සැරිසරන්නී – 8

ඒ වගේ දවසක් මගේ ජීවිතයට උදා වූ ප්‍රථම වතාව ඒ ය. ලොකු අයියා සහ රවීන් මේසය ළඟ හිඳ ලූණු පොතු ගැසූහ. මම ඒ ලූණු සිහින් ව කැපුවෙමි. තාත්තා ටික වෙලාවක් අයියලා සමග කතා කරමින් සිටියහ. ඊළඟට ප්‍රශ්න පත්තරයක් තනන්නට ඇති බව කියා කාමරයට ගියේ ය. මට හිතේ සැනසීමක් දැනිණ.

තාත්තා කිසි දා ක පිරිමි ළමයෙකු සම්බන්ධයෙන් මගේ පැවැත්ම කෙසේ විය යුතු දැයි නීති රීති පනවා නැත. අදහසක් දක්වා ද නැත. ලොකු අයියා ව මම පැටි වියේ පටන් ඉතා ළඟින් ම ඇසුරු කරමි. මගේ හොඳ ම මිතුරා සුනෙත් ය. නීති කාරයෙක් වූවා ට තාත්තා ඒ වගේ කාරණා ගැන අපට කිසිදු නීති පැනවීමක් කර නැත. අපේ නිදහස සීමා කිරීමට උත්සාහ කොට ද නැත. නමුත් අපි, විශේෂයෙන් ම නංගීටත් වඩා මම තාත්තා ගැන බියෙන් සිටියෙමි. කිසි දා ක අපට පෙම්වතෙකු ඇසුරු කිරීමේ අවස්ථාවක් තාත්තා විසින් නො දෙනු ලබතැයි සිතුවෙමි. ඒ ඔහු ට අප කිසි දා ලොකු වෙන්නේ නැති පොඩි ළමයින් වූ හින්දා ය.

“සනූ ට දැන් කවුරු හරි බැලුවොත් හොඳයි නේද…හරි ඉක්මනට දැං කාලෙ ගත වෙනවනෙ”

කියා අම්මා තාත්තා ට කියනු ඇසෙත්දී මට විසි හතරකි.

   “විකාර නැතුව ඉන්න. ඒ ළමය තාම පොඩියි”

මුහුණ පෙනුණේ නැතත් අම්මා ගේ මුව මත නලියන්නට ඇති සිනහව මට සිහි කර ගන්නට පුළුවන.

“ඔය වයස වෙනකොට මට දුවල දෙන්නම හම්බ වෙලා. ඒ කියන්නෙ ඔයා කසාද බැඳල තියෙන්නෙ හොඳටම පොඩි ළමයෙක්නෙ”

මම අතින් මුව වසා ගෙන සිනහ වූයෙමි. අම්මා ගේ දෙතොල් මත වූ සිනහව ද මවා ගන්නට මට හැකි විය. තාත්තා අහක බලා ගෙන රවන් ඉන්නා හැටි ද මට මවා ගත හැකි විය.

සිය පොඩි දරුවා දැන් රවීන් කියන විවාහක පුරුෂයා වෙත හදවතින් ම බැඳී සිටින බව දැන ගත හොත් තාත්තා ට මොනවා හිතේවිද? මොනවා නො හිතේවි ද? 

“ආහ්…”

එක තත්පරයක් තුළ ලූණු කපමින් සිටි පිහියට මගේ ඇඟිල්ලක් කැපී, පිහිය මගේ අතින් අතෑරී, මට කෑ ගැසී ද තිබිණ. ලොකු අයියා වහා පුටුව පස්සට තල්ලු කරමින් නැගිට ගත්තේ ය. ඇඟිල්ලේ කැපුණු තැනින් ලේ ගැලුවේ ය.

“කපා ගත්තනෙ ඉතින්. උඹල මෙලෝ වැඩක් පරිස්සමෙන් කරන්නෑනෙ නංගි”

කියමින් ඊළඟට ලොකු අයියා අම්මා ගේ මැහුම් රෙදි අතරින් රෙදි පටියක් ගෙන, තුවාලය වෙලන්නට ගියේ ය. 

“එපා එපා. ලේ නවත්තල ඉමු. අයිස් කැටයක් ගන්නකො මලිත්”

එතෙක් නිහඬ ව උන් රවීන් නැගිට මවෙත ආවේ ය. ලොකු අයියා අයිස් කැටයක් ගන්නට කුස්සියට ගියේ ය. ඒ අවසරයෙන් මම හිතේ හැටියට රවීන් දෙස බලා ගතිමි. මගේ ඇස් වල කඳුළු පටලයක් වන්නට ඇත. 

“පොඩි බබෙක් වගේනෙ”

මගේ මුහුණේ ඇස් තියා ගෙන ම ඔහු කීවේ ය. ‘රිදෙනවනෙ ඉතින්’ කියා කියන්නට මට ඕන වුණත් වචන පිටතට ආවේ නැත. අයියා අතින් අයිස් කැටය ගත් රවින් එය මගේ ඇඟිල්ලේ කැපුම මතින් තබා, අත මඳක් ඔසවා අල්ලා ගත්තේ ය. 

“මොකද ගොඩක් කැපිලද…”

තාත්තා කාමරයේ සිට විමසුවේ ය. මගේ හද ගැස්ම වැඩි විය. මේ මොහොතේ රවීන් සිටියේ මගේ අතින් අල්ලා ගෙන ය. තව බෝ වෙලාවක් ඒ ස්පර්ශය මගේ අතට ලැබෙනවා නම් හොඳ ය වාගේ සිතිවිල්ලක් යටි හිතේ තිබෙන්නට ඇත. තාත්තා ආවොත් අකමැත්තෙන් වුව මට ඔහු ගෙන් අත මුදා ගන්නට සිදු වනු ඇත.

“නෑ මාමෙ මේ පොඩ්ඩයි. හාපෝ මුන්නං. මෙහෙම කෙල්ලො හැදෙනවට වඩා හොඳයි…උඹල දැං කසාද බඳින වයසෙ නේද බං ඉන්නෙ…ඇඟිල්ලක් පොඩ්ඩක් කැපුණහම විලාප තියනව. පවුල් ජීවිටත්කට එන ප්‍රශ්න වලට කොහොම මූණ දෙන්නද මුන්…”

ලොකු අයියා ගේ දේශනාව අතරේ රවීන් අයිස් කැටය තියා තුවාලයේ ලේ නතර කොට රෙදි පටියෙන් එය වෙලා තිබුණේ ය. ඒ අතර වාරයේ මම ඔහු දෙස ම බලා සිටියෙමි. ලොකු අයියා ගේ කතාව මගේ කනට වැටුණේ අතරින් පතර ය.

“දෙන්න. මං ලූණු ටික කපල දෙන්නං”

යළිත් පිහිය  ගත් මගේ අතින් රවීන් එය ලබා ගත්තේ ය.

“එප්පා…මං කපන්නං”

“බෑනෙ දැං ඔය ඇඟිල්ලත් එක්ක. ඔයා ලූණු ටික සුද්ද කරන්නකො”

ඔහු බලයෙන් ම වාගේ පිහිය ගත්තේ ය.

“මං ඉතිං ඉණට අත් දෙක තියා ගෙන. උඹල වගේ කෙල්ලන්ට මෙන්න මේ වගේ එකෙකුත් හම්බ වුණානං දෙයියංගෙම පිහිට තමයි. අම්මල තාත්තල හොඳටම නරක් කරල යවන කෙල්ලන්ව තවත් කුණු කරන කොල්ලොනෙ දැං ඉන්නෙ. ඔයාට උයන්න බැරිනං මං උයන්නං…ඔයාට ලුණු දාන්න බැරිනං මං දාන්නං… ඔයාට අතින් කන්න බැරිනං මං කවන්නං…තූ නොදකින්. මං වගේ එකෙක්නං කියන්නෙ තොට කන්න බැරිනං මං ඒකත් එක්කම කන්නං කියලයි”

ඒ කතාවට නම් මට සිනහ ගියේ ය. මම ඒ සිනහවෙන් ම රවීන් දෙස බැලුවෙමි. ඔහු බිම බලා ගෙන ම ලූණු කපමින් සිටියේ ය. මම තත්පර කිහිපයකට නෙතු ඔහු ළඟ ම නතර කොට ගෙන සිටියෙමි.

‘රවීන් අයිය වගේ හස්බන් කෙනෙක් ලැබිච්ච ඒ වයිෆ් වාසනාවන්තයි’ කියන සිතිවිල්ල මගේ හිතට පිවිසියේ ය. නමුත් මම එය මුවින් පිට වන එක නතර කළෙමි. ඔහු ගේ බිරිය ගැන කතා කරන්නට මට ඕනා නැති බවක් හදවත කියා සිටියේ ය. එය සියුම් ඊර්ෂ්‍යාවක් වන් දෙයකි. 

“දැන් දෙන්න අයියෙ මං කපන්නං. දැන් ඇඟිල්ල ශේප්. මට කපන්න පුළුවන්”

ටික වෙලාවකට පසු මම රවීන් ගේ අතේ වන පිහිය අල්ලා ගෙන කීවෙමි. 

“ශුවර් ද…”

“හ්ම්”

ඔහු පිහිය අතෑරියේ එතකොට ය. 

“මේ වගේ ගෑනු නරක් කරන පිරිමිනං…අනේ අම්මප රවීනය උඹල වගේ එවුන්ට ගහන්න හිතෙන්නෙ කොහොමද දන්නවද…”

ලොකු අයියා ගේ කතා මට නම් වගක් ම නොවිණි. මා හිටියේ වෙන ම ලෝකයක ය. ඒ ලෝකයේ වීරයා වූයේ රවීන් ය. 

සැබවින් අන් කවර දිනකටත් වඩා ඔහු මගේ හිතේ නතර වූයේ මේ සිදුවීමෙන් පසු ව යයි සිතමි. මෙතෙක් මගේ හිතේ තාත්තා හිටි තැනට රවීන් පැමිණියේ හරි ඉක්මනට ය. අවුරුදු හතරක් තිස්සේ ළඟින් ම මා ඇසුරු කළ සුනෙත් ට වුව එය කළ හැකි වූයේ නැත. 

මා සැන්ඩ්විචස් වල ආලේපනය සැකසූ පසු, අප තිදෙනා ම එක්ව ඒවා පාන් පෙති මත ආලේප කළෙමු. නංගී පැත්ත පලාතක ආවේ නැත. නඩයත් සමග එකට වැටී සිටියදී ඇය ට ඒ වගක් සිහි නො වන්නට ද ඇත. එසේ වූ එක ගැන මම දෙවියන් ට ස්තූතිවන්ත වූයෙමි. මගේ ඇස්, සුනෙත් ගෙන් සේ ම නංගී ගෙන් ද සඟවා ගන්නට මා සමත් නො වනු ඇති.

සැන්ඩ්විචස් තැනීමෙන් පසු මා ඒවා බෙදනා ලෙස නංගී ඇතුළු ළමයින්ට භාර කළේ තේ පිළියෙල කරන්නට සූදානම් වෙමිනි. සාමාන්‍යයෙන් තේ සෑදීම කියන්නේ මෙලොව මා අකමැති ම දේ වලින් එකක් වී ද, ඉඳහිටක මා හදන තේ එකක් රස යයි නැන්දලා නිතර කියති. ඒ චාටු බස් මා ඒ හැටි ගණන් නො ගත්ත ද රවීන් ඉදිරියේ ශිල්ප දැක්වීමේ ළාමක ආශාවක් මට වූයේ ය. සියල්ලන්ට පෙර මා තේ පිළිගැන්වූයේ අපේ මිදුලේ පුටු තියා ගෙන කතා කරමින් සිටි තාත්තා ට ත් ලොකු අයියා ට ත් රවීන් ට ත් ය. 

“අපේ ටිකිරිමලී ගෙ තේ එකට ගහන්න තේ එකක්නං ඇත්තමයි මතක ඇති තැනක බීල නෑ”

ලොකු අයියා ගේ වරුණ ව්‍යාජයක් නොව ඇත්තක් බව මම දනිමි. ඔහු නිසිවක් හෝ කිසිවෙකු බොරුවට වර්ණනා කරන්නෙකු නොවේ. රවීන් ඇස් වලින් සිනහ වුණේ ය. මගේ මුව මඳහස මලක් කොට මම ඔහු ට පූජා කළෙමි.

කෙල්ලක ගේ සිතක ඇති වන ප්‍රේමයක්, සඳරැසින් බබළන වෙහෙරක් තරම් නිකැළැල් බව මම දනිමි. ඒ කුළුඳුල් ප්‍රේමය නිසා ද, ඉන් පසු ඇති වන පෙම් කතා ඒ තරම් ගැඹුරට දැනෙන ඒවා නොවේද කියා  කියන්නට තරම් නම් තවමත් මා අත්දැකීම් වලින් අපොහොසත් ය. 

රාත්‍රියේ ඉතිරි කොටසත් ගෙවී ගියේ නිදිමතක් කියා දෙයක් ඇස් අසලකට හෝ නො ගෙනෙමිනි. තේ බීමෙන් පසු කවුරු කවුරුත් ලොකු මාමලා ගේ ගේ දෙසට සේන්දු වූහ. කිරියා හැඳි ගෑම්, කිරිබත් පිසීම් සිදු කෙරුණේ රාත්‍රිය ඊළඟ දිනයට අවතීරණ වූ පසු ය. මා ඒ සියලු කටයුතු වලට සම්මාදම් වූයේ ඉතා ආශාවෙනි. හිරු මඬලක් සේ බලාපොරොත්තුවේ ඇස් දෙකක් පේන මානයක පායා ඇති විට, ගැහැනු හිතකට ජීවිතයේ හතර මායිම පුරා සතුටෙන් කරක් ගැසිය හැකි බව මම මගේ ම ජීවිත අත්දැකීම් ඇසුරෙන් අවබෝධ කර ගනිමින් සිටියෙමි. 

රවීන් මගේ ඇස් කතන්දර ගැන මොනවා සිතුවා ද කියා ඒ අවස්ථාවේ මම නො දැන සිටියෙමි. ඒ ගැන හිතන්නට තරම් කරදර වන්නට ද මට ඕනෑ වූයේ නැත. 

කිරි අම්මලා දානය ගෙන පිටත් ව ගිය පසු අහල පහල ගෙවලට දානය බෙදා හැරීමත් පවුලේ අය දන් වැළඳීමත් සිදු විය. පවුලේ අමුත්තා වූයේ රවීන් ය. මුළු පවුලේ ම ගැහැනු ඇස් වල අවධානය ඔහු විසින් දිනා ගෙන ඇති බව, අරුණෝදයත් සමග මා පසක් කර ගත් කාරණාව ය.

රවීන් ට කන්න දෙන්න…රවීන් කෑවද බලන්න…රවීන් ට අඩුපාඩු බෙදන්න…රවීන් ට වතුර තියන්න…රවීන් ට තේ දෙන්න…

රවීන්ට සලකන්නට අරියදාස පවුල ම පෙළ ගැසී සිටියහ. ඒ කවුරුත් රවීන් ව දැක තිබෙන්නේ දැන් ය. මා ඔහු ව දුටුවේ මුලින් ම ය. ඔහු ලොකු අයියා එක්ක මේ වත්තට මුලින් ම පය ගැසූ දා ය. ලොකු අයියා එක්ක පාර දිගේ පයින් ඇවිද යමින් සිටියදී මම අපේ ගෙදර කොංක්‍රීට් තලාව මත්තේ සිට කතා කළෙමි. මගේ ඇස් ඔහු විශේෂයක් කොට ගත්තේ එදා ය. නමුත් දැන් ඔහු වටා පිරිවර සේනාව එකතු වී තිබේ. ඉසියුම් ඊර්ෂ්‍යාකාර හැඟීමක් මගේ ගැහැනු හදෙහි නූපන්නා නොවේ. එය හරියට, රවීන් යනු මට අයිති වස්තුවක් ය කියනාකාරයේ හැඟීමකි. ලොකු අයියා ගේ නංගී චමත්කා රවීන් ගේ රියෙහි ගොස් ඈත අසල්වැසියන්ට කිරි දානය බෙදන්නට ඉදිරිපත් වූවා ය. රවීන් කිසිදු පැකිළීමකින් තොර ව ඈ හා ගියේ ය.

“හරි ශෝක් කොල්ලා අප්පා. අපරාදෙ කියන්න බෑ මොන දේ කිව්වත් නෑ බෑ නොකියා කරනව. හරියට අපේ පවුලෙම ළමයෙක් වගේ”

නයනා නැන්දා කතා කළේ රවීන් යනු සිය පවුල වෙත උදා වූ වාසනාවක් ගානට ය. සැබවින් ඔහු වූ කලී ඇගේ පවුලට අයිති කෙනෙකි. ලොකු අයියා ඔහු ව කැටිව ආවේ ඔවුන් ගේ ගෙදරට ය. මට වැඩි අයිතියක් කොහොමටත් ඔහු කෙරේ ඔවුන් ට වේ..චමත්කා පාවිච්චි කරන්නට යෙදුණේ ද ඒ අයිතියයි.

මගේ හිත රිදී තිබිණි. මම කිරිබත් කෑල්ලක් කෑ මතින් ගෙදර ගොස් ඇඳට වැටුණෙමි. මුළු රෑ පුරා නිදි වරා තිබුණත් නිදි මතක් ඇස අසලක වූයේ නැත. නමුත් මම ඇඳෙන් නො නැංගෙමි. එදා දවල් බත ද සාමූහික ව පිළියෙල වන බව මට ඇසුණේ ය. 

“කෝ මේ ටිකිරිමලී…”

වතාවක් මට ලොකු අයියා ගේ හඬ ඇසිණි.

“නිදි නිදි කට කපල නිදි”

නංගී එසේ කියනු ද ඇසුණේ ය. මා නිදි නැති බව අඟවනවා ද නැත්නම් නිදි සේ ම ඉන්නවා ද කියා මට නිරවුල් නො විණි. ඇස් දෙක රවීන් දකින්නට ඇදුම් කෑවේ ය. නමුත් මම අවදි නොවී මගෙන් ම පළි දැරුවෙමි. කට්ටිය ලොකු මාමලා ගේ ගෙදර දවල් බතට යන්නට සූදානම් වන බව ද ඇසිණි. මම ඉක්මනට නැගිට අම්මා තාත්තා වෙනුවෙන් පිළියෙල කරන ලද දවල් බතින් සප්පායම් වුණෙමි.

“ඒයි…මෙන්න මෙයා මෙහෙං කනව”

අපේ ගෙදරට එබුණු පුංචා ගේ දුව නර්මදා කෑ ගැසුවා ය. ඒ හඬ වත්තේ තැන් තැන් වල විසිර කෑම කමින් සිටි හැම කෙනෙක්ට  ම ඇසෙන්නට ඇත.

“තාත්ත වගේ ම නැතෑ ඉතිං”

කියා නැන්දා කෙනෙකු කියනු ද ඇසුණේ ය. ලොකු අයියා අඩියට දෙකට අපේ ගෙදර ට ආවේ ය.

“මොකද්ද බං ඒ කරපු වැඩේ..අපි මේ කන්නැතුව බලං ඉන්නව මේකි නිදාගෙන නැගිටිනකං…එයා හෙමීට මෙහෙ ඉඳං කනව”

හිතේ ද්වේශ සහගත සතුටක් උපන. ඔහු කීවේ අපි කන්නැතුව ඉන්නව කියා ය. ඒ කියන්නේ රවීන් ද ඔහු සමග මා බලාපොරොත්තුවෙන් ඉන්නට ඇත. පෙර දා රාත්‍රියේ පටන් අප තිදෙනා සිටියේ එකට ය. මගේ හිතට බෝම්බ පහරක් වැදී විසුණු ව ගියේ මේ අළුයම ය. මා තනිව කෑම කෑවේ ඇයි දැයි ඔවුන් දන්නේ නැත. මා එළි පෙහෙළියට හෝ නොයා ඉන්නේ ඇයි දැයි ඔවුන් දන්නේ නැත. රවීන් ට එය දැනෙනවා නම් මා කැමති ය.

මෝඩ පාට සිනහවක් මිස මගෙන් වාචික පිළිතුරක් නොලද ලොකු අයියා නික්ම ගියේ ය. කෑම කා නැවතත් මම ඇඳට වැටුණෙමි. රවීන් ගේ ඇස් මානයට නොයා සිටීම මගේ නපුරු සිත්හි අරමුණ වී තිබුණේ ය. රෑ නිදි වැරූ නිසා නිදා ගන්නා එක ගැන කවුරුන්වත් සැක හිතන්නේ නැති වාසිය මම හිතේ හැටියට ප්‍රයෝජනයට ගත්තෙමි.

හැන්දෑවේ, මට ටිකක් නින්ද ගොස් තිබි වෙලාවක යහන මත වූ දුරකතනය හැඬවුණේ ය. මා එය අතට ගත්තේ කතා කරනු ඇත්තේ සුනෙත් ය යන බලාපොරොත්තුවෙනි. නමුත් ලොකු අයියා ලෙස තිරයෙහි සනිටුහන් ව තිබිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content