හේමන්ත සන්ධ්‍යා – 30

නිකිනි, පොත කියවමින් සිටි මේස ලාම්පුවේ එළිය අඩු කළා ය. ලා කහ පාට මන්දාලෝකයක් හාත්පස තැවරෙන්නට වූයේ ය. ඒ මළානික එළිය තුළ ඇගේ හද ගැස්ම ඇයට ම ඇහෙන්නට විය.

“ඔයා යන්නෙ නැත්තං හොඳයි කියල දැං දැං මගෙ හිත කියන්න පටං අරගෙන”

 පහළ ස්වරයෙන් හා  හැඟුම්බර පිරිමි හඬකින් කියැවුණ විදත් ගේ ඒ වචන ටික, මඳ අඳුරේ කාමරයේ බිත්ති අතර හැපෙමින් නැවත නැවතත් නිකිනි ට ඇසෙන්නට වූයේ ය.

“ඇයි….”

ඒ වචනය බිඳී ගියේ ඈ මඳ වෙලාවක් සිය සිහිනමය හුදෙකලාව තුළට වැද විදත් ගේ වචන අතර අතර මං ව හිඳීමෙන් ඉක්බිති ය. ඒ මොහොත වන විට ඔහු ත් සිටියේ පා වීමක ය. සිය මුවින් ඒ වචන ටික පිට කරන්නට ඉක්මන් වූවා වැඩි ද යන දෙගිඩියාව ඔහු විපරීත කරවූයේ ය.

“ආ…”

නිකිනි ඇයි කියා අසන්නට හේතුවක් එකවර ඔහු ට සිහිපත් නොවූ තරමි.

“මං…මංජුලගෙ ගෙදර ආයෙ යන්නෙ නැත්තං හොඳයි කියල හිතෙනව කිව්වෙ…”

ඒ ප්‍රශ්නය තුළ ඔහු දැනවූ හැඟීම අතිශයින් බාල කොට, සාමාන්‍ය ප්‍රශ්නයක්  සේ නිකිනි එය පුනරුච්චාරණය කළා ය. ඒ තුළ විදත් ට පහසුවක් දැනිණ.

“නෑ….මං එහෙම කිව්වෙ…එක සැරයක් ඔයා ගියානෙ…ඒත් ඒ මනුස්සය ඔයාව තේරුං ගත්තෙ නෑනෙ. ආයෙ ගියත් දුක් විඳින්න වෙයි…ඒකයි…”

ඊට වඩා බොහෝ කාරණා ඒ පසු පස වූයේ ය. ඒ බව ඔවුන් දෙදෙනා ට ම දැනිණ. හිතට දැනෙන හැම දේ ම වචන බවට නො පෙරළීමේ මිහිරියාව හිත් දෙකෙහි ම තෙරපී තිබිණ.

“ඔයා සතුටෙන් ඉන්න ඕනෙ නිකිනි…දැංවත්…”

එහෙම නො කියා ඉන්නට තරම් උද්දච්ච වන්නට තව දුරටත් විදත් සමත් වූයේ නැත.

“ඔයාට සතුට දැනෙන තැනක”

ඇගේ පපුව හැඟුමන් කෝටි ගණනක් සිර වූ හිර කඳවුරක් සරි විය. ඇගේ උගුරේ ඉකියක් හිර වී තිබුණේ ය. සිය සතුට තිබෙන්නේ ඇගේ ම හදවත තුළ බව පහුගිය කාලයේ දී විදත් නිසා ම ඇය තේරුම් ගෙන සිටියා ය. නමුත් විදත් ළඟ මෙතුවක් ඇගේ හුස්ම නතර වී තිබී ඇති බව, විසි වසරකට පසු ඔහු දුටු දවසේ ඇය වටහා ගත්තා ය. ඒ වූ කලී වචන වලට පෙරළන්නට බැරි හැඟීමකි. ඉල්ලන්නට හිතෙන්නේ නැති සතුටකි. 

“ඔයාගෙ ඕන ම තෝර ගැනීමකට මං එකඟයි”

ඈ ඔහු ව තෝරා ගත්තේ තෝරා ගැනීමක් ගැන කිසිදු අදහසක් නොවූ පැටි වියේ දී ය. ඒ ඔහු ව බව විදත් දන්නේ දින කිහිපයකට පෙර ය. එය එසේ වුණත් මිතුරෙකු ගේ දියණිය වූ ඇය ව කෙසේ කටක් ඇර ඉල්ලන්න දැයි විදත් ට තවමත් සිතා ගත නො හැකි ය.

“ඔයා දැං නිදියන්න”

ඔහු ආදරයෙන් කීවේ ය. නිකිනි නෙතු පියවා ගත්තා ය. 

“මං හෙට ගන්නං”

හිස පිරිමදින සුවයක් ඇයට දැනිණ. ‘අනේ’ කියා ඔහු නවතා ගන්නට තරම් ලෝභී ආදර සිතකින් ඕ පිටාර ගැලුවා ය. නමුත් එහෙම කියන්නට තරම් එඩිතර බවක් ඇය ට වූයේ නැත.

උදේ පිබිදුණ ගමන් නිකිනි විදත් ට ගුඩ් මෝනිං ස්ටිකරයක් යැව්වා ය. වයස අවුරුදු දහ අටක පෙම්වතියක ගේ තත්වයට ඈ මනසින් පත් වී සිටියා ය.

නිකිනි පොත් හලට යන්නට සූදානම් වෙත්දී පාලිකා කාමරයේ දොරට තට්ටු කළා ය. නිකිනි දොර ඇර බැලුවේ කුහුල් සිතිනි.

“ඇයි නැන්දි…”

“අන්න මනමාලය ඇවිත්”

ඇගේ ඇස් වල පෙම් පාටක් වන බව නිකිනි ට දැනුණේ ය. 

“මනමාලය ඇවිත්…සදිසාව බලන්න අද මනමාලයෙක් එනවද…”

“සදිසාව නෙවෙයි. ඔයාව බලන්නයි ඇවිත් තියෙන්නෙ”

පාලිකා සිනහව සඟවා ගත්තා ය. ඈ කියන්නේ කුමක් දැයි නිකිනි ට පැහැදිලි වූයේ නැත. පාලිකාව පහු කර ගෙන ඕ පිය ගැට පෙළ බැස ආවේ එනිසා ම ය. පුටු කට්ටලයෙහි තනි ව හිඳ උන්නේ මංජුලයි!  මේ ඇය කිසි සේත් බලාපොරොත්තු නොවූ දෙයක් වුණත්, නිකිනි තුළ නො රිස්සුමක් ඇති විය. විදත් කෙරේ බැඳෙන්නට බැඳෙන්නට මංජුල කෙරේ නොරිස්සුම් වන සිය පුහුදුන් සිත ගැන අවබෝධයක් ඒ වෙලාවේ නිකිනි ට වූයේ නැත.

“ඇයි…”

ඇය සිය නො රිස්සුම, ඒ එක ම වචනයෙන් මංජුල ට දැනෙන්නට හැරියා ය. බිම බලා ගෙන උන් හෙතෙම හිස නගා ඇදෙස බැලුවේ ය. මංජුල ගේ බැල්ම තත්පර කිහිපයකට එක එල්ලේ ඇය වෙතට යොමු ව පැවතිණ.

“ගෙදර යමු”

ඔහු දැඩි ව කීවේ ය. නිකිනි අවඥාසහගත සිනහවක් පෑවා ය.

“ගෙදර තමයි මේ ඉන්නෙ”

“නිකිනි මේ. නිකං අනවශ්‍ය විහිළු ඕන නෑ. ගෙදර යන්න ලෑස්ති වෙලා එනව”

“ඔයා හිතං ඉන්නෙ ඔයා යන්න කියනකොට යන්නයි එන්න කියනකොට එන්නයි මං ඔයාගෙ කවුරු කියලද…මංජුල මේ…ඒ විදිහෙ වයිෆ්ල එක්කෙනෙක් නෙවෙයි දහයක් හරි කපා ගන්න එකයි තියෙන්නෙ පොල් පිත්තක් අරගෙන. හැබැයි මං ඒ ජාතියෙ කියල හිතන්න එපා”

මංජුල වහා අසුනෙන් නැගිට ඇය වෙත ආවේ ය. ඇගේ මූණ අසලට ම සිය අතැඟිල්ලක් උරුක් කොට තර්ජන ස්වරයෙන් අණ කළේ ය.

“නිකිනි මේ…හොඳට මතක තියා ගන්නව මං තමුංගෙ කසාද මිනිහයි කියන එක. මං මොකද්ද කියන්නෙ තමුං ඒක කරන්න ඕනෙ. ගිහිං ලෑස්ති වෙලා එනව ගෙදර යන්න”

“ආ එහෙමද…කසාද මිනිහ කියන කියන දේවල් කරන්නද ඔය කසාද ගෑනියි කියන කෙනා ඉන්නෙ…”

“තමුසෙගෙ කට වැඩි නිසා තමයි ඔක්කොම සිද්ද වෙන්නෙ. කට පාලනය කරගෙන ඉන්න බලනව. කට…”

“දැං ඉතිං නං මගෙ කට වහන්න ඔයාට පුළුවන් වෙන්නෑ මංජුල. කරුණාකරල ඔයා යන්න. මං ආයෙ ඒ ගෙදර හතර මායිමට එන්නෙ මගෙ බඩු ටික අරං එන්න විතරයි”

නිකිනි ව තර්ජනය කිරීමෙන් පාලනය කළ නො හැකි බව වටහා ගැනීමෙන් පසු මංජුල යළිත් පුටුව මත අසුන් ගත වූයේ ය. දික්කසාදය කියන්නේ ඔහු බලාපොරොත්තු වූ දෙයක් නොවේ. සිය උගත් සමාජය හා පෑහීමේ දී එය ලැජ්ජාවට කාරණයක් සේ සිතන්නට මංජුල වාගේ අය ගේ ඔළුව සැකසී තිබේ. ඒ නිසා කෙසේ හෝ මේ තීරණයෙන් ඈ වළකා ගන්නට මංජුල සිතා ගත්තේ ය.

“නිකිනි. නිකං බොරුවට කලබල වෙන්න එපා. ගෙවල් ඇතුළෙ ඕන තරං ප්‍රශ්න ඇති වෙනව තමයි”

“ඕන තරං පිරිමි ඒ අයගෙ වයිෆ්ලට ගහල කොණ්ඩෙං ඇදං ගිහිං මිදුලට විසි කරනව ඇති. ඒ අසරණ ගෑනු ඒ පිරිමි තර්ජනේ කළහම ආයෙ ආයෙ ඒ අපායටම යනවත් ඇති. හැබැයි මං එහෙම ගෑනියක් නෙවෙයි මංජුල”

“හරියට හරි”

එහඬින් නිකිනි හැරී බැලුවා ය. ඩෙස්මන් රෝද පුටුවෙන් ආලින්දය වෙත පැමිණ සිටියේ ය.

“තමුසෙට තඩි බාල දොට්ට දාන්න අපි කෙල්ලො හදල තියෙනවද ඕයි…”

“මේ පප්ප. කරුණාකරල අපේ පවුල් ප්‍රශ්න වලට පප්පා ඉන්වෝල්ව් වෙන්න හදන්න එපා. ප්ලීස්…”

මංජුල පුපුරා හැළුණේ ය. නිකිනි ට වන හයිය ඩෙස්මන් බව ඔහු දැන සිටියේ ය. මුලින් ම බිඳ දැමිය යුත්තේ ඒ හයිය බව ඔහු මේ මොහොතේ තීරණය කළා නොවේ. ඩෙස්මන් ට හොඳ දෙකක් කතා කරමියි මංජුල සිතා ගත්තේ, ඩෙස්මන් ගේ නීතීඥවරයා ඔහු හමු වී දික්කසාදය ගැන දැනුම් දුන් අවස්ථාවේ ය.

“පවුල් ප්‍රශ්න! හහ්…තමුසෙට කොහෙද ඕයි පවුලක්. මේ කෙල්ලට ගේ අස්සෙ කඳුළු බිබී ඉන්න සලස්සල තමුසෙ වෙන ගෑනුත් එක්ක මගුල් නැටුව. එහෙම පවුලක් ගැනද තමුසෙ මේ කතා කරන්නෙ…ආ…”

“ඩෙස්මන්…ඔයා කළබල නොවී ඉන්නකො”

සුමනා බිය වූයේ ඩෙස්මන් ගේ ශරීර සෞඛ්‍යය ගැන ය. අධි රුධිර පීඩනය මත ඔහු ගේ තත්වය ඕනෑ ම මොහොතක වෙනස් වන්නට පුළුවන.

“එතකොට තමුංලගෙ දූ සිඟිත්ත නාකි මිනිහෙක් එක්ක මගුල් නටන එක හොඳ ඇති නේ…”

මංජුල ගෙන් ඒ වචන ටික පිට වී නිම වෙන්නටත් පෙර සිය සුරත ඔහු ගේ කොපුලක් මත විදුලියක් සේ හැපේවියි නිකිනි සිතුවේ ම නැත. ඔහු ගේ කොපුලත් ඇගේ සුරතත් යන දෙක ම එක වර පුපුරු ගසන්නට විණි. නිකිනි ගේ ඇස් ගින්දර පිට කරමින් තිබිණි. ඊට නො දෙවෙනි ගින්නක් මංජුල ගේ ඇස් වල ඇවිළෙන්නට ගති. 

“තමුසෙ…තමුසෙ ගැන මං බලා ගන්නව තේරුණාද…”

“මොනා බලා ගන්නද මිනිහො…”

නිකිනි ට කලින් ඩෙස්මන් කතා කළේ ය.

“මගෙ යකා අවුස්සන්නෙ නැතුව ගෙදර යන්න එනවා…”

මංජුල නැවතත් තර්ජනය කළේ ය..

“මේ කෙල්ලව නෙවෙයි මිනිහො. මං මගෙ බල්ලෙක්වත් එවන්නෑ තමුසෙ වගේ දහදුරා මිනිහෙක් ළඟට ආයෙ. මං පොලීසියට කෝල් කරන්ල කලිං බැහැපං එළියට. ලැජ්ජ නැතුව ආව මෙතන”

“ආ එහෙමද නාකියා..හරි අපි බලා ගමු කවුද දිනන්නෙ කියල. දෙන්නෑ කිව්වොත් දෙන්නෑමයි ඩිවෝස් එක”

ගුවනි ගේ රුව ප්‍රධාන දොරෙන් ආලින්දය ට කර පෙව්වේ ඒ මොහොතේ ම ය. 

“ගුවනි එන්න…”

නිකිනි වහා කීවා ය. මංජුල  හැරී බැලුවේ ය. ඔහු ගේ වත විරූපී වී යන සැටි නිකිනි සේ ම ගුවනි ද දුටුවා ය.

තව වචනයක් හෝ කතා නො කළ මංජුල නික්ම ගියේ ය. තවමත් ඔහු ගේ කම්මුල ස්පර්ශ කළ දකුණු අත පපුරු ගසමින් තිබෙනා හැටි නිකිනි ට දැනිණි.

“මහ ලොකු උගතා කියල හිතං ඉන්නෙ. ගොං වස්සා. ඌට හොර ගෑනු හිටපු පළියට හිතන්නෙ හැම එක්කෙනාටම එහෙමයි කියල. නැහැදිච්ච එකා. උගෙ උපාදි සහතිකේට අපි අහු වුණා”

ඩෙස්මන් දිගින් දිගට ම කියවන්නට වූයේ ය. නිකිනි ඉක්මනට ගුවනි ගේ අතින් අල්ලා ගෙන ඇය කාමරයට කැටිව ගියා ය. අද උදෙන් ම ගුවනි මෙහි එන බව නිකිනි දැන සිටියා ය. ඒ පොත් සාප්පුවට අවශ්‍ය අංගෝපාංග කිහිපයක් බලන්නට යන්න ය. 

“පප්ප කියපු දේකිං ඔයාගෙ හිත රිදුණනං සොරි…”

“සොරි කියන්න දෙයක් නෑ මිස්. අපේ හිතේ තියෙන හැඟීම කොයි වගේ වුණත් සමාජෙං ඊට වැඩිය හොඳ නම්බු නාමයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක මං දන්නව”

නිකිනි ගේ සිත ඔද්දල් හැඟීමක දෝලනය වූයේ ය. මංජුල වූ කලී මෙතැන සිටින ස්ත්‍රී ජීවිත දෙකක ම ඉරණම කෙරේ බලපෑම් කළ මිනිසෙකි. ඔහු ගැහැනුන් දෙදෙනෙකු සතුටෙන් තබනා බවක් සිතා ගෙන හිටියා ට එක ගැහැනියකුදු ඔහු හින්දා සතුටෙන් සැනසුමෙන් ජීවත් වන්නට සමත් වූයේ නොවේ. ඒ ගැහැනු ආත්ම දෙක ම අතර මගක දී සිය ජීවිතයට ගොඩ වූ මිනිසා ගැන අප්‍රසන්න හැඟීමෙන් පසු වෙති. 

ගුවනි ගේ දුරකතනය හැඬවෙන්නට ගති. ඕ ඩෙනිම් කලිසම් සාක්කුවෙන් දුරකතනය පිටතට ගත්තා ය. ‘මංජුල සර්’ යන නම එහි ලියැවී තිබෙනවා නිකිනි හොඳට ම දුටුවා ය. ඔවුහු උනුන් ගේ මුහුණු දෙස බලා ගත්හ.

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles