එරංගා අසීරු දවස් ගෙවන්නට පටන් ගත්තා ය. බිරිඳ ගැබිණියක වූ ආරංචිය ලැබී සන්තෝසයෙන් ඉපිලෙන සැමියෙකු ඇයට ලැබුණේ නැත.
“ජීවිතේ පටන් ගන්නම වෙන්නෙ ළමයෙක් කර ගහගෙන..මොන මඟුලක්ද ඕයි!”
ආදිත්‍ය අසද්දී ඈ කැළඹුණා ය.පවුලේ අයට විරුද්ධ වී කරගත් විවාහයක් නිසා පවුලේ කිසිවෙක් ඈ දකින්නට මනාපයක් නැත.නොකඩවා වමනය යන දිනවල අම්මා උයන යමක් කන්නට තිබුණානම් සිතමින් ඈ කඳුළු සැළුවා ය.නමුත් ආදිත්‍ය ඒ කඳුළු දුටුවේ නැත.පාන්දර උයන්නට නොහැකිව ඈ ඔක්කාරය කරද්දී නම් ආදිත්‍ය නිදිගැට කඩමින් මුළුතැන්ගෙයට ආවේ ය.
“වමනෙ දදා උයන්න එපා.මොන මල අප්පිරියාවක්ද.මං අම්මලගෙ දිහා ගිහින් කන්නං”
ඔහු එසේ කියා නික්මෙන්නේ එරංගා හඬද්දී ය.තුරුලි ඔහු අතැර දමන්නට හේතුව ඇයට පැහැදිලි ය.නමුත් හැරෙන්නට බැරිතරමට ප්‍රමාද යැයි ඈ සිතුවේ කඳුළු උතුරවමිනි.
උයන්නට බැරි නිසාම එරංගා කඩ කෑම කන්නට පටන් ගත්තා ය.නමුත් සෑම බත් මුලක්ම ගියේ කුණු කූඩයට ය.දිනක් උදෑසනම තුරුලි ඈ වෙත ආවේ සිනා වතකිනි.
“අද නංගිගෙ යාලුවො ටික දවසම අපේ ගෙදර එරංගා.අම්මා අද වැඩියෙනුත් එක්ක උයල.මං ඔයාටත් කෑම එකක් ගෙනාව..”
තුරුලිට ඇනුම් පද කී දවස් අමතක කළ එරංගා වහා ඒ කෑම පාර්සලය අතට ගත්තා ය.ඒ සුවඳ ඇයට කෑම රුචිය ඇති කරන්නට සමත් විණි.
“අම්මට පිං කියන්න තුරුලි අක්කෙ.මං කටක්වත් අහක දැම්මෙ නෑ.දවස් ගාණකින් කෑවේ..”
ඇය තුරුලිට පැවසුවේ දෑසේ කඳුලු පුරවාගෙන ය.තුරුලි වහා ඇගේ අතකින් අල්ලා ගත්තා ය.
“අයියෝ ඕක එච්චර දෙයක් යැ..හෙට ඉඳන්නම් මං සතියක්ම නිවාඩු නංගි.අපේ නංගිගෙ වෙඩින් එකනෙ..ඊට පස්සෙ මං ඔයාට හැමදාම උනත් කෑම ගේන්නංකො..”
තුරුලි කියද්දී කසුන් ද එරංගා සමඟ හිනැහුණා ය.
“දැං මාස හතක් තිස්සෙ ප්‍රෙග්නන්ට් ආසාවල්වලට කෑම උයල මටත් හුරුයිනෙ නංගි.මමත් ඔය මොනමොනව හරි ඔතන් එන්නංකො.ඔයාට දැන ගන්න තියන දේවල් ඔක්කොමත් එයාගෙන් අහන්න.එයා ඉන්ටර්නෙට් එකට ගිහිං සේරම දේවල් හොයනව..දැන් වීඕජිට වඩා දන්නව මගෙ හිතේ..”
කසුන් එසේ කියද්දී එරංගා දෑස බර කරගෙන මඳ වෙලාවක් සිටියා ය.දැන් මේ අයට සැඟවීමට දෙයක් ඇයට නොමැත.
“ආදිත්‍යට ඩොක්ට කෙනෙක් ගාවට යන්නවත් ගාණක් නෑ.මං කීවම ගණන් ගන්නෙත් නෑ..”
අසේනි වහා නැගිට ආවේ එරංගා වෙතට ය.ආදිත්‍ය තුරුලිගේ පෙම්වතා කාලයේද ඒ සම්බන්ධය කැඩී යන තුරු ඈ මඟ බැලුවා ය.දැන් එසේ ප්‍රාර්ථනා කළ නොහැක.නූපන් කිරි කැටියාට පියෙක් උවමනා ය.නමුත් ඔහු උප්පැන්නය දෙන්නට පමණක් සෑහෙන බව අසේනි සිතුවා ය.
“ඔයාට ජොබ් එකක් තියනව.සල්ලි තියනව.අනේ ඒ මිනිහා ඕන නෑ ඩොක්ටලා ගාවට යන්න.ඔයා මෙන්න මේ කසුන්ලගෙ ඩොක්ට ගැන අහ ගන්න සුදූ.මං ඔයාව එක්ක යන්නං..”
එරංගා අසේනි දෙස බලා සිටියේ අසරණ දෑසකිනි.
තුරුලි එදින නිවසට ආවේම බර කරගත් හදිනි.ඇය තමන් එරංගා සිටින තැන කිහිප වතාවක්ම තබා බැලුවා ය.කුමක් හෝ පෙර වාසනාවක් ක්‍රියාත්මක ආදිත්‍යගෙන් ඉවත් වන්නට ලැබීම ගැන ඇයට දැනුණේ මහත් සතුටකි.ඇය ආලින්දයට ගොඩ වූයේ ද ඒ සතුටිනි.
“හලෝ මැඩම්…”
බොහෝ කල් දකින්නට බලා සිටි දෑස ආලින්දයේ දිදුලමින් තිබියදී තුරුලි ගල් ගැසුණා ය.ඈ මියුරු වෙත ගියේ ද ඔහු වැලඳ ගත්තේ ද අසුරු සැණිනි.
“මේ මලකෝලං බලන්නකො.ඔයාලටත් පෝරුවක් හදල දෙන්න කියන්නද?”
සඳලි පැමිණියේ එසේ අසාගෙන ය.තුරුලි නංගිගේ උරහිසට පහරක් ගැසුවා ය.
“බෙස්ට්මන් කෙනෙක්ට එන්න නිවාඩුවක් නෑ කියල නාහෙං අඬපු මනුස්සයා මේ ආවෙ කොහොමද..ඔයත් මේවට සම්බන්දද?”
අක්කා අසද්දී සඳලි උස් හඬින් හිනැහුණා ය.මියුරු සඳලිගේ කර වටා අතක් දමා ගත්තේ සැහැල්ලුවෙනි.
“නැත්තං..අපි දෙන්නා සහෝදරයොනෙ.ඔයාට උගුල් අටවන්න අපි කොහොමත් හරිම එකමුතුයි..”
සඳලිගේ සැහැල්ලුව පිරි කටහඬ ද මියුරුගේ මියුරු සිනාව ද තුරුලි තත්පර කිහිපයක් ම රස වින්දා ය.
“එහෙනං ඉතිං ඔයාලට රනුකයි මායිත් එහෙම තමා සලකන්නෙ.ඔයාලා ඕන උගුලක් අටෝ ගන්නකො.”
තුරුලි අත් බෑගයෙන් නංගිට තවත් මුදු පහරක් එල්ල කළා ය.
“අනේ ඉතිං අපේ මොකෝ.එයාටත් ඔයාට වඩා කෙනෙක් ඉන්නවයැ.හැබැයි මියුරු මේ ආවේ ඔයා බලන්නනම් නෙවේ ලොකු නෝනා.එයාගෙ එකම නෑනාගෙ වෙඩිං එකට..”
තුරුලි මියුරුගේ අතැඟිලිවලින් ප්‍රවේසමින් අල්ලා ගත්තා ය.බොහෝ දවසක් දැනුණු ශෝකි හැඟීමක් පහව ගිය සතුටකින් ඈ වැසී යන්නට පටන් ගත්තේ ය.