානක් තිස්සේ පාට කරපු චිත්‍රය අරගෙන.පුංචි කාලේ ඉඳලම චිත්‍ර වලට දක්ශ උන අමානිගේ ඒ හැකියාව දියුණු කරගන්න ශ්‍රියා වගේම අමානිගේ තාත්තා උන නිමලුත් ගොඩක් උදවු කලා.රැකියාවකට යන්න අකමැති උන අමානි රැකියාව වශයෙන් කලේ චිත්‍ර ඇඳලා විකුණපු එක. අවුරුද්දක් දෙකක් ගත වෙනකොට ඒ චිත්‍ර වලට ලොකු ඉල්ලුමකුත් ලැබුනා වගේම අමානිට සැලකිය යුතු ආදායමකුත් එයින් ලැබුනා.

” චූටි දුව ගොඩක් මහන්සි වෙලානේ “

” මේ මම ආස දේ නෙ.ඉතින් මහන්සි නෑ අම්මේ. අපි තේ එකක් බොමුද ? “

” ඉන්නකො .මම හදන් එන්නම්.දැන් තාත්තාත් එනවා ඇති “

ශ්‍රියා එහෙම කියාගෙන කුස්සියට යනකොට රූපවාහිනිය බල බල හිටපු අමානිගේ අක්කා උන හිමාශා ,අමානි දිහා බැලුවේ තරහෙන්

” මේ. තමුසෙගෙ ඔය කුරුටු බලි මිනිස්සු සල්ලි දීලා ගන්නෙ උන්ට පිස්සුද ? “

” කුරුටු බලියි චිත්‍රයි අඳුරගන්න බැරිද ඔයාට ?”

” හහ්.. ඕවා හොඳයි චිත්‍ර දැකලා නැති එවුන්ට “

හිමාශා එහෙම කියාගෙන රූපවාහිනියේ හඬ වැඩි කලා.අමානි සද්ද නොකර කාමරේට ආවේ අක්කගෙ හැටි දන්න නිසා

” නරකද හිමාශාට රස්සාවක් හොයලා දුන්නොත් ? “

නිමල් ඉස්තෝප්පුවෙ ඉඳන් තේ කෝප්පය තොල ගාන ගමන් ශ්‍රියාට එහෙම කිව්වේ හෙමින් සැරේ

” එයාට කිසිම උනන්දුවක් නෑනේ.කී දවසක් මම කිව්වද පත්තරේ බලලා හරි වේකන්සියක් හොයන්න කියලා “

” ගෙට වෙලා ඉඳලම ඔය ළමයා කම්මැලි වෙනවා අන්තිමට “

” දැනටමත් ඒක වෙලා තියෙන්නේ “

ශ්‍රියා එහෙම කියලා ගේ ඇතුලට යනකොට හිමාශාට පුටුව උඩම නින්ද ගිහින් තිබුනා.ඒක ගොඩක් දවසට සුපුරුදු දසුනක් නිසා රූපවාහිනිය ක්‍රියා විරහිත කරපු ශ්‍රියා අමානිගේ කාමරේට ගියා

” ඔයා තව චිත්‍රයක් අඳින්න ගත්තද චූටි දුව ?”

” ඔව් අම්මා. මේක මේ යාලුවෙක් එයාගෙ අම්මගෙ උපන්දිනේට ඉල්ලුව එකක් .අනිද්ද දෙන්න ඕනේ “

අමානිගේ ඇඟිලි අතර හිරවුන පැන්සල් තුඩ ලතාවකට සුදු කොළය පුරා යන හැටි ශ්‍රියා බලාගෙන හිටියේ ආඩම්බරයෙන්.හිමාශා ගැන එහෙම ආඩම්බර වෙන්න කාරණාවක් නැති එක ගැන ශ්‍රියා හිත යටින් දුක් උනා

” අම්මේ.. අනේ අම්මේ “

අමානි උදේ පාන්දරම බෙරිහන් දෙනකොට ශ්‍රියා උයන එක නතර කරලා හොඳටම බයවෙලා අමානිගේ කාමරේට දුවගෙන ගියා. ශ්‍රියා යනකොට අමානි හොඳටම අඬනවා

” චුටි දුව මොකද මේ ?”

” අනෙ මේ බලන්නකො අම්මේ . මම එළිවෙනකන් ඇඳපු චිත්‍රේ තීන්ත හැලිලා “

” මොකක් , කෝ බලන්න. කොහොමද එහෙම උනේ ?”

” මම දන්නෑ අම්මේ.අපරාදේ මගේ මහන්සිය “

සෑහෙන වෙලාවක් අඬපු අමානි අමාරුවෙන් හිත හදා ගත්තේ ගොඩක් අමාරුවෙන්

ඒ තරම් දෙයක් වෙලා තියෙද්දිත් , හිමාශා හරිම සතුටින් ගේ පුරා සින්දු කිය කිය ඇවිදිනකොට ශ්‍රියාගේ හිතට පුංචි සැකයක් මතුවුනේ ඉබේටමයි.

” ශ්‍රියා.. ඔන්න අපේ ලොකු කෙල්ලට යෝජනාවක් ඇවිත් “

හවස ගෙදර ආව නිමල් එහෙම කිව්වෙ හීන් හිනාවක් එක්ක

” ඒ කාගෙන්ද නිමල් ?”

” අපේ බැංකුවේ වැඩ කරන අර මයන්ත . මේ ලගදි ආවේ . ඔෆිස් ට්‍රිප් එක ගිය වෙලාවේදි මම ඔයාට අඳුන්නලා දුන්නේ.එදා හිමාශාව දැකලා , එයා ගැන ඔය ෆේස්බුක් එකෙන් ,යාලුවන්ගෙන් එහෙම හොයලා “

” ඉතින් “

” කොල්ලා අද කෑම වෙලාවේදි කෙලින්ම මගෙන් ඇහුවා . මම කිව්වා ඉතින් හෙමින් සැරේ කතා කරගමු කියලා.මයන්ත හොඳ වැදගත් පවුලක ළමයෙක්.අම්මලා තාත්තලා පවා බැංකු වල වැඩ “

ශ්‍රියා වගේම නිමලුත් එදා හිටියේ ගොඩක් සතුටින්. මයන්තට ගෙදරටම එන්න කියලා කතා බහ කරන්න වගේම හිමාශාටයි මයන්තටයි අඳුරගන්න අවස්ථාව දෙන්නත් ශ්‍රියා සහ නිමල් වැඩි කාලයක් ගත්තෙ නෑ.

” තමුසේ ගෙදරට වෙලා බලි ඇඳ ඇඳ ඉන්නවාකො.ඔන්න ලබන සතියේ මයන්තගේ ගෙදරින් එනවා මාව බලන්න “

” ඉතින් හොඳයිනේ “

” කොහෙද ඉතින් තමුසෙට කොල්ලෙක් වත් හොයාගන්න උවමනාවක් නෑනේ “

හිමාශා සමච්චලයට එහෙම කිව්වා.මයන්ත ඇයව මුණගැහෙන්න ආව වෙලාවට ඉතාම අහිංසක විදියට ඉන්නත් , මයන්තගේ දෙමව්පියන් ආවම ලැජ්ජාශීලී යුවතියකගෙ වෙස් ගන්නත් හිමාශාට පුළුවන් උනා

හිමාශා රැකියාවක් කරන්න අවශ්‍ය නෑ කියලා මයන්තම තීරණය කරපු එක හිමාශාට සතුටින් උඩ පනින්න හේතුවක් උනා.ඒ වගේම ඔවුන්ගේ විවාහය ඉක්මන් කරන්නත් මයන්තගේ දෙමව්පියන්ට ඕනෙ උනා.

” තමුසෙව නම් මම මගේ බ්‍රයිඩ්ස්මේඩ් ට ගන්නෑ ඔන්න “

” මම කිව්වෙ නෑනේ ගන්න කියලා “

අමානි ඇය අඳිමින් හිටපු චිත්‍රය දිහාවටම අවධානය යොමු කරගෙන හිටියා.

” පුළුවන් නම් මගේ වෙඩින් එකටවත් නෑවිත් ඉන්නවකො “

” ඒ මොකද ?”

” නෑ ඉතින් තමුසෙ වගේ කුරුටු ගගා ඉන්න එකියක් මගෙ නංගි කියන්න ලැජ්ජයිනේ මට.මයන්තගේ පවුලේම ඉන්නෙ හොඳ වැදගත් මිනිස්සු.හොඳට සල්ලි තියනවා “

රැකියාවක් වත් නොකර ගෙදරටම වෙලා හිටපු හිමාශා අමානිට එහෙම කියද්දි අමානිගෙ හිත තදින් රිදුනත් අමානි පුරුදු හිනාවකින් විතරක් හිමාශාට පිළිතුරු දුන්නා.හිමාශාට අහේතුකව තරහ ගියේ ඒ වෙලාවේ.

එකපාරටම ඉස්සරහට පැන්න හිමාශා ,අමානිගේ පින්සල් හෝදන්න තිබ්බ වතුර කෝප්පය අරගෙන අමානි අඳිමින් හිටපු චිත්‍රය දිහාවට විසි කරලා කාමරයෙන් එළියට දිව්වේ අමානි යටිගිරියෙන් කෑගහලා අඬනකොට

” හිමාශා බැන්ද දාක කොහොම ඉඳියිද මන්දා නිමල් “

ශ්‍රියා සුසුමක් හෙලමින් එහෙම කිව්වේ හවස උන සිදුවීම ගැන කම්පාවෙන්. අමානිගේ ඉකිබිඳුම වරින් වර කාමරයෙන් ඇහෙද්දි ශ්‍රියාට උහුල ගන්න බැරිවුනා

” හිමාශා රස්සාවක් වත් නොකර ගේ අස්සෙම ඉඳලා ඔලුව විකාර වෙලාද කොහෙද ශ්‍රියා. අපි මෙයාව හුරතල් කලා වැඩියි “

හිමාශා තමන් කරපු දේ ගැන පොඩ්ඩක් වත් පසුතැවිලි නොවෙද්දි නිර්දෝශී වූ අමානි කාමරය අස්සටම වෙලා චිත්‍ර ඇඳ ඇඳ තනිවෙන්න පටන් ගත්තා.හිමාශාගේ විවාහයට හැමෝම යුහුසුළුව ලෑස්ති වෙනකොට අත්‍යාවශ්‍යම දේකට ඇරෙන්න අමානි කිසිම දේකට මැදිහත් වෙන්න ගියේ නෑ.

හිමාශාගේ විවාහය බොහොම චාම් ආකාරයෙන් පැවත්වුනත් පවුල් දෙකේම ඥාතීන් සෑහෙන පිරිසක් එයට සහභාහී උනා.හිමාශා උඩරට මනාලියක් විදියට හැඩවෙලා බොහොම ආඩම්බරයෙන් හිනා වෙවී ඉන්නකොට අමානි ශාලාවේ ඈත කෙලවරකට වෙලා සන්සුන්ව නෑයන් කීප දෙනෙක් එක්ක කතා බස් කරමින් හිටියා.

” ඔයාගේ නංගිව හරියට දැක්කේ අදනේ හිමාශා “

“ආ.. ඔයාට මගේ ලස්සන පේන්නේ නැද්ද මයන්ත “

” පේනවා පේනවා.ඇයි මං කිව්වේ දැක්ක ගමන්ම ? , මේ ඒක නෙමෙයි නංගි හෙන ටැලන්ටඩ් ලු නේ. තාත්තා නිතර ඔෆිස් එකේ කියනවා .ඔයාට බැරිද එහෙම දෙයක් ? අඩු ගානේ සින්දු කියන්නවත් ? “

හිමාශාගේ මුහුණ කෝපයෙන් හැකිලෙන හැටි මයන්ත නොදැක්කේ ඒ වෙලාවේ එතනට ආව මිතුරන් එක්ක මයන්තට කතා කරන්න උන නිසා.

අක්කා නැති නිවස පාලුවට ගියත් ,හිතට දැනෙන මානසික නිදහස අමානිට ලොකු සැනසීමක් උනා.වෙනදට වඩා මහන්සි වෙලා තමන්ගේ කටයුතු කරගෙන ගිය අමානි ජාත්‍යන්තර චිත්‍ර තරඟයකටත් චිත්‍රයක් ඉදිරිපත් කලේ ඒ අතරෙමයි.සතියක් දෙකක් ඇතුලත ඒ චිත්‍රය අවසාන චිත්‍ර පහලව අතරටත් තේරිලා තිබුනා

විවාහයෙන් පස්සෙ මයන්තට වෙනත් බැංකු ශාඛාවකට මාරුවක් ගන්න සිද්ධ වෙලා තිබුනේ එකම පවුලේ දෙන්නෙකුට එකම තැන රැකියාව කරන්න බැරි නිසා.හිමාශා ගෙදරට කතා කලේත් ඉඳහිට නිසා ශ්‍රියා දවස් කීපයක්ම හිමාශාව බලන්න යන්න උත්සහ කරා.ඒ හැම දවසක්ම හිමාශා මොකක් හරි කියලා මග ඇරියා

” අපි වීකෙන්ඩ් එකේවත් එහෙ ගිහින් එමු ශ්‍රියා “

නිමල් එහෙම කිව්වේ හිතේ මොකද්දෝ අවුලකින් කියලා ශ්‍රියාට හිතුනා

” කසාද බැඳලා මාස තුනක් ගියේ නෑ මේ ළමයට අපිව අමතක වෙච්ච හැටි බලන්නකො නිමල්. කතා කලොත් කියන්නෙම , හොඳින් ඉන්නවා ,හෙට අනිද්දා ඔය පැත්තෙ එන්නම්කො කියලා විතරයි “

” මයන්තට නිවාඩු නැද්ද දන්නෑ නේද ?”

” එහෙම වෙන්නෙ කොහොමද ? එයා කරන්නෙත් ඔයා කරනවා වගේම රස්සාවක් නේ “

ශ්‍රියා කල්පනාකාරීව එහෙම කිව්වා.

පහුවදා උදේ දහය එකොළහ වෙද්දි මිදුලේ නවත්තපු ත්‍රීරෝද රථයකින් බැස්ස හිමාශා කලබලෙන් ආවේ තවත් ප්‍රශ්න අරගෙනමයි

” ඔය මොකද හිමාශා ඇහැ ළඟ තඩිස්සි වෙලා ?” ශ්‍රියාගේ ඇස් පුදුමයෙන් මහත් උනා.

” යන්කෝ අම්මේ ගෙට ” හිමාශා වටපිට බලමින් ශ්‍රියාව ඇදගෙන ගෙට ආවේ හති දාගෙන

” මොකක් වත් කරදරයක් උනාද ? දෙයියනේ මගේ ලේ පුච්චන්නේ නැතුව කියන්නකො ළමයෝ ?”

හදිස්සියේ ගෙදර ආව හිමාශා ශ්‍රියාට උත්තර දෙන්න කලින් , මයන්තව හොයාගෙන මයන්ත වැඩ කරන බැංකුවට ගිය නිමල් හැම ප්‍රශ්නෙටම උත්තර ඒ වෙද්දිත් දැනගෙන තිබුනා.

” හිමාශාගේ තියෙන්නෙ පුදුම කුහකකමක් අන්කල් .අහල පහල ගෑනු එක්කත් රන්ඩු. ඒ මදිවට අපෙ අම්මලා ආවමත් ඇනුම් පද කියනවා “

” පුතා ඉතින් ඕවා හිමාශාට එපා කිව්වෙ නැද්ද ?”

” කොච්චර කිව්වද අන්කල්. නොකියපු දවසක් නෑ.හැමදාම මොකක හරි ඇදයක් .කියන්නෙ එකක් නැත්තම් මගේ ඇදයක් හරි කියනවා “

නිමල් බර හුස්මක් මුදා හැරියේ කියන්නේ මොනවද හිතාගන්න බැරුව

” මේ මාස තුනෙන් උපරිම සති දෙකක් තුනක් අපි හොඳින් ඉන්න ඇති.කොයි වෙලෙත් කියන්නෙ අරයා හොඳ නෑ මෙයා හොඳ නෑ අරක නෑ මේක නෑ කියලා විතරමයි . දැන් මට මේක මානසික වදයක් අන්කල් . රස්සාවක් නොකර එයා ගෙදරට වෙලා ඉඳගෙන හැමෝගෙම ඇද හොයනවා විතරයි.බැරිම තැනයි ඊයේ පාරක් ගහලා එයාගෙ කට වැහුවේ “

මයන්තගේ හිත හදන්න බැරි තරම් බිඳිලා තිබුනා.හිමාශාගේ නපුරුකම් ඔහුට විතරක් නෙමෙයි කියලා නිමල්ට කියන්න ඕන උනත් ඔහු නිහඬවම ආපහු ගෙදර ආවේ රැකියාවට වත් නොයා.ඒ එද්දි හිමාශා ගෙදර ඇවිත් ඉන්නවා දැකලා නිමල්ගේ තරහා ඇවිස්සුනා

” උඹ කසාද බැඳලා ගිහින් අපේ නම්බුව රැක්ක හැටි නේද ඔය “

” තා..ත්තේ මං.. “

” කටවහපං ” නිමල්ගේ අත්ල පලමු වතාවට හිමාශාගේ කම්මුලේ නතර වෙද්දි හිමාශා ඕනවට වඩා හයියෙන් ඇඬුවා

ගෙදර දුරකථනය නාද උනේ එතකොට. අමානි දුරකථනය ලගට දුවලා යනවා හිමාශා දැක්කේ ඇස් කොනෙන්.බොරු කඳුලු පිහින ගමන් ඇය අමානි දිහාම බලන් හිටියා.තමන් නැති ටික කාලෙට නංගි තව ලස්සන වෙලා කියලා හිමාශාට හිතුනා

” හෙලෝ “

ඇමතුමට පිළිතුරු දීපු අමානිගේ ඇස් තප්පරයක් දෙකක් ඇතුලත දීප්තිමත් වෙන හැටි හිමාශා වගේම ශ්‍රියාත් නිමලුත් බලන් හිටියා.

” අම්මේ ” අමානි සතුටින් උඩ පැන්නා

” මං අර international competition එක දිනලා . මගේ චිත්‍රේ එයාලා තෝරගෙන “

ශ්‍රියාත් නිමලුත් එකවරම අමානිව වැළඳගන්නකොට අමානිගෙ ඇස් වලින් කඩාගෙන වැටුනේ නිම්හිම් නැති සතුටු කඳුලු.

ඒත් , හිමාශාගේ ඇස් වලින් වැටුනේ පසුතැවීමක කඳුලු

” මගේ නංගි ලෝකෙම දිනලා “

හිමාශාට අන්තිමට හිතුනේ එහෙම !

More Stories

Don't Miss


Latest Articles