අනෙකාව රිදවීම ආදරය නොවේ

මම පුරුද්දට මෙන් දුරකථනය අතට ගෙන පරික්ශා කලෙමි.නැත. උදුල්ගෙන් කෙටි පණිවිඩයක් හෝ නැත.

ඔහුගෙන් ඇමතුමක් වත් නැතිව පැය විසි හතරකට වඩා ගෙවී ගොස් ඇත.එහෙත් ඔහුගේ මුහුණු පොත පුරාවට ඔහු ක්‍රියාකාරීව හිඳින බව මා දුටුවෙමි. එසේ නම් ඔහු මා මග හරින්නේ ඇයි දැයි මට නොතේරේ.

අතීතය යළි යළිත් සිදුවෙමින් පවතී.

උදුල් සහ මා මුණගැසෙන්නේ මීට වසර කීපයකට පෙරාතුවය.අප අතර ගොඩ නැගුනු ප්‍රේමය දෙවරක්ම නැවතී ගියේ මගේ උවමනාවට නොවේ.පලමු වර ඔහුගේ පැරණි පෙම්වතිය ආ බව කියමින් ඔහු මා දමා යන්නට ගියේය.දෙවන වර කිසිවක්ම නොකියා ඔහු මා අමතක කලා පමණක් නොව සති කීපයක් ඇතුලත වෙනත් යුවතියක හා පෙමින් බැඳුනේය.ඔහු මා දමා යන්නට හේතුවක් වත් නොදැන මා මිය ගිය ආත්මයක් සේ ජීවත් උනා මතකය.

ඔහු නැවත පැමිණියේ මට විවාහ යෝජනාවක් පැමිණි බවත් ,මා ඔහු හඳුනාගන්නට ඇසුරු කරන බවත් මා ඉතා සතුටින් සිටින වගත් සැලවීමෙන් පසුවය.

විවාහ යෝජනාව ගෙන ආ මගේ සහෝදරියගේ මිතුරාගේද සිත රිදවමින් මා උදුල් හා නැවත පෙමින් බැඳුණේ අතීතයේදි කිසිවක් නොවූ ලෙසය.මාස ගණනාවක් වචනයකින් වත් සිත නොරිද්දා උදුල් මා හට ආදරය කලේය.මා හමුවීමට නිතර පැමිණියේය.

” ඔයා තරම් මාව ඉවසුවේ නෑ කවුරුත් “

” ඔයා තරම් මට බොරුවක් නොකර ආදරේ කලේ නෑ කවුරුත් “

” ඇයි ඔයා මට ඔච්චර ආදරේ “

ඒ ඔහුගේ මුවින් නිතර පිටවූ වදන් ය.අප දෙදෙනා ආදරය කරන්නට පටන් ගත් දින සිට හැම විශේශ අවස්ථාවකදීමත් , ඉඳහිටත් මා ඔහු සතුටු කිරීමට විවිධ දෑ ඔහුට තෑගි කලෙමි.නමුත් ඔහුට යන්තමින් හෝ මතක තිබුනෙ මගේ උපන්දිනය පමණි.එදිනටත් ඔහු ඩිලිවරි සේවාවක් හරහා තෑග්ගක් එව්වා මිසක මා හමුවීමට විශේෂයෙන් ආවේ නැත

” මම මේ දවස් වල ගොඩක් බීසි.තාත්තා අසනීපෙන් නිසා ගෙදර වැඩිමල් ළමයා හැටියට මම මේවා කරන්න ඕනේ “

දැන් ඔහු කියන්නේ එසේය.ඔහු උපාධියට සූදානම් වන නිසා ඔහුට පාඩම් කරන්නට හැර මම අලුයම දෙක තුන වනතුරු නිදි වර්ජිතව ඉන්නේ ඔහු පාඩම් කර අවසන් වී මා අමතනවා යැයි කියන නිසාය.නමුත් මා බලා සිටි ඒ එක දිනකවත් ඔහු මා ඇමතුවේ නැත.ඔහු පසුදින උදෑසනට ගුඩ්මෝනින් කියා කියන්නේ කිසිවක් නොවු ලෙසය.

අපමණ සිත රිදවා ගත්තත් මා අසීමිතව ඉවසුවෙමි.

ඔහු කාර්‍යාලයේ වැඩ අවසන් වී මා හමුවන්නට එනවා යැයි කියන දිනවලට මා සවස් වනතුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙනි.සවස පහ වනවිට ඔහුගෙන් ඇමතුමක් පැමිණෙයි.ඔහු දැනටමත් පැමිණ ඇති බව සිතමින් මා ප්‍රීතියෙන් ඉපිළෙමි

” හවස මට එන්න වෙන්නෑ.අම්මගේ වැඩකට යන්න වෙනවා”

මගේ සිහින ලෝකයම කඩා වැටෙන්නේත් ,දෑස් වලින් කඳුළු කඩා වැටෙන්නේත් එකවරමය. මෙය සිදුවූයේ වරක් දෙවරක් නොවේ.මසකට කීප වතාවක්ම මෙය සිදුවන නමුත් මා ඉවසිය යුතුය.මේ මා දැඩිව ආදරය කරන ඔහුය.

ඔහු එසේ නිදහසට කරුණු කියා මා හමුවන්නට නොපැමිණි දිනක , අවන්හලකට ගොස් මිතුරන් හා කෝපි බොන සේයාරුවක් ඔහුගේ කාර්‍යාලයේ එක් මිතුරියක් විසින් මුහුණ පොතට එකතු කර තිබුනි.මා එය විමසන්නට ගියේ නැත.ඔහු සතුටින් නම් එපමණය.

දිනක් මා අසනීප වීමි.කාර්‍යාලයේ කල යුතුම වැඩ පැවරී තිබීම නිසා මා එහි ගියෙමි.දවල් වනවිට අධික උණ සහ හිසරදයෙන් පීඩා විඳිමින් සිටි මම ඔහුට ඒ බව කියමින් කෙටි පණිවිඩයක් යැව්වෙමි.මගෙ බලාපොරොත්තුව වූයේ ඔහුගෙන් එක් ආදරණීය ඇමතුමක් පමණි.නමුත් ,

” එහෙමද ? ” කියමින් ඔහුගේ කෙටි පණිවිඩයක් පමණක් ආවේය.ඉන්පසුව එදින රාත්‍රිය වනතුරු ඔහුගෙන් කෙටි පණිවිඩියක් වත් , ඇමතුමක් වත් නැත.

රෝග තත්වය උත්සන්න වී මා රෝහල් ගත කල බව ඔහු දැනගත්තේ පසු දිනය.ඒ මා මිතුරියකගේ මාර්ගයෙනි.

” මට එන්න වෙන්නේ නෑ.ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා “

මම හිත හදාගතිමි. මට උරුම මෙය නම් මා එය විඳගත යුතු බව සිතා ගතිමි.රාත්‍රියෙදි රෝහලේ තනිවූ මට ඔහුට කතා කරන්නට අවැසි විය.මා ඒ බව කියමින් ඔහුට කෙටි පණිවිඩයක් යැව්වෙමි

” මට තමුසෙව හුරතල් කරන්න වෙලාවක් නෑ දැන් .මහන්සියි “

මා දෑස් තදින් පියා ගත්තෙමි.නැවත මා සොයා පැමිණි ඔහුව ආදරයෙන් බාරගත් වරදට දඬුවම් මා විඳිමින් සිටියෙමි.
ගෙවෙන හැම මොහොතක්ම හිස් බවත් , ඔහු දිනෙන් දින මා වෙතින් ඈතට යන බවත් මා පසක් කරගනිමින් සිටියෙමි.

අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් මා ඉවසීම ප්‍රගුණ කරමින් සිටියෙමි.ඔහු එනතුරු මග බලා හිඳ හිස් හැඟීමකින් ගෙදර ගිය දවස් , දෙනෝ දාහක් ගැවසෙන මහ මාර්ගයේ හඬමින් ගිය දවස් අපමණය .

ඔහු අමතනවා යැයි කියූ නිසා මා නිදිවර්ජිතව ගෙවූ, ඔහු සුවසේ නින්දට ගිය දවස්ද අපමණය

අවසන යථාර්ථය තේරුම් ගත් මා ඔහුගෙන් ඈත්වන්නට තීරණය කලෙමි. මා ඔහුව හැර යන්නට ගත් තීරණය පැවසූ දින සිට ඔහු මා නවතන්නට බොහෝ උත්සහ කලේය.එහෙත් මානසිකව සහ කායිකව අතිශය දුර්වලව සිටි මට නතර වන්නට උවමනා වුයේ නැත.
මා ඔහු හැර යන බව ඔහු විශ්වාස කලේම නැත. නමුත් මා එසේ කලෙමි. වසර දෙකකට අධික කාලයක් හිස මත දරා සිටි බරක් මා බිම තැබුවෙමි.අවසන මට දැනුනේ අප්‍රමාණ වූ සැනසිල්ලකි

මා මතක පොත වසා දැමුයෙමි

අද මා අතිශය ආදරණීය පුද්ගලයෙකුගේ සහකාරියක් මි. කුඩා ළදැරියක සේ මා රැක බලාගන්නා ඔහු මගේ සිත වචනකින් වත් නොරිදවයි.මට අවැසි දේ මෙන්ම මා අකමැති දෙයද ඉතා හොඳින් හඳුනන ඔහු මා වෙනුවෙන් ඕනෑම දෙයක් කිරිමට සූදානම් ය.

රැය පහන් වනතුරු එකට හිඳ චිත්‍රපට නරඹන්නටද , නිවස දෙවනත් වනතුරු ගී ගයන්නට ඇති කැමැත්තද අප දෙදෙනා තුළ නොඅඩුවම ඇත.

එක්ව පිසින ආහාර වල රස බලන්නට , වැරදෙන ආහාර රස බැලීමකින් තොරව ගිල දමන්නටද අප දෙදෙනා රුසියන් ය.

ඉතින්
අතීතයට යන්නට හැර ,වර්තමානය ආදරයෙන් වැළඳගත් මා සුන්දර වූ අනාගතයක් වෙනුවෙන් ඔහු හා එක්ව සිහින දකිමි.ඒ සිහින වෙනුවෙන් කැපවෙමි

ආදරය යනු පරිත්‍යාගයක් ය.එකිනෙකා වෙනුවෙන් දරා ගැනීමය , ඉවසීමය.

අනෙකා රිදවමින් සතුටු වීම , ආත්මාර්තකාමි තීරණ ගැනීම සහ වචන වලින් දමා ගැසීම ආදරයට අයත් නොවේ.

අද මා ආදරය හඳුනන ඔහු හා අපටම වෙන් වූ ආකාසයක නිදහසේ ඉගිල්ලෙන කිරිල්ලියක් වෙමි !

Related Articles

Don't Miss


Latest Articles