විවාහය යනු අනෙකාව මඟ දමා සිහින වෙත යාම නොවේ.

සුදේව. ඔයා මේ කුණු ටික අස් කලේ නැද්ද ? “

වැඩ ඇරිලා ආව ගමන් අමාශා කුස්සියට ගියේ නෝක්කාඩු කියාගෙන

” අනේ මම ඔය ටික එකපාර අස් කරන්න හිටියේ අමාශා. හවස මට කුරියර් එකට දෙන්න බඩු වගයක් පැක් කරන්න තිබ්බානෙ.ඒකයි බැරිවුනේ “

” ඕක මහ වෙලාවක් යන වැඩක්ද? . මාවම කන්න බලාගෙන ඉන්නේ .මැරිලා මැරිලා මම ගෙදර එන්නේ “

අමාශා සාරි පොට ඉණේ ගහගෙන කුස්සියේ පිරිලා තිබුනු කුණු බාල්දිය අරගෙන එළියට ගියා.සුදේව ඒ දිහා බලාගෙන සුසුමක් හෙලුවේ දවස තිස්සෙම ගෙදරට වෙලා කරපු වැඩ කන්දරාව මතක් වෙලා.

අමාශා කලේ පෞද්ගලික අංශයේ රැකියාවක්.ඒකටම හරියන්න උපාධියකුත් ඇයට තිබුනා.සුදේවට උපාධියක් තිබුනත් පසුකාලිනව පටන් ගත්ත ව්‍යාපාරය ඔහුගේ හිතට අල්ලපු නිසා ඔහු ඒ වෙනුවෙන් වෙහෙසුනා.ජංගම දුරකථන උපාංග, තෑගි භාණ්ඩ සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය ලංකාවේ නොයෙක් තැන් වල ඉන්න පාරිභෝගිකයන් වෙත යැවීම ඔහුගේ ව්‍යාපාරයට ඇතුලත් උනා.ඒකෙන් ඔහු නිවසේ ඉඳලම සැලකිය යුතු ආදායමකුත් ලැබුවා.ඒත් සුදේවට වඩා තුන් හාරදාහක් වැඩි පඩියක් අමාශාට ලැබුනා.

” ඔයාට තේ එකක් හදන්නද අමාශා ? “

” එපා. හවස මීටින් එකකදි කොෆී බිව්වා “

සුදේව බිල් පොත අරන් මේසේ ලගින් වාඩිවුනේ පහුවදාට කුරියර් එකට දෙන්න නියමිත බඩු ලැයිස්තුව පරික්ශා කරන්න හිතාගෙන

” ඔයා මේ බඩු පාර්සල් කරනවා නම් ඒකට අර උඩ කාමරේ පාවිච්චි කරන්න සුදේව “

අමාශාගෙ මූණ ඇඹුල් වෙලා තිබුනා.

” මැද සාලේ මෙහෙම එහා මෙහා වෙලා තියනවට මම ආස නෑ “

” එහා මෙහා වෙලා කොහෙද අමාශා? කොළ වෙනම රෝල් කරලා පිලිවෙලට තියෙන්නෙ ඔය ? “

” හරි හරි.කොහොම හරි.ඔයාගෙ ඔය ලට්ට පට්ට අරගෙන ගිහින් උඩ කාමරේ තියන්න “

” ඒක අම්මලා ආවම නිදාගන්න කාමරේනේ ? “

” අම්මලා හැමදාම එන්නෙ නෑනේ. විකාර නැතුව ඕවා ගිහින් තියන්න “

අමාශාගේ හිත රිද්දන්න බැරි නිසා සුදේව ඇය කියපු විදියටම කලා.කාමරේට ගිය සුදේව අල්මාරිය ඇරලා අමාශාට ඊලග දවසට අඳින්න සාරියක් තේරුවා.ඊට පස්සේ ඒක අයන් කරලා තිබ්බෙත් අමාශා ගැන අසීමිත ආදරයෙන්

” සුදේව. ඔන්න මට හදලා ඉතුරුවුන තේ ටිකක් මං ෆ්ලාස්ක් එකට දැම්මා .ඕන උනාම බොන්න “

අමාශා කලබලෙන් අත් බෑගයත් කරට දාගත්තා

” අයියෝ. ඇයි ඔය සාරිය ඇන්දේ ? මම එකක් අයන් කරලා තිබ්බනෙ ඔයාට ?”

” ඒකට මම අඳින්නේ ඒ ජැකට් නෙමෙයි අනේ “

” ඉතින් ඔයාට ඒ ජැකට් එක විතරක් හරි අයන් කරන් අඳින්න තිබ්බනෙ ළමයෝ ?”

සුදේව එහෙම කිව්වට ඒ ගැන තැකීමක් නොකරපු අමාශා එළියට බැහැලා යන්න ගියේ සුදේවට යනවා කියලවත් නොකියා.

රැකියාව කරන ගමන් අමාශා තවත් විභායකට ලෑස්ති උනේ ඔය අතරේ. පාසල් යන කාලෙ ඉඳලම පොත පතේ වැඩ වලට අති දක්ශයෙක් වුන අමාශා වැඩ ඇරිලා ගෙදර ආව වෙලාවෙ ඉඳලම වැඩි කාලයක් යොමු කරේ පාඩම් කටයුතු වලට

” අමාශා.. රෑට කන්නෙ මොනවද ?”

” ඔය මොනවහරි ඕඩර් කරලා ගේන්න අනේ.නැත්තම් අර අජිත් අයියගෙ කඩේට ගිහින් රයිස් එකක් වත් ගේන්න”

කඩ කෑම සුදේවට අප්‍රිය උනත් අමාශා වෙනුවෙන් කෑම එකක් ගෙනාපු සුදේවගේ කුස පිරුනේ තේ එකකින්

” අමාශා.. මේ කෝපි එක බොන්න “

නිදිමත උපරිමයට එද්දිත් පොත් පත් වල හිස ඔබාගෙන ඉන්න අමාශාගෙ අතට සුදේව කෝපි කෝප්පයක් දුන්නේ පාන්දර දෙක පහුවේගෙන යද්දි.

මාස කීපයකට පස්සේ විභාගයට මුහුණ දීපු අමාශා එයින් ඉහලින්ම සමත් උනා වගේම ඒ හේතුවෙන් ඇයට රැකියාවේ උසස් වීමකුත් ලැබුනා.සතුටින් ඉපිලිලා හිටපු අමාශාට ජීවිතේ වැදගත්ම පැතිකඩක් මග හැරෙමින් තියෙන බව ටිකක් වත් දැනුනේ නෑ

” සුදේව.මම අද එන්න ටිකක් රෑ වෙයි . හවස මීටින් එකක් තියනවා “

” මම ඔයාව ගන්න එන්නද ?”

” එපා . මට ට්‍රාන්ස්පොට් ලැබෙනවා “

අමාශා එන්න එන්නම ඒ ගෙදර ආගන්තුකයෙක් වෙන්න පටන් ගත්තේ හිතාගන්න බැරි වේගෙකින්.අත්‍යාවශ්‍යම දේකට ඇරෙන්න අමාශා සුදේව එක්ක කතා කලේ නෑ.ඇත්තටම ඇයට කතා කරන්න වෙලාවක් තිබුනේ නෑ .කාර්‍යබහුල ජීවිතෙන් ඈත් වෙලා තමන්ටත් වෙලාවක් දෙන්න කියලා සුදේවට අමාශාගෙන් ඉල්ලන්න ඕන උනත් අමාශාට ඔහුට ඇහුම්කන් දෙන්න වත් වෙලාවක් වෙන් කරන්න බැරිවුනා.

” අමාශා.දැන් සතියක් විතර එක දිගට එළියෙන් කෑවනේ.අද සෙනසුරාදා එකේ උයමුද අපි දෙන්නා ?”

” උයන්න? ඔයාට පිස්සුද සුදේව? මම අද මේ සෑහෙන කාලෙකින් සැලෝන් එකට යන්න ඉන්නේ “

” එහෙනම් අඩු ගානේ අර කණ්නාඩි මේසේ වත් සුද්ද කරනවද ඔයාගේ ? “

” ඇයි ඔයා ඒ කණ්නාඩියෙන් මූණ බලන්නෙ නැද්ද ? ඔයා දවසම ගෙදරනේ ඉන්නෙ සුදේව.ඔයාට ඔය පොඩි දේ අස් කරලා දාන්න බැරිද මම එනකන් ඉන්නේ “

” නිකන් ? කවුද කිව්වෙ මම නිකන් ඉන්නවා කියලා? එතකොට මේ බිස්නස් වැඩ කරන්නේ ඔයාද ? ආ? ගෙදර අස් පස් කරලා අතුගාන්නෙ ඔයාද ? රෙදි හෝදන්නේ ඔයාද ?

සුදේවගේ ඉවසීම සීමාව පැනගෙන ගිහින් කටහඬත් උස් වෙද්දි අමාශා ගල් ගැහුනා.කවදාවත් තමන්ගේ හිත රිදෙන වචනයක් නොකියපු සුදේවගේ කටින් පිටවෙන වචන ගැන අමාශාට හිතාගන්න බැරිවුනා.

” සු..සුදේව… “

” ඔයා මේ ගෙදර පොල් සම්බෝලයි බතුයි හරි හදපු දවසක් මට මතක් කරලා කියන්න ? “

” ම..මට වැඩනේ සුදේව … “

” වැඩ? මටත් වැඩ තියනවා. එකම වෙනස ඔයා වගේ මම ඔෆිස් එකකට ගිහින් වැඩ නොකරන එක. මේ ගෙදර වැඩත් කරන ගමන් මම මගේ බිස්නස් වැඩත් කරනවා.අඩුම ගානේ වයිෆ් හැටියට ඔයා මට උදේට තේ එකක් හදලා දීලා ගියාද ?”

” හැමදාම අරක මේක කියලා ඔයා පරක්කු වෙලා එනකොට, කලින් ආවත් කාලා නිදාගන්නකොට මම ඔයාගේ වැඩකාරයෙක් වගේ මේ ගෙදර සේරම කරගෙන ඉන්න ඕනෙද ? ඒකටද අපි කසාද බැන්දේ .මේවා අපි දෙන්නම එකතු වෙලා කරන්න ඕන දේවල් නෙමෙයිද ? “

” ම..මට තේරෙනවා සුදේව.. “

” නෑ නෑ ඔයාට තේරෙන්නෙ නෑ.. මම මේ කියනකන් ඔයා තේරුම් ගත්තෙත් නෑ. ඔයාට විතරක් නෙමෙයි ජීවිතේ බලාපොරොත්තු තියෙන්නේ.මටත් තියනවා.ගෙදරට වෙලා බිස්නස් එකක් කලාට මම නූගත් මිනිහෙක් නෙමෙයි “

සුදේව මෙච්චර කාලයක් අසීමාන්තකව ඉවසුව බව අමාශාට වැටහෙන්න ගත්තේ ඉමක් කොනක් නැතුව ගලාගෙන එන සුදේවගේ වචන වලින්.ඒ වචන පිටවෙනකොට සුදේවගේ දෑස් දිලිසෙන්නේ හිතේ තියන දුක නිසා කියලාත් අමාශාට හිතුනා.

කතා කරලා අවසානයේදි සුදේව එළියට බැහැලා යන්න ගියා.අමාශා එහෙමම පුටුවකට බර දුන්නේ සුදේව ගියේ ඇයට කල්පනා කරන්න සෑහෙන දේවල් ඉතුරු කරලා නිසා.

සුදේව ගෙදර ආවේ පැය දෙකකට විතර පස්සේ.ඒ එනකොට ගෙදර කෑම මේසය සුදේව ආසම කෑම ජාති දෙක තුනකින් හැඩවෙලා තිබුනා.

” සුදේව.. ඔයා කොහෙද ගියේ “

” ඔයා නෑවද අමාශා “

සුදේවගේ හඬ වෙනදා වගේම සන්සුන් වෙලා තිබ්බා

” ඔව්.. මම ඔයාට කෑම හදලා නාන්න ගියා “

” එහෙනම් අපි කමුද ? මට බඩගිනියි අමාශා “

” මම.. මම ඔයාට කවන්නද සුදේව ? “

අමාශාගෙන් වෙනදා දකින්න ලැබුනු රෞද්‍ර ගැහැණිය වෙනුවට බොහොම සෞම්‍ය ගැහැණියක් දකින්න ලැබුනේ සුදේව ව පුදුමයට පත් කරමින්. විවාහ උන අලුත හිටපු අමාශා නැවත ඉස්මතු වෙලා කියලා සුදේවට හිතුනා.

විවාහය කියන්නේ දෙදෙනාම එක්ව අත්වැල් අල්ලාගෙන යා යුතු ගමනක්.එහිදි ඔබට සුන්දර කාලයන් වගේම දුශ්කර කාලයන් පවා මුණගැහෙනවා.අවශ්‍ය වෙන්නේ දෙදෙනාම සහයෝගයෙන් සහ එකිනෙකාට ආදරයෙන් ඒ ගමන යෑම පමණයි

ඔබ නියැලෙන්නේ කුමන රැකියාවක උනත් , ඔබට ඇත්තේ කොතරම් ලොකු වැටුපක් උනත් ඔබ අනෙකාව පහත හෙළිය යුතු නැහැ.ඔබට රැකියාවක් අලුතෙන් සොයා ගත හැකි උනත් ඔබේ සහකරුව හෝ සහකාරියව අහිමි කරගත්තොත් ඇතිවන පසුතැවීම සදාකාලිකයි.

More Stories

Don't Miss


Latest Articles