හේමන්ත සන්ධ්‍යා -07

ඕස්ට්‍රේලියාවේ දී විදත් යළි කාර්ය බහුල වූයේ ය. තියෙන රැකියා ටික කර ගන්නට දවස තවත් පැය කිහිපයකින් දිගු වෙනවා නම් හොඳ ය කියා, ආර්ථිකය සවිමත් කර ගැනීම වෙනුවෙන් විදෙස් ගත වූ හැම කෙනෙක් ම වාගේ හිතති. නමුත් මේ වතාවේ යළි එම භූමිය වෙත පය ගැසූ විදත් කෙරේ ඒ උනන්දුව තිබුණේ නැත. ඔහු හිටියේ කිසියම් තෝන්තුවාවක ගිලී ගෙන ය. කොතරම් මිල මුදල් හරි හම්බ කළත් කුමකට දැයි ප්‍රථම වතාවට ඔහු සිතුවේ ය. ඉඳ හිට පුතා වෙනුවෙන් ඔහු බිරිඳ ගේ ගිනුමට මුදල් ටිකක් දමයි. ලංකාවේ වෙසෙන මව් පියන් ගේ පරිභෝජනය වෙනුවෙන් මාස දෙක තුනකට වරක් මුදලක් යවයි. ඒ හැරෙන්නට ඔහු ට මහ ලොකු වියදමක් නැත්තේ ය. විදත් දැන් ජීවත් වන්නේ ඔහු ගේ ම නිවසකයි. ලංකාවෙන් මුලින් ම එන හිතවතුන් ගේ හිතවතුන් වෙනුවෙන් ඒ ගෙයින් කොටසක් කුළියට දෙන නිසා ඔහු ට එයින් ද ආදායමක් ලැබේ. නමුත් මුදල් කියන්නේ සියල්ල ම නො වන බවත්, මුදල් වලින් මිල දී ගත නො හැකි එක දෙයක් අවම වශයෙන් මිහි මත වන බවත් මේ දින කිහිපය තුළ ඔහු ට හිතෙන්නට පටන් ගෙන තිබේ. ඒ හිතේ සතුටයි!

සතුටටය කියා මෙතුවක් ඔහු කළේ ශ්‍රී ලාංකික හිතවතුන් සමග සති අන්තයේ දී සාද දැමීම ය. බොහෝ විට මේ සාද වල දී වැඩි පුර විය හියදම් කෙරුණේ විදත් ගේ මුදල් වූයේ, ඒ සාද සඳහා කැඳවන්නා ඔහු වීම නිසා ය. ජීවිතයෙහි වඩාත් සමීප කෙනෙක් ජීවිතයෙහි නො වන විට, අපි වෙනත් ආකාර වලින් හිස් තැන් පියවා ගන්නට වෙර දරමු. විදත් සාද සම්භාෂණ පැවැත්වූයේ ද ඒ අරමුණෙනි.

“ගෑනු නැති වුණාට මොකද බං..මේ අපි ඉන්නෙ ෆුල් ෆන් එකේ. ගෑනු කියන්නෙ ඇණ බං. නිකං ඇණ නෙවෙයි පරාල ඇණ”

යළිත් විවාහයක් කර ගන්නා ලෙස පවසන මිතුරන් ට ඔහු එසේ කියන්නේ සැබවින් ම කිසිදු හුදෙකලාවක් ඔහු නො පෙළන බව ඉරියව් හා අඟ පසඟ වලින් පවා කියමිනි. ඔහුත් එය එසේ යි ඇදහූයේ ය. විවාහය කියන්නේ කිසිදු සැනසීමක් නැති කටු අත්තකැයි, පෙර විවාහ දෙකේ අත්දැකීම් විසින් ඔහු ට පසක් කරවා තිබිණි. ජීවිතය තිබෙන්නේ කා බී විනෝද වන්නට යයි අන්තිමට ඔහු ඒකමතික තීරණයකට ආවේ ය. 

නමුත් අද ඔහු එතැන අසරණ වී හිඳියි.

නිකිනි කෙරේ ඔහු හැසිරුණා දැඩි වැඩි යයි දැන් දැන් විදත් ට සිතේ. ඇය තවමත් ජීවිතයේ ඒ හැටි අත්දැකීම් නො ලද කෙල්ලකි. ඔහු ත් එක්ක ජීවත් වෙන්නට බැරි බවට තීරණය කළ විදත් ගේ පූර්ව විවාහයන් හි බිරින්දෑවරු දෙදෙනා ම ඍජු ව තීරණ ගත්හ. ඒ ඔවුන් ගේ දික්කසාදය ලබා ගැනීමට ය. එසේ කොට ඔවුහු සිය ජීවිතයෙන් නික්ම ගියහ. ඔහු ට එවැනි ඉරණමක් අත් වූ එක ගැන අදත් විදත් වෙත වන්නේ තුනී සන්තාපයකි. ඒ ගැහැනුන් ට එසේ නො කර ඉන්නට තිබුණා යි අද ත් ඔහු ට සිතේ. නිකිනි ගේ ප්‍රශ්නය දෙස බැලුවේත් ඒ කෝණයෙන් ම නොවේ දැයි සිතු ඔහු ට සියුම් දුකක් දැනිණ. සත්තකට නිකිනි ගේ ප්‍රශ්නයේ සැබෑ ස්වරූපය කුමක් ද කියා හෝ ඔහු දන්නේ නැත.ඔහු ඇගේ පැත්ත ගැන බැලුවේ ම නැත. ඔහු හිතුවේ ස්ත්‍රීන් ගේ හිතුවක්කාරකම් ළඟ අසරණ වන පිරිමින් ගේ පිරිමිකම් ගැන පමණකි.

ඇගේ ඉකිබිඳුම් සර තවමත් ඉඳහිටි ඔහු ගේ සවනේ ප්‍රතිරාව නැංවේ. ගැහැනියක පිටස්තර පිරිමියෙකු ඉදිරියේ එසේ නිකං ම කඳුළක් හෙළාවිද යන සිතිවිල්ල දැන් දැන් විදත් ව තිගස්සවයි. ඔහු ඒ පටලැවුණේ ඔහු ට අයිති නැති ප්‍රශ්නයකට ය. නමුත් නිකිනි ව යළි සිය සැමියා වෙත යවන්නට ඔහු සැලකිය යුතු බලපෑමක් කළේ ය. 

“සුමනා ආන්ටි කිව්ව විදිහට දැන් දෙන්නා හොඳින් ඉන්නවනෙ. ඉතිං මං හොඳක්නෙ කරල තියෙන්නෙ”

අන්තිමට විදත් තමන් ට ම එසේ කියා ගත්තේ ය. ඒ සිතිවිල්ල මත පිහිටා දිනක් දෙකක් ඔහු ට පෙර පරිදි විනෝදයෙන් සිටිනට ද හැකි විය. නමුත් ඒ දිනකට දෙකකට පමණි!

යළිත් සුපුරුදු වරදකාර හැඟීමත් පසු තැවීමත් ඔහු ට වද දෙන්නට වූයේ ය.

“මේ සැරේ ලංකාවට ගිහිං ආවට පස්සෙ විදත් අමුතුයි”

ලංකාවේ මිතුරෙකු ගේ බිරිඳක්, විදත් ඉදිරියේ දී ම සිය සැමියා ට කීවේ ය. ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් එහි රැඳී සිටින්නේ පවුල් වශයෙනි. තනිකඩ ව සිටින්නේ අධ්‍යයන වීසා මත ඇවිත් හිඳින යොවුන් ළමයින් පමණි. මේ පවුල් නිසාවෙන්, ඒ භූමියෙහි දේශීය වූ පසුබිමක් ඇති ව තිබේ යයි විදත් නිතර ම සිතයි.

“අමුතුයි කිව්වෙ…”

බිරිඳ ගේ කතාව මීට පෙර ඔහු ට විෂය වී තිබූ දෙයක් නොවන නිසාවෙන් සැමියා විදත් දෙසත් බිරිඳ දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ ය. ඒ ගැන කිසිත් කියන්නට නො දන්නා බව හැඟවීමට විදත් උරහිස් හැකිළුවේ ය.

“අමුතුයි කිව්වෙ වෙනස්. වෙනද වගේ නෙවෙයි”

බිරිඳ ගේ ස්වරයෙහි මඳ නො රිස්සුමක් තිබිණි. ඇය ඔහු ව ඉව කරමින් හිඳින බව විදත් ට රහසක් නොවේ. මිතුරු සමාගමය රැස් වන බොහෝ අවස්ථා වල අසංකා ගේ ඇස් ඔහු ලුහු බඳිනු විදත් ට දැනී තිබේ. නමුත් මිතුරෙකු ගේ බිරිඳක් නිසා ඒ ගැන ඔහු වැඩි අවධානයක් යොමු නො කළේ ය.

“පේන්නැද්ද…වැඩි කතා බහක් නෑ…ඉස්සර තිබුණ ෆන් එක නෑ. පාටීස් ඕගනයිස් කරන්නෙ නෑ. අපි මේ බලෙං වගේනෙ අද මෙහෙ ආවෙ”

“අඩේ ඇත්ත නේන්නං”

“පිස්සු බං උඹලට”

“පිස්සුනං නෙවෙයි හරිද…ඔයා වෙනස් වෙලා විදත්”

‘මේ ගෑනිනං මහ ඇණයක්’ කියා විදත් හිතින් හිතුවේ ය. ඇගේ සැමියා විදත් ටත් වඩා වසර දෙක තුනක් වයසින් බාල ය. ඔහු හොඳ වැටුපක් ලබයි. ඔවුන් ට දරු දෙදෙනෙකු ද සිටිති. නමුත් ඇගේ ඇස් නිරතුරු ඔහු ට වෙනත් කතාවක් කියමින් සිටින බව විදත් ටික කලක සිට දැන සිටී.

ඔය වගේ කතන්දර මෙහි ඕනෑ තරම් වන්නේ ය. සිය රැකියා වලින් නිවාඩු ලබා ගත නො හැකි නිසා බිරින්දෑවරුන් ගේ කටයුතු වලට උදව් ලබා ගන්නට පවරන මිතුරන් හා එකී බිරින්දෑවරු අතර ඇති වූ සම්බන්ධතා ගැන විදත් කොතෙකුත් අසා දැක තිබේ. කිසිදු අපහසුවකින් තොර ව එසේ ළඟා විය හැකි විවාහක කාන්තාවන් ඕනෑ තරම් ය. බොහෝ විට එවැනි සබඳතා වල පැටලෙන පිරිමි ද විවාහකයෝ වෙති. ඇතැම් විට ඒ කාන්තාවන් දෙදෙනා ද පවුලේ මිත්‍රයෝ වන්නාහ. විදත් ට සිනහ යන්නේ ඒවායේ සුල මුල ගැන කට කතා ඇසෙන විට ය.

නමුත් සිය මිත්‍රයා ට ද්‍රෝහී විය නො හැකි මොකක්දෝ මහත්මා ගතියක් විදත් කෙරේ වේ.

“හම්මෝ…ගෑනියෙක්නං ඕනෙ ඒක ගනුදෙනුවක් විදිහට කර ගන්න ඕනතරං විදි තියෙනවනෙ. යාළුවංගෙ ගෑනු නං ඕනනෑ. ඒ බලු වැඩේ මන්නං කවදාවත් කරන්නෑ කියල මට ශුවර්”

ඔය ගැන කතා බහේදී මිතුරු සමාජය ඉදිරියේ විදත් දිව්රූ අවස්ථා බොහෝ ය. ඔහු ඒ ප්‍රතිපත්තිය මෙතෙක් බිඳ ගෙන ද නැත. මේ මිතුරු බිරිඳ මෙවන් ක්‍රීඩාවක් කරන්නට හදන්නේ ඒ බව නො දැන ගෙන දැයි විදත් සිතුවේ ය.

“ලංකාවෙදි එක්කො මෙයාට ලේඩි කෙනෙක් සෙට් වෙලා. නැත්තං ගෙදරිං ප්‍රපෝසල් එකක් ගෙනත්”

විදත් ගේ මුහුණට පැමිණි සිනහව කිරි දරුවෙකු ගේ සෙයින් අව්‍යාජ විණි. මිතුරු බිරිඳ ඒ සිනහවෙහි පැටලී මග වරද්දා ගන්නට ගියා ය.

“අඩෝ උඹේ හිනාව. අපේ ගෑනි කිව්ව තක්කෙටම හරි වගේ”

“මොකද්ද යකෝ ඒ අපේ ගෑනි කියන කතාව. අපේ කියන්නෙ උඹ තව එකෙක් එක්ක එයාව ශෙයා කර ගන්නෙ නෑනෙ. මගෙ ගෑනි කියපං. මගෙ ගෑනි”

“මෙයා කතාව හෙමිහිට මග අරින්නයි හදන්නෙ. අනේ ඔච්චර බල කරල අහගන්න අපිට ඕනෙ නෑ”

මිතුරු බිරිඳ කී කතාව සැබෑවක් දැයි විදත් ඔහු ගෙන් ම ප්‍රශ්න කරමින් සිටියේ ය. ලංකාවේ දී හමු වූ ඇස් දෙක, නිකිනි, ඔහු ගේ හදවත කොනිති ගසමින් තවමත් එහි නතර වී ඉන්නේ ඇයි?

ඒ හැඟුම ම ඔහු සසල කරවී ය.

“අම්මෝ…මිත්‍රයගෙ දුවෙක්”

අමුතු විදිහේ සිනහවකින් හෙතෙම හිස අත් බැඳ ගත්තේ ය.

ගෙදර වැඩ පල හා හුදෙකලාව අතරේ නිකිනි ට විදත් අමතක වී ගියා කීවොත් මුසාවකි. ඇගේ හැම හුස්මක ම ඔහු ගැන ඉතා කෙටි වූ අලුත් මතකය පැටලී තිබිණි. නමුත් ඇය ඔහු ගැන අමුතුවෙන් කිසිත් හිතන්නට ගියේ නැත. ඇතැම් විට යළි ඔහු දකින්නට හෝ ලැබෙන්නේ තව වසර විස්සකින් වන්නට පුළුවන. එතකොට ඇය පණස් වන වියට ආසන්න වෙමින් හිඳිනු ඇත. නිකිනි ගේ මුහුණට දුක්බර සිනහවක් වැඩියේ ය.

දෙවරක් විවාහ වීත් හෙතෙම දික්කසාද වන්නට ඇත්තේ මන්දැයි ඕ විටෙක සිතුවා ය. ඒ බිරින්දෑවරුන් ගේ වරද නිසා විය යුතු ය. නිකිනි වාගේ ඔවුන් දෙදෙනා ම හොඳ බිරින්දෑවරුන් නොවේ! ඇය ට තනිව ම සිනහ ගියේ ය.

ගෙදර දුරකථනය නාද වෙනවා නිකිනි ට ඇසිණි. සාමාන්‍යයෙන් එයට ඇයට කිසිවෙකු කතා කරන්නේ නැත. මංජුල ට වන්නට ඇතැයි සිතූ ඕ ඉක්මන් ගමනින් දුරකථනය වෙත ගියා ය.

“හෙලෝ…”

“මේ…මිස්…නිකිනි ද…”

එහා ඉම වූයේ ඉතා ලඳ බොළඳ සිහින් ගැහැනු හඬකි. 

“ඔව්…”

නිකිනි ද මොළොක් ලෙස පිළිතුරු දුන්නේ ඒ කවුදැයි සිතා ගත නො හැකි ව ය.

“මිස්…මිස්නං නම කිව්වට මාව දන්නවද දන්නෑ. මං ගුවනි මිස්…”

එහෙම නමක් ඇති කිසිවෙකු සිහිපත් කර ගන්නට නිකිනි සමත් වූයේ ම නැත.

“ඇත්තටම මටනං මතක් වෙන්නෑ. කවුද කියල කියන්නකො”

නිකිනි තැන්පත් ස්වරයකින් දෙඩුවා ය.

“මිස් මං සර් ලෙක්චර්ස් කරන කැම්පස් එකේ ඉගෙන ගන්නෙ”

“ඒ වචන ටික නම් නිකිනි කළඹවා ලන්නට සමත් විය. නිසැක ලෙස ම මේ මංජුල හා ඔහු ගේ ශිෂ්‍යාවක අතර වන සබඳකම ගැන කේලමක් කියන්නට ගත් දුරකථන ඇමතුමක් වන්නට ඇත යන්න ඇයට සිතුණ මුල් ම සිතිවිල්ලයි.

“හ්ම්. ඉතිං ඇයි ඔයා මට කතා කළේ…”

මේ වතාවේ නිකිනි ගේ හඬ තානය පෙරදී ට වඩා දැඩි වූයේ ය.

“අනේ මිස්…මං ගැන කේන්ති ගන්න එපා මිස්. මේක කියන්න හොඳ ම කෙනා මිස් කියල හිතුණ නිසයි මං මේ කෝල් එක ගත්තෙ. ඇත්තම කියනවනං මේ කෝල් එක ගන්න දවස් කීයක් කී වතාවක් මං කල්පනා කරන්න ඇද්ද කියල මං විතරයි දන්නෙ. කතා නොකර ඉන්නව කියල අනන්තවත් හිතුව. ඒත් මොන එකක් නිසා ද මන්දා මිස්ට කතා කරන්න ම මට හිතෙනව. මං ගැන වැරදියට හිතන්න එපා මිස්. සර්යි මිසුයි අතරෙ ප්‍රශ්නයක් ඇති කරවන්න එහෙම නෙවෙයි මට ඕනෙ. මගෙ හිත නිදහස් කර ගන්න. ඇත්තටම මිස් පව් කියල හැම තිස්සෙම මට හිතෙනව..”

“මේ… ළමයො…”

නිකිනි ගේ හුස්ම වැටීම වේගවත් වී තිබිණි. ඇය ට ඉවසා ගත නො හැකි වූයේ විශ්ව විද්‍යාල සිසුවිය ගේ අවසාන වාක්‍යයයි. නිකිනි වූ කලී කිසිවෙකු තමන් හට අනුකම්පා කරනවා ට නො රිසි ගැහැනියකි. ඇය තමන් කෙරේ සාඩම්බරයක් ඇති ව හැම විට ම පැවතුන ගැහැනියකි.

“මං පව් කියලනං කවුරුවත් හිතන්න ඕන කමක් නෑ. ඔය ළමය මේ කතා කළේ සර් කැම්පස් එකේ ගෑනු ළමයෙක් එක්ක සම්බන්දකමක් තියෙනවයි කියල කියන්න වෙන්න ඇතිනෙ…නේ…අනුංගෙ කේලං ඕප දූප කියන්න තමුංගෙ ෆෝන් බිල් එකෙන් රඅපියලක් හරි වියදං කර ගන්න එපා. ඒක නාස්තියක්. කැම්පස් ළමයෙක් නේද…ඔච්චරටම මොළයක් නැද්ද…අනිත් එක එයාට සම්බන්දකං එකක් නෙවෙයි දහයක් තිබුණත් මට කමක් නැත්තං වෙන කාටවත් මොකද…ඔය ළමය කාලෙ නාස්ති නොකර තමුංගෙ පොතක පතක වැඩක් බලා ගන්න”

ඒ විදිහට සිය දශක තුනකට ආසන්න ජීවිත කාලයේ දී කිසිවෙකු හට කතා කර නැති බව නිකිනි ට ඉඳුරා විශ්වාස ය. නමුත් මේ වෙලාවේ කේලාම් වලට හිස නමා බිම බලා ගන්නට ඇයට කිසි සේත් ඕන වුණේ නැත.

“අනේ මිස්…ෆෝන් එක තියන්න එපා”

එහා අන්තය බැගෑපත් වනු නිකිනි ට ඇසුණේ ඇය රිසීවරය තබන්නට යත්දී ය. එහෙයින් ඇය යළිත් ඒ සවනට ගත්තා ය.

“මං මේ කේලමක් කියන්න ගත්ත කැම්පස් ළමයෙක් නෙවෙයි මිස්”

“එහෙනං…”

“සර් ගෙ  සම්බන්දකමක් තියෙන්නෙ මාත් එක්ක”

එය යන්තම් උගුර යටින් මුමුණා ගැනීමකි. නමුත් නිකිනි දැවැන්ත බෝම්බ ප්‍රහාරයකට ලක් වූවා සේ සලිත වී ගියා ය. ඇතුළාන්තයෙන් සුණු විසුණු වීි ගියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles