” බලාපොරොත්තුව දෝත දරා මග
බලා හිඳියි ඔබ එනතුරා
ආයෙ හෙට දවසක් තියේවිද අද වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම් “
මං ටීවි එක දානකොටම රූපවාහිනී නාලිකාවක රියැලිටි තරඟයක්. විනිශ්චය මණ්ඩලය සම වැදිලා වගේ ගීතය අහගෙන ඉන්නවා. ෆෝන් එක අතට ගන්න ගමන් මං වාඩිවුනේ රූපවාහිනීයේ හඬ වැඩි කරමින්
” සුවඳ දැනී.. දැනී දැනෙනවා…”
හුරුපුරුදු කටහඬක්. මං උනන්දුවෙන් ටීවි එක දිහා බැලුවා. ” රජීව් ” ඔව්. ඒ රජීව් තමයි. ආඩම්බරකම උතුරන ඇස් , ජීවිතේ කවදාවත් අමතක නොවෙන ඒ බැල්ම , ආදරණීය හිනාව මගෙ හද ගැස්ම එක මොහොතකට නතර කලා. විනිශ්චය මණ්ඩලය එයාව වර්ණනා කරනවා.එයා සතුටෙන් ඉපිලෙන ගමන් ඔවුන්ට ස්තූති කරනවා.ඉස්සර ඉඳන්ම එයාගේ හීනය වෙලා තිබ්බේ ලංකාවෙ හොඳ ගායකයෙක් වෙන එක.දැන් එයා ඒ හීනෙට ලංවෙනවා කියලා දකිද්දි මට ඇතිවුනේ අප්‍රමාණ සතුටක්.
ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම හැමදාම දකින ආඩම්බර ඇස් දෙකක් පස්සේ කාලෙක මම ඔෆිස් යන වෙලාවටත් දකිනකොට මගේ හිත හෙල්ලුනා. ඒ කාලෙත් ගායකයෙක් වෙන්න ආසාවෙන් හිටපු එයා කොහොමදෝ මන්දා මගේ ෆේස්බුක් ලිස්ට් එකටත් එකතුවෙලා හිටියා.එයාගේ උපන්දින සුබ පැතුමකින් ආරම්භ උන අපේ කතාව වචනෙකින් දෙකකින් ඉවර වෙලා තිබ්බත් කවදාවත් අපි මූණට මූණ මුණගැහිලා කතා බහ කරලා තිබුනේ නෑ.
දවසක් උදේ පාන්දර මම ඔෆිස් යන්න හිතාගෙන පාරට ගියා.බස් එක බස් හෝල්ට් එකෙන් පිටත් වෙන්න ඔන්න මෙන්න තියලායි මම ගිහින් බස් එකට නැග්ගේ.සෙනග අතරින් ඉස්සරහට යන්න බැරි නිසා මම එතනම හිටගෙන හිටියා.
” නංගි. වාඩිවෙන්න ” ඒ රජීව් ගේ දයාබර හඬ. මං ඇත්තටම තිගැස්සුනා.
” එපා. කමක් නෑ “
” නෑ නෑ වාඩි වෙන්න “
මං උත්තර දෙන්නත් කලින්ම ඔහු නැගිට්ටා.
ඔෆිස් එකට ගිය මං දවස ගෙව්වෙ වෙනදට වඩා ප්‍රබෝධයෙන්.එළියට පේන්න ඉන්න නපුරු පාට ආඩම්බර තරුණයා ඇතුලේ වෙනස්ම කෙනෙක් ඉන්න බව මට වැටහෙමින් තිබුනා.
සතියෙ දවස් පහෙන් දවස් තුනක් වත් මට උදේ හවස ඔහුව මුණ ගැහුනා.ඒ හැම දවසකම අපි හුඟක් දේවල් කතා කලා.දවසින් දවස ඔහු මගේ හිතේ ලොකු තැනක් හොරකම් කරනවා කියලා මට දැනුනා.
ඔහුගේ බිඳවැටුනු පරණ ප්‍රේමය ගැනත් ඔහු මට කියන්නේ ඔය අතරෙදි
” මම ආයේ කෙනෙක් ගැන හිතන එකක් නෑ “
ඔහු එහෙම කියද්දි මගේ හිත කඩාගෙන වැටුනා.ඔය කිව්වට මනුස්සයෙක්ට පුලුවන්ද ආදරේ නොකර ඉන්න.මම එහෙම හිතුවා.
රජීව් ගෙන් ඇමතුමක් එනකන් ගොඩක් දවස් වලට මම හිටියේ නොඉවසිල්ලෙන් බලාගෙන. වෙනදා උදේට ඔෆිස් යන එක එපා වෙන වැඩක් වගේ උනාට රජීව් දකින බලාපොරොත්තුව නිසා මම ඔෆිස් යන්න එලියට බැස්සේ පුදුමාකාර උද්‍යෝගයක් හිතේ තියාගෙන.හැමදාම උදේට මම එයාට කලින් බස් එකෙන් බහින්නේ එයාගේ ඔෆිස් එකට ටිකක් කලින් මගේ ඔෆිස් එක තියන හින්දා.
” අද හවස කීයටද යන්නේ ?”
දවල් වරුවක හදිස්සියේම රජීව්ගෙන් ආව වට්ස්ඇප් පණිවිඩයට මම ගැස්සුනා
” 5.30 ට තමයි .ඇයි ? “
” යන වෙලාවට මට කියන්න “
වෙන්න යන දේ හිතාගන්න බැරුව මම ටික වෙලාවක් කල්පනා කලා.කොහොම හරි එදා හවස රජීව් එන බස් එකටම මම නැග්ගා.ඊට පස්සෙ අපි දෙන්නා ගෙදර යනකන්ම ගොඩක් දේවල් කතා කලා.
ගෙදර ගියාට පස්සේ සමහර දවසට මට ඇමතුමක් දෙන්නත් රජීව් අමතක කලේ නෑ.ඒ නැතත් හැමදාම ගෙදර ගිහිනුත් රජීව් මට කතා කරයි කියලා මම බලාපොරොත්තුවෙන් හිටියා.
එයා කතා කරනකන් මම කලේ යූටියුබ් එකට ගිහින් එයා කිව්ව සින්දු අහපු එක.එයා කරපු හැම සින්දුවක්ම ලැප්ටොප් එකට ඩවුන්ලෝඩ් කරගෙන මම හැමදාම අහන්න පුරුදු උනා.ඒවා විතරක් නෙමෙයි , එයා ආසයි කිව්ව සින්දු පවා මම අහන්න පුරුදු උනා.
” ඔයා කාටහරි ආදරේ කරනවද ?”
දවසක් රජීව් එහෙම අහනකොට මම ගොලු උනා.
” නෑ ඔයා ඒ වගේ පෝස්‍ට් එකක් ෆේස්බුක් දාලා තිබ්බා .ඒකයි එහෙම ඇහුවේ “
” ඒ නිකන් . මං ඉතින් කොහොමත් ඔය එක එක ඒවා දානවනේ “
කලින් දවසේ රෑ ෆේස්බුක් දාපු පෝස්ට් එක ගැන මම මටම හිතෙන් දොස් කියාගත්තා
ඒක පාර්ශවික ප්‍රේමයක් !
මං එයාට, එයාගේ ගතිගුණ වලට , ඒ ආඩම්බරකමට ආදරේ කරනවා කියලා කොහොමද කියන්නේ ? ඇත්තටම මට ඒක එයාට කියන්න ඕන උනා.මාස ගාණක් තිස්සේ උදේ හවා මුණගැහුන එයාට ආදරෙයි කියන්න මට ඕනෙ උනා.ඒත් මොකක් හරි හේතුවකට මම එයා ලඟදි ගොලු උනා.
” ගවුම් ඇන්දම ඔයා හරි ලස්සනයි “
දවසක් රජීව් එහෙම කියනකොට මගේ ඉහේ මලක් පිපුනා. අහම්බෙන් වගේ, ඔෆිස් යන්න ගවුමක් අඳින්න හිතුන එක කොච්චර හොඳද කියලා මට හිතුනා.
” ඇත්ත කියන්න.ඔයා කවුරුහරි ගැන හිතන් ඉන්නවා නේද ?”
ආයෙත් දවසක හවස ගෙදර යන වෙලාවේ රජීව් එහෙම අහනකොට මට මුකුත් නොකියා ඉන්න බැරිවුනා
” හ්ම්ම් “
“කවුද ඒ ? “
” කවුරුත් නෑ “
” මට කියන්න බැරි කෙනෙක්ද ?”
” නෑ නෑ. මේ මගේ යාලුවෙක් “
” ඉතින් අපි එයාට ඕක කියමුකෝ “
රජීව් හිනා වෙවී එහෙම කියද්දි මං රජීව්ගේ මූණ දිහා බැලුවා.ඇත්තටම මම එයාට ආදරෙයි කිව්වොත් ,එයාගේ ප්‍රතිචාරය මොකක් වෙයිද කියලා මට හිතාගන්න බැරිවුනා.
දවස් ගානක් තිස්සේ මං ආදරේ කරන්නේ කාටද කියලා රජීව් මගෙන් ඇහුවත් මම එයාට, ඒ එයා කියලා කියන්න ගියේ නෑ. මොකද්දෝ දෙගිඩියාවක් හිතේ තියෙද්දි මගෙ ආදරේ ගැන රජීව්ට නොකියා ඉන්න මං තීරණය කලා.
මාස කීපයක් ලඟින්ම හිටපු රජීව් කවදහරි මගෙන් ආදරෙයිද කියලා අහනකන් මම ඇත්තටම බලාගෙන හිටියා. සමාජ සම්මතය හැටියට කෙල්ලෙක් ඉස්සර වෙන එක එච්චර හොඳ නැති නිසා මම එයා දිහා බලාගෙන එයාගේ හිනාවටත් නිහඬවම ආදරය කරන්න ගත්තා.ඇත්තටම ඒක උමතුවක් කිව්වොත් හරි.
මගේ බලාපොරොත්තු එකින් එක සුන් කරන ගමන් රජීව් ටික ටික නිහඬ වෙන්න ගත්තේ ඒකට මට හේතුවක්වත් හිතාගන්න බැරි විදියට.ඔහුගෙන් එන ඇමතුම් අඩු වෙද්දි , අහම්බෙන් හරි බස් එකේදි දැක්කොත් යන්තම් හිනා වෙලා අහක බලාගනිද්දි ඇත්තටම මට දරාගන්න බැරිවුනා.සතුටින් ප්‍රබෝධමත් වෙලා හිටපු මං දුකෙන් මලානික වෙන්න ගත්තා
නින්ද නොයන හැම රෑකම රජීව් කියපු සින්දු විතරක්ම අහපු මං එක දවසකදි දැකපු දෙයින් බිමටම කඩාගෙන වැටුනා.
” Gifts from my angel “
රජීව්ගෙ ෆේස්බුක් ගිණුමේ තෑගි ටිකක් එක්ක එහෙම සටහනක් දාල තිබුනා.එයාගේ නෑදෑයෝ යාලුවෝ ගොඩක් එයාට සුබ පතලත් තිබුනා.
මේක මගේ ලැබීම වෙන්න ඇති කියලා හිත හදාගන්න හිතුවත් කිසිම වෙලාවක මට ඒක කරන්න බැරිවුනා.රජීව් එක්ක කතා කරපු ,හිනාවුන හැම මතකයක්ම තප්පරයක් ගානේ පපුව හූරගෙන ගියා.
මම රජීව්ට ආදරෙයි කියලා ඇත්තටම එයාට දැනුනේ නැද්ද ? නැත්තම් ඒක දැනිල එයා ඒක නොදැනුනනා වගේ හිටියද? මගෙ හිත හැමදාම ප්‍රශ්න කලා.
ආදරය කියන්නේ අයිති කර ගැනීමම නෙමෙයි , අනිත් කෙනා සතුටින් ඉන්න තැනක එයාගේ සතුට ආරක්ෂා වෙන්න ප්‍රාර්ථනා කරන එක කියලා මම අන්තිමට තේරුම් ගත්තා.
ඊට පස්සේ ,
රජීව් යන එන හැම වෙලාවක්ම වගේ මම මග ඇරියා. උදේට රජීව් ඔෆිස් යන වෙලාවට කලින් හරි පහුවෙලා හරි යන්නත් , හවසට ඔෆිස් එකෙන් පරක්කු වෙලා එන්නත් මං පුරුදු උනා.
මං අහපු රජීව්ගේ හැම සින්දුවක්ම ලැප්ටොප් එකෙන් හයිඩ් කරලා දැම්මා.
සමහර දවසට රෑට මම ජිම් එකට ගිය වෙලාවට ජිම් එකේ වීදුරුවෙන් රජීව් ඔෆිස් ඇරිලා රෑ වෙලා ගෙදර යනවා දකිනකොට හීල්ලුනත් මම දරාගන්න පුරුදු උනා.
ගෙවිලා ගිය මාස කීපය සහ රජීව් මගේ හිතේ මතකයක් විතරක් වෙනකොට මම ආයෙත් ටික ටික මගේ පරණ ජීවිතයට හැඩ ගැහුනා.
ඒක පාර්ශවික ප්‍රේමයක් කියන්නේ එක වෙලාවකට විඳිමක්.තවත් වෙලාවකට විඳවීමක්. රජීව් කියන්නේ මට විඳවීමක් උනාට එයාගේ මතකය ,ඒ ගෙවුනු හැම මොහොතක්ම මට හරිම සුන්දරයි. ඇත්තටම ඒ වගේ ආදර කතා මේ ලෝකේ මොන තරම් ඇතිද !
කාලයකට පස්සේ ටීවි එකෙන් තරඟයක සින්දු කියන රජීව් කවදහරි දවසක ලංකාවේ ජනප්‍රියම ගායකයෙක් වෙයි කියලා මගේ හිත තාමත් කියනවා.
අදටත් රජීව් දැක්කම මොකද්දෝ පරන පුරුදු ළෙන්ගතුකමක් හිතට දැනුනත් , ඒ හැඟීම මොකද්ද කියන්න තවමත් මට තේරෙන්නෙ නෑ.ඇත්තටම ඒක පාර්ශවික ප්‍රේමයක් කියන්නේ මේකටද ?
ඉතින් , රජීව් ගැන මතක් වෙන හැම වතාවකම , මට අභිශේකා විමලවීරගේ සින්දුවක කොටසක් ඔලුවට එනවා.
” අතින් වත් අත නොඅල්ලා අපි කෝම බැඳුනාද මන්දා “