fbpx

හේමන්ත සන්ධ්‍යා -25

නිකිනි ඔබේසේකර වූ කලී යමක් කමක් උපයා ගත් ව්‍යාපාරික පවුලක ඉපදුණු තැනැත්තියකි. උපන් දා සිට ඕනේ යි සිතුණ ඕනෑ ම දෙයක් ඇයට ලැබුණේ ය. අම්මා ඔවුන් දා ගියත් කිසිදු අඩු පාඩුවක් නො දැනුණේ ය. ඩෙස්මන් ලා ඈ සරණ පාවා දුන්නේ ද තමන් සේ ම ඈ රක්ෂා කළ හැකි යයි සිතූ පවුලකට ය. ඒ ගෙදර හැම දේ ම තිබුණ බව ඇත්ත ය. නමුත් හැම වෙලේ ම වාගේ ඒ කිසිත් ඇගේ නොවේ යි නිකිනි ට දැනුණි. මංජුල සේ ම ඔහු ගේ මව ද ඇයට එසේ හැඟෙන සේ හැසිරුණහ. වත් පොහොසත් කම් ඇති පවුලක් දෑවැද්දක් ඇති ව දීග ආව ද නිකිනි ඉන් පසු ආර්ථික වශයෙන් වටිනා කමක් ඇති චරිතයක් වූයේ නැත. ඈ රැකියාවක් නො කළා ය. මුදල් නො ඉපයූවා ය. එහිදී පහසුවෙන් ම ඇය සැමියාගෙන් යැපෙන බිරිඳක ගේ තත්වයට වැටුණා ය. මංජුල රිංගා ගියේත්, ඇය ව පාගා ගන්නට හැදුවේත් ඒ දුර්වල කම පාවිච්චි කොට බව ඇය ඉක්මනින් ම වටහා ගත්තා ය. කෙසේ වෙතත් මංජුල සිය බිරිඳ රැකියාවක් කිරීම ඉවසූයේ ද නැත. ඒ වගේ පති කුලයක මානසික වහල් භාවයකින් යුතුව ජීවත් වෙනවාට වඩා, ආර්ථික වශයෙන් ස්ථාවර ගැහැනියක වී හිස කෙළින් තබා ගෙන අභිමානයෙන් ජීවත් වන එකෙහි වටිනාකම ඇය ඉක්මනින් ම තේරුම් ගත්තා ය. රැකියාවල් හොයමින් තවත් කාලය ගත කරනවාට වඩා, පොත් හලක් වැනි ව්‍යාපාරයක් පවත්වා ගැනීම යහපත් යයි ඈ සිතුවේ, තමන්ගේ ම දෙයක් කිරීමේ නිදහස ගැන සිතා ය. 

“මේ ෆ්ලෝ එකේම බුක් ශොප් එක කරනව කියල හිතුවට මොකද මේක පුරවන්න එක පාරට පොත් කොහෙන් හොයන්නද කියල දැන් හිතෙනව”

පොත් වර්ග කිරීමේ කටයුතු කෙරී ගෙන යත්දී නිකිනි ගුවනි සමගින් කීවා ය. ගුවනි එම මහල සිසාරා දෙනෙත් දිවවූවා ය. තව ම කිසි දෙයක පිළිවෙලක් නැත. හැම තැන ම පොත් ගොඩවල් ය.

“මිස් ට මේක පොත් වලින් පුරවන්නම ඕනද…”

ගුවනි ගේ පැනය නිකිනි ට තේරුම් ගත නො හැකි වූයේ ය.

“ඒ කිව්වෙ…”

“අපි වෙන කන්සෙප්ට් එකකට යමුද මිස්…මං කියන්නෙ…ටේබල් එකක් දාල සයිඩ් එකකින් රෙෆරන්ස් ඒරියා එකක් වගේ වෙන් කරල…එතකොට නිදහසේ පිටු කීපයක් කියවල වුණත් පොතක් තෝර ගන්න පුළුවන්නෙ. ඕනනං කොෆී මැෂින් එකක් තියල කැමති කෙනෙක්ට කෝපි එකක් බිබී වුණත් පොතක් තෝර ගන්න පුළුවන්නෙ. චිල්රන් සෙක්ෂන් එකටත් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් මිස්. අර නර්සරි වල වගේ පාට පාට ගාපු ඩෙස්ක් එකක් තියල වටේට චූටි පුටු ටිකක් තියල….ඒ විදිහට රෙෆරන්ස් කරන පොත් අපි වෙනම තියනව. පැරලලි අපේ බුක් ශොප් එකට අදාල වෙබ් එකකුත් මේන්ටේන් කරන්න ඕනෙ මිස්. ඒකෙ තියෙනව අපි ළඟ තියෙනව හැම පොතකම ඩීටේල්ස්. ඒක චෙක් කරල ඕන කෙනෙක්ට බුක් ශොප් එකට එක්න පුළුවන්. එතකොට අනවශ්‍ය රශ් එකක් හිටින්නෑ. ඕන්නං ඔන්ලයින් වුණත් ඕඩර් කරන්න පුළුවන් විදිහට…තව එතකොට ලේඛකයොත් එක්ක ඉඳ හිට පාඨකයන්ට චැට් එකක් දාන්න පුළුවන් විදිහෙ සෙක්ශන් එකකුත් වෙන් කර ගන්න පුළුවන් නං මරු. මේක කඩයක් නෙවෙයි ලයිබ්‍රරි එකක් වගේ කියල හිතෙන තරං පහන් හැඟීමක් ඕන කෙනෙක්ට ඇති වෙනවනං….එහෙම ශෝක් නේද මිස්…”

“ශෝක් නේන්නං….එතකොට අපිට මේ ස්පේස් එක හොඳට යූස් කරන්නත් පුළුවන්. පොට් වලට දාපු ලොකු ගස් කීපයක් එහෙම තියල…මේක එන්න ආස හිතෙන තැනක් කරමු”

“මටත් ඉන්න ආස හිතෙන තැනක් වෙයිද දන්නෑ”

“එහෙම වුණොත් ඉතිං මොනා කරන්නද…ඩිග්‍රි එක අරං ගවන්මන්ට් ලොකු පෝස්ට් එකක් හම්බ වෙනකල් මේ චූටි බුක් ශොප් එක බලා ගන්න තමයි වෙන්නෙ…”

දෙදෙන ම සිනහ වූහ. නිකිනි වහා ම සිය සිනහව නවතා කල්පනා කරන්නට වූවා ය.

“ඇයි මිස්…”

“බුක් ශොප් කියන නම එතකොට මෙතනට ගැලපෙන්නෑ වගේ නේද ගුවනි…”

“ඉතිං අපේ කන්සෙප්ට් එකත් එක්ක අපි හොඳ නමක් හදමු”

අලුත් බලාපොරොත්තු සොයා ගත් කල ලෝකය අලුතෙන් පුළුල් වන්නේ ය. ඒ ලෝකය සිසාරා පියා සැලීමේ තටු ද මැවෙන්නේ ය. අහම්බෙන් මුත් පොත් හලක දී ම නිකිනි ට ගුවනි ව මුණ ගස්වන්නට දෛවය සැලසුම් යෙදුවේ සමාන අත්තටු ඇති කුරුල්ලන් එකට පියා සැලිය යුතු ය යන සොබා දහම් නීතියට අනුව දැයි කිසිවෙකු දන්නේ නැත. නමුත් ඔවුන් දෙදෙනා ම මේ අලුත් අරමුණ වෙනුවෙන් වෙහෙසුණේ එක ම උනන්දුවකිනි. 

එක හවසක ගුවනි සමගින් නිකිනි පොත් ඇසිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටියදී මංජුල එතැනට පැමිණියේ ඔවුන් කිසි සේත් බලාපොරොත්තු නොවූ ආකාරයෙනි. ඩෙස්මන් ගේ නීතීඥවරයා ඔහු හමු වන්නට ගිය එක ගැන උදහස් ව නිකිනි හමු වන්නට ආවත්, මෙතැන ගුවනි සිටිතැයි ඔහු කොහෙත් ම සිතුවේ නැත. ඔවුන් දෙදෙනා අතරේ මෙවන් මිත්‍රත්වයක් ඇති ව තිබෙනවා කියා නොව ඔවුන් උනුන් හඳුනනවා කියා හෝ ඔහු දැන නො සිටියේ ය.

සිය නීත්‍යානුකුල බිරිඳත්, පෙම්වතියත් යන දෙදෙනා උනුන් හා සිනහ මුසුව එකට වැඩ කරමින් සිටිනවා දුටු මංජුල එක් වර ම කැළඹුණේ ය. ඊළඟට ඔහු සිතුවේ ගුවනි නිකිනි ගේ පොත් හලෙහි කෙටි කාලීන අතිරේක රැකියාවක් සොයා ගෙන ඇත කියා ය.

“සර්…”

ගුවනි ට හිඳ උන් අසුනෙන් නැගිටිණ.

“ගුවනි මොකද මෙහෙ කරන්නෙ…පාට් ටයිම් ජොබ් එකක්ද…”

මවා ගත් ගර්වයකින් හෙතෙම විචාළේ ය. බිම බලා ගත්තා මිස ගුවනි ඍජු පිළිතුරක් දෙන්නට ගියේ නැත.

“ඇයි ඔයා මෙහෙ ආවෙ…”

නිකිනි කෙළින් ම ප්‍රශ්න කළා ය. මංජුල ඈ වෙතට හෙළුවේ දවා හළු කරනා බැල්මකි. නමුත් නිකිනි ඒ බැල්මෙන් සැළුණේ නැත.

“එන්න කලිං කෝල් එකක් දෙන්න තිබුණ”

“ඇයි මැඩම් දැං ඒ තරං බිසී ද…”

ඔහු සමච්චලයෙන් ඇසුවේ ය.

“තමුං වගේ අයව මුණ ගැහෙන්න වුණත් ඇත්තටම මගෙ කැමැත්තක් නෑ. දකින්නවත් කැමැත්තක් නෑ. කොටිංම මට තමුං එක්ක කතා කරන්න දෙයක් ඇති කියල මං හිතන්නෑ”

නිකිනි කියා ගෙන ගියේ කලින් කට පාඩම් කර ගෙන සිටි වාක්‍ය කිහිපයක් කියා ගෙන යන්නා සේ වේගයෙනි. සිය සිරුරේ ලේ රත් වී ගෙන එන්නා සේ ඇය ට දැනිණ.  ඈ හුස්ම ඉහළ පහළ හෙළුවේත් වේගයෙනි. ගුවනි මඳක් තැති ගෙන බලා සිටියා ය.

“එච්චර ලොකු සයිස් එකක්ද දැං තියෙන්නෙ…අර විදත් අංකල් කියන නාකියත් එක්ක පැටලිලා නිසා වෙන්න ඇති නේද…”

“මංජුල මේ…එදත් මං ගුටි කාගෙන කට වහගෙන ආවෙ තවත් මට ඔයා වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න කොහෙත්ම ඕන කමක් නැති නිසා. හැබැයි තවත් මෙතනට ඇවිත් අපහාස කරන්න ලෑස්ති වෙන්න එපා. ඇත්තමයි මං වන් වන් නයින් කෝල් කරනව හරිද…”

“මට තමුංගෙ මේ කෙහෙල් මල අස්සෙ රිංගන්න ඕන කමක් නෑ. අර ලෝයර් කෙනෙක් එවල තිබුණෙ. ඒ ගැන යමක් කියල යන්නයි මං ආවෙ. බලමුකො තමුං දිනයිද කියල. දෙන්නෑ ඩිවෝස් එක”

එපමණක් කී මංජුල නික්ම ගියේ ය. ඔහු ගේ දිළිසෙන සපත්තු අඩි පොළොවේ වැදීමෙන් ඇති කළ හඬ, තවත් ටික වෙලාවක් යන තෙක් ඇගේ හදවත් බිත්ති වල හැපෙමින් ද දෝංකාර දෙමින් ද තිබිණ.

නිකිනි ට දැනුණේ ඇගේ හිස පුපුරන්නට එන රිදුමකි. මංජුල කියන්නේ එක්තරා විදිහක උමතු චරිතයක් බව, ඔහුත් එක්ක එක ගෙදරක ජීවත් වූ වසර කිහිපය තුළ නිකිනි උගෙන තිබුණා ය. ඔය කියනවා වාගේ දෙයක් ඔහු කරන්නට වුව බැරි නැත.

“මිස්..”

ගුවනි නිකිනි ගේ අතක් මත අත තබා කතා කළා ය. සිනහ වෙන්නට තැත් කළ නිකිනි ගේ තොල් කොනක් වෙව්ලා ගියා පමණකි.

“බය වෙන්න එපා මිස්. එහෙම බලෙං මුකුත් කරන්න බෑනෙ”

ගැහැනියක දුර්වල කළ හැකි තැන් බලා පහර දෙන්නට තනනා පිරිමින් විෂකුරු සර්පයන්ටත් වඩා භයානක ය. මේ ආකාරයෙන් ඈ හිස ඔසවන්නට තතනනු බලා සිටින්නට මංජුල ට නො හැකි වනු ඇත. අන්ත අසරණියක සේ කර කියා ගත හැකි කිසිත් නො මැති ව ඇය පරක් ගානේ සිඟමන් යැද්දා නම් ඔහු කැමැත්තෙන් ම නීත්‍යානුකූල වෙන් වීම ලබා දෙන්නට ඉදිරිපත් වනු ඇත.

“තමංගෙ වයිෆ් ඩිවෝස් එක ඉල්ලද්දි පිරිමියෙක්ගෙ හිතට එන පරාජිත හැඟීම මං හොඳට දන්නව නිකිනි”

විදත් සානුකම්පිත ස්වරයකින් කීවේ ය.

“ඒ හැඟීම ඇති කරන්නෙ පිස්සුවක්. ඒ එන ආවේගෙට කියන්න බැරි දෙයක් නෑ. කරන්න බැරි දෙයක් නෑ”

“මට මුළු පිරිමි සංහතියට ම වෛර කරන්න හිතෙනව. ඒත් එහෙම කරන්න බැරි අය ඉද්දි…”

“මාත් හිතල තියෙනව අම්ම ඇරෙන්නෙ අනිත් හැම ගෑනිම එකයි කියල. ගෑනු සංහතියම චපලයි කියල. ගෑනු කෙනෙක්ගෙ පැත්තෙං තාත්ත ඇරෙන්න වෙන විශ්වාස කරන්න පිරිමියෙක් නෑ කියල හිතෙන එක සාමාන්‍යයි”

විදත් ඒ තරම් මුණිවර ස්වරයකින් දොඩත්දී පිරිමි සංහතියට ම වෛර කරන්නට නිකිනි ට කොහොමටත් නුපුළුවන. ඒ වෙනුවට, වනස්පතියක් දිග වෙලී වැඩෙන ලතාවක් සේ ඔහු වෙත ම ඇලී ගැලෙන්නට ඈ තුළ ලෝභී සිත් උපදී. 

“හැබැයි දැං මට තේරෙනව මේ වගේ සිටුවේශන් එකකදි ගෑනු හිතක් වැඩ කරන විදිහ. දික්කසාදයක් පිරිමියෙක්ගෙ ජීවිතේ කොහොම වුණත් ජීවිතෙං අවුරුදු කීපයක්වත් කාලම දානව. හරියට දළඹු වසංගතයක් බලාගෙන ඉද්දි පැත්ත පලාතක ගස් කාල දානව වගේ. ඒක මහ මූසල හැඟීමක්. ගැලවෙන්න බැරුව ඒ කාලකන්නි මානසිකත්වය ඇතුළෙ තව තවත් ගිලෙන්නමයි හිතෙන්නෙ. කාල විනාස කරලම දාපුදෙං කියල හිතල ඔහේ වැටිල ඉන්න හිතෙන්නෙ. ඒත් ගෑනු ඊට වැඩිය හයියයි. උං ඩිවෝස් එකක් ආයෙ ඉපදීමක් කර ගන්නව. සාමාන්‍ය ඉපදීමක් නෙවෙයි. හිටිය වගේ සිය ගුණයක ශක්තියක් එක්ක නැවත ඉපදීමක්. ඔයාගෙනුත් මං ඒක දකිනව. මගෙං ඩිවෝස් වෙලා ගිය ගෑනු දෙන්නත් ආපහු හැරිල බැලුවෙ නෑ. ශාරීරිකව කොහොම වුණත් මානසිකව ගෑනු පිරිමින්ට වැඩිය හයියයි නිකිනි. උං හිතුවොත් නොකරන දෙයක් නෑ. ඒ නිසාම මං ගෑනුන්ට රෙස්පෙක්ට් කරනව”

අන්තිමට ඔහු ගෙන් ඒ වචන ටික කියවුණ එක ගැන නිකිනි දෙවියන් ට ස්තුති වන්ත වූවා ය. ගැහැනුන් ට ගෞරව කරන පිරිමියෙක්! 

ගැහැනුන්ට ආදරය කරන පිරිමි අතිශය සුලභ ය. ලෝකය පුරා ම, සියලු තැනිතලා, නිම්න හා කඳුකර බිම් හා කාන්තාර භූමි සිසාරා ඔවුහු විසිර පැතිර සිටිති. ගැහැනු හිත් හැඳින හෝ නැතිව ඔවුහු ගැහැනුන් ට පෙම් බඳිති. ඇතැම් විට, තමන් ආදරය කරන්නේ ගැහැනු ශරීර වලට බවවත් ඔවුහු නො දනිති. නමුත් ගැහැනුන්ට ගෞරව කරන පිරිමින් දුලභ ය. ලෝකයේ සෑම සියලු ශිෂිටාචාරයක් හා ආගමක් ම එසේ කරන්නයි බල කර සිටියත්, එසේ කිරීමේ ජාන සංයුතියක් බොහෝ පිරිමින් ට සිය හත් මුතු පරපුරු වලින් ම දායාද වී නැත. එවැනි තත්වයකදී කිසියම් පුරුෂයෙකු ඔහු ස්ත්‍රීන් ට ගෞරව කරනවා යි කියනවා නම්, ඔහු ට පෙම් බඳින්නට ලෝකයේ බොහෝ ගැහැනුන් පොර කනු ඇත.

“දවසක එහෙ එන්න ආස හිතෙනව”

හිතා මතා කීවා නොවේ. නිකිනි ට එහෙම කියවිණ.  

“ආ…”

ඈ අදහස් කළ දේ එක වර විදත් ට නො වැටහුණ තරමි. 

“ඇයි…”

“මන්දා…”

සිය රටින් බැහැර ව වෙනත් රටකට යන ඇල්මක් ඕනෑ ම පුද්ගල සිතක තිබෙන්නට පුළුවන. නමුත් මේ වාගේ කතා බහක් අතරේ නිකිනි ගෙන් එවන් වචන ටිකක් පිට වීම වෙන ම දෙයකි. 

ඒ දවසේ ඉතිරි ටික ගත කිරීම විදත් ට තරමක් අසීරු වූයේ ය. අන්තිමට ඔහු අත්‍යවශ්‍ය වැඩ ටික අවසන් කොට ඇඳට වැටුණේ ය. වයස අවුරුදු පණහට අත වනමින් සිටියදී මේ වගේ ගැස්මක් පිරිමි හිතකට වලංගු ද කියා ඔහු දන්නේ නැත. නමුත් වළාවක් මත නැගී පා ව යන සැහැල්ලුව දනවන ඒ අමුතු ගැස්මට ඔහු ආශා කළේ ය.  නිකිනි එක්ක හෝරා ගණනක් වුව වැඩ පාඩු කර ගෙන දුරකතනයේ එල්ලී සිටින්නට හිතට බල කර සිටින බලවත් හැඟීම කුමක් දැයි හැඳින ගන්නට ඔහු බයෙන් සිටියේ ය. සමහර දේවල් තිබුණත් තිබෙන බවක් නො දැන, නො හැඳින හිඳින එක හොඳ ය. 

ඒ තිගැස්මේ චමත්කාරයත් එක්ක හැංගිමුත්තම් කරමින් රිය ධාවනය කරමින් උන් ඊළඟ දහවල, සහස් ගේ වට්ස් ඇප් අංකයෙන් විදත් ට ඇමතුමක් ආවේ ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x