“එක අතකට මට හිතෙනව සනූ මෙහෙම දෙයක්..”
එදින හවස් යාමයේ සදැල්ලට වී සනුරිට ඇමතුමක් ගන්නා අතර අමන්දී පැවසුවා ය.සඳලුතලාවට පෙනෙන නොපෙන දුරකින් නෙළුම් මල් සහසක් පිපී ඇති වැව පිහිටා ඇත.රත් පැහැ රෝස පැහැයත් අතරින් පතර සුදු පාටත් පොරවාගත් වැව් තලය වෙත අමන්දී නෙත් දැල්වූයේ ආශාවෙනි.
“මට හිතෙනව අවිශ්කට ආදරේ කරන්න..”
ඒ වචන පහ සනුරිව කළඹාලන්නට සමත් විණි.ඇය ගැහෙන පපුවට අත තබා ගත්තා ය.සිදුවූ සමහර දේ ඒ තරම් යහපත් නොවන බව ඇය දැන හුන්නා ය.නමුත් විවාහයෙන් මාස තුනකුත් ගෙවෙද්දී සැමියාට ආදරය කරන්නට සිතා බලන මිතුරිය ඇයව භීතියෙන් පිරෙව්වා ය.
“අමා..ඔයා ඉන්නේ ඔය මනුස්සයාට ආදරෙන් නෙවෙයිද?”
සනුරි ඇසුවේ සසැලෙන හඬිනි.අමන්දී කිංකිණි සිනාවක් නැඟුවා ය.
“නෑ..අද මට එහෙම පොඩි හැඟීමක් ආවා..අවිශ්කගෙ හැසිරීම් එක්ක බලමු ඉතිං..”
සනුරි මුළුතැන්ගෙයට ගොස් වතුර වීදුරුවක් පුරවා ගත්තේ තොලකට වියළී යද්දී ය.ඇය හිඳින්නේ ගාල්ලට නුදුරු ගමක ය.සරසවි කාලයේ මෙන් හිතුණු පමාවට මිතුරිය වෙත යන්නට ඔවුන් එකල මෙන් මෙකල අත පෙනෙන දුරකින් වාසය කරන්නේ ද නැත.
“අමා..ඇයි ඔයා බැන්දේ.උඹට මෙලෝ ආදරයක් හිතෙන් නැති මිනිහෙක්ව ඇයි බැන්දේ..”
අමන්දී සුසුමක් හෙළුවා ය.සුරංගගේ තුන් රෝද රිය මිදුලේ නැවතුණේ ඒ මොහොතේ ය.ඇය දුරකථනය කන තබාගෙනම ඔහුට හඬ ගැසුවා ය.
“අනේ මල්ලි..නෙළුම් මල් ටිකක් කඩාගෙන එන්නකො..මට පහන තියන්න..”
සුරංගට පෙර ඒ හඬට ඉහළ බැලුවේ සුරංග අත මුදලක් තබමින් හුන් අවිශ්ක ය.
“වැවේ නාන්න යං ඕනනම්..මල් කඩාගෙන එන්න බැරියැ..”
අවිශ්කගේ හඬ සනුරිට ද ඇසිණි.හිරු බැසගෙන යන මොහොතක වියළි කලාපයේ වැවක් මොනතරම් සුන්දරදැයි ඈ මවා ගත්තා ය.අමන්දී තෙත බේරෙන කොණ්ඩය අවිශ්කට පෑවා ය.ඔහු හිනැහී කඩයට වැදුණේ ය.
“මේ..මං තියන්නං..ඔයා වැවට යනවනෙ..”
සනුරි එසේ කියද්දී තමන් ස්නානය කර පැයක් දෙකක් ගෙවී ඇතැයි අමන්දී කියන්නේ සැහැල්ලු හඬකිනි.
“ඔච්චර වැඩ තියන කොල්ලෙක් වැඩ අස්සෙ අලුත් මනමාලිට වැවට යං කියනවා. මං උඹ උනානං නිව්මෝනියාව තිබ්බත් දුවනවා..දිය රෙද්ද අඳින්න දන් නැත්තං ඇඳන් ඉන්න පිටින්ම බහිනවකො ගිහිල්ලා..හරි මෝඩයි.”
සනුරිගේ කියවිල්ලට අමන්දී හිනැහුණා ය.මෙතැන ප්‍රශ්නය වැවට යාමක් නොවේ.සනුරි බරපතල පැනයක් නගා මිනිත්තු කිහිපයක් ගෙවුණා පමණි.
“මං අවිශ්කව බැන්දේ ඇයි ඇහුව නේද සනූ.මං ඉඳුවරට ආදරේ කරා..එයා ඒ ආදරේ පිළිගත්තේ නෑ..මං කොච්චර විඳෙව්වද?මට හිත හදා ගන්න ඕන උනා සනූ..මං ඒකයි මෙච්චර දුරකට ආවේ.මට මාවම රිද්දා ගන්න ඕන උනා.හොඳ රස්සාවක් කරන,හැඟීම් දැනීම් තියන කොල්ලෙක් බැන්දනම් මං කසාදෙ ඇතුළෙ කරන්නෙ බොරුවක් කියලා තේරුම් ගනි..අවිශ්ක ඒවා දන්නෙ නෑ..අවිශ්ක දන්නේ නෑ මං වෙන මනුස්සයෙක් හින්දා මැරි මැරී ඉපදෙනව කියලවත්..”
අමන්දීගේ හඬ බිඳෙන්නට පටන් ගත්තේ ය.ඇය සුසුමක් හෙළන්නට මොහොතක් නැවතුණා ය.හිරු රත් පැහැයෙන් බැස යමින් තිබිණ.හිරු ගිනි ගන්නේ තමන්ගේ හදවත වාගේයැයි ඈ සිතුවා ය.
“අවිශ්ක නිකමටවත් අහල නැද්ද ඔයාට කලින් කොල්ලෙක් හිටියද කියලා..”
අමන්දිගෙන් නැගුණේ උමතු සිනාවකි.මේ දැන් බසයකට නැගී අමන්දී දකින්නට යන තරමේ සිතක් සනුරිට ඇති විණි.
“සුදු රෙද්දක පැල්ලම් වලින් කෙල්ලෙක් මනින ලෝකෙක කොල්ලෙක් සනූ අවිශ්ක. ඒ පැල්ලමේ සතුටින් අවිශ්ක මට බැඳිලා ඉන්නවා.හිත පිරෙනකම් ආදරේ කරපු කොල්ලා එක දවසක්වත් ආදරේ නොකිව්ව වේදනාවෙන් මං පිච්චෙනවා.වෙන කොල්ලෙක් ගැන හිත හිතා පිච්චෙන කෙල්ලක් ලේ පැල්ලමකින් පිරිසිදුයි කියලා හිතාගෙන අවිශ්ක සන්තෝසෙන් ඉන්නවා..”
මිනිස් ජීවිතය මොනතරම් සංකීර්ණදැයි සනුරි සිතුවා ය.අවිශ්ක කන්‍යාවක හා විවාහ වූ ප්‍රීතියෙන් හිඳියි.එහෙත් ඔහුගේ බිරිඳ හිඳින්නේ තදබල ඒකපාර්ශ්වික ප්‍රේමයක විරහවෙනි.දික්කසාද වූ ගැහැනියක විවාහ වන්නට පුතුන්ට නොදෙන අම්මලා ගැන සනුරි කල්පනා කළා ය.අතෘප්තිකර සහ අසංවේදී විවාහ අත හරින ගැහැනු අනතුරුව කාට හෝ බැඳෙන්නේ හදවත පුරවා ගත් ආදරයෙනි.ඒ “ඉඳුල් වූ ගැහැනු” බව සිතමින් පුතුන්ට නොඉඳුල් මනාලියන් සොයන මව්වරුන් නොදන්නා කාරණාවක් ඇත.සමහර යුවතියන් හිඳින්නේ අහිමිව ගිය ප්‍රේමයේ වියෝ දුකිනි.ඔවුන් විවාහ වන්නේ ගතින් පමණි.සිත ඇත්තේ වෙනත් තැනක ය.සැබෑවටම විවාහය පිණිස හිත එකඟ නොකර විවාහ වී ප්‍රේමය අහිමි ලෝකයක ජීවත් වන ගැහැනුන් මොනතරම් අවාසනාවන්තදැයි සනුරි සිතන්නට ගත්තා ය.
“ආදරේ කරලා වෙන් උනාට පස්සෙ අඬන මිනිස්සු වුණත් වාසනාවන්තයි සනූ..උන් තමන්ගේ ආදරේ දවසක් හරි අයිති කරගෙන හිටිය මිනිස්සු.ඒත් ජීවිතේ කවදාවත් තමන්ට ආදරේ නොකරපු මනුස්සයෙක්ට උමතුවෙන් බැඳෙන ගෑනු මහ පව්කාරයි.ඒ ආදරේ ලැබෙනකම් උන් බලාගෙන ඉන්නවා.ඒ ආදරේ යදිනවා..කවමදාවත් තත්පරේකටවත් නොලැබෙන ආදරයක් වෙනුවෙන් ජීවිතයක් මඟ බලන එක වෙහෙසක් සනූ..ඒක මහ වෙහෙසක්..”
ඉකි ගැසෙනවාට බියෙන් අමන්දී කතා කළේ හුස්ම අල්ලමිනි.සනුරි දුරකථනයේ එහා ඉම හිඳ කඳුළු පිස දැම්මා ය.
“අමා..ඉඳුවර දැන් රටේ බාගෙකම කෙල්ලන්ගෙ ක්‍රෂ් එක..ඔයා වගේම එයාට හිතින් ආදරේ කරන කෙල්ලො කොච්චරක් ඇතිද”
සනුරි අමන්දීගේ හිත හදන්නට කීවා ය.වෙනකක් තබා ඇගේම නෑනා ද මේ මොහොතේ පසුවන්නේ ඉඳුවර කෙරෙහි ප්‍රබල ආකර්ෂනයකිනි.
“ඒ ඔක්කොම දැක්කේ ස්ටේජ් එකට ඇවිල්ලා කලියුග් ෆිල්ම් එකේ සින්දුව කියපු කොල්ලව..ඊටපස්සෙ අර්ජිත් සිංගෙ සින්දු කිය කිය කෙල්ලො වශී කරගත්තු කොල්ලව.ස්ටේජ් එක උඩ මේකප් කරගෙන ස්ටයිලිෂ් හිටිය කොල්ලයි සනූ කෙල්ලන්ගෙ ක්‍රෂ් එක..කේසර කියන ටෙලි කැරැක්ටර් එකයි කෙල්ලන්ගෙ ක්‍රෂ් එක..ඒ එක කෙල්ලක්වත් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ගිටාර් එකක් උස්සන් කැම්පස් ආපු කොල්ලා දැකලා නෑ.ඒ කොල්ලට බත් ඔතාගෙන ඇවිල්ලා නෑ.ඒ කොල්ලා ලෙක්චර්ස් පාඩු කරන් ෂෝස් වලට නටද්දී නෝට්ස් ලියලා නෑ..කොල්ලො එක්ක වැටිලා බොන්න එපා කියලා නෑ..මං ඒවා කරේ ආදරේට.වචනෙන් ආදරේ කියා ගන්න හයියක් නැතිකමට.”
මේ වේදනාව මෙතරම් අවසානයක් නොමැතිව ගලන බව දැන හුන්නා නම් ඉඳුවරට තව වරක් කතා කරන්නට තිබුණා නොවේදැයි සනුරි සිතුවා ය.දැන් කළ හැක්කක් නැත.
අමන්දී විවාහක ගැහැනියකි.