“ධීර..”
වාහන අතරින් හෝ පාර පැන ගන්නට තැත් දරන ධීරට ඔහු ඇමතී ය.මම නැවත පසුපසට හැරුණෙමි.ධීර නැවතිණ.ඔහු ආගන්තුකයාගේ මුහුණ දෙස බැලුවේ හිස් දෑසකිනි.
“දුවගේ ගෙවල් කොහෙද?”
ඔහු මගෙන් ඇසී ය.කුඩා කාලයේ බෙහෙත් ගන්නට වෛද්‍යවරයා වෙත ගිය විට හිස හරවා අම්මා දෙස බලන දෑසින්ම මම ධීර දෙස බැලීමි.
“එයා මෙහෙ නෙවෙයි.මෙහෙ බෝඩ් වෙලා ඉන්නේ.මං දන්න තැනක.”
ධීර ආගන්තුකයාට ආමන්ත්‍රණයක් රහිතව කතා කරයි.නමුත් මේ කවුදැයි මට යන්තමට අදහසක් ඇති විණි.
“ජයන්තලගෙ ගෙදර උඩ තට්ටුවෙද?”
ඔහු මගෙන් අසද්දී මම හිස සැලීමි.ධීර එක්වරක් මදෙස බලා නැවත වාරයක් ආගන්තුකයා දෙස බැලී ය.
“එහෙමයි කියල එහෙට ගිහිං මෙයා ගැන අහන්න එපා.අනිත් එක්කෙනා නම් ගිහින් ඒක කරලා තිබ්බා.තේරුමක් නැති විකාර වැඩ කරාම අසරණ වෙන්නේ මං..”
ධීර කියවාගෙන ගියේ ය.මේ ඔහුගේ තාත්තා වග දැන් පැහැදිලි ය.නමුත් මේ ධීරගේ නීත්‍යානුකූල තාත්තා ය.ඔහු සහ ධීර අතර සමානකමක් යන්තම් හෝ සොයා ගත හැකි නම් සැබෑවටම මේ ඔහුගේ ජීව විද්‍යාත්මක පියා බව කියන්නට හැකි බව සිතමින් මම ආගන්තුකයා වෙතම නෙත් ඇලවීමි.
“ආයේ එහෙමෙහෙ මේ දරුවා එල්ලන් පයින් ඇවිදින්න එපා.වාහනයක් අරගෙන එන්න.ගෙදර වාහන තියනවනෙ..”
ධීරගේ තාත්තා පැවසී ය.තාත්තා කෙනෙකු හැටියට ඔහු සිතන අන්දම ගැන මට දැනුණේ ප්‍රසාදයකි.ධීර ඔහු දෙස බැලුවේ අවඥා සහගත සිනාවකිනි.
“මේ මං දන්න නංගි කෙනෙක්.මගෙ ගෑනු ළමයා නෙවේ.එහෙම උනත් මට වාහන එපා..”
රිය තදබදය අඩුව ගියේ ය.එතෙක් වෙලාවක් අල්ලාගෙන සිටි මගේ අත ධීර මුදා හැරියේ පාර පැනිමෙන් පසුව ය.ඔහු ත්‍රීරෝද රථයකට අත දිගු කර එය නවත්වා මදෙස බැලී ය.
“මං මෙහෙමම යනව නංගි.ඔයා පරිස්සමින් බෝඩිමට යන්න.ඔයාගෙ බත් එකත් උස්සගෙන එහෙ ගියොත් මාලකගෙ කතන්දර අහන්න වෙනවා..”
එදින රාත්‍රියේ “ඔයාගේ අම්මාගේ කෑම මාර රස බව” වට්ස් ඇප් පණිවිඩයක් හරහා එවනතුරු ඔහු මට කතා කළේම නැත.අම්මාගේ කෑම ගැන ඔහු බොහෝ දෑ ලියා එවී ය.මම හදවත් සලකුණු වලින් පිළිතුරු දුනිමි.
“තනියමද කෑවේ..” ගෙදර කාමරයකට වී තනියම කෑම කන පුරුදු නැති මම ඔහුගෙන් ඇසුවේ කුහුලෙනි.ඔහු හිඳින්නේ උඩු මහලේ බවත් වෙනම පිවිසීමක් ඇති කාමරයේ ඔහුට තනි රකින්නේ ඉඳහිට කාමරයට එන පූසෙකු පමණක් බවත් ඔහු ලියා එවී ය.එපමණකින් නොනැවතී ඔහු කාමරයේ ඡායාරූප කිහිපයක්ම මට එවී ය.
“ධීර,ඔය කාමරේ මාර හැඩි වෙලානෙ අස් කරගන්න..”
මම එසේ ලියා යැවීමි.අපිළිවෙල ලෝකය මට මහත් හිරිහැරයකි.හිත ගිලන් ව හුන් කාලයේ නම් මගේ කාමරයේ ඇති කුණු ගොඩවල් ද කේතකී අස් පස් කර දැමුවේ බලෙනි.නමුත් දැන් මා යළිත් පිරිසිදු උණ සෑදුණු කෙනෙක් වී ඇත.
“තාත්තා කියපුවට සොරි..”
ඔහු එසේ එවා තිබිණ.නමුත් ඒ කෝප ගන්නට කතාවක් නොව පැහැදීමක් ඇති කර ගන්නට කතාවක් බව මම ඔහුට පැවසීමි.ධීර කිසිත් නොපවසා සිනා මුහුණක් එවා තිබුණේ ය.
“මට එයාලගෙ වාහන ගෙවල් මොකුත් ඕන නෑ සාරදී.එහෙම දේවල් එයාලගෙන් ගන්නව කියන්නේ අල්ලක් අරන් මල්ලක කතාවක් අහනව කියන එක.මට ඕන තනියම නැගිටින්න.මට එයාලා ගැන විස්වාසයක් නෑ..”
ඔහුට එය අපහසු නොවන බවත් මනා ඉගෙනීමක් ඇති ඔහුට සිහින ලුහු බැඳීම පහසු බවත් කියන්නට මම ඊළඟ විනාඩි කිහිපය ගත කළෙමි.මගේ අම්මාත් තාත්තාත් මා වෙනුවෙන් බොහෝ දේ ඉටු කරති.නිර්වාන්ගේ තාත්තා ඔහු වෙනුවෙන් නවීන පන්නයට නිවසක් ඉදි කරමින් හිඳියි.චමත්කාගේ තාත්තා ඇය වෙනුවෙන් මෝටර් රථයක් මිලට ගන්නට කැමැත්තෙන් හුන්න ද රැකියාව ඇරඹෙන තෙක් එය නුවුමනා බව කියන්නේ චමත්කා ය.අප වසන ලෝකය ද ධීර වෙසෙන ලෝකය ද අතර වෙනස ගැන මම බොහෝ වෙලාවක් සිතන්නට ගතිමි.
“අපිට කියල මහලොකු දේවල් නෑනෙ නංගි.තාත්තගෙ රස්සාව ඇරුණම ඔයාලගෙ රෙන්ට් එක තමා අපේ ආදායම.මං ඒත් ඔය පාට් ටයිම් ටියුෂන් ටිකක් පටන් ගත්තේ මේ මෑතක.ධීර දන්න දා ඉඳන් මොනවමොනවා හරි කරා.ඌ සතයක් ගෙදරින් නොගන්න කොල්ලෙක්..”
මාලක අයියා දිනක් මට පැවසූ අන්දම මට සිහි විණ.
“අපේ වයසෙ ගොඩක් කොල්ලො පාට් ටයිම් වලට බහින්නෙ ගෙදර අයට අමාරුයි කියල තේරුණාමනෙ නංගි.ධීරට ගෙදර දේවල් ගන්නව නම් කිසි අමාරුකමක් නෑ.ඇත්තටම උන් හොඳ සල්ලිකාරයෝ.ඒත් මූ ඉන්න හැටි බලන්න.”
මාලක අයියා එසේ කියද්දී මට “ෆුඩ් ඩිලිවරි ආ හපුටු කොල්ලා” සිහි විණි. ඔහු නිවසේ දේ නොගන්නේ ආදරය මිස මුදල් වැදගත් නොවන හන්දා වන්නට ඇතැයි මට සිතිණ.ධීර ඊළඟ පණිවිඩය එව්වේ ඒ මොහොතේ ය.
“මට අම්මාගෙ ආදරේ ලැබිලම නෑ.තාත්තගෙ ආදරේ පිළි ගන්න මං ලෑස්ති නෑ.මල්ලි මට පොඩ්ඩක්වත් ළඟ නෑ.කෙනෙක්ට තමන්ගෙ පවුලෙන් ඉස්සරලම ලැබෙන්න ඕන ආදරේ සාරා..ඒක නොලැබෙනකොට මට එයාලගෙ සල්ලි වැඩක් නෑ.තනියම නැගිටගන්න මං කැමති ඒකයි…මගේ කියලා පවුලක් හදා ගන්න මට ඕන..”
අම්මා ඇගේත් තාත්තාගේත් ප්‍රේම කතාව මට දෙසිය තිස්වැනි වරට පවසා සිටියේ ඊයේ රාත්‍රියේ ය.එක්ව ගොඩ නැගුණු ඒ ආදර කතාව අසා හිඳින්නට ආසා හිතෙන අන්දමේ එකකි.නමුත් පසන් හා විවාහ වන්නට සිටි මට එක්ව ගොඩ නැගීම සිහිනයක් විණි.අපේ දෙමාපියන් අප වෙනුවෙන් සියල්ල ඉටු කර අවසන් ය. එකතු වූවානම් අපට තිබුණේ සන්තෝසයෙන් ජීවත් වන්නට පමණි.
“සාරා..මං ඔයාගෙන් දෙයක් අහන්නං..”
මගේ පිළිවදන් නොලැබෙන තැන ධීර යළිත් ලියා එවී ය.මම සදළු තලයට ආවෙමි.තරු කැට දහස් ගණනක් අහසේ දිදුලමින් තිබේ.මම ඒ තාරකා වෙත නෙත් අලවා ගත්තෙමි.
“අපි දෙන්නට එකට ගමනක් තියනව කියලා මං හිතනවා.ඔයා හිතනවද?”
ආන්ටී බොහෝ වර්ණනා කරන ඇගේ මිලාධික සේපාලිකා පැලය ගසක් වී මල් ඉහිරවමින් හිඳියි.මගේ ජීවිතය තුළ යළි කිසි දිනෙක සේපාලිකා සුවඳ සාමාන්‍ය සුවඳක් වන්නේ නැත.පහළට ගොස් සේපාලිකා මල් අහුලා ගන්නා තරමට මා හැඟීම් වලින් පිරී යමින් සිටියෙමි.මේ ආදරය බව මට විශ්වාස ය.
“මං ඔයාට ආදරෙයි සාරා..”
මම ඒ වචන හතර දෙස බලා හුන්නෙමි.මේ මගේ සදාකාලික නවාතැන බව මට සහතික ය. කඳුලක් රූරා ආවේ පතොක් මලකට සේපාලිකා මලක් වී හිනැහෙන්නට කාලය බව සිහි කරන්නට යැයි මම මටම කොඳුරා ගතිමි.
“ධීර, ඔයාට පුලුවංද මගෙ තාත්තාව මුණ ගැහෙන්න..”
මම එපමණක් ලියා යවා දුරකථනය විසන්ධි කර දැමුවෙමි.