ඉඳුදුන්න- 02

“ඇයි අර..”

අමන්දී එහෙම ලියා යැවූයේ ඇගේ හොඳම මිතුරියට ය.සනුරිට ඒ වචනවල පැහැදිලි ය.අමන්දී නොසන්සුන්ව අඳුර තැවරුණු මිදුලේ සක්මනේ යෙදෙද්දී පිළිතුරු පැමිණියේ ය.

“චැනල් වල ඇග්‍රිමන්ට් එහෙම තමයි.ඒ සීසන් එකේ විකුණන්න පුලුවන් එකා අපේ ඉඳුවරයනෙ..”

ඉඳුවර විකිණිය යුතු වෙළඳ භාණ්ඩයක්දැයි සිතමින් අමන්දී නෙත් තද කර ගත්තා ය. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ගෙවී ගිය සුන්දරම කාලය ඇගේ හදවත කම්පනයට පත් කරන්නට සමත් ය.

“අමා..මං රූ ටීවී එකේ ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලිකේෂන් දැම්මා..”

එදා ඒ වචන පෙළ ආවේ හදිසියේ ය.අමන්දී කැළඹිණ.ඉඳුවර හිනැහෙමින් බලා සිටියේ ය.ඔහුගේ දෑස් අපේක්ෂාවෙන් දිදුලමින් තිබිණ.නමුත් අමන්දීට ඔහුට එරෙහි වන්නට ඕනෑ විය.ඇය ඉඳුවරට සමීපව හිඳ ගත්තේ ඒ වෙනුවෙනි.

“මං කියන්නේ ඕක ඔයා කරන්න ඕන වැඩක් නෙවේ..රියැලිටි තරඟෙකට ගියාට ඔයා ඇතුළේ ඉන්න රියල් වැඩ්ඩා එළියට එන් නෑ ඉඳුවර.ඒකට චැනල් වලින් ඉඩ දෙන්නෙත් නෑ.ඇත්තටම ඉතිං ඔයා කරන්න ඕන හැමදාම කැම්පස් එකේ ඉන්න ට්‍රයි කරන එක මිසක් ඕවගෙ ගිහින් නාස්ති වෙන එක නෙවේ..”

අමන්දීගේ දේශනය අසා හුන් ඉඳුවර හිනැහුණේ ය.ඔහුට තිබුණේ වෙනත් අරමුණකි.ඒ අරමුණු අතර අමන්දීගේ කාන්තිමත් සිනාව ද දැවටී තිබිණ.ඒ බව අමන්දීට කියන්නට තව කල් ඇති වග ඉඳුවර සිතා හුන්නේ ය.

අමන්දී කට වරද්දා ගත්තේ ඒ මොහොතේ ය.

“අනිත් එක ඉඳුවර ඔයා ඕකට ගියාම කෙල්ලො අනේ මගෙ ක්‍රෂ් එක ගගා වැළලෙන්න ගනියි..”

සමහර දෑ පැවසිය යුත්තේ සිතා බැලීමෙන් අනතුරුව ය.නමුත් අමන්දී ඒ මොහොතේ කිසිවක් ම සිතා බැලුවේ නැත.

“ඉතිං..ඒක මට වාසියක්නෙ..”

ඉඳුවර ඒ ඊර්ෂ්‍යාවෙන් බර වාක්‍යය තුළ සැඟව තිබූ කතාව හඳුනා නොගත් බව අමන්දී සිතුවා ය.ඇය සිහිනය එතැනම පොඩි පට්ටම් කර දැමුවා ය.නැත, එසේ කළ වග ඈ සිතා හුන්නා ය.පැවසීමට නොහැකි වූ ඒකපාර්ශ්වික ප්‍රේමය හදවත කොනිති ගසමින් තවම ඈ පෙළයි.

“අද සෑහෙන දෙනෙක් වැඩ.අපි උයලා එහෙම ඉවරයි..”

අමන්දීගේ නැන්දම්මා වූ කාන්ති කීවේ ඈ දෙසට අඩැස් බැල්මක් හෙළා ය.පොල් මිරිකන්නට ද බ්ලෙන්ඩරය ක්‍රියා කරවන, මැල්ලුමක් ලියන්නට කී විට මැෂිමක් ක්‍රියා කරවන ලේලියට ගොයම් කයියකට උයන්නට බැරි වග කාන්තිට අවබෝධ වී අහවර ය.මේ ගමේ කෙල්ලකට හෝ ළඟපාත ගමක කෙල්ලකට මේ නිවසේ ලේලිය වන්නට ඉඩ දුන්නා නම් චීත්තයක් ඉන පටලාගත් කාර්යබහුල ලේලියක දකින්නට හැකි බව කාන්ති ද දන්නී ය.නමුත් ඇයට ඒවා අවශ්‍ය නැත.අවශ්‍ය වූයේ නාගරික ලේලියකි.අහම්බයකින් ඇය කොළඹ කෙල්ලකම වීම කාන්තිගේ මාන්නය ඔසවා තබන්නක් විය.ඉතා අසීරුවෙන් ගොඩ නගා ගත් ව්‍යාපාර ද වතුපිටි ද නිසා ගමේ බැබළෙන චරිත වන්නට ඔවුන්ට හැකි විණි.ඒ මාන්නාක්කාර කිරුළ මත රැඳවුණු මැණික වූයේ අමන්දී ය.

“මං ඒත් දුවට කතා නොකරේ ඔයාට මෙව්ව හුරු නැති හින්දා..”

කාන්ති අනතුරුව උස් හඬින් කීවේ මුළුතැන්ගෙයි කටයුතු කරම්න් හුන් කාන්තාවන්ට ඇසෙන්නට ය.ඔවුන්ගේ ලේලිලා බුලත් හපමින් වැඩ කරද්දී සුරඟනක් බඳු ලේලියක ලැබීම ගැන වර්ණනා කරන්නට කාන්ති මනාප ය.අමන්දීගේ හැසිරීමට ඈ දොස් නඟන්නේ සඳුනි සමඟ ය.

“කතාව ඉවරයි අක්කා..අපි යං..”

පැය බාගයක් ගෙවී ගියාදැයි අමන්දි සිතුවා ය.එහෙත් ඇයට සිතුවිල්ලේ පැටලෙන්නට ඉඩ නොලැබිණ.ආහාර ගෙන යන තැනක යන්නැයි කාන්ති පැවසූ නිසා සඳුනි පිඟන් සෝදන්නට ගත්තා ය.

“සුරංගයියටත් කතා කරන්නං..”

සඳුනි එසේ කියමින් සුරංග සොයා ගියේ ය.කාන්ති කෑම මේසයට අඩුවැඩිය තබමින් හුන් අමන්දී දෙස බැලුවා ය.

“මේ ටික දුර පයිනුත් ගියෑකි.අපේ සඳාට බයික් එකෙත් ගියෑකි..සුරංගට එන්න කිව්වෙ ඔය ළමයද?

“නෑ අම්මේ.අවිශ්ක වෙන්න ඇති..”

අමන්දී එසේ පැවසුවේ කාන්තිගේ ඉව වටහා ගෙන ය.සඳුනි බොහෝ ගමන් යන්නට සුරංග කැඳවන බව කාන්තිට වැටහී ඇති හැඩ ය.ඇය පරිප්පු හොද්දත් අඟුණකොළ මැල්ලුමත් මුසු බත් කටක් අනන අතර සඳුනිගේ හීන් නූල් සූත්තරයට තනිව හිනැහුණා ය.සඳුනි කිචිබිචි ගාමින් පැමිණියේ ඒ මොහොතේ ය.

“මේ සුරංග අයියා කියනව ඉඳුවර හිටගෙන දෙබස් කිව්වලු..පුදුම ඉරිසියාවක් අක්කේ..”

බත් බෙදා ගනිමින් හුන් අවිශ්ක හඬ නඟා හිනැහුණේ ය.සඳුනි පුටුවක් ඇද හිඳ ගත්තේ ගස්සාගෙන ය.

“මං ඇත්ත කිව්වේ.ඌ සින්දු නම් කියා ගන්නවා.ඒ උනාට රඟපාන්න බෑ.අනික බලනවකො හැටි.”

අමන්දී සුරංග දෙස බලා හිනැහුණේ ය.ඈත දවසක නාට්‍ය කණ්ඩායම් වල තරුණයන් ගැන කියවද්දී හීන් ටොක්කක් ඇන නාට්‍යය සහ රංග වින්‍යාස ගැන පමණක් විමසිලිමත් වෙන්නැයි ඈට පැවසුවේ ඉඳුවර ය.සුසුමක් නැඟුණේ ඇයට ද හොරා ය

“අක්කා හිතුවෙ මට ඉරිසියාවෙ කියලද? අනේ ඔය ලැවරියක් වගේ එකාට මං මොනවට ඉරිසිය කරන්නද?”

සඳුනි සුරංගට රවා බලමින් ආහාර ගනියි.ඇයට යමක් හදිසියේ සිහි විණි.

“අක්කෙ, මං අහන්නමයි හිටියේ, ඉඳුවරත් ඔයාගෙ කැම්පස් එකේනෙ.ඔයා එයාව දන්නවද? ඔයාලා යාලුවොද?

අමන්දි ගැස්සී ගියා ය.ඔහු අතීතයකි.මේ නිවස වර්තමානය ය.මේ නිවසේ සිටින යෞවනියගේ උන්මාදය වෙනුවෙන් තම අනාගතය බිල්ලට නොතැබිය යුතු බව ඈ සිතා ගත්තා ය.

“එක බැච් නම් තමයි නංගි.එහෙමකට හිතවත් නෑ”

සඳුනි ඇකිලී ගිය බැලුමක් මෙන් මුහුණකින් බත් අනන්නට ගත්තා ය.අමන්දී සැනසුම් සුසුමක් හෙළුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles