කළු කෙල්ල.

“මේ බ්‍රෑන්ඩ් එක මාරම ෂෝක්..බලන් ඉන්නකොට සුදු වෙන්නේ.”

වැඩ කරන අතරෙ ෆේස්බුක් යන එක අපේ කාර්යාල නීති වල  ඉහළම තහනමක් වුණත් හිමාලි කියන්නේ මහ හයියෙන්.පරිගණක තිරය අපේ පැත්තටත් හරවන ගමන්.

“බ්ලීචින් ලොරියක් ඇති.අනේ ඕවා යූස් කරන්න එපා.”

තිසරි තමන්ට පුරුදු හංස ගමනින් හිමාලි දිහාට ඇවිදගෙන ආවා.ඇත් දළ පාට හම, ලස්සන කොණ්ඩේ එක්ක තිසරිට නම් මොන ක්‍රීම් ද කියලා මම හිතුවේ මගේ රූපය ගැන අමතකම කරලා.

“ඔයාට නෙවේ අයියෝ..මේවා ගැන ඇත්තටම කියන්නේ හිරුණිට.හිරූ ඔච්චරම කළු නිසා තමයි අශේන් එයාව දාලා ගියෙත්.”

හිමාලිගේ වචන මට ඇහෙන්නේ අකුණු සැර වගේ තදට.බිඳීයාම් පිළිසකර කරන්න පහසු නැහැ. හිමාලි බිඳෙමින් ඉන්න මාව තවත් කැබලි දහසකට කඩලා දැම්මේ හිතක් පපුවක් නැති ගාණට.

“කළු වුණා කියලා කෙල්ලො අතාරින්න ඕනද කොල්ලො.මට හිතුණොත් අශේන්ට සුදු චෝක් පෙට්ටියක් ගිහින් දෙනවා. ලව් කර කර ඉන්නේ නැතැයි..”

තිසරි පුටුවේ කැරකි කැරකි මං ළඟට ආවා. එයා මගේ අතකින් හෙමින් අල්ලා ගත්තේ “කට කැඩුණු කතා ගණන් ගන්න එපා” කියන්න වගේ.

මම ස්වභාවික පැහැය වෙනස් කරගන්න අකමැති වීම නිසා අශේන්ගෙන් වෙන් වෙලා තවම මාස කිහිපයක්.කලු කෙල්ලක් වීම නිසා මට නැති වුණේ අශේන් විතරක්ම නෙවෙයි.පාසල් නැටුම් කණ්ඩායමේ මුල් පෙළ අහිමි වෙන්න හේතුව මම කළු කෙල්ලක් වීම.තූර්යවාදන කණ්ඩායමට යන්න මම ඇඟිලි ගැන්නේ හයේ හතේ පන්තියේ ඉඳලා.

“ඔයා තම්මැට්ටම් ගහන්න දක්ෂයි තමා.ඒත් හිරුණි බෑන්ඩ් එකට ගන්නේ ඉස්කෝලෙ ලස්සනම කෙල්ලොනෙ..”

සංගීත මිස් එහෙම කියපු දවසේ මං ගෙදර ආවේ අඬාගෙන.තාත්තා බදාගෙන මම සෑහෙන වෙලාවක් අඬනකොට තාත්තා මට කිව්වේ එකම එක දෙයක්.

“ඉතින් මගේ පුතේ තාත්තාත් කළුයිනෙ..”

එතැනින් එහාට මම ඒ ගැන හිතුවෙම නෑ. තාත්තා වගේ වීම දුවෙකුට මොනතරම් සතුටක් ද?

“ඔයා දෙමළද ” වගේ කතා ඇහෙනකොට බොහොම රූමත් දමිළ නිළියන්ගේ නම් වැලක් කියලා එයාලා කළුද අහන්න මම ඉගෙන ගත්තා. මම මගේ රූපය පිළිගන්න පටන් ගත්තා.අශේන් මුණ ගැහෙනතුරුම මට කළු කෙල්ලක් වීම ගැටළුවක් වුණේ නෑ.

“අපේ පවුලේ වැඩියෙන්ම ඉන්නේ කෙල්ලොනෙ.කොල්ලො ඉන්නේ මායි ලොකු නැන්දගෙ මල්ලියි විතරයි.”

ඉර බහින හවසක මගේ අත අල්ලාගෙන උද්‍යාන බංකුවක ඉඳගෙන ඉන්න ගමන් අශේන් කියද්දී හැම ගෑනු ළමයෙකුගෙම හිතේ මැවෙන දාහක් හීන මටත් මැවෙන්න ගත්තා.

“අනේ. අපිටත් දූලා හම්බෙයි නේද අශේන්..”

ඒත් ඒ ප්‍රශ්නෙට අශේන් ආදරණීය හිනාවක් දුන්නේ නෑ.මම කළුම කළු කෙල්ලක් නිසා අපිට දවසක ලැබෙන දූලා කළු කෙල්ලෝ වෙයි කියලා අශේන්ගේ අම්මා බයෙන් ඉන්න බව අශේන් නිතරම කියන්න ගත්තා. සුදු වෙන ඉන්ජෙක්ෂන්, බෙහෙත් පෙති, නමක් ගමක් නැති ආලේප ඩප්පි අශේන් මට එවද්දී කෝපය ඉහවහා ගිය මම තීරණයක් ගන්න හිතුවා.

“අශේන්, මේ මගේ හම.ඒක වෙනස් කරන්න ඔය වගේ කෙමිකල් යූස් කරන්න මට බෑ.එහෙම කළාමයි කියමු.ඒත් ඔයාගෙ අම්මගෙ මිනිබිරියෝ සුදු වෙන්නේ නෑ. මගෙ ජාන එයාලට එනවා.”

පණ්ඩිත කැත ගෑනියක් එක්ක ඉන්න අමාරුයි කියලා අශේන් යන්න ගියා.ඉන්පස්සේ මට ජීවත් වීම අසීරු වෙන්න පටන් ගත්තා.හිමාලි මේ පාරන්නේ එහෙම අසීරුවෙන් ගොඩ නැගෙන හිතක්.

“මේ ඉන්නේ මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්.”

තිසරි එදා හවස මට දුරකථන තිරයට ගත්තු සේයාරුවෙන් පෙන්නුවේ අඳුරු සමක් හිමි කඩවසම් තරුණයෙක්.ෂාරුක් ඛාන් පන්නයේ තරුණයෙක් තිසරිගේ පෙම්වතා වෙන්න ඇති කියලා හිතාගෙන හිටපු මට තිසරි “කළු කොල්ලෙක්” තෝරා ගැනීම මහා පුදුමයක් වුණා.

“මිනිස්සු සුදු වෙන්න ඕන නෑ හිරූ.සුදු පාට වෙන්න ඕන ගතිගුණ. කසුන් එහෙම කොල්ලෙක්..”

තිසරි එහෙම කියද්දී මම ඇගේ ජීවිත දැක්ම දිහා බැලුවේ ආදරෙන්.

හිමාලි සහ තව බොහෝ අය මගේ කළු හම ගැන විස්සෝප වෙනකොට තිසරි මාව එයාගේ දෙවැනි මනමාලිය කරගන්න තීරණය කළා.ඒ තැන ගන්න මහා ආසාවකින් බලන් හිටිය හිමාලි ඇස් නළලට අරගෙන එයාගේ අදහස කෙලින්ම කියන්න වග බලා ගත්තා.

“කිව්වට තරහ වෙන්න එපා තිසා.ඔයත් සුදුයි.ඔයාගෙ නංගිත් සුදුයි.ඔයාගෙ අක්කගෙ බබාලත් සුදුයි.හිරූ ගත්තම ෆොටෝස් එහෙම හරි අවුල් යාවි.”

තිසරි හිනාවකින් හිමාලි දිහා බලාගෙන හිටියා.

“මගෙ කොල්ලත් කළුයිනෙ”

එච්චරයි!මම හිමාලිගේ දෙවැනි මනමාලි වුණා.රූපලාවණ්‍ය ශිල්පිනිය මට හැඩ ගන්වලා තිසරි දිහා හැරිලා බලනකොට මට දැනුණේ අපහසුවක්.බොහෝ රූපලාවණ්‍ය ශිල්පිනියන් මගේ හමේ පාට වෙනස් කරන්න මම එක්ක වාද කරගත්තු අවස්ථා ඕනෑතරම් තියනවා.

“තිසරි,මං යාළුවට පොඩි මේකප් එකක් දැම්මේ. මෙයාව තට්ටු තට්ටු මේකප් වලින් සුදු කරන්න ඕන නෑ.මේ ස්කින් කලර් එකට ෆීචර්ස් එකතු වුණාම හිරුණිට තියෙන්නේ යුනීක් ලස්සනක්..”

මම ඒ ස්වභාවික සුන්දරත්වය දිහා රූපලාවණ්‍යගාරයේ විශාල කැඩපතෙන් බලාගෙන හිටියා.

“අද කසුන්ගේ යාළුවෝ කීදෙනෙක් එනවද?”  තිසරි මගේ කනට රහසින් කියලා හිනා වුණා.

මම මේ කතාව ලියන්නේ ඒ රූපලාවණ්‍යගාරයේ ම විශාල කැඩපත දිහා බලාගෙන. තිසරිගේ දෙවැනි මනමාලිය අද ඉන්නේ මනමාලියක් වගේ හැඩ ගැන්විලා.

“මේකප් වලින් සුදු වෙන්න එහෙම එපා..”

අද උදේ මම සැලෝන් එකට එන බව කියලා කෙටි පණිවිඩයක් යවද්දී මගෙ මනමාලයා, දුලාජ් එහෙම ලියලා එවලා තිබුණා.එදා කසුන්ගේ දෙවැනි මනමාලයාට මං දිහා බලනවට වඩා වැඩක් නැති බව තිසරි මට විහිළු කරද්දී ඒ විහිළු ඇත්ත වෙන්න මාස කිහිපයක් ගියා.

දුලාජ් සුදු කොල්ලෙක්ද?

ඔයාලා මගෙන් අහනවා නේද?

ඔව්, එයා ගතිගුණ වලින් සුදු කොල්ලෙක්. ජීවිතේ දේදුන්නක් වගේ වර්ණවත් බව හිතන කොල්ලෙක්.ඉතින් අපේ ජීවිතේ ලස්සන වෙන බව මම දන්නවා.

More Stories

Don't Miss


Latest Articles