සුපුරුදු ලෙස මට තදින් උණ ගත්තේ අප ප්‍රදර්ශන භූමියෙන් පිට වෙද්දී ම ය.හඬන්නට ඕනෑ මුත් නොහැඬෙන ස්වභාවය පැමිණි පසු මට මා පාලනය කර ගන්නට බොහෝ අපහසු ය.බස් රියට ගොඩ වූ වහා කේතකී මට ඇගේ උරහිසේ නිදන්නට දුන්නා ය.අපට පසුපස අසුනේ හිඳගත් චමත්කා නිර්වාන් සමඟ චටපට ගාමින් පසන්ට බැන වදින හඬ මට නින්ද යන තුරුම ඇසිණ.සන්තෝසයෙන් එකතු කරගත් පොත් මල්ල තිබුණේ නිර්වාන් ළඟ ය.ඔහු අප බෝඩිමට හැරලවා යන්නට පෙර එය මා අතට දුන්නේ ය.
“පසන් ගැන අවුරුදු ගාණක් අහන් ඉන්නව.මට මොනවද ඔයා වෙනුවෙන් කරන්න පුලුවං?”
ඔහු ඇසී ය.ඒ හඬ වෙනදාට වඩා බොහෝ හැඟීම්බර ය.මම හැඟීම් විරහිත දෑසින් බලා සිටියෙමි.
“සාරා, ඔයා ලෙඩ වෙනවා..ඔයා ඉන්නෙ දුකින්.ඔයාව අවුල් නොකර ආපහු එන්න කියල පසන්ව හම්බෙලා ඉල්ලන්න මට පුලුවං..” එසේ කී නිර්වාන් සුසුමක් හෙළී ය.
“ඔයා මෙතන හින්දි මූවි කරන්න යන් නැතුව මං කියපු දේ ගැන හිතනවා..”
කේතකී එහෙම කියා ඔහුට කඩා පනිද්දී මම ඇය දෙස විමසුම් බැල්මක් හෙළුවෙමි.චමත්කා වහා කලබල වූවා ය.
“ඔයා කියනව වගේ මිනිස්සුන්ට එහෙම ගහන්න බනින්න බෑ කේතා.ඔලුව නරක් වෙලාද? ” චමත්කා එසේ කියා මා වත්තන් කරගත්තේ නිවස තුළට යන්නට ය.කේතකී නිර්වාන් සමඟ ගේට්ටුව අසල රැඳුණා ය.ඇය ඉල්ලන්නේ පසන් සමඟ ගැටුමක් නොවන බව මට පැහැදිලි ය.නිර්වාන් මා ඔහුගේ උරහිසේ රුවාගත් මොහොත ද සන්සුන් වන්නැයි පවසා ඉතා මෘදුව මගේ පිටි අත්ල පිරිමැදි මම සිහි කළෙමි.මට ඒ මොහොත ද චමත්කා මගේ අතින් අල්ලා මා වාරු කරගෙන හිඳින මේ මොහොත ද අතර වෙනසක් නොදැනේ.නිර්වාන් ක්‍රමයෙන් මට සමීප වන්නට උත්සාහ කරන බව මම දනිමි. එහෙත් ඔහු මිත්‍රත්වයෙන් එපිටට මට දැනෙන්නේ නැත.ඔහුව පසන්ගෙන් හිස් වූ තැන රඳවා තේරුමක් නොවන බව මා තරයේ අදහන්නේ එනිසා ය.
මාලක අයියා ද ධීර ද අප ඉදිරියට ආවේ ඒ මොහොතේ ය.ඇඳ පැළඳ හුන් ඔවුන් කොහේ හෝ යාමට සැරසීගෙන ය.
“සාරාට සනීප නැද්ද?”
මාලක අයියා චමත්කාගෙන් ඇසී ය.ධීරගේ ඇස් මවෙත ඇලී තිබිණ.
“අපි බුක් ෆෙයා ගියානෙ අයියා.සාරාට උණ වගේ..ගොඩක් ඇවිද්ද නිසා වෙන්න ඇති..”
මාලක අයියා මගේ නළලට අත තබා බැලී ය. ධීර නළල රැළි නංවා බලා හුන්නේ ය.
“සාරා..පාඩං කරනවා වැඩී නේද? ඔයා එන්න එන්න කෙට්ටු වෙනව ළමයා.මං සමහර වෙලාවට රෑට එළියට ආවම ඔයාව බැල්කනියෙ දකිනව අනන්තවත්.ඔච්චර මහන්සි වෙන්න එපා.ඩිග්‍රියක් ලේසි නෑ.ඒත් කෙට්ටු වෙවී දුක් විඳින්න එපා..
මාලක අයියා දිගු දේශනාවක් කරන්නට ගත්තේ ය.පොතකට අත නොතබන යාන්තමට සමත් මට්ටමේ හිඳින මම පොළොවට සිනා සීමි.මා කරන පාඩමක් නැත.අතීත මතකයන් හි ගිලෙමින් තනිව හඬමින් මා ගෙවන ජීවිතය පහළ මාලයේ ජීවත් වෙන මාලක අයියලාවත් දන්නේ නැත.
“අයියල කොහෙද යන්නෙ..”
චමත්කා මාතෘකාව වෙනස් කළා ය.
“යාළුවෙක්ගෙ දිහා පොඩියට පාටියක්..” මාලක අයියා එසේ කියද්දී චමත්කා හිනැහෙන්නට ගත්තා ය.
“එහෙනං ඔයා එන්න කලින් ඇන්ටි නිදිද කියල අද ඔත්තු බලන්නත් වෙනව නේද..තණකොල ගලවන් එන් නැතුව සංවරව එනවලා අයියා..”
මාලක අයියා ධීර සමඟ පිටව ගියේ හිනැහෙමිනි.හිසේ ලේ සිඳී ගිය තරමේ වේදනාව යන්තමින් පහව යන අන්දමේ සිනාවක් හෙළා ධීර ද යන්නට ගියේ ය.
ස්නානයෙන් අනතුරුව මා අලුත් පොතක් රැගෙන ඇඳ මුල්ලට වීමි.පොත කියවන්නට සිතක් නැත.පසන්ගේ අතේ එල්ලී ගත් සරනිගේ දෑසේ වූ දීප්තිය මා හදවතට ගිනි අවුලමින් තිබිණ.මම මගේ අත් කොනිත්තා ගනිමින් බොහෝ වෙලාවක් සිටියෙමි.
“නිර්වාන් උඹට ආදරෙයි..”
ඊළඟ හෙණ ගෙඩිය පුපුරා ගියේ ය.කේතකී උණු තේ බඳුනක්ද රැගෙන ආවේ එවැනි බරපතල වචන කිහිපයක් මගෙ හිස මත අත හරිමිනි.
“මේ අවුරුදු තුනකුත් ඉවර උනාම හිටි ගමන් ආපු ආදරේ මොකක්ද..ඒ අනුකම්පාව.අනික ඔලුව නරක් වෙලාද කේතා.නිර්වාන් මට බාලයි..”
කේතකී තේ බඳුන මට දී තද බැල්මක් නගා ගත්තා ය.චරිත සම්බන්ධ විකාර සහගත සිදුවීම නොවූවානම් නිර්වාන් මීට පෙර මට ළං වන්නට තිබූ බව ඇය කියන්නට ගත්තා ය.
“ඔයා දන්නවද කේතකී නෝනා.මං චරිත අන්දනවා, ඒ චමා වෙනුවෙන් කියල දැනන් හිටිය එකම කෙනා නිර්වාන්.ඒ වැඩේ පරිස්සමින් කරන්න මට උදව් කළෙත් නිර්වාන්.අන්න ඒ නිසා හිතලු කියකියා මාව නිර්වාන්ට පටලවන් නැතුව ඉන්න..”
කේතකී මුහුණ නොරොක් කර ගත්තා ය.ආදරය කියන්නේ හිස්තැන් පිරවීමක් බව ඇයට පැහැදිලි කර දීමේ තේරුමක් ඇත්තේ නැත.පසන්ගේ ආදරය සහ ඔහුගේ මතකයන් පිරී ගිය හදවත ඒවා අමතක කර දමා තව කෙනෙකු වෙනුවෙන් පේ වන්නට සූදානම් නැති බව මම දනිමි.නිර්වාන් මොනතරම් යහපත් තරුණයෙකුදැයි දන්නා මට ඔහු මා නිසා රිදවා ගන්නවාට කැමැත්තක් දැනුණේ නැත.මට ආදරය කරමින් පසන් ගැන සිහි කරමින් හඬන මා නළවන්නට නිර්වාන්ට ඉඩ දිය යුතු නොවේ.ඔහු ඊට වඩා බොහෝ සැනසිලිදායක ප්‍රේමයකට හිමිකම් කිව යුතු යෞවනයෙකි.
“ඇත්තටම උණ ගත්තෙ අදත් අඬලද?” මහා රාත්‍රියේ ඒ පණිවිඩය පැමිණියේ ය.
මම ධීරගේ ඒ පණිවිඩයට පිළිතුරු නොයවා මඳක් හුන්නෙමි.අනතුරුව “මැක්කා..” යැයි එක් වචනයක පිළිතුරක් යැවීමි.
“පොත් ගන්න බැරි වුණාද?” ඔහු අසයි.ලැයිස්තුවේ බාගයක්ම මඟ හැරුණු බව මම ලියා යැවීමි.
“මට හෙට එන්න පුලුවං..මං ඔයාව එක්ක යන්නම්”
ඒ මා කිසිසේත් බලාපොරොත්තු වූ කතාවක් නොවේ. ධීරගේ යෝජනාව පිළිගන්නට සිතමින් නොසිතමින් මම මඳ වෙලාවක් ගෙවීමි.”ඔයා බීලද” අනතුරුව එසේ අසන්නට මට සිත් විණි.ඕනෑනම් ඔහු කෝපත් වනු ඇත.එහෙත් සිනා මුහුණු වැලක් පිළිතුරු ලෙස පැමිණියේ ය.
“මාලකට තරම් වෙරි නෑ.. ” ඉඳහිට මිතුරන් සමඟ සාද වලට ගොස් ආන්ටීට හොරෙන් නිවසට රිංගා ගන්නට සැලසුම් තනන මාලක අයියාව මට සිහි වුණේ සිනා සමඟ ය.ඒ අතර ධීර තවත් පණිවිඩයක් එවා තිබිණ
“අපි හෙට යං.හෙට හවස කොළඹ කැම්පස් එක ගාව ඉන්න..හවස දෙකට විතර…”
මම බොහෝ වෙලාවක් ඒ වචන කිහිපය දෙස බලා සිටියෙමි.